පොදුරාජ්‍ය මණ්ඩලීය ජනපද 15ක ද මුහුදෙන් එතෙර පවත්නා යටත්විජිතයන්වල ද කිරීටය වැඩිම කලක් හොබවමින් හැත්තෑ වසරක් පුරාවට ලොව පුරා සුවිශාල ජනකායකගේ රාජ්‍ය නායිකාව ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ දෙවන එළිසබෙත් මහරැජින පසුගිය සැප්තැම්බර් මාසයේ 08 වන දා අභාවප්‍රාප්ත වූවා ය. අනූ හය හැවිරිදි වියේ සිටි ඇය මරණයට පත් වන විට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරුන් පහළොස් දෙනෙකුගේ ධුර කාලය පුරා ස්වකීය නායකත්වය දරා සිටින්නට ඉඩ ලබා සිටියා ය.

ඇගේ අභාවය ලොව පුරා රටවල ජාතික ධජ අඩකුඹු කරලන්නට ද සමත් වූ අතර බොහෝ වෙනස්කම්වලට ලක් වෙමින් ලෝකය පැමිණි සියවසකට ආසන්න කාලයක් පුරා ස්වකීය ආනුභාවය ලොව සනිටුහන් කරලන්නට සමත් වූ රාජිනියක ලෙස ද ඇය ඉතිහාසයට එක් වූවා ය.

සමාජ දේශපාලනික වශයෙන් පමණක් නොව පෞද්ගලික ජීවිතයේ ද නොයෙක් අභියෝගවලට මුහුණ පෑ නමුත් මෑතකාලීන රාජ්‍ය නායකයන් අතර ඇය තරම් සත්කාර සම්මාන ලද, ලාභසත්කාර ලද, ගෞරව බහුමාන ලද අන් අයෙකු සොයා ගැනීම උගහට ය. ඇය එපමණට ම ලෝකයෙන් පිදුම් ලැබුවා ය.

සියලු මානුෂීය සම්පත්තීන් උපදවා දෙන්නේ පුණ්‍ය නිධානයෙන් බව අපි අසා ඇත්තෙමු. ඒ පර්යාය අනුව ගළපා බලන කල්හි දෙවන එළිසබෙත් මහරැජින යනු නූතන ලෝකයේ බලවත් ම පුණ්‍ය වාසනා සම්පතකින් යුතු වූ අයෙකු බව අප පිළිගත යුතු ය. ඇය කොතරම් භවභෝග සම්පත් සම්භාරයකට උරුමකම් කීවා ද යන්න අගයකින් ගණනය කොට දක්වන්නට නොහැකි ය. නිසැක ව ම ඇය සසරේ බොහෝ සෙයින් දන් දෙන්නට ඇත. සසර පිනෙන් ලද බොහෝ සැප සම්පත්වලින් ආඪ්‍ය සැප බහුල ජීවිතයක් ගෙවන්නට ඇය වාසනාවන්ත වූවා ය.

වයස අවුරුදු 25ක් ව තිබියදී යොවුන් වියේදීම මහා රාජිනියක් වූ ඇයගේ පුණ්‍ය සම්පත්තිය ගැන විවාදයක් නැත. එහෙත්, මෙහිලා අප සලකා බැලිය යුතු තවත් පර්යායක් ද තිබේ. එනම්, පින යනු හුදු ලෞකික සම්පත් උපදවා දීමෙන් වුව ද ගෙවී යා හැක්කක් බව ය. බොහෝ පින් තිබුණේ නමුදු ඇයට ජීවිතය අවබෝධ කරලන්නට උපකාරක වන ධර්මය අසන්නට ලැබුණේ නැත. සත්පුරුෂ ඇසුර සැලසුණේ නැත. හුදෙක් ලාභසත්කාර, කීර්ති ප්‍රශංසා, පරිවාර සම්පත්තීන් උපදවා දී ඇයගේ පින ගෙවී ගියා නො වේ ද?
මේ වනාහී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව ජීවමාන ව පවතිනා උතුම් යුගයකි. එවන් යුගයකත්, කැපී පෙනෙන පුණ්‍ය සම්පත්තියකින් යුක්ත වූයේ නමුත් තෙරුවන් සරණ යන්නට – ධර්මයේ හැසිරෙන්නට ඒ පින උපකාරක නොවූ අයුරු පුදුම සහගත ය. කර්ම විපාක විෂය පරිපූර්ණ ව දන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ය. ඒ ඒ තැන් වශයෙන්, ඒ ඒ හේතු වශයෙන් කර්මයන්ගේ විපාක උපදවන අයුර දන්නා විශාරද භාවයෙන් යුතු සම්බුදුරජාණන් වහන්සේ පමණක් ම,
කළ පින් ඇත්තේ වුව ද ජීවිතාවබෝධය උපදවාලන සත්පුරුෂ ධර්මය සේවනය කරන්නට අවස්ථාව නොලබන්නේ ඇයි ද කියා දක්නා බව, දන්නා බව නිසැක ය. කර්ම විපාක විෂයෙහි වැසී ගිය දෙවන එළිසබෙත් මහරැජිනගේ ජීවන පුවත අසන දකින අප තේරුම් ගත යුත්තේ සසරේ රැස් කළ පින් මහිමය බුද්ධ ශාසනයක දී ඵල දරන අයුරින් කටයුතු සලසා ගැනීමට අප ප්‍රවේශම් සහගත විය යුතු බව නොවේ ද?

එනිසා, සම්බුදු සසුනක ඵල නෙළනු කැමැත්තෝ සත්පුරුෂ ධර්මය සාදු කියා ගෞරව කොට, සත්කාර කොට ඇසුරු කරත්වා! සත්පුරුෂයන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් යුතුව පිළිපදිත්වා! ශාස්තෘ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් යුතුව පිළිවෙතින් වැඩී යමින් රැස් කරන පින නිවන පිණිස උපකාරක නොවී වඳ බැසීම වළකනු පිණිස ම නුවණින් යුතුව කටයුතු කරත්වා! අල්ප වූ පිනක් කරන විට දී වුවද උතුම් ධර්මාවබෝධයම ප්‍රාර්ථනා කරත්වා!