මැයි – සැප්තැම්බර් යන මාස අතර කාලයේ දී නිරිතදිග මෝසම් වර්ෂාවෙනුත්, දෙසැම්බර් – පෙබරවාරි යන මාස අතර කාලයේ දී ඊශානදිග මෝසම් වර්ෂාවෙනුත් වගේ ම අන්තර් මෝසම් වර්ෂාවන්ගෙනුත් වසර පුරා ම අප රටේ ජල පෝෂක ප්‍රදේශයන් බොහෝසෙයින් පෝෂණය වනවා. ‘වැස්ස’ කියන්නේ ඇතැම් උදවිය බොහොම කැමැත්තෙන් අපේක්ෂා කරන්නක්. හැබැයි, බොහෝ වෙලාවට බොහෝ දෙනෙකුට ‘වැස්ස’ සම්බන්ධයෙන් තියෙන්නේ කරදරකාරී හැඟීමක්…
වැස්සෙත් දෙපැත්තක්…
වියළි පොළෝතලය තෙතබරිත කරවන, ගස්වැල්වලට අලුත් පණක් උපදවන, මල් පිපෙන්න – ඵල දරන්න නීලහරිත තුරු මුදුනකට ආශීර්වාද සලසන වැස්ස ඒ පර්යායෙන් නම් ස්වභාවධර්මයේ අපූරු තිළිණයක්. තෙතබරිත බව උහුලන්නට බැරි ම තැන දී කඳු පිටින් නාය යන, මහා ගංවතුර ගලාවිත් ගේදොර ජනපද යට කරලන, උන්හිටි තැන් පැහැර ගනු ලබන, ජීවිත හානි පවා පමුණුවන වැස්ස ඒ පර්යායෙන් නම් බොහෝ පීඩා උපදවන්නක්.
දුක – සැප මිශ්‍ර කාම ලෝකයක ඉපදිලා ජීවිත යාත්‍රාව පවත්වාගෙන යද්දී බොහෝ දේවල් සම්බන්ධයෙන් අපට මේ හොඳ – නරක කියන දෙපැත්ත ම අත්විඳින්න වෙනවා…
දෙවිවරුන්ගේ පැන විමසුමක්…
කොහොම නමුත් මේ සටහනට නම් මේ දිනවල ඇදහැළෙන වැස්ස අපූරු නිමිත්තක් වුණා. එක්තරා දෙවියෙක් එක් අවස්ථාවක දී “පහතට වැටෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?” කියා විමසූ අයුරුත්, “පහතට වැටෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ වැස්ස ය.” කියා තව දෙවියෙක් පිළිතුරු දුන් අයුරුත්, ඒ මොහොතේ දී සියල්ල දන්නා – සියල්ල දක්නා අපමණ බුදු නුවණ ඇති අපගේ ශාස්තෘන් වහන්සේ, “පහතට වැටෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ අවිද්‍යාව ය.”
කියා ගම්භීර ධර්මයක් වදාළ අයුරුත් පෙළදහමේ දැක්වෙනවා… ඔව්… එක්තරා දෙවියෙකුගේ සිතේ, ලෝකයේ ‘ශ්‍රේෂ්ඨ වන දේවල්’ පිළිබඳ කුකුසක් උපන්නා. භාග්‍යවතුන් වහන්සේ හමුවේ ඒ දෙවියා සතරපද ගාථාවක් පවසමින් පැන සතරක් විමසුවා. ඒ මොහොතේ තව දෙවියෙක් ඔහුගේ දැනුම පරිදි ඒ පැන සතරට සතරපද ගාථාවකින් පිළිතුරු දුන්නා. මේ දෙවිවරුන් දෙදෙනාගේ ගාථාවන් අවසන අපගේ භාග්‍යවතුන් වහන්සේ සකල ලෝක ධාතුව ම අවබෝධ කළ මහා නුවණින් යුතුව දෙව්මිනිස් ලෝකයාට ‘ශ්‍රේෂ්ඨතම දේවල්’ ගැන දේශනා කොට වදාළා.
උඩට නැගෙන දේ අතර ශ්‍රේෂ්ඨතම දේ…!
දෙවියාගේ මේ පළමු පැනයට භාග්‍යවතුන් වහන්සේ වදාළේ “උඩට නැගෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ අවබෝධ ඤාණය ය.” යනුවෙනුයි…
අහෝ එය නම් අසිරියක් ම යි…! දුගඳ හමනා කුෂ්ටයකින් පීඩා විඳිමින්, දෑත් පා යදිනා නීච දිවිපෙවතකින් යුතුව සිටි ඒ සුප්පබුද්ධ… ‘පිරිස් එක්රැස්ව සිටින නිසා කනබොන දේවල් ලැබෙන තැනක් විය යුතු යැ’ යි සිතා එකතු වූයේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මස්වරයෙන් දහම් දෙසනු අසමින් සිටි පිරිසකටයි. ඒ මනුලොව ඔහුගේ අවසන් දවස. කෑමක් බීමක් නොලද්දේමුත්, ‘මමත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්මයට සවන් දෙනවා.’ කියා එහි වාඩි වුණු සුප්පබුද්ධට ඒ සිටි තැන දී ම ‘හේතූන්ගෙන් සකස් වූ යම් දෙයක් ඇත්නම්, ඒ හැම දෙයක් ම හේතු නැති වීමෙන් නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි’ කියන කෙලෙස් රහිත, අවිද්‍යා මලකඩ රහිත දහම් ඇස පහළ වුණා. ඒ දම්සභාවේ ම උපාසක භාවයේ පිළිණ දී නැගිට ආ සුප්පබුද්ධ ගව දෙනක් ඇනීමෙන් මරණයට පත්ව දෙව්ලොව උපන්නා. නැවත කිසි දිනක සතර අපායට නොවැටෙන ශ්‍රේෂ්ඨත්වයට ඔහු පැමිණවූයේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන තුන ප්රහාණය කරලූ අවබෝධ ඤාණය යි…!
ඉදින්…, තමනට පූර්වබ්රහ්ම වූ – ‘අනාථපිණ්ඩික’ නමින් ප්‍රකට තම පියාණන් ධර්මයේ වඩාත් උත්සාහවත් කරලනු පිණිස ස්වකීය මරණ මංචකයේ දී ඔහුට “මල්ලී” කියා ඇමතූ සුමනා සිටු දියණිය කාමරාග, පටිඝ යන සංයෝජනයන් ද අතිශයින් තුනී වූ, පිළිසිඳ ගැනීම් වශයෙන් යළි එක් වරක් පමණක් ම මනුලොවට පැමිණ සියලු දුකින් නිදහස් වන සකදාගාමී ඵලයෙන් යුතු වුණා.
පණපිටින් ගිනි තබා දිවි තොර කරලනු ලැබූ සාමාවතී රජබිසව යළි කිසිකලෙකත් කාමලෝකයක නූපදිනා අනාගාමී ඵලයෙන් යුතු වීමෙන් බඹලොව උපන්නා.
දහසකටත් වඩා මිනිසුන් මැරූ, එක් මිනිසෙකුගෙන් එක් ඇඟිල්ල බැගින් ගෙන අමුණා තැනූ මාලයක් ගෙල පැලඳ සම්බුදුරජුන් පසුපස කඩුවක් අමෝරා යොදුන් තුනක් පුරා දිව ආ අංගුලිමාලයන් කල්පයක් ලොව සෙත සලසන අනුහසින් යුතුව සත්‍යක්‍රියා කළ මහා මුනිවරයෙකු ව සියලු ඉපදීම්වලින් නිදහස් වී පිරිනිවන් වැඩියා. මේ සියලු දෙනා උත්තම භාවයට පත් කරලූයේ, ඉහළට ම එසැවූයේ නුවණ මෙහෙයවාලීමෙන් උපන් ‘අවබෝධ ඤාණය’ යි…!
වැටෙන වැටිල්ලක්…!
දෙවියා විමසූ, මේ ලිපියට නිමිත්ත සැකසූ දෙවැනි පැනය වූ “පහතට වැටෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද?” යන්නට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු වදාළේ “පහතට වැටෙන දේ අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ අවිද්‍යාව ය.” කියා යි.
පූර්ව ජාතින්හි රැස් කළ පුණ්‍ය ශක්තීන්ගේ ආනුභාවයෙන් ම නිපන් මහා පුරිස් ලක්ෂණ දෙතිසකින් යුතු වූ අසහාය රූපකාය සහිත ව, ජම්බුද්වීපය පූර්වවිදේහය උතුරුකුරු දිවයින හා අපර ගෝයානය යන සිව් මහා දිවයින් ම ධර්මයේ පිහිටා පාලනය කරමින් චක්‍රවර්තී රාජ්‍යය හොබවා අපමණ පින් ඵල රැස් කොට දෙව්ලොව උපන් චක්‍රවර්තී රජවරුන් ඒ පුණ්‍ය විපාක සැප උපදවා අනිත්‍ය වී ගිය කලෙක තිරිසන් අපායේ කඩි රැලක ඉපිද හුන් අයුරු බුදු නෙතින් දැක වදාළ සේක් ම යි. ඒ, ආර්ය සත්‍යයන් නොදැනීම නම් වූ අවිද්‍යාවෙන් යුතු වීම නිසයි. මේ ලෝක සත්වයා පහළට ඇද දමන්නට, නීච භාවයට පමුණුවන්නට ඊට වඩා බලවත් වූවක් නම් ලෝකයේ නැහැ…
නමස්කාර වේවා සඟරුවනට…!
දෙවියා තුන්වෙනුව ඇසුවේ, “ඇවිද යන අය අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙක් ද?” කියලයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.
“ඇවිද යන අය අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ සංඝයා ය.”
රාග ද්වේෂ මෝහ නසන ප්‍රතිපදාවෙන් යුතුව, අමා නිවන කරා යොමු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ඍජු මාර්ගයේ පිළිවෙත් පුරන, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම පිණිස පිළිපන්, ලෝසතගේ හිතසුව කැමැත්තෙන් අමා දහම් දන් දෙන, සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් යන මගඵලයන් ලද හා මගඵලයන්ට පිළිපන් ලෙස පුද්ගල වශයෙන් අටදෙනෙක් ද යුගල වශයෙන් සතර දෙනෙක් ද වූ, දුර සිට වුව ගෙනැවිත් දන් පුදන්නට සුදුසු වූ, ආගන්තුක ව වැඩිය කල්හි ද දන් පුදන්නට සුදුසු වූ, පින් සලකා දීමට සුදුසු වූ, දොහොත් මුදුනේ තබා වන්දනා කරන්නට සුදුසු වූ, ලොවට උතුම් පින්කෙත වූ ඒ අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක සංඝරත්නයට වඩා ශ්‍රේෂ්ඨත්වයෙන් යුතුව කවරෙක්වත් මේ පොළෝතලයේ පා තබන්නේ නැති බවයි සත්‍යය… සාරිපුත්ත මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මුදුන්තැන්හි වැඩ වෙසෙනා, තුන්කාලික සඟරුවනට අපගේ වන්දනාව වේවා!
යෝ වදතං පවරෝ මනුජේසු…!
“කතා කරන අය අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ කවරෙක් ද?” ඒ තමයි දෙවියා විමසූ අවසන් පැනය…
මේ ලෝකයේ අවබෝධ කළ යුතු යම්තාක් දේ ඇද්ද ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කොට වදාළා. සියලු ලෝකවල ඇති සියල්ල දැනගත්තා. සියලු දේ මැඩපැවැත්වූවා. ඒකාන්තයෙන් ම සියල්ල දැක, සියල්ල තම වසඟයෙහි පවත්වන නිසාත් උන්වහන්සේට ‘තථාගත’ කියා කියනු ලබනවා. ඒ තථාගතයන් වහන්සේ වදාළ මේ වචනය බලන්න.
“යාවතා, භික්ඛවේ, සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනෝ වා අරූපිනෝ වා සඤ්ඤිනෝ වා අසඤ්ඤිනෝ වා නේවසඤ්ඤිනාසඤ්ඤිනෝ වා, තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධෝ.”
“පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.”
(අග්ගප්පසාද සූත්‍රය, ඛු. නි.)
අහෝ අසිරියක්මයි…! පෙනෙන, නොපෙනෙන සියලු ලෝකයන්හි ආශ්චර්යවත් ම පුරුෂරත්නය වනාහී ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි.
මනා අවබෝධ ඤාණයකින් යුතුව ම භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම සත්‍යයයි, ශ්‍රී සද්ධර්මය තුළ ජීවමාන ව වැඩවෙසෙන්නේ.
ඒ වචනය යි ජරා මරණ ඉක්මවූ අමා නිවනට මග කියන්නේ. ලෝකයේ අන් කවරෙකුගේ වචනයක් ශ්‍රේෂ්ඨ වන්න ද? සම්බුදුරජාණන් වහන්සේ ඒ දෙවියාට මෙසේ පිළිතුරු වදාළා.
“බුද්ධෝ පවදතං වරෝති”
“කතා කරන අය අතරින් ශ්‍රේෂ්ඨ වන්නේ බුදුරජ ය.”
සුභාෂිත වචන යුතු ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
“සුයුත්තවාදිං – සුදුන්නිවාරයං
ජිතින්ද්රියං – වීතභයං පධානියං
අනූපලිත්තං – භවාභිනිස්සටං
වන්දාමහං – සම්බුද්ධ පරිනිබ්බුතං”
“ඥානසම්ප්‍රයුක්ත වාග් විලාස ඇති, කෙලෙස් හා මුසු නොවූ චිත්ත සන්තාන ඇති, දිනන ලද ඉඳුරන් ඇති, බිය රහිත වූ සිත් ඇති, දහම තුළ දියුණු කළ වීර්යය ඇති, කෙලෙස් හා නොතැවරුණු, සියලු භවයන් බැහැර කළ, පිරිනිවී ගිය සිත් ඇති සම්බුදුරදාණෙනි, මම් වඳිමි.”
(උපුටා ගැනීම – අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘අති මනරම් බුද්ධාභිවන්දනා’ගාථා’)
මගතොටේ පවා නිවනට ළං වෙමු…
සත්පුරුෂ කලණ වැට නොසිඳිමින් අපගේ කල්‍යාණමිත්‍ර සත්පුරුෂයන් වහන්සේලා ශාස්තෘ ධර්මවිනය අපට කියා දෙමින්, සසරට නොවැටෙනවුන් වන්නට කර ඇති උපකාරයන් අපමණයි. අප කරා එළඹෙන අටලෝදහම තුළ ධර්මය දකිමින් සන්සිඳෙන්නට තවත් අඩු මොනවාද… ඒ කලණමිතුරු ඇසුරේ සුරැකෙමින්, ඇසෙන දකින දේ තුළ පවා ධර්මය ම සිහි කරමින් ශාස්තෘ ගෞරවය උපදවා ගන්නට අප තුළත් වීරිය වැඩේවා!
(ඇසුර – වුට්ඨි සූත්‍රය, සං. නි. සගාථ වර්ගය)
සටහන – උදුලා පද්මාවතී.
Recent Comments