බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය තුළ දෙදහස් හයසිය වසරක කාලයක් මුළුල්ලේ ගම් නියම්ගම් නගරවල සැරිසරමින් ලෝක සත්වයා සසර දුකින් මුදා ගැනීමේ පරම ආධ්‍යාශය පෙරදැරි කොටගෙන පරාර්ථ චර්යාවේ යෙදී සිටින මහ සඟරුවන පිළිබඳ සංඝානුස්සතියක යෙදීම කාලෝචිත යැයි සිතමි. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු අවුරුදු දෙදහස් පන්සිය පනහකට අධික කාලයක් මුළුල්ලේ භාණක තෙරුන් වහන්සේලා විසින් වචන මාර්ගයෙන් ද ව්‍යවහාර වර්ෂ දෙවැනි සියවසේ සිට මේ දක්වා ලේඛනගත පොතපත මගින් හා දේශනා මාර්ගයෙන් ද බුදු දහම රැකගෙන පවත්වාගෙන ඒමටත්, ලෝක සත්වයා ඒ දහම් මඟට යොමු කිරීමටත් සඟරුවන විසින් කරන ලද මනා කැපකිරීම හා පරිශ්‍රමය වනාහි මේ මහා භද්‍ර කල්පයේ ගෞතම බුද්ධ ශාසනයේ සිදු වූ මහනීය සේවාව වන්නේ ය.

මෙලොව ජීවත් වන මානව වර්ගයා අතුරෙන් වඩාත් ම සැප විඳින ජන කොට්ඨාසය වූ කලී පැවිදි පිරිස බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ගිහීසුඛ සූත්‍රයෙහි ලා දේශනා කොට වදාළහ. “ද්වේමානි, භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ? ගිහීසුඛං ච පබ්බජ්ජාසුඛං ච. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්තං සුඛානං යදිදං පබ්බජ්ජාසුඛන්ති” “පින්වත් මහණෙනි, මේ ලෝකයේ සැප දෙකක් පවතියි. එනම් ගිහි සැපය හා පැවිදි සැපය වශයෙනි. මේ දෙවැදෑරුම් සැපයන් අතුරෙන් උතුම් වූ සැපය නම් පැවිදි සැපය ම ය.” එබඳු වූ විමුක්ති සැපය විඳිමින්, “අත්තදීපා භික්ඛවේ විහරථ” “පින්වත් මහණෙනි, තමා ම තමාට දූපතක් කොට ගෙන ජීවිතය ගෙවන්න” යි මෙසේ අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥානදර්ශනාදී ගුණ සමුදායෙන් ශෝභිතව සෑම දිශාවකට ම එළිය විහිදුවන පහනක් බඳුව ශාසන සේවයේ යෙදෙන ලෙස අවවාද කළ සේක. ප්‍රථම භික්ෂු පිරිස අමතා උන්වහන්සේ උපදෙස් දී වදාළේ, “පින්වත් මහණෙනි, චාරිකාවේ, හැසිරෙන්න. එය බොහෝ දෙනාගේ හිත සුව පිණිස වන්නේ ය” යනුවෙනි.

භික්ෂූන් වහන්සේගේ ස්වරූපය, පැවැත්ම හා ආකල්ප පිළිබඳ ව පැහැදිලි කරමින් දේශනා කොට වදාළ දසධම්ම සූත්‍රය දෙදහස් හයසිය වසරක භික්ෂු භික්ෂුණී සංඝ සමාජය උපශෝභිත කළා වූ තිරසර උරුමය පැහැදිලි කරන්නකි. එය දීර්ඝ කාලයක් තුළ ඇඳුමෙන් පැලඳුමෙන් සියලු ජන කොටස් වෙනස් වෙමින් පරිණාමයට ගොදුරු වෙද්දී, සංඝ සමාජය බුද්ධ කාලයට අනුරූපව ම නූතන යුගය දක්වා ස්වරූපයෙන් එක හා සමාන ව පැවත ආවේ බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය නොවෙනස්ව රැකුණ පරිද්දෙනි.

අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් දසධම්ම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළ සමයේ දී ය. එම සූත්‍රයට අනුව ශ්‍රමණ භාවයේ ප්‍රථම ලක්ෂණය වනුයේ විවර්ණභාවය හෙවත් කසාවත් දැරීම හා හිස මුඩු කිරීමයි. කසාවත වූ කලී විවර්ණභාවයේ සංකේතයකි. ‘පිණ්ඩියාලෝපභෝජනං නිස්සාය පබ්බජ්ජා’ යනුවෙන් දක්වා ඇති පිඬුසිඟා වළඳන හෙවත් අනුන් දෙන ආහාරයෙන් ජීවිකාව පවත්වා ගැනීම දෙවැනි ලක්ෂණයයි. ඉඳුරන් සංවර කොට ඉරියව් පවත්වා ගැනීම හා හැසිරීම තෙවැන්නයි. ගිහියන් මෙන් නො හැසිරී ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුතුව කල් ගෙවීම භික්ෂූන් වහන්සේගේ ස්වභාවයයි. සීලාදී ගුණධර්ම පිළිබඳ ව ආත්ම වංචනයෙන් තොරව හෘදය සාක්ෂියට එකඟව ජීවත්වීම සිවුවැන්නයි. ශ්‍රමණ භාවයේ පස්වැනි ලක්ෂණය ලෙස දක්වා ඇත්තේ තම ඇවතුම් පැවතුම් නොපහන් වූවන්ගේ සිත් පහන් වීමට ද පහන් වූවන්ගේ සිත් වඩ වඩාත් පහන් වීමට ද හේතුවන පරිද්දෙන් පරාපවාද විරහිතව වැඩ වාසය කිරීමයි. මරණානුස්සතිය වැඩීම ශ්‍රමණ භාවයේ සයවැනි ලක්ෂණයයි. කම්මස්සකතා ඥානය හෙවත් කර්මඵල විශ්වාසය හත්වැනි ලක්ෂණයයි. දැහැමි දිවි පැවැත්ම නොවෙනස්ව ක්‍රියාවේ යෙදවීම අටවැන්න ය. නව වැනි ලක්ෂණය නම් කාය විවේකය හා චිත්ත විවේකය උපදවාගත හැකි අසපුවක වැඩ වාසය කිරීම ය. ශ්‍රමණ භාවයේ දසවැනි ලක්ෂණය ලෙස දසධම්ම සූත්‍රය දක්වන්නේ දස කුසල් ඉක්මවා යන ධ්‍යාන සම්පත්තියක් අත්පත් කර ගැනීමට වීර්යය වැඩීමයි.

පැවිදි සැපය ලොව ඇති අග්‍ර ම සැපය වුව ද පැවිදි ජීවිතය ගත කිරීම දුෂ්කර ය. පැවිදි භාවයට අදාළ සතර නිශ්‍රය ධර්මයක් වන පාංශුකූල චීවරය, පිණ්ඩියාලෝප භෝජනය, රුක්ඛමූල සේනාසනය ආදිය ගැන මෙනෙහි කරන විට පැවිදි ජීවිතයෙහි ඇති දුෂ්කරභාවය ගැන අවබෝධ කර ගත හැකි ය. ප්‍රව්‍රජ්ජා ජීවිතය කඩු මුවහත මත ඇවිදීම මෙන් දුෂ්කර ය. “දුක්කරා පබ්බජ්ජා අසිධාරාය චංකමන සදිසා” යනුවෙන් දේශනා කොට වදාළේ එම ජීවන පැවැත්ම ගැන මෙනෙහි කරමිනි. භික්ෂු සීලය චූල, මධ්‍යම, මහා යයි කොටස් තුනකට බෙදා ඇති බැවින් අසුරු සැණක් ගසන ඇසිල්ලක් පමණවත් මෙත් සිත වඩන්නටත් බුදු සසුනෙහි අවකාශ පවතී. එසේ වුව ද නියම පැවිදි ජීවිතය ඉතා සැහැල්ලු ය. පක්ෂියා පියාපත් බර පමණක් උසුලාගෙන පියාඹා යන්නා සේ භික්ෂූන් වහන්සේ චාරිකාවේ වඩින්නේ තම එක ම වස්තුව වන තුන් සිවුර හා පාත්‍රය නැතහොත් අට පිරිකර රැගෙන ය. භික්ෂූන් වහන්සේ පරිහරණය කරන සකලවිධ වස්තුව වූ කලී චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලානපච්චය යන සිව්පසය යි. ඒවා ද උන්වහන්සේ සතු නො වේ.

භික්ෂූන් වහන්සේ සිවුරු පිරිකර ලබාගැනීම සඳහා කිසිදු ඉල්ලීමක් හෝ ඇඟවීමක් හෝ නො කරති. තමන් වෙත පූජා කළ කුමන සිවුරක් වුව ද පුණ්‍යානුමෝදනා කොට පිළිගැනීම උන්වහන්සේගේ සිරිත ය. ඒ අපිස් ගුණය තමන් සතුව පවත්නා බව අඟවා හෝ තමන්ට එයට වඩා හොඳ සිවුරක් තිබෙන බව හෝ තමන් අනෙක් අයට වඩා උසස් කෙනෙකු ය කියා හෝ භික්ෂූන් වහන්සේ කිසිදු විටෙක ක්‍රියා නො කරති. අඳින වස්ත්‍රය පිළිබඳ මේ සා විනය නීති මාලාවක් පැනවූ එක ම ශාස්තෘවරයාණන් වූ කලී බුදුරජාණන් වහන්සේ ය. මහාවග්ගපාලි විනය ධර්ම ග්‍රන්ථයේ එන චීවරක්ඛන්ධක නම් වූ කොටස මුළුමනින් ම වෙන්වී ඇත්තේ භික්ෂු සංඝයා වහන්සේ පොරවන සිවුර ගැන විස්තර කිරීමට ය.
අවුරුදු දෙදහස් හයසියයක කාලයක් මුළුල්ලේ මානව සමාජය විසින් කිසිදු වෙනසකට භාජනය නො කොට හඳින පොරවන එක ම වස්ත්‍රය නම් භික්ෂූන් වහන්සේ සිය සිරුර වසා ගන්නා සිවුරයි. එය කපා මසා සකස් කොට ගන්නේ කුඹුරුවල නියර සහිත ලියැදිවල මෝස්තරයට අනුව ය. කිසිවෙකුට හිංසාවක් නොවන ලොව උතුම් ම නිවැරදි ජීවිකා වෘත්තිය වන ගොවිකම ජන්ම දායාදය කොට ගත් ක්ෂත්‍රීය කුල උරුමය බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හා ආර්ය ශ්‍රාවක සංඝයා වහන්සේගේ ඇඳුම බවට පත්කරගත් ආකාරය ආශ්චර්යජනක ය. ථේරවාදී භික්ෂූන් වහන්සේලා හඳින මේ සිවුරු මෝස්තරය කිසිදු කලෙක පරණ නො වන්නේ ය, අඩු නො වන්නේ ය.

පිණ්ඩපාතය ගැනීම හෙවත් දානය වැළඳීම ගැන ද භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සඟරුවනට උගන්වා ඇති පිළිවෙළ වර්තමානය වනතුරු අඛණ්ඩව පවත්වාගෙන යන ආකාරය ද අසිරිමත් ය. කුමන අන්දමේ පිණ්ඩපාතයක් දානයක් ලැබුණ ද භික්ෂූන් වහන්සේ ඉවසා වදාරති. ප්‍රණීත ආහාරයක් ලැබුණ ද කටුක ආහාරයක් ලැබුණ ද සතුටුව එහි උසස් ආනිශංස ගැන පැහැදිලි කර දී පින් පැමිණවීම උන්වහන්සේ සතු ගුණයකි. දානය වැළඳීම ගැන පනවා ඇති නීතිරීති වෙනත් කිසිදු ඉගැන්වීමක දක්නට නැත. ඇඟිලි අතරින් පිට නොයන පරිදි ආහාර අනන හැටි, බත් පිඬුව අතට ගන්නා අයුරු, ඇඟිලි මුඛය ඇතුළට නො යන පරිදි ආහාර ගැනීම හා හක්කේ පුරවා නො ගෙන හපන අන්දම, සුරු සුරු ගා ශබ්ද පිට නො කර, අත ලෙව නො කා තැන්පත් ව උපශාන්ත ව මනා ශික්ෂණයකින් යුතුව වළඳන හැටි කියාදුන් ආකාරය විස්මයජනක ය. වර්තමානයේ පවා දානය වළඳන භික්ෂූන් වහන්සේලාගේ සංවරශීලී පැවැත්ම අපට සිහිපත් කර දෙන්නේ බුද්ධකාලීන යුගයේ සිට ම වැඩ විසූ ආර්ය මහා සඟරුවනේ හැසිරීම යි.

සේනාසන පරිහරණය කිරීමේ දී ද භික්ෂූන් වහන්සේගේ අපිස් ගුණය කැපී පෙනෙයි. කවර අන්දමේ සේනාසනයක් ලැබුණ ද උන්වහන්සේ සතුටින් පිළිගනිති. සැප පහසුකම් නො බලා ලැබී ඇති ආවාස, අසපු, ආශ්‍රමවලින් සෑහීමට පත්වන භික්ෂූන් වහන්සේලා වැරදි මාර්ගයකින් බලහත්කාරයෙන් ආවාසයක් අත්පත් කර ගැනීමට කටයුතු කරන්නේ නැත. අංගුත්තර නිකායේ දෙවැනි කොටසේ අරියවංස සූත්‍රයේ විස්තර කරන පරිදි භික්ෂු ජීවිතය මොනතරම් සැහැල්ලු දිවි පෙවෙතක් ද යන්න අවබෝධ කොට ගත හැකි ය. භික්ෂු ජීවිතයේ වටිනාකම ගැන කියැවෙන මෙබඳු සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් වර්තමාන යුගය වනතුරු භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසේ ම සම්භාවනාවට පාත්‍රවී තිබේ. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ සන්තුට්ඨි සූත්‍රයෙන් අනුශාසනා කොට වදාළ පරිදි කුමන ආකාරයේ සිවුරක් ලැබුණ ද පිණ්ඩපාත ආහාරයක් ලැබුණ ද සේනාසනයක් ලැබුණ ද ගිලන්පස, බෙහෙත්, පිරිකර ලැබුණ ද ඒ කෙරෙහි නො නැමී, ගිජු නො වී, මුසපත් නො වී, ආසාවෙහි බැස නොගෙන ඒ සිවුපසයෙහි අනිත්‍යතාව හා ආදීනව දකිමින් එහි නො ඇලී නුවණින් යුතුව වැළඳීම, පරිහරණය කිරීම් ආදියෙන් වැඩ වාසය කිරීම සියලු ලෝ වැසි දනන්ගේ ගෞරව ප්‍රණාමයට ලක්විය යුත්තේ ය.

මෙසේ වර්තමාන මානව වංශ කථාවේ දෙදහස් හයසිය වසරක අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන අති පූජනීය සංඝරත්නය ගුණ නවයකින් උපශෝභිත වන්නේ ය.

එයින් පළමුවැනි ගුණය වූ කලී සුපටිපන්න භාවය යි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන (භගවතෝ සාවක සංඝෝ) බුදු දහමේ සුන්දර පිළිවෙත පුරමින් සිටින බැවින් සුපටිපන්න නම් වෙයි. ලාභ, කීර්ති, ප්‍රශංසා අපේක්ෂාවෙන් තොරව සිවු පිරිසිදු සීලයෙහි පිහිටා වීර්යයෙන් යුතුව ඒ ඒ භික්ෂූන් වහන්සේලා පුරණ පිළිවෙත් අනුව ඇතැම් පිරිසක් අරහත් ඵලය සාක්ෂාත් කරති. තව පිරිසක් අනාගාමී, සකදාගාමී, සෝවාන් ආදි මාර්ග ඵලයන් ම පැමිණෙති. මේ මාර්ග ඵල සාක්ෂාත් කර ගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සුන්දර පිළිවෙතට පැමිණ සිටීම සුපටිපන්න ගුණය නම් වෙයි.

අත්තකිලමථානුයෝගය, කාමසුඛල්ලිකානුයෝගය යන වැරදි මාර්ග දෙක අත්හැර නිවනට පමුණුවන එක ම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ඍජු මාවතට පිළිපන් බැවින් ශ්‍රාවක සංඝරත්නය උජුපටිපන්න වෙයි. මේ ගුණයෙහි පිහිටි සඟරුවන කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත ප්‍රහාණය පිණිස උත්සුක වෙයි.

නැවත නැවත ඉපදීම්, මරණයට පත්වීම් ආදී වශයෙන් පවත්නා ස්කන්ධ පරම්පරාවේ පැවැත්මට හේතුවන සක්කාය දිට්ඨි, අවිද්‍යා, තණ්හා යන මොවුන්ගේ පැවැත්ම ප්‍රහාණය කළ හැකි වේ නම් ඒ පිළිවෙත නිවන සාක්ෂාත් කර ගැනීමේ මාර්ගයයි. එම මඟට පිවිස අධි සීල, අධි චිත්ත, අධි ප්‍රඥා සංඛ්‍යාත නිවනට පමුණුවන ඒකාන්ත පිළිවෙත අනුව යන ශ්‍රාවක සඟරුවන ඤායපටිපන්න ගුණයෙන් යුතු වන්නේ ය.

ඒ ශ්‍රාවක සඟරුවන ලෝක සත්වයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුතු වෙයි. එනිසා උන්වහන්සේලා සසුන් පිළිවෙත් පුරමින් ම තම ශාස්තෘන් වහන්සේ විසින් දේශනා කරන ලද සුගතියටත් නිවනටත් මග පෙන්වන ශ්‍රී සද්ධර්මය අන් අයට ද ඒ අයුරින් ම දේශනා කරති. දෙතිස් කථාවෙන් වැළකී දස කථාවෙන් ම තම සබ්‍රහ්මචාරීන් වහන්සේලාටත් සිව්පසය පුදන දායකයන්ටත් සංග්‍රහ කරති. මෙසේ ඒ ශ්‍රාවක සඟරුවන සාමීචිපටිපන්න ගුණයෙන් යුතු වෙයි.

තමන් හොඳින් සකසා පිළියෙල කර ගත් ආහාරපාන, සිවුරු පිරිකරාදිය බොහෝ දුර බැහැර වාසය කරන භික්ෂූන් වහන්සේ වෙත ගොස් පූජා කිරීමට සුදුසු හෙයින් උන්වහන්සේ ආහුනෙය්‍ය ගුණයෙන් යුතු වන්නේ ය.

‘පාහුන’ වශයෙන් හැඳින්වෙන්නේ ආගන්තුක පිරිස් සඳහා විශේෂයෙන් පිළියෙල කරන ලද දෙයයි. එසේ යම් අයෙකු වෙනුවෙන් සකස් කළ දෙයක් දුගී මගී යාචකාදීන් පැමිණිය ද ඔවුන්ට පිරිනැමීමක් සිදු නො කෙරේ. එහෙත් පැවිදි උතුමෙකු වැඩම කළහොත් ආගන්තුකයන් උදෙසා විශේෂයෙන් පිළියෙල කළ දේ වුව ද පිරිනමනු ලැබේ. ඒ පැවිදි උතුමන් පාහුනය පිළිගැනීමට සුදුසු බැවින් පාහුනෙය්‍ය ගුණයෙන් යුතු වෙති.

සංඝයා වහන්සේ සතු සත්වැනි ගුණය නම් දක්ඛිණෙය්‍ය ගුණයයි. දක්ෂිණාව හෙවත් පරලොව පිහිට කොට දෙනු ලබන දානය පිළිගැනීමට සුදුසු ත්‍රිශික්ෂාවන් වඩන්නා වූ ද එය අවසන් කොට සිටින්නා වූ ද ලෝභාදී කෙලෙස් දුරු කිරීමෙහි යෙදී සිටින්නා වූ ද ඒවා දුරු කළා වූ ද සංඝරත්නය දක්ඛිණෙය්‍ය වෙයි. මියගිය ඥාතීන් උදෙස් දෙනු ලබන සියලු ම දාන දක්ෂිණාවට අයත් වේ.

දෝත් නඟා වැඳුම් ලැබීමට සුදුසු බව අඤ්ජලීකරණීය ගුණය යි. මිනිසුන්, රජුන්, ප්‍රභූන්, දෙවියන් ඇතුළු බොහෝ දෙනා වැඳුම් ලබන්නේ නමුදු ඔවුන් තුළ අඤ්ජලීකරණීය ගුණය නොමැත. අඤ්ජලීකරණීය ගුණය පිහිටා ඇත්තේ බුද්ධ ශ්‍රාවකයන් තුළ පමණකි.

සඟරුවනේ අවසන් ගුණය ලෙස සම්භාවිත වන්නේ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං යන ගුණය යි. කෙත නම් කුඹුරයි. පින් නමැති ගොයම වැඩෙන සසුන් කෙත සරුකරන බැවින් සංඝයා වහන්සේ පින් කෙතක් වෙයි. සම්බුද්ධ ශ්‍රාවක උතුමන්ට වඩා උසස් පින්කෙත් වන පුද්ගලයන් බුද්ධ ශාසනයෙන් පිටත තැනක පහළ වීම සිදු නො වේ. එසේ හෙයින් ආර්යකාන්ත සීලයෙහි පිහිටි බුද්ධ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ ම පමණක් සද්ධා බිජුවට වපුළ අනුත්තර වූ පින්කෙත වන්නේ ය.

සටහන – මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති