highlights of the week
Home » Archives » ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය

ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය

පිළිරුවකට නැගිය නො හැකි මහා ගුණ කඳකින් බැබළී ගිය අපගේ ශාස්තෘන් වහන්සේටත් ශාස්තෘන් වහන්සේනමක් සිටියා. ඒ… දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ කිසිවෙක් නෙමෙයි. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ හදමඬල නිකෙලෙස් කරමින්, දසබල ඤාණ, විසාරද ඤාණ උපදවා දෙමින් සම්බුදු ළයෙහි උපන් ශ්‍රී සද්ධර්මය ම යි. ඒ සත්‍ය වූ, නිර්මල වූ ධර්මය ම භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් අපගේ ශාස්තෘන් වහන්සේ හැටියට පනවලයි අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ- ඒ උතුම් ධර්මය දේශනා කළේත් සාමාන්‍ය ඉගැන්වීමක් වගේ නෙමෙයි.

“අභිඤ්ඤායාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනභිඤ්ඤාය” “පින්වත් මහණෙනි, මා මේ ධර්මය දේශනා කරන්නේ විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කරලයි, විශිෂ්ට ඤාණයෙන් අවබෝධ නොකර නෙමෙයි.” “සනිදානාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අනිදානං” “පින්වත් මහණෙනි, මා මේ ධර්මය දේශනා කරන්නේ හේතු සහිතව යි, හේතු රහිතව නො වෙයි.” “සප්පාටිහාරියාහං භික්ඛවේ ධම්මං දේසේමි නෝ අප්පාටිහාරියං” “පින්වත් මහණෙනි, මා මේ ධර්මය දේශනා කරන්නේ ප්‍රාතිහාර්ය සහිතව යි, ප්‍රාතිහාර්ය රහිතව නො වෙයි.”

ඒ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් ම ප්‍රාතිහාර්යයක්- රාග, ද්වේෂ, මෝහවලට යටපත් වී ඉන්න දෙවි මිනිසුන් වීතරාගී, වීතදෝසී, වීතමෝහී කරනවා කියන එකට වඩා විශාල ප්‍රාතිහාර්යයක් තවත් කොයින් ද? මිනීමරුවන්, මංකොල්ලකරුවන්, වෙසඟනන් , බේබද්දන්, මසුරන්, පහත් ගති ඇති අය ශාන්ත, සන්සිඳුන, සීලවන්ත, අහිංසක, විරාගී, නිහතමානී, අල්පේච්ඡ, හුදෙකලාවේ ඇළුන මුනිවරුන් බවට පත් කරවන්නට යම් ධර්මයක් සමර්ථ නම්, ඒ ආශ්චර්යවත් ධර්මය අපගේ භාග්‍යවතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය ම යි. අද අපට අපගේ දෙනෙතින් භාග්‍යවතුන් වහන්සේ ව දැකගන්ට නැති වුණත්, ඒ භාග්‍යවතුන් වහන්සේ ව අඳුනා ගන්නෙත් ඒ ධර්මය තුළින් ම යි- ඒ ශ්‍රී සද්ධර්මය තුළ අපගේ ශාස්තෘන් වහන්සේ තවමත් ජීවමානයි- ඒ ධර්මයේ තිබෙන අසහාය ලක්ෂණ දැනගත්ත ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය හදවතින් ම, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා ම යි- මොකද මේ උතුම් ධර්මය තමයි අපගේ ශාස්තෘන් වහන්සේගේ මාර්ගෝපදේශනය, අපගේ ධර්මරාජයන් වහන්සේගේ ධර්ම ආඥාව.

දකින්නා නො දකී

ඒ උතුම් ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනාව දේශනා කළා- ස්වාක්ඛාතයි- මේ ධර්මයේ මුල වූ සීලය ඉතා ම සුන්දර ව විස්තර වෙනවා- (ආදි කල්‍යාණං)– මැද වූ සමාධියත් මනා ව, පිරිපුන් ව, සුන්දරව දේශනා කරනවා (මජ්ඣේ කල්‍යාණං) අග වූ ප්‍රඥාවත් ඉතා සුන්දරව විස්තර වෙනවා (පරියෝසාන කල්‍යාණං)- (සාත්ථං) – ඉතා ම අර්ථවත්- (සබ්‍යඤ්ජනං) – පැහැදිලි වචන ප්‍රකාශනවලින් යුක්තයි- අවුල් සහගත, එකිනෙකට නොගැළපෙන ප්‍රකාශ නෑ- (කේවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති) – මුළුමනින් ම පිරිසිදු පිරිපුන් නිවන් මඟ තමයි මේ ධර්මයේ විස්තර කරන්නේ.

දවසක් භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ ධර්මයට “දකින්නා නො දකී” කියල කියන්න පුළුවන් දහම් ක්‍රමයක් තිබෙන බව- යම් ශ්‍රාවකයෙක් මේ ධර්මය හැම කරුණින් ම සම්පූර්ණ බව දකිනවා නම්, අනූනං – අඩුවකුත් නැතිව, අනධිකං – වැඩිත් නැතිව, මුළුමනින් ම පිරිපුන් බඹසර පවසා තියෙනවා කියලා— එයා දකින්නෙ නෑ, “මේ ධර්මයේ මේ කොටස වැඩියි, ඒ නිසා මේ කොටස ඉවත් කළා ම තමයි මේ ධර්මය පිරිසිදු වෙන්නේ— මේ කොටස අඩුයි, ඒ නිසා මේ කොටස එකතු කළා ම තමයි ධර්මය වඩාත් පිරිපුන් වෙන්නේ—” කියල, එබඳු අඩු වැඩි කිසිවක් මේ ධර්මයේ නෑ කියල-

(පාසාදික සූත්‍රය – දී- නි- 3)

ඒ ධර්මයට කවුරුහරි වැඩිපුර යමක් එකතු කළොත්, ඒක ව්‍යාජ ධර්මයක්- ඒ ධර්මයේ තිබෙන යමක් ඉවත් කළොත් ඒකත් ධර්මය විකෘති කිරීමක්. ධර්මය කියන්නේ බුද්ධ වචනයට- බුදුරජාණන් වහන්සේ ඒ හැම වචනයක් ම ප්‍රකාශ කළේ උතුම් වචී සංවරයක පිහිටලා- භාග්‍යවතුන් වහන්සේ වදාළා, තථාගතයන් වහන්සේ කථා කරන්නේ සත්‍ය වූත්, සැබැවින් ම සිදු වූත්, දේවල් විතරයි- ඒ දේ අනුන්ට ප්‍රිය වෙන්ටත් පුළුවනි, අප්‍රිය වෙන්නටත් පුළුවනි, නමුත් ඒක තමන්ටත් අනුන්ටත් සැපය, යහපත, උදාකරනවා නම්, භාග්‍යවතුන් වහන්සේ සුදුසු කාලය බලලා ඒ වචන ප්‍රකාශ කරනවා-

(අභයරාජ කුමාර සූත්‍රය – ම- නි- 2)

ඒ විතරක් නෙමේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිඥා දුන්නා, “යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා ද යම් රාත්‍රියක තථාගතයන් වහනසේ පිරිනිවන් පානවා ද ඒ අතර කාලය තුළ දී, භාග්‍යවතුන් වහන්සේ යමක් පවසනවා ද ප්‍රකාශ කරනවා ද අනුමත කරනවා ද ඒ හැම දේම ඒ විදිහට ම යි වෙන්නේ- වෙන විදිහකට වෙන්නේ නෑ—” කියල- ඒ සත්‍ය වූ ධර්මය ස්වාක්ඛාතයි—

අත්දකින්න

දවසක් එක බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ මේ ධර්මය ‘සන්දිට්ඨිකයි–’ කියන්නේ ඇයි?”

“පින්වත් බ්‍රාහ්මණය, රාග, ද්වේෂ, මෝහවලට යටවෙලා, ඒවායෙන් මත් වුණ කෙනා, තමන්ටත් අනුන්ටත් පීඩා ඇතිකරන දේවල් හිතනවා- ඒ රාග, ද්වේෂ, මෝහ නිසා ම තමයි, පුද්ගලයෙක් සිතින් කයින් වචනයෙන් අකුසල් කරන්නේ- නමුත් රාග, ද්වේෂ, මෝහ නැත්තට නැති කළ කෙනා, තමාට හෝ අනුන්ට හෝ දෙපසට ම පීඩා ඇතිකරවන දේවල් හිතන්නේ නෑ- ඒ නිසා ම ඒ කෙනා සිත කය වචනයෙන් වරදේ හැසිරෙන්නෙත් නෑ- බ්‍රාහ්මණය, මෙපමණකින් ම ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි”

මේ විදිහට, මේ ධර්මය මේ ජීවිතේ ම අත්දකින්නට පුළුවන්- අපි තුළ රාග, ද්වේෂ, මෝහ තියන බව අප දැනගත්තේ ධර්මයෙන්- ඒ රාග, ද්වේෂ, මෝහ දුරු කරන ක්‍රම දැනගත්තෙත් ධර්මයෙන්- ඒ හැමදේම අපි මේ ජීවිතයේ ම අත් දකිනවා- ඒ වගේ ම යි, සිල් රකින්න පින තියන කෙනා සීලයේ ආනිශංස අත්දකිනවා- සමාධිය වඩන්න පින තියන කෙනා සමාධි සැපය අත් දකිනවා- මාර්ග ඵල ලබන්න පින තියන අය ඒ මඟ ඵල සැප අත්දකිනවා- කෙනෙකුට ඒ මඟ ඵල සැප අත්දකින්න පින නැතත්, ටිකෙන් ටික අකුසල් දුරු කරමින් මේ ධර්මයේ සන්දිට්ඨික විපාක අත්දකින්ට පුළුවනි- මෙලොව දී ම අත්දකින්න පුළුවන් නිසා, සන්දිට්ඨිකයි කියල මේ ධර්මයට කියනවා-

සදාකාලික නො වූ ලොවක සදාකාලික දහම

අප අත්විඳින, ජීවත් වෙන ලෝකයේ හැමදේම කාලිකයි- ඒ කියන්නේ කාලයට අයිතියි- කොටින් ම තාවකාලිකයි- අපි කාලයකට ආසා කරන දේ තව කාලෙකට අපිට ම එපා වෙනවා- එක කාලෙකට එන විලාසිතාව තව කාලෙක ගැරහුම් ලබනවා- ආහාරපාන, ගොඩනැගිලි, යාන වාහන, පොත්පත් පවා… හැමදේම කාලෙන් කාලෙට වෙනස් වෙනස් රූපවලින් එළියට එනවා- නමුත් ඒ වෙනස් වන ලෝකයට අනුව ධර්මය වෙනස් කරන්න බෑ- වෙනස් වෙන්නෙත් නෑ-

අතීත බුදුරජාණන් වහන්සේලා යමක් වදාළා ද අනාගත බුදුරජාණන් වහන්සේලා යමක් දේශනා කරනවා ද අදත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒක ම යි- ලෝකයේ නැති අමුතු දෙයක් ‘මේක තමා සත්‍යය’ කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා නම්, ඒක කලක් යද්දී බොරුවක් බව ඔප්පු වෙනවා- නමුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ පවතින සත්‍ය ස්වභාවය ම යි තමන් වහන්සේ අවබෝධ කරලා දේශනා කළේ- ඒ නිසා, ඒ වදාළ දුක්ඛාර්ය සත්‍යය හැමදාට ම දුකක් ම යි- ඒ වදාළ දුක්ඛ සමුදය හැමදා ම සසරේ දුක හදනවා ම යි- ඒ වදාළ දුක්ඛ නිරෝධය හැර වෙන නිවනක් ලෝකෙ පහළ වෙන්නෙත් නෑ- ආර්ය අෂ්ටාංගික මාර්ගය හැර දුකින් නිදහස් වෙන්න වෙන ක්‍රමයකුත් නෑ-

ඒ වගේ ම මේ ධර්මය කල් නොයවා විපාක දෙන නිසාත් අකාලික කියල කියනවා- යම් මොහොතක ද කෙනෙක් සෝවාන් වෙන්නේ, ඒ මොහොතේ ම ඒ කෙනා සතර අපායෙන් නිදහස් වෙනවා, සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය වෙනවා, අනුන්ගේ උපකාර නැතිව ජීවිත හතක් ඇතුළත නියත වශයෙන් ම නිවන කරා යන ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා- ඒකට කාලයක් ගතවෙන්නෙ නෑ- සෝවාන් වුණ කෙනාට මේ ප්‍රතිඵල ලැබෙන්න තප්පරයක්වත් පහුවෙන්නේ නෑ- ඒ නිසා, සෝවාන් වුණ ගමන් ම මරණයට පත් වුණත් ඒ ශ්‍රාවකයා මරණින් මතු කිසිදා සතර අපායට වැටෙන්නේ නෑ- අරහත් වුණ ගමන් ම කෙනෙක් කළුරිය කළත්, ඒ උතුමන් වහන්සේ පිරිනිවන් පානවා, උපතක් කරා යන්නේ නෑ-

එන්න… සත්‍යයේ සුන්දරත්වය බලන්න

භාග්‍යවතුන් වහන්සේ වදාළා, කාන්තාව බබළන්නේ ආවරණය වුණා ම- වැහුණ ම- බමුණන්ගේ වේද මන්ත්‍ර බබළන්නේ අඩුපාඩු ටික හැංගුවා ම- මිථ්‍යා දෘෂ්ටිය බබළන්නේ සත්‍යය වසන් කළා ම-

නමුත්, ඉර-හඳ බබළන්නේ වලාකුළු, මීදුම නැති වෙලාවට— ආවරණය නො වුණා ම යි- ඒ වගේ තමයි, ශ්‍රී සද්ධර්මයත් බබළන්නේ විවෘත වුණා ම යි- (තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති, නෝ පටිච්ඡන්නෝ) දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකයේ උස් හඬින්, රහස් නැතිව, මේ ධර්මය පැතිරෙන්න– පැතිරෙන්න— ධර්මය ම බබළනවා- ඒ ධර්මය නිසා බබළන ගුණධර්ම තිබෙන දෙව් මිනිසුන් බිහිවෙලා සසුන බබළනවා- කිසි ම කිලුටක් නැති බුදු වදනක් හංගන්නේ කුමට ද? ඒ නිසා ම ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න කියල මුළු ධර්මස්කන්ධය ම විවෘත කරන්නට පුළුවනි, ඒහිපස්සිකයි-

කැඩපත… තමන් ව බලාගන්නටයි

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තමා තුළට පමුණුවාගන්නට ඕන නිසා ඕපනයිකයි- ධර්මය බාහිර දෙයක් වෙලා, අපි වෙන්ව ඉන්නා තුරු අපිට ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ- හැන්ද කවදාවත් හොද්දේ රස දැනගන්නෙ නෑ වගේ,— අපිට කොයිතරම් ධර්මඤාණයක් තිබුණත්, ඒ ධර්මය අපට ගළපා බලනකල් අපි වෙනස් වෙන්නෙ නෑ- මේ ධර්මය මනුෂ්‍යයා ව සම්පූර්ණයෙන් ම වෙනස් කළ හැකි ධර්මයක්- අසීමිත ගුණ සමුදායක් තුළ දෙව් මිනිසුන් ව යළි උපද්දවන්න පුළුවන් ධර්මයක්- ජීවිතයේ සත්‍ය කථාව විස්තර වන මේ ධර්මය අපි කැඩපතක් විදිහටයි පාවිච්චි කළ යුත්තේ-

අපි කැඩපතින් අනුන්ගේ මූණු බලන්නෙ නෑ- අපි බලන්නේ අපේ ම හැඩරුවයි- අපේ මූණෙ අඩුපාඩු බලලා ලස්සන කර ගන්නයි අපි මහන්සි වෙන්නේ- ඒ වගේ— ලස්සන හිතකට කැමති කෙනාට තමා ව පෙන්වා දෙන කැඩපත ධර්මය ම යි- අවංක ව ධර්මයේ හැසිරෙන්න ආසා කෙනාට තමන්ගේ අඩුපාඩු දැක දැක— ඒවා නිවැරදි කරගෙන, ඉතා ම පිරිසිදු, නිර්මල ජීවිතයක් උපදවා ගන්නට මේ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් ම සියයට සීයක් උපකාර කරනවා-
ඒ නිසා සසර පුරාවට හඬපු කඳුළු වියළා දාන්න නම්, සසරක් පුරාවට ගිය කටුක, දුක්බර ගමන නිමා කරන්නට නම්, අන්ධයෙක් වගේ ගෙවී ගිය ජීවිතයට ඤාණාලෝකය උදාකර ගන්න නම්, ඕපනයික වූ දහම් කැඩපත අරන් බලන්න— තමන් දිහා— හෘද සාක්‍ෂියට එකඟ ව—! හරියට දැක්කොත්— හරියට ම අඩුපාඩු හදාගත්තොත්, සදහට ම කඳුළු මැකේවි- ගිය පාරවලුත් මැකේවි- ඇසුත් ලැබේවි-

‘මම’ වෙනුවෙන් ‘මම’ – නුවණැතියන්ට පමණයි!

අපි එක ම දහම් මණ්ඩපයක බණ ඇසුවත්, එක ම නිවසේ එක ම පවුලේ අය හැටියට දහමේ හැසිරුණත්— කෙනෙක් ලද අවබෝධයෙන් තව කෙනෙක් ව සසරෙන් නිදහස් කරන්න කාටවත් බෑ— බුදුරජාණන් වහන්සේටවත් බෑ- සසරේ රැස් කළ පිනට අනුව අපි එක් එක්කෙනාගේ නුවණ වෙනස්- තේරුම් ගැනීමේ හැකියාව වෙනස්- තම තමන්ගේ නුවණේ පමණට වෙන් වෙන් වශයෙන් අවබෝධ කළ යුතු නිසයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී කියන්නේ-
ශ්‍රද්ධාව පවා හැඟීම්බර නො වී, අවබෝධයෙන් ඇති කර ගන්න නුවණක් ඕන- සීලය පවා හරියට රකින්න නුවණක් ඕන- ඒ නිසා මේ දහම් මඟ වඩන්න තමන්ට උදව් කරන්නේ තමන්ගේ ම නුවණ ම යි- ඒ නුවණ මෝරන්න උදව් කරන්නේ තමන්ගේ ම උත්සාහයත්, කැපවීමත්, ධර්මයත් පමණ ම යි.

අපිට ඕනම ප්‍රශ්නයක දී, දුකක දී, කරදරයක දී, සතුටක දී, ලාභයක දී ධර්මය සිහි වෙනවා නම්, මේ වෙලාවේ මොකක්ද කරන්න කියල භාග්‍යවතුන් වහන්සේ වදාළේ කියල බුද්ධ වචනය සිහිකරනවා නම්, ටිකෙන් ටික අපි සරණට ළං වෙනවා- ධර්මයේ පිළිසරණ සැබැවින් ම අපට ලැබෙනවා- මේ උතුම් ශ්‍රී සද්ධර්මය ජීවිත පූජාවෙන් සරණ යන්නට අපට වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.

One comment

  1. nuwanaththan hata melowe dakinta puluwan sadhaham

    melowadima dakina nisa sandittika vei sadhaham!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ගෙවත්තක් වගා කරමු – බිම් සැකසීම සහ ජල කළමනාකරණය

බිම් සැකැස්මේ දී සලකා බැලිය යුතු වැදගත් ම සාධකය නම් ජල කළමනාකරණය යි. ඉඩමේ ස්වභාවය අනුව ජල කළමනාකරණ සැලැස්ම වෙනස් කර ගත යුතු ය.