අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සියයකට අධික වේගයෙන් ඇදී යන සුඛෝපභෝගී බසයක සුවපහසු අසුනක මම හාන්සි වී සිටිමි. එනමුත් මගේ ගතට දැනෙන්නේ අධික විඩාවකි. හිස පුපුරන්නට එන තරමේ හිසේ රුජාවකින් නැගෙන පීඩාව බලවත් ය. නිවසට පැමිණෙන විට මුළු සිරුර ම ගිනි කබලක් සේ ය. රාත්‍රිය පුරා පැවති උණ සහ හිසරදය කිසිම ඖෂධයකින් යටපත් කළ නො හැකි වීම මා තුළ ඇති කළේ සැකයකි.

පසුදින වෛද්‍ය පරීක්ෂාවෙන් පසු ඉක්මනින් රුධිර වාර්තාවක් ලබා පැමිණෙන ලෙස අප හට දැන්වින. වෛද්‍යවරයා රුධිර වාර්තාව පරීක්‍ෂා කර ඩෙංගු රෝගය බව සනාථ කළේ ය. “මෙයාට ඩෙංගු, හොස්පිට්ල් ඇඞ්මිට් කරන්ඩ වෙනවා…”

“මම මීගමුවට ලියන්නම්…” වෛද්‍යවරයා කොළයක යම් තොරතුරු කිහිපයක් සටහන් කොට එය මා හට ලබාදුන්නේ ය.

රෝහලේ බාහිර රෝගී අංශය රෝගීන්ගෙන් පිරී ගොස් ය. වෛද්‍යවරියක් පෝලිමේ පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙමින් සිටියි. ඇය අසල ම රෝහල් වාට්ටු ආරක්ෂක රාජකාරියක නියැලෙන ස්ත්‍රියක් ද පසුවෙයි. රෝගීන් හසුරුවනු ලබන්නේ ඇය විසිනි. මා වාට්ටුවට ඇතුළත් කිරීම ප්‍රමාද කරමින් ඇය බොහෝ බාධා කළා ය. එහෙත් බලෙන් ම අපගේ සටහන් වෛද්‍යවරිය වෙත ලබා දීමෙන් එම ප්‍රමාදය වැළකිණ.

හෙද තරුණයෙකු රෝද පුටුවක් ගෙනවිත් මා එහි වාඩි කරවී ය. කිසිම දිනක දී රෝහලක නතර වී ප්‍රතිකාර ගෙන නොමැති මා, රෝද පුටුවක ගමන් කරමින් සිටී…

වාට්ටුවලට පිටතින් වැටී ඇති සිමෙන්ති මගක් ඔස්සේ ගැස්සෙමින් පැද්දෙමින් ගමන් කළ එය මීටර් තුන්සියයක පමණ දුරක් ගෙවීමෙන් පසු ඇතුළු වූයේ විශාල ශාලාවක් වැනි ප්‍රදේශයක් වෙතටයි. ‘04 වාට්ටුව’ කියා එහි සඳහන් කර තිබෙනු දක්නට හැකි විය.

පිරිමි උණ රෝගීන් සඳහා වෙන්කර ඇති මෙය විශාල පිරිසක් නැවතී ප්‍රතිකාර ගැනීම සිදු කරන ස්ථානයකි. එම වාට්ටුවේ ඇඳන් සියල්ල ම වාගේ රෝගීන්ගෙන් පිරී ගොස් ය. එක ඇඳක දෙපැත්තට හිස දමා නිදන රෝගීන් දෙදෙනෙකි.

තරමක වේලාවක් රැඳී සිටීමට සිදු වූව ද වාසනාවට මෙන් මා හට ලැබුණේ තනි ඇඳකි. මම එහි වැතිරුණෙමි. මෙහි සිටින සෑම රෝගියෙකු අසල ම පිරිමි උපස්ථායකයෙකු සිටිය යුතු ය.

පසුදින මා සේලයින් යන්ත්‍රයකට සවි කරනු ලැබී ය. ජලය පානය අනුමත ප්‍රමාණයකට සීමා කෙරිනි. පැයක දී පිටවන මුත්‍රා ප්‍රමාණය මිනුම් උපකරණයකින් මැන පොතක සටහන් කළ යුතු ය.

මාගේ සහෝදරයා සියලු කටයුතුවලට උදව් වීමේ සූදානමෙන් ඇඳ අසල පුටුවක වාඩි වී සිටියි.

දිනකට තුන් වරක් හෙදියන් පැමිණ අතේ නහරයක් විද පරීක්‍ෂාව සඳහා රුධිරය ලබා ගැනීම සිදු කරයි. ඒ ඩෙංගු රෝගයේ ප්‍රධානතම අවධානම වන රුධිර පටිටිකා බිඳ වැටෙන ප්‍රමාණය ගණනය කර ගැනීම සඳහායි.

පට්ටිකා ප්‍රමාණය සටහන් වන රුධිර වාර්තා ඉතා ඉක්මනින් ලබා දෙනු ලැබේ. රෝහලට ඇතුළත් කළ දිනට පසු දින සිට ම රුධිර පටිටිකා ප්‍රමාණය වේගයෙන් අඩු වන්නට විය. මෙම වේගවත් අඩු වීම කෙනෙකු බියට පත් කිරීමට සමත් ය. එයට හේතුව පට්ටිකා අඩු වීම සිදුවන්නේ දහස් ගණනින් යුක්ත අගයන්ගෙන් වීම යි.

මා සිටින ඇඳට යාබද ඇඳෙහි වැතිර සිටින රෝගියා ඉතා අපහසුවෙන් බව බැලූ බැල්මට කෙනෙකුට පෙනෙයි. දෑස් විවර කර සිටින්නේ ද කලාතුරකිනි. මම හැරී ඔහු දෙස බැලුවෙමි. දෑස් පියවී ඇත. හුස්මක් නැති ගාණ ය.

මොහොතකින් ඔහු ව සවිකර තිබූ ඉලෙක්ට්‍රෝනික යන්ත්‍රය නද දෙන්නට විය. තිරයේ තරංග රටාවන්හි ද වෙනසක් ඇත. රතු පැහැ බල්බ නිවෙමින් දැල්වෙමින් අනතුර අඟවා සිටියි.

මුලින් ම පැමිණියේ හෙදියන් දෙදෙනෙකි. අනතුරුව වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ඇතුළු කාර්ය මණ්ඩලය ඇඳ වටකර ගත්හ. තරුණ වෛද්‍යවරයෙක් රටාවකට පපුව තෙරපමින් රෝගියා යථා තත්ත්වයට පත්කිරීමට මහත් උත්සාහයක් ගනියි. ඒ අතර ඔක්සිජන් සහ විශාල සිරින්ජවලට පුරවන ලද ඖෂධ කිහිපයක් ද ශරීර ගත කෙරිනි. යන්ත්‍රය දිගට ම කෑ ගසයි. විනාඩි 45ක පමණ කාලයක් උත්සාහ කළ ද සාර්ථකත්වයක් නො වී ය. ඔහුගේ සිරුර නිසල විය. රැගෙන ආ ආයුෂ එපමණකි. සිරුර සුදු රෙදි කඩකින් වැසුණි.

මගේ යාබද ඇඳෙහි නිදා සිටි පළමු රෝගියා මෙලෙස සමුගත්තේ ය. මා සිතන්නට වූයේ මේ භයානක සසර ගමනේ කුමන ස්ථානයක කිනම් උපතක් ඔහු ලබන්නට ඇද්ද? ඔහු ධර්මයේ පිළිසරණක් ලබා සිටියා ද යන්න පිළිබඳවයි. ඔහු පමණක් නොව මා ද මෙලෙසින් මිය යන්නට පුළුවනි. ශ්‍රී සද්ධර්මය ම යි එක ම පිළිසරණ.

අපව බාරව සිටියේ ද තරුණ වෛද්‍යවරයෙකි. ඉතා කාරුණික වූ ඔහු අප ව රෝගයෙන් මුදා ගන්නට බොහෝ අවධානයෙන් පසු විය.

ඩෙංගු රෝගයට සාර්ථක යැයි කියන ආයුර්වේද බෙහෙතක් ඇති බව මම අසා ඇත්තෙමි. මෙහි සිංහල බෙහෙත් වර්ග පානය කිරීම තහනම් ය. එහෙත් එම ඖෂධය ගැනීමට ම මගේ සිත කියයි. තවත් මෙලෙස පසු වුවහොත් මා මියයනු ඇත. මම තීරණයක් ගත්තෙමි. ඒ එම බෙහෙත ගෙන්වා පානය කිරීමට යි.

මාගේ මිතුරෙකුට මේ පිළිබඳ ව පැවසූ විට ඔහු එය ගෙනවිත් දීමට එකපයින් ම එකඟ විය. එය රැගෙන එන තෙක් බලාපොරොත්තුවෙන් පසු වූයෙමි. බෙහෙත පානය කර දිනකින් පමණ නිවස වෙත යාමට හැකි වේ යැයි සිතමින් මම එම විස්මිත ඖෂධය එන තෙක් සිත සැනසුවෙමි.

රුධිර පට්ටිකා ප්‍රමාණය වේගයෙන් අඩු වෙමින් පවතී. එහෙත් සිරුරට එම වෙනස දැනෙන්නේ මඳ වශයෙනි. ආයුර්වේද ඖෂධයෙන් පිළිසරණක් ලැබේ යයි සිතුවෙමි. මිතුරා බොහෝ දුර ගෙවා ගොස් බෙහෙත රැගෙන එන අතරමග සිටී.

ඖෂධය ලැබෙන විට හිරු බැසගොස් තිබිණ. මිතුරාට පින් අනුමෝදන් කළෙමි. නිසි අයුරින් ඖෂධය පානය කළෙමි. ලැබුණු උපදෙස් අකුරට ම ක්‍රියාත්මක කිරීමට හැකි විය.

මී ළඟ රුධිර වර්තාව යහපත් එකක් වනු ඇතැයි අහිංසක බලාපොරොත්තුක් තිබිණ. බලාපොරොත්තු වූ ආකාරයෙන් ම එක්වර ම රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළ ගොස් තිබුණි.

බලාපොරොත්තු ඉටු වීමට වඩා ඒවා කඩවීම ලෝකයේ සාමාන්‍ය දෙයකි. පසුදින වන විට රුධිර වාර්තා පෙන්නුම් කරන්නේ පෙරටත් වඩා අති ශීඝ්‍ර ලෙස රුධිර පට්ටිකා අඩුවන බවකි.

“දැන් ඔයාට කොහොමද? කලන්තෙ ගතියක් එහෙම තියෙනව ද?” මා බාරව සිටින තරුණ වෛද්‍යවරයා පැමිණ වාර්තා පරීක්ෂා කර අවසානයේ මගෙන් විමසා සිටියේ ය.

“නැහැ ඩොක්ටර්.. කලන්තෙ ගතියක් නම් නැහැ.” මම පැවසුවෙමි.

High fever. දැන් ඔයාට බෙහෙත් කරන මටත් කලන්තෙ වගේ…”

වෛද්‍යවරයා මා සමඟ සිනාසෙමින් පැවසී ය. පසුව මා දැනගත් පරිදි රුධිර පට්ටිකා ඉතා විශාල ලෙස අඩුවී තිබූ එම අවස්ථාවේ දී රෝගියා හට ක්ලාන්තය ඇති වීම ස්වභාවික සිදුවීමකි.

මම භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළෙමි. “නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං” බුදුරජාණන් වහන්සේ හැර අන් සරණක් මා හට නැත්තේ ය. ඒ උතුම් සරණින් මා හට යහපතක් ම වේවා!

අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා උතුම් පිරිත් සජ්ඣායනයකින් මා හට සෙත සහනය සලසා දීමේ අරමුණ ඇතිව වැඩම කළේ මෙම අවස්ථාවේ දී ය. සජ්ඣායනය අතරතුර වැසි ඇද හැලෙන්නට විය. එහෙත් මගේ සිරුර දහඩියෙන් තෙත් වී ඇත. පිරිත් ආශීර්වාදයෙන් සිත සැනසී සැහැල්ලුවට පත් විය. බොහෝ පිරිසකට සද්ධර්මය ද ලැබිණ.

“ඔයාගෙ මුහුණත් එක්ක එළිය වෙලා ගියා… උන්වහන්සේලා වැඩිය එක කොයිතරම් හොඳ ද…” යාබද ඇඳේ හාන්සි වී සිටි රෝගියෙක් මා සමඟ පැවසී ය.

ගත වූයේ ස්වල්ප මොහොතකි. තවත් රෝගියෙකුට අසාධ්‍ය ය. යන්ත්‍රය වේගයෙන් නද දෙයි. තරුණ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් ලෙඩාගේ පපුව තෙරපමින් ඔහුගේ පණ නල සුරැකීමට ය මේ වෙහෙසෙන්නේ. සැබැවින් ම ඔවුන්ගේ කැපවීම අගය කළ යුතු ය. “යමෙක් මා හට උපස්ථාන කරන්නේ ද, ඔහු ගිලනුන් හට උපස්ථාන කරන්නේ ය” භාග්‍යවතුන් වහන්සේගේ එම බුදු වදන මා හට සිහිපත් විය. පින්වත් ස්වාමීන් වහන්සේලා ද පැයක් පමණ දුරට ඇදී ගිය එම ජීවිත සටන දෙස බලා සිටියහ. අවසන මරුවා හමුවේ පරාජය බාරගැනීමට සිදූවූයේ මා පැමිණි පසු සිදු වූ හයවෙනි ජීවිත හානිය සිතෙහි සනිටුහන් කරමිනි.

‘එක ලේ මස නහරින් බැඳුණු තදේ… මුළු ජීවිත කාලෙ ම විඳින වදේ.. අවසානෙදි මරුවා සමඟ ඇඳේ…’ සුප්‍රකට ගීතයකින් පැවසුණු ජීවිතයේ යථාර්ථය මට සිහිපත් විය. රෝගී වීම යනු පුද්ගලයෙකුගේ අනවශ්‍ය ආසාවන් බොහෝ විට බින්දුවට වැටෙන අවස්ථාවකි. ජීවිතය මුදා ගැනීමේ අරමුණ ම ය ඉස්මතුව පවතින්නේ.

මා මරණයට බොහෝ ආසන්නව ය දැන් සිටිනුයේ. නින්ද තුළ මා හට සිහිනයක් දර්ශනය විය. එය මෙසේ ය…

ඇඳ මත උඩු අතට දිගා වී සිටි මාගේ සිරුර සෙමෙන් සෙමෙන් ඉහළට නැගිණ. ඇස් උඩු අතට පියවී තිබුණ ද මා වටා ඇති සම්පූර්ණ පරිසරය ම දර්ශනය වීම විශේෂත්වයකි. දැන් මා පාවෙමින් සිටින්නේ ඉතා ඉහළ අහස තුළ ය. මා හට පහළින් භූමිය ඉතා කුඩාවට දර්ශනය වෙයි. මා ඉහළට නැගෙනුයේ දැවැන්ත කඳු ශිඛරයකට සමාන්තරව බව පෙනිණ. එය අඳුරු නිල් පැහැයෙන් දිස්වන සිරිපා කඳු වැටියේ හැඩයට සමාන ය. කඳු ශිඛරය මුදුනට පැමිණියා සේ දැනිණ. දැන් භූමියක් කියා කිසිවක් නො පෙනේ. එහෙත් දැවැන්ත කඳු වැටියේ මුදුන තවමත් මට සමාන්තරව පිහිටා ඇත. පා ගමනින් නම් කිසි දිනෙක මෙවැනි කන්දක් තරණය කළ නො හැකි ය. සිරුර උඩු අතට පාවෙමින් තිබේ. ඉතා ඉහළ ආකාසයෙන් එක් වර ම සුදු පැහැති තරුවක් සේ ආලෝකයක් දිස් වන්නට විය. ප්‍රභාෂ්වර භාවනා නිමිති ආලෝකයට සමාන එය දුටු පමණින් සිත අමන්දානන්දයට පත් විය. සිත ආලෝකය තුළ ම එකඟ විය. එහි කාන්තිය වචනයෙන් විස්තර කළ නො හැකි තරම් සුදු පැහැයකි. දියමන්තියකින් එන පිරිසිදු සුදු ආලෝකයට එය සමාන කළ හැකි ය. සිරුරට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවකි. රෝගයක් නොමැති වුව ද සිරුරක් තුළ සිරවී සිටීම ම කෙතරම් වේදනාවක්දැයි සිතුණි. සිරුර පුරා ප්‍රීතිය සැහැල්ලුව පැතිර යන්නට විය. මා එම ආලෝකය වෙත කෙමෙන් ඇදී යන්නට විය. පොළොවට ඇති සියලු සම්බන්ධතා බිඳී ගියා සේ දැනිණ. මා සිටින්නේ මනා සිහියෙනි. සිත ආලෝකය වෙත ම එකඟ විය.

“අයියේ.. අයියේ… නැගිටින්ඩ, නර්ස්ලා එනවා ලේ අරගන්ඩ.” ඒ මා හට උපස්ථාන කරමින් සිටි සහෝදරයාගේ කටහඬයි. ඔහු මගේ ඇඟට අත තබා මා සොලවයි. මම සිහිනයෙන් මිදුණෙමි.

“අපරාදෙ ලස්සන හීනයක් දකිමින් හිටියෙ…”

අවදි වූව ද සිරුර පුරා පැතිර යන්නේ පුදුමාකාර සුවයකි. මා තිර ලෙස ම සුවපත් වන බව සිතට දැනෙන්නේ කෙලෙසදැයි මම නොදනිමි. ඒ පිළිබඳ ව තිර විශ්වාසයක් මේ පුදුමාකාර සිහිනයෙන් පසු ලැබිණ.

රුධිර පට්ටිකා තව තවත් වේගයෙන් පහළට වැටිණ. මුත්‍රා පිටවීම ද අඩු විය. එවිට මුත්‍රා බට යෙදීමට සිදුවන බව අප හට දැනගන්නට ලැබිණ. නිරයට ගමන් කිරීමට සිදුවනවාක් වැනි බියක් මගේ සිතට ඇති විය. එහෙත් දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට පෙර එය අනිවාර්ය ය. එම වේදනාබර අත්දැකීමට ද මුහුණ දුන්නෙමි. මෙවන් වේදනාවන්ට මුහුණ දීමට සිදු වේ යැයි කිසිදිනක නොසිතුවෙමි. ඉදිරියට විඳීමට කුමන අකුසල් විපාක ඇති ද? භාග්‍යවතුන් වහන්සේ අපට නිදහස් වන්නට යැයි කීවේ මෙවැනි බියකරු සසර ගමනකින් නො වේ ද? මා පමා වූවා සේ ය… දැඩි සත්කාර ඒකකයේ දී මා මිය ගියහොත් ඒ සියල්ල අහිමි වෙයි. එහෙත් මා සුවපත් වන බව සිත නුඹ තිරව පවසන්නේ කිම ද? මාරයා සමඟ අසවල් කාලයේ හෝ දිනයේ දී මා මිය යා යුතුයි කියා ගිවිසුමක් අත්සන් කර නැහැ නොවැ.

බොහෝ විට බොහෝ අයට සිතෙන්නේ ‘මම නම් ගොඩක් පින් කරපු කෙනෙක්. මට ඒ විදිහෙ මරණයක් නම් ලැබෙන්නෙ නැහැ’ කියා ය. පෙර කුසල් විපාක වගේ ම අකුසල් විපාකත් කොයි මොහොතේ ඵල දේවි ද කියා කවුද දන්නේ?

ඇඳක හාන්සි කර මා දැඩිසත්කාර ඒකකයට රැගෙන යමින් තිබේ. මා හට පිටුපසින් තවත් රෝගී තරුණයෙකි. මෙය දකුණු ආසියාවේ තිබෙන හොඳ ම ඩෙංගු ඒකකය බව එහි සිටි අයෙක් කියනු ඇසිණ.

මහමෙව්නාවේ පිරිත් සජ්ඣායනය රැව් පිළිරැව්දෙමින් මෙහි වැඩකටයුතු ආරම්භ වෙයි. සියලු ම රෝගීන් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රවලට සවිකර තිබේ. එම යන්ත්‍රවලින් ස්වයංක්‍රීය ව හෘද ස්පන්දනය, රුධිර පීඩනය ආදී බොහෝ දත්ත පරීක්ෂාවට ලක් කෙරේ. යම් අහිතකර තත්ත්වයක් පවතින්නේ නම් යන්ත්‍රයෙන් ක්ෂණික ව අනතුරු සංඥාවන් හඬවන්නට පටන් ගනී.

මෙහි දී දුටු හද පාරවන දසුන නම් ඩෙංගු රෝගය වැළඳුණු ඉතා කුඩා දරුවන් විඳින වේදනාව යි. කිසිවක් නොතේරෙන වයසේ දරුවන් කටු ගසමින් රුධිරය ගන්නා විට ද බෙහෙත් වර්ග එන්නත් කිරීමේ දී ද විඳින වේදනාව අපමණ ය. රෝගී වීම නම් වූ දුක මෙය යි.

මෙම විශේෂ සත්කාර ඒකකයේ දී කිසිවෙකු මරණයට පත් නොවීම නම් වාසනාවකි. දින කිහිපයකින් මා හට සුවය ලැබිණ. සිහිනයෙන් සිතට දැනුණ ලෙස එය එසේ ම සිදු විය. අප මරණ මුඛයට ම ගොස් නැවත පැමිණියා වැනි ය.

ජීවිතය ධර්මයෙන් බැහැර වීමට උත්සාහ ගන්නා ඕනෑම මොහොතක මම මෙම රෝගී වීමේ දුක් සම්භාරය මෙනෙහි කරමි. තරුණ අශ්වයාට ලැබෙන කස පහරක් මෙන් එය සිහිය ඉපදවීමට සමත් ය. ලිපියේ හරය ද එය ම වෙයි.
ධර්මාවබෝධය නොකර මරණයට පත් වීමට සිදු වුවහොත් දුගතියක පවා ඉපදීමට ඇති ඉඩකඩ විශාල ය. භික්ෂූන් වහන්සේනමක් රාජ දඬුවමක් ලෙස කොහොඹ හුල මත ඉන්දවා සිටිය දී දැනෙන වේදනාව තුළින් වේදනානුපස්සනාව වඩා උතුම් අරහත්වයට පත් වී ය. නැවත කිසි කලෙකත් එවන් රුදුරු වේදනා උන්වහන්සේට උරුම නැත.

අපිදු රෝග පීඩාවන්හි දී පවා දැනෙන්නා වූ දරා ගැන්මට අපහසු දැඩි වේදනාවන් පවා ධර්මය ඇසුරෙන් දකිමින් සිත නිවා ගැනීමට උත්සාහවත් වෙමු. සියලු සත්වයෝ කාය චිත්ත පීඩාවන්ගෙන් මිදී උතුම් නිවනට පත් වේවා!

සටහන – සුමේධ මද්දුමආරච්චි