“ඉතින් කොහොම ද මේ දවස්වල?”

“වරදක් නෑ. මොකද රට තොටේ වෙන්නේ?”

මේ මග තොටේ දී මුණගැහුණ අය හා කතා බහේ දී අපට සුලබ ව ඇසෙන වදන් පෙළකි. අතිශයින් දුර්ලභ වූ ථේරවාදි බුදු දහම තවමත් නො නැසී පවතින, දුලබ ක්ෂණ සම්පත්තිය උරුම අප ලක් දෙරණෙහි මෙවන් වදන් ඇසෙන්නේ මන්ද? මට හැඟෙනා ආකාරයට නම් ඊට හේතුව, ඒ අරහත් වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදු පියාණන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කිරීමට කිසිදු උත්සාහයකින් තොරව හුදු ඇදහිල්ලකට පමණක් සීමා කරගෙන මේ උතුම් දහමෙන් පවා භෞතික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට ගන්නා නිරර්ථක උත්සාහය මෙයට හේතුවයි.

මා අසා ඇති ආකාරයට අතීතයේ දී මේ අයුරින් දෙදෙනෙකු මග තොටේ දී මුණගැසුණ විට එකිනෙකාගෙන් විමසන්නේ මෙවැනි වටපිට තොරතුරු නො වේ. ඔවුන්ගේ විමසීම මේ දවස් වල වඩනා භාවනා කර්මස්ථානය කුමක් ද? යන්න පිළිබඳව යි. ඉතින් එසේ හමු වන දෙදෙනෙකුගේ කතාබහ කොයිතරම් ප්‍රයෝජනවත්, දෙතිස් කතාවෙන් තොර වූ, දස කතාවෙන් ම යුක්ත වූ ප්‍රඥා ගෝචර එකක් වනු ඇති ද?

ඒ අපේ ආදී මුතුන් මිත්තන් ය. ඔවුන් අප මෙන් විද්‍යා, ගණිත, තර්ක ශාස්ත්‍ර ආදි විෂයන් පරතෙරට හදාරා නොමැත. උපාධිධාරීන් ද නො වේ. එනමුදු ජීවිත විෂය තුළ බුදු දහමේ අවබෝධය ලබා ගැනීමටත්, ප්‍රඥා ඇස පාදා ගැනීමටත්, දුර්ලභ වූ ක්ෂණ සම්පත්තියෙන් ඵල නෙළා ගැනීමටත් ධෛර්යය වැඩූ මිනිසුන් ය ඒ. අද අපේ මිනිසාට සිතා ගැනීමටවත් නො හැකි වූ විස්මිත වාරි තාක්ෂණයක්, කැටයම් කලාවක්, වෛද්‍ය විද්‍යාවක්, චිත්‍ර කලාවක් පැවතියේ බුදු දහමින් ඔදවත්, තෙදවත් ප්‍රෞඩ ප්‍රඥා සම්පන්න අතීත සිංහල බෞද්ධයා තුළ ය. අප ද පැවත එන්නේ ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ පරපුරෙන් බව කිසිවිටකත්, කිසි ලෙසකත් අමතක නො කළ යුතු ය.

ඔබට සිතෙනවා ඇති මා අතීතය වත්මන හා සසඳන, නූතනයේ ජීවත් වන හණමිටිකාරයෙකු හැටියට. එසේ නො සිතන්න. අපට උරුම වූ ප්‍රෞඩ අතීතය අමතක කොට, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් කී පරිද්දෙන් බටහිරයාගේ තරඟකාරී සංස්කෘතිය සිංහල බෞද්ධ රුධිරයට එන්නත් කර ගැනීමේ අහිතකර ප්‍රතිවිපාක දැන් දසත ඔබේ සවනත වැකෙනු ඇත. අහස පොළොව නුහුලනා අපරාධ රැසක් සෑම දිනයක ම ප්‍රවෘත්ති පත්‍රවල පළ වන්නේ මේ උත්තම මාතෘ භුමියේ කල දවස ගැන දැඩි පසුතැවිල්ලක් ඉතිරි කරමිනි.

කාර්මික විප්ලවයත්, විශ්ව ගම්මානයත් තුළ අපි අපේකම ලෝකයට විකුණා ලෝකයෙන් ණයට කන, ඉතිහාසය අමතක, පරාධීන ජාතියක් බවට පත් වෙමින් ඇත. දැන් අපේ පෙරදිග ධාන්‍යාගාරය පුරවන්නේ පිටරටින් ආනයනය කරනා සහල් මලුවලිනි. විජාතිකයන් අපේ රටේ වැවෙන බෙහෙත් පැළෑටි පිටරට පටවා රසායනාගාර තුළ පරීක්ෂණ පවත්වා නව ඖෂධ වර්ග තනා නැවතත් අපේ මිනිසුන්ට ම ඒ ඖෂධ අධික මිල ගණන්වලට විකුණයි. බුද්ධදාස වෙද නිරිඳාණන්ගෙන් පැවත එන අපේ පෞරාණික සිංහල වෙදකම රැක ගැනුමට කිසිවෙකුටවත් අවංක වුවමනාවක් ඇතැයි නො හැඟේ.

වෙන එකක් තබා අපේ ඉතිහාසය අද පාසල් පෙළ පොත්වල අනාථ වූ විෂයක් බවට පත් වී ඇත. එනම් ඉතිහාසය විෂය අතිරේක විෂයක් වී ඇති අතර එය සමාජ අධ්‍යයනය නම් පුළුල් විෂය ධාරාවක් තුළ පරිච්ඡේද කිහිපයක් පමණක් බවට සීමා වී ඇති බව කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුව ඇත.

අපේ මිනිසුන් හසු වූ තවත් බරපතළ ම උගුලකි මත්පැන් හා දුම්වැටි උවදුර. මෙය ද බටහිරයා අපේ මිනිසුන්ගේ අදීන චින්තන ශක්තිය, කායික ශක්තිය අඩපණ කිරීමට ඇටවූ මර උගුලකි. බටහිරයා සීතල අඩු කර සිරුර උණුසුම් කර ගැනීමට යයි කියා පානය කරන මත් වතුර හා දුම්වැටි ඉතා සෞම්‍ය දේශගුණයකට උරුමකම් කියන අපේ රටේ බාල, තරුණ, මහලු වියේ පසු වන පිරිස් ගිනි ගහන මද්දහනේ රත් වූ සිරුරු ගිනිබත් කර ගැනීමට මෙන් හන්දි ගාණේ තැබෑරුම්වල හිඳ බොහොම උජාරුවෙන් පානය කර බොහෝ ලෙඩ රෝගවලට උරුමකම් කියති. මෙසේ මත් වතුරට හා දුම්වැටියට ජීවිතය පුදන අයගෙන් බොහොමයක් සිංහල බෞද්ධ ලෙස කියවෙන්නන් වීම අතිශයින් ම දරුණු ඛේදවාචකයකි. මතට ලොල් වූ අපේ මිනිසුන් උදෑසන ගෙදරින් එළියට බසින්නේ ඉතා ම ආදරණීය සහෝදරයෙකු, ස්වාමි පුරුෂයෙකු, පියෙකු හෝ සීයා කෙනෙකු ලෙසිනි. නමුදු සවසට ඔහු යළි නිවස බලා පිය මනින්නේ ඉතා ම නිවට, නියාලු තිරිසන් සතෙකුටත් නො රිසි වූ නිර්ලජ්ජිත හැසිරීමක් සහිත සිහි මුළා වූ කෙනෙකු පරිද්දෙනි. ඉතින් එවන් මිනිසෙකු තම පවුලේ සාමාජිකයෙකු වූ විට එම පවුලේ සාමයක්, සමඟියක් හෝ දියුණුවක් ඇති වේ යයි ඔබ සිතන්නේ ද? එවන් මිනිසුන් වෙසෙන රටක කිසියම් අධ්‍යාත්මික හෝ භෞතික දියුණුවක් පැතිය හැකි වේ ද?

අපේ තරුණ පරපුර ද නව යොවුන් වියේ පසු වන පරම්පරාව ද දැන් දැන් අතරමං වී විවිධාකාර නව රැලි ඔස්සේ ගසාගෙන යන බවක් විමසුම් ඇසෙන් බලනා කල පෙනී යයි. සිදුහත් කුමර චරිතය හෝ ජාතක කතාවල එන උදාර ධෛර්යවන්ත තරුණ චරිත හෝ අද අපේ තරුණයන්ගේ ජීවිතවල වීර චරිත නො වේ. ඔවුන් අදහන්නේ බොබ් මාලේ වැන්නෙකි, නැති නම් පාපන්දු ක්‍රීඩකයෙකි, ක්‍රිකට් ක්‍රීඩකයෙකි, එසේත් නොමැති නම් නළුවෙකි, නිළියකි, ගායකයෙක් හෝ ගායිකාවකි. සිංහලකමක්, බෞද්ධ හැදියාවක් අහලකවත් නොමැති, කාම ලෝකයේ අතරමං කරවන අශෝබන, දුස්සීල විලාසිතා පිරි ළඳ බොළඳ සිහින පාරාදීසයක් තුළ තරුණ පරපුර ඔහේ ගසාගෙන යයි. මේ ව්‍යසනය දකිනා ඔවුන්ගේ මාපියන් ද ඇස් කන් නොමැතියන් පරිද්දෙන් හැසිරෙන ආකාරය ඉතා පුදුම සහගත ය. ඇතැම් විට මාපියන්ගේ ආදර්ශවත් නොවන දිවි පැවැත්ම ද තරුණ පරපුර නොමඟට වැටීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙනී යයි.

මේ කවර ආකාරයකින් පැවසුව ද අපි සැවොම එක්ව මේ පිය නගන්නේ දැන දැන ම ඉතා භයානක විනාශකාරී අවධියකටයි. හෙළදිව වැසියනේ! දැන්වත් ඔය භයානක තරඟයෙන් මඳක් ඉවතට විත් හොඳින් දෙනෙත් හැර නිහඬ ව විවේකී ව අප අවට ලෝකය දෙසත්, ලක් අම්මාගේ අනාගත ඉරණම දෙසත් ළෙන්ගතුව සිතන්න. රුදුරු ත්‍රස්තයන්ගෙන් මුදා ගත් මේ හෙළදිව පැවති උතුම් වටිනාකම්, මනුස්ස ගුණ දම් රැක ගැනීමට ඔබට මට කළ හැක්කේ කුමක් ද? අවංක ව මොහොතක් සිතා බලන්න.

අපේකම බටහිරට විකිණුවා ඇති දැන්. බටහිරයා අපේ කර මත පටවන සෑම කහළ ගොඩක් ම හිස් මුදුනින් ම පිළිගත්තා ඇති දැන්. උතුම් බුදු දහමෙහි අවබෝධය තුළින්, බටහිරයාගේ භෞතික දියුණුවට වඩා හෙළයන් ආධ්‍යාත්මික හා මානසික දියුණුව තුළ ඉතා ඉහළින් වැජඹෙන බව ලෝකයට ම හඬ ගා කියමු. බුදු සිරිත, ජාතක පොත් වහන්සේගෙන් හා උතුම් සංඝයා වහන්සේලාගෙන් ලබා ගන්නා ආදර්ශවලින් ජීවිතය හැඩ ගසා ගනිමු නිරතුරුව ම. කෘත්‍රිම රසායනික පොහොර, කෘමිනාශක හෝ වල් නාශක භාවිත නො කොට ස්වභාවික ලෙස අපේ මව් පොළොව අස්වද්දා සශ්‍රීක බිමක් කිරීමට උර දෙමු හැකි උපරිම වෙර යොදා. මත් වතුරෙන් හා දුම්වැටියෙන් සිහියත්, කායික ශක්තියත් දුබල කර නො ගෙන, මාතෘ භුමියේ යළි නැගී සිටීම වෙනුවෙන් මානසික හා කායික ශ්‍රමය වගුරමු එක්ව මේ රන් දෙරණ මත අභිමානයෙන්.

අපි දැන උගත් අපේකම, බුදු දහමෙන් ලත් හැදියාව හැකි සෑම විට ම අපේ අනාගත පරපුරට උරුම කර දීමට උර දෙමු. දියුණුව කරා පිය මනින අපේ මිනිසාට ඊර්ෂ්‍යා සහගත සිතින් නොව සහෝදරාත්මක ව මුදිතාවෙන් අත හිත දෙමු. වැටි වැටි නැගිටින මිනිසුන්ට හැම විට අපි සවි දෙමු. ජාතියත්, ආගමත් රැක ගැනීම වෙනුවෙන් දිවි පුදන වීරවරයින් බිහි වන තෙක් බලා නොම හිඳ අපි වෙනුවෙන් අපි ඒ සඳහා මුලසුන ගනිමු එක්සත් ව, එක්සිත් ව!

තෙරුවන් සරණයි!

සටහන – සමීර ජයසේකර