2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අරුත්බරව සමරණු වස් සිදු කෙරුණු සුවිශේෂී සම්බුද්ධ වන්දනා ම ය පූජෝපහාරයන් අතුරෙන් මහානීය ස්ථානයක් හිමි කර ගත් අද්විතීය ශ්‍රී සම්බුද්ධ පූජාව වනාහී බුද්ධ වර්ෂ 2556 වැන්නේ ඇසළ මාසයේ දී ගෞතම සම්මා සම්බුදු සසුනට පිදුම් වන්නට යෙදුන ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව’ යි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අති පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය සංකල්පයක් අනුව පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු භූමියේ ඉදි කෙරුණු සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව ගෞතම සම්බුදු සසුනේ සිත පහදවා ගත් දෙවි මිනිසුන්ගේ ශ‍්‍රද්ධා භක්තිය කෙතරම් නම් ආශ්චර්යවත් ද යන්න පසක් කර දෙයි. සම්බුදු ගුණ අසා සිත පහදවා ගත් පුණ්‍යවන්තයන්ගේ නො මඳ උපකාරයෙන් නිමැවූ මේ සුන්දර සම්බුද්ධ මාළිගයේ ඉහළ මාලයේ සුගන්ධ සඳුන් දැවයෙන් නිමවූ මනරම් කැටයම් සහිත සුගන්ධ කුටියේ වඩා හිඳුවා ඇති ස්වර්ණමය කරඬු වහන්සේ තුළ, උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ද සියලූ ආශ‍්‍රවයන් ක්ෂය කොට නිකෙලෙස් බවට පත් වූ මහ රහතන් වහන්සේලාගේ සහ මහ රහත් මෙහෙණින් වහන්සේලාගේ උතුම් ශාරීරික ධාතූන් වහන්සේලා බොහෝ ප‍්‍රමාණයක් සුවසේ වැඩ සිටින්නේ ය.

මහ රහත් මුනිවරුන් පිරිවරා තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ සිටින්නා වූ මේ මනරම් සුගන්ධ කුටිය පසුගිය 15 වැනිදා සිට 22 වන දා දක්වා දින අටක් මුළුල්ලේ සැදැහැතියන් හට දැක බලා සතුටු සිතින් වන්දනාමාන කර ගැනීම පිණිස විවර කර තැබිණි. ඒ අනුව දහස් ගණනක් වූ පින්වත් ස්වාමීන් වහන්සේලා ද අනගාරික මෙහෙණින් වහන්සේලා ද ලක්ෂ සංඛ්‍යාත වූ උපාසක උපාසිකාවන් ද සැදැහැ සිතින් යුතුව මේ දුර්ලභ බුදු පුද පිණිස පැමිණියෝ ය. බුදුගුණ සජ්ඣායනා කරමින්, සුවඳැති මල් අතින් ගෙන සුගන්ධ කුටිය කරා පිය නැඟූ ඔවුහු ඒ සධාතුක කරඬු වහන්සේ අපමණ බුදු බැතියෙන් පුද දුන්නෝ ය. එයින් දෙලොවට ම සෙත සලසන්නා වූ, මහත් ආනිසංස සහිත වූ පුණ්‍ය සම්පත්ති රැස් කර ගත්හ.

බැති සිතින් බුදු පුදට වැඩම කරවා ශ්‍රී සම්බුද්ධරාජ මාළිගාවේ වන්දනා කටයුතු සාර්ථක කර ගැනීමට ආශීර්වාද ගෙන දුන් මහා යතිවරයාණන් වහන්සේලා බොහොමයකි.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2556 ඇසළ මස 15 දින සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ උඩු මහලෙහි සුපිහිටි සුගන්ධ කුටිය නෙත් පුරා දැකබලා සිත්පුරා වන්දනා කරන්නට අවකාශ සලසාදෙමින් අසිරිමත් සුගන්ධ කුටිය මහජනතාවගේ වන්දනා පිණිස විවර කෙරුණේ අමරපුර සංඝ සභාවේ සභාපති ධුරන්දර ශ‍්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක තැන්පත් අතිපූජනීය දොඩම්පහල සිරි චන්දසිරි මහානායක ස්වාමිපාදයාණන් වහන්සේගේ පින්බර සුරතිනි.

ශ‍්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක ධුරන්දර, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක, සේරුවිල මංගල රජමහා විහාරාධිපති, අති පූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අලව්ව – දකුණ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී බඹරගල පුරාණ විහාරස්ථානය හා ඉහළ වලකුඹුර විහාරස්ථානයේ උභය විහාරාධිපති අතිපූජ්‍ය මාකෙහෙල්වල විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අතිපූජ්‍ය පහළ වලකුඹුර ශ‍්‍රී සුදර්ශනාරාමාධිපති වෙලගම ඉන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේ, විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කඳයාය පුරාණ පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී සියඹලංගමුවේ ජිනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ බඹරගල පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය වාද්දුවේ සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ එදින වන්දනා කටයුතු සඳහා වැඩම කළහ.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2556 ඇසළ මස 16 දින ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ හිටපු සභාපති, අමරපුර නිකායේ ශ‍්‍රී සුමංගල කාරක සංඝ සභාවේ අනුනායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්ය පැපිලියාන සුනේත‍්‍රාදේවි පිරිවෙන් විද්‍යායතනාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුගන්ධ කුටිය වන්දනා කර ගැනීමට වැඩම කළහ.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2556 ඇසළ මස 17 දින ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරන්ධර සිරිසීලවංස වංසාලංකාර ත‍්‍රිපිටක වාගීශ්වර අග්ගමහාපණ්ඩිත රාජකීය පණ්ඩිත විනයාචාර්ය ත‍්‍රිපිටකධර්ම චක‍්‍රවර්ති අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නැගෙනහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය කළුතර සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානයේ විහාරාධිකාරී අතිපූජ්‍ය මහසෙන්ගම පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අස්සැද්දුම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය එලවිටිගම සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟින් අමාවැස්ස නිර්මාතෘ රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ පුණ්‍ය භූමියට වැඩම කොට වදාළහ.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2556 ඇසළ මස 18 දින පොල්පිතිමූකලාන අශෝකාරාමාධිපති අධිකරණ සංඝනායක ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය උතුරුමාගල නන්දසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රාගම නැලිගම සංඝමිත්තා මහ විද්‍යාලයේ හිටපු විදුහල්පති ශාස්ත‍්‍රපති පොල්පිටිමූකලාන අශෝකාරාම විහාරවාසී අතිපූජ්‍ය බෙලිගස්වේල්ලේ විජිතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ සිරි විමලසිරි ඉංග‍්‍රීසි දහම්පාසලේ ප‍්‍රධානාචාර්ය පූජනීය පොල්පිතිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ මේ දුර්ලභ පුණ්‍ය මහෝත්සවයට වැඩමවා වදාළහ.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2556 ඇසළ මස 19 දින සිරිසද්ධම්මකීර්ති පරියාප්තිසෝභන පඤ්ඤාරංසිවංසාලංකාර පොළොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රධාන සංඝනායක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ඉසිපතන විහාරාධිපති සිරිවිජයබා පිරිවෙන් අධ්‍යක්ෂක ශාස්ත‍්‍රවේදී අතිපූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ මේ සඳහා වැඩම කොට වදාළ සේක.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2556 ඇසළ මස 20 ශ්‍රී ලංකා ස්වෙජින් නිකායේ මහානායක ධූරන්ධර, කඳුබොඩ භාවනා මධස්ථානාධිපති විනයාචාර්ය කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති හා බෞද්ධ ග‍්‍රන්ථ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සහ නිර්මාතෘ බොදුබලසේනා සංවිධානයේ ගරු සභාපති අතිපූජ්‍ය කිරම විමලජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාන්ති පදනමේ අනුශාසක අතිපූජ්‍ය කොටපොළ අමරකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ මහඟු පින්කමට සහභාගී වී ආශීර්වාද සැලසූහ.

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2556 ඇසළ මස 21 දින සියම් නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ වයඹ මහ දිසාවේ ප‍්‍රධාන සංඝනායක ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය මුගුන්වටවන සිරිසිද්ධත්ථාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මැදගම්පොල පුරාණ රජමහා විහාරාධිපති දඹදෙණි හත්පත්තුවේ ද්විතීය සංඝනායක අභිධම්මික අතිපූජ්‍ය මොරපේ විමලබුද්ධි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නුගවෙල ශ‍්‍රී සෝණුත්තර මහා පිරිවෙනේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය අලව්ව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී රාජකීයපණ්ඩිත ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය කෝන්වැවේ සිරිසුමන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ කොළඹගම ශී‍්‍ර රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ගල්ලැහැපිටියේ පේමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ අවස්ථාවට වැඩමවා වදාළහ.

විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා, දඹදෙණිය ආසනයේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත සේනා පදනමේ සභාපති තැන්පත් ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා, සබරගමු පළාත් මහ ඇමති ගරු මහීපාල හේරත් මැතිතුමා, සබරගමු පළාත් සභා අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගරු කරු ජයසූරිය මැතිතුමා, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දිසාපති එච්.එන්.පී. හිටිසේකර මැතිතුමා, අලව්ව ප‍්‍රාදේශීය සභාවේ ගරු සභාපති සන්ධ්‍යා කුමාර මැතිතුමා, අලව්ව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී ගරු චමින්ද වර්ණසූරිය මැතිතුමා ඇතුලූ තවත් මැති ඇමති වරුන් ද, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මැතිණිය, ප‍්‍රාදේශීය ලේකම් ජයවර්ධන එස් පතිරාජ මහතා ඇතුලූ සම්භාවනීය රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලූ බොහෝ ගිහි පින්වතුන් ද මේ කාලය මුළුල්ලේ සුගන්ධ කුටියේ වන්දනාමානයන්ට එක්වූහ.

මේ සෑම දිනයක දී ම ඉතා සුන්දර වූ මල්කම්වලින් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ සුගන්ධ කුටිය හා ප‍්‍රතිමා වහන්සේලා ද අසපු පරිශ‍්‍රය ද සරසා තිබුණේ දුටු දුටුවන්ගේ සිත් පැහැදෙන ආකාරයෙනි.

සෑම දිනයක ම වන්දනාමාන පිණිස පැමිණෙන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපිරීම පිණිස ‘මහමෙව්නාව සුවසේවා සංවිධානය’ මගින් වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහභාගීත්වයෙන්, ගිලන් රථ පහසුකම් ද ඇතුළුව සෞඛ්‍ය සේවා පහසුකම් සපයා තිබෙනු දක්නට ලැබිණි.

එමෙන් ම පැමිණෙන සියලූ පින්වතුන්ට භාග්‍යවතුන් වහන්සේ පිදුමට මල් සපයමින් දින 08 පුරාවට ම මල් දන්සැල් ක‍්‍රියාත්මකව පැවති අතර සැදැහැවත් පින්වතුන් උදෙසා ක‍්‍රියාත්මක වූ ගිලන්පස හා ආහාර පාන දන්සැල් නිරන්තරයෙන් පැවැත්විණි.

මාර්ගයේ පෝළිම්වල සිටින්නා වූ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පවස සංසිඳුවණු පිණිස මාර්ගයේ තැනින් තැන පැන් ලබාගැනීම පිණිස ජල ටැංකි ස්ථානගත කර, එමෙන් ම මාර්ගයේ ස්ථාන කිහිපයක ම රථවාහන නවතා තැබීමේ පහසුකම් සූදානම් කරවා තිබුණි. පොලීසියේ සහ ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව පිරිස් හැසිරවීමේ කටයුතු ද සංවිධානය කර තිබුණු අතර කිසිදු අපහසුතාවයකින් තොරව සුවසේ වන්දනාමාන කිරීම පිණිස සියලූ පියවර ගෙන තිබුණේ ප‍්‍රශංසනීය ආකාරයෙනි.

එනිසාවෙන් ම මේ දින ගණනාව මුළුල්ලේ ගිහි පැවිදි බොහෝ දෙනා සුවසේ අපමණ පින් දහම් රැස් කර ගත්හ. මේ දුර්ලභ පුණ්‍ය ධර්මයන් සැදැහැ සිතින් අනුමෝදන් වූවෝ තම තමන්ගේ ජීවිතවලට අපමණ යහපතක් ම සලසා ගත්හ.

ගෞතම සම්බුදු සසුනේ මේ දුර්ලභ, මහානීය පුණ්‍ය කර්මය මනාව සංවිධානය කළ සියල්ලන්ට ද ඒ වෙනුවෙන් ඇප උපකාර කළ සියල්ලන්ට ද දැක බලා සතුටු වූ සියල්ලන්ට ද අප‍්‍රමාණව පුණ්‍යානුමෝදනා වේවා!

නමෝ බුද්ධාය!