පින්වතුනේ, පින්වත් දරුවනේ,
මේ ධර්මයෙන් අපි ඉස්සෙල්ලාම ගන්න ඕන දේ තමයි පැහැදීම. පැහැදීම නැතිවීමේ අර්බුද තමයි හැම තැනම තියෙන්නේ. පැහැදීම ඇතිවෙන්න නම්, බුද්ධ දේශනාවේ තියෙන පරිපූර්ණත්වය දකින්න නම්, ඒ දේශනාව සම්පූර්ණයෙන්ම අපි දැනගන්න ඕන. මං කියන්නම් ඒකට හොඳ උදාහරණයක්.

සුභ කියල තරුණයෙක් ආනන්ද ස්වාමීන් වහන්සේට තමන්ගේ නිවසට වඩින්න කියල කිව්වා. (බුදුරජාණන් වහන්සේ එතකොට පිරිනිවන් පාලා.) ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩියා. එයා අහනවා, ‘‘ස්වාමීනී, ආනන්දයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්දෙද්දී නිතර නිතර මේ සමාජයට ප‍්‍රකාශ කළේ මොකක්ද?” කියලා.

ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළා, ‘‘පින්වත, අපගේ ශාස්තෘන් වහන්සේ වැඩසිටිද්දී නිතර නිතර කියල දුන්නා ආර්ය සීලය ගැන, ආර්ය සමාධිය ගැන, ආර්ය ප‍්‍රඥාව ගැන.”

‘‘අනේ! ස්වාමීනී, මට කියනවද ඒක?” කියල ඇහුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ලස්සනට සීල ස්කන්ධය විස්තර කළා. සමාධි ස්කන්ධය විස්තර කළා. අභිඥා, අරහත්වය, ආසවක්ඛය ඤාණය දක්වා විස්තර කළා. මේක විස්තර කළේ සුභ කියන ගිහි ජීවිතය ගත කරන තරුණයාට. එතකොට එයාට සම්පූර්ණ බුද්ධ දේශනාවම අහන්න ලැබුණා. මුල, මැද, අග පිරිසිදු, අර්ථ සහිත, පැහැදිලි වචනවලින් යුතු නිවන් මඟ අහන්න ලැබුණා. අන්න හිත පැහැදුණා.

අපේ බොහෝ අයට හිත පහදින්නෙ නැති වෙන්න හේතුව තමයි සම්පූර්ණයෙන්ම මුල, මැද, අග පිරිසිදු, අර්ථ සහිත, ව්‍යංජන සහිත, සර්වාකාරයෙන්ම පිරිසිදු නිවන් මග අහන්න ලැබෙන්නෙ නැතිකම. ඒකට ඉස්සෙල්ලා සැකය එනවා. ‘ ඕක කොහොම කරන්නද?’ කියල අහනවා.

ඔය විදිහට සැකය එනවා මිසක් ‘අනේ මෙහෙම ධර්මයක්නෙ තියෙන්නේ. මෙහෙම ප‍්‍රතිඵල ලබල තියෙනවනෙ මේ ධර්මයෙන්’ කියලා (තමුන්ට කරගන්න බැරිවුණත් කමක් නෑ. අනුන් කරගත්ත එකක් ගැනනෙ මේ කියන්නේ. රහතන් වහන්සේලා ධර්මය අවබෝධ කරගත්තා මේක අනුගමනය කරලා) මේක දිහා බලලා හිත පහදවා ගන්නත් වාසනාව ඕන.

එහෙම නම් අපි මතක තියාගන්න ඕන මේ ධර්මයෙන් ඉස්සෙල්ලාම කරගන්න ඕන මොකක්ද? සිත පහදවා ගන්න ඕන.

දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට කියන්න තිබුණනේ ‘‘පින්වත, මට මෙහෙම අවබෝධ වුණා. මට මෙහෙම අවබෝධ වුණා” කියල තමන්ගේ එකක් කියවගෙන යන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ මොකක්ද කිව්වේ?

‘‘බුදුරජාණන් වහන්සේ නිතර නිතර ආර්ය සීලය දේශනා කළා….” කියලා හරි ලස්සනට ඒවා විස්තර කරනවා. එතකොට අර සුභට අහන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙනම් හොඳට මතක තියාගන්න. හිත පහදින්න නම් අර අහන කාරණේ තේරෙන්න ඕන. තේරුණේ නැත්නම් බැහැ.

ඒ නිසා අපට මේ සූත‍්‍ර ධර්මයන් ශ‍්‍රවණය කිරීමේදී සිහිය තිබීම ගොඩක් උපකාර වෙනවා. හිත පහදින්න නම් සිහියෙන් අහන්න ඕන. හිත පහදින්න නම් නුවණින් මෙනෙහි කරන්න ඕන, තේරෙන්න ඕන.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !