පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘මහණෙනි, මේ ධර්මය තියෙන්නෙ පටන් ගත්තු වීරිය ඇති කෙනාටයි. කුසීත කෙනාට නෙවෙයි.” මොකක්ද පටන් ගත්තු වීරිය කිව්වේ? ඔන්න තමන්ට ඇති වෙනවා නා නා ස්වභාවයේ කෙලෙස්. හිත කිලිටි කරන කෙලෙස්. හිත කිලූටි කරන රාගය, ද්වේෂය, වෛරය, ඉරිසියාව, මාන්නය, එකටෙක කිරීම, දැඩි බව, අවවාදයට නොනැමෙන බව, හිතුවක්කාර බව. මේවා ඇතිවෙනවා තමන්ගේ හිතේ. ඉරිසියාව ඇති වෙනවා. ගුණමකුකම ඇතිවෙනවා. ගුණමකුකම කියන්නෙ? අනිත් අයගේ ගුණවලට තමන්ගේ ඇති අකමැති බව. මේ වගේ කෙලෙස් හටගන්නවා. ආරද්ධ විරිය කියන්නෙ ඒවා හටගත්ත ගමන් ප‍්‍රහාණය කරනවා.

ඒවා ප‍්‍රහාණය කරනවා ඒ වගේම කුසල් උපදවා ගන්න වීරිය කරනවා. මොනවාද කුසල්? විරාගය, මෛත‍්‍රිය, සමාධිය, කරුණාව, ඉවසීම, කීකරුකම, අවනතකම, නිහතමානීකම, වැඩිහිටියන්ට ගරු කිරීම. මේවා තමයි කුසල්. අන්න ඒ කුසල් උපදවා ගන්න වීරිය කරනවා. අකුසල් ප‍්‍රහාණය කරන්න වීරිය කරනවා. (ථාමවා) දැඩි වීරිය කරනවා. දැඩි වීරියකින් යුක්තයි. එයා ඒ උත්සාහය අත්නොහැර පවත්වනවා.

එතකොට කුසීත කියල කියන්නෙ තමන්ගේ හිතේ හටගන්නා වූ අකුසල් ප‍්‍රහාණය කරන්නෙ නෑ කියන එක. අකුසල් වැඩෙන්න ඉඩ ඇරල තියෙනවා. ගහක් කොලක් වුණත් එහෙමයි. අපි ගනිමු නිදිකුම්බා වැවෙනවා. ඉඩ ඇරල තිබ්බොත් මොකද වෙන්නේ? පඳුරු දාල අපට ලේසියෙන් ගලවන්න බැරි විදිහට බෝ වෙලා යනවා. නමුත් පොඩියට පැලේ එනකොටම අපට පුළුවන් ඇඟිලි දෙකෙන් අල්ලල ගලවන්න. අන්න ඒ වගේ අපට පුළුවන් නම් උපන් ක්ෂණයෙන් අකුසල් දුරු කරන්න ඊටපස්සෙ අමාරුවක් නෑ.

නමුත් ඒ අකුසලය අපි නොසලකා හැරියොත්, ඔන්න අපි හිතමු අපි මිදුල එක පාරක් සුද්ද කළා. මිදුල සුද්ද කරල හිට අපි අතුපතු ගාන්නෙ නෑ. මිදුල දිහා බලන්නෙ නෑ. හොයන්නෙ නෑ. කලක් යනකොට ආයෙ වල් වැවෙන්නෙ නැද්ද? ආයෙ අත්දෙකෙන් උදුරන්න බැරි මට්ටමට මෝරන්නෙ නැද්ද? මේ වගේ මේ සිතේ අකුසල් හටගත්තාම ඒ අකුසල්ම වර්ධනය වෙන ආකාරයට හිත හිත හිටියොත් කලක් යන කොට ලේසියෙන් ඒ අකුසල් අයින් කරන්න බෑ. මහා වෙහෙසක් වීරියක් ගන්න ඕන.

ඒ නිසා ආරද්ධ වීරිය ඕන. ආරද්ධ වීරිය කියන්නෙ මොකක්ද? හැමතිස්සේම එයා පවත්වනවා පටන් ගත්තු වීරිය. හැමතිස්සේම පවත්වන වීරිය තිබුණොත් ඒ අකුසලය පෝෂණය වෙන්නෙ නෑ. පැටව් ගහන්නෙ නෑ. නැත්නම් අකුසල් බලවත් වෙනවා. සර්පයො වගේ. සර්පයෝ චූටි පැටිය කාලෙ අපිට භයක් නෑනෙ. නමුත් සර්පයාට කන්න දීල විශාල කළොත් එහෙම අනතුරුදායකයි නේද? ඒ වගේ තමයි සර්පයෙකුට කන්න දීල ලොකු කරනවා වගේ තමයි අපේ හිතේ හටගන්න ද්වේෂයට අපි ඉඩ දුන්නොත්. මෝහයට ඉඩ දුන්නොත්. ඉරිසියාවට ඉඩ දුන්නොත්. එකටෙක කිරීමට ඉඩ දුන්නොත් ඒවා දරුණු වෙලා එනවා අපට පාලනය කරන්න බැරි විදිහට. අන්න ඒ තත්වයට පත්වෙන්නෙ නෑ ආරද්ධ වීරිය තිබුණොත්.

ආරද්ධ වීරිය ඒ විදිහට තේරුම් ගන්නෙ නැතිව සමහරු හිතනවා ‘තනියම මට ඉන්න ඕන’ තනියම හිටියොත් ඔක්කොම හරි කියලා. ඊට පස්සෙ හිතනවා ‘තමන්ට හිතෙන දේ කරන්න ඕන’ කියලා. හිතනව, හිතෙන දේ කළොත් ඔක්කොම හරි. ඊට පස්සෙ හිතනවා වෙනම භාවනා කරන්න ඕන. ඇයි? පැය විසිහතරෙම එයා සිහියෙන් ඉන්නෙ නෑ. හතර ඉරියව්වෙ එයා සිහියෙන් ඉන්නෙ නෑ. ඉන්නෙ නැති නිසා මොකද වෙන්නෙ? සතර ඉරියව්ව තුළ වීරිය පවත්වන්න බැරිව යනවා. වීරිය පවත්වන්න ඕන සතර ඉරියව්වෙම. අන්න ඒක තමයි ආරද්ධ වීරිය. අන්න ඒ කෙනාට තමයි මේ ධර්මය තියෙන්නෙ. මේ ධර්මය තියෙන්නෙ ආරද්ධ වීරිය තියෙන කෙනාටයි. කුසීත කෙනාට නොවෙයි.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !