පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේගේ දේශනාවල පැහැදිලිවම සඳහන් වෙනවා සමහර දිව්‍ය පුත‍්‍රයින් ඇවිදින් ‘‘භාග්‍යවතුන් වහන්ස, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලන කාලෙදි දිව්‍යලෝක පිරෙනවා. අසුර පිරිස පිරිහෙනවා. භාග්‍යවතුන් වහන්ස, අනිත් කාලෙට දිව්‍ය පිරිස අඩුවෙනවා. දිව්‍ය ලෝක පිරිහෙනවා” කියලා ප‍්‍රකාශ කරනවා.

දිව්‍ය පිරිස පිරිහෙනකොට අසුර පිරිස වැඩිවෙනවා. දැන් මේ යුගයේ දිව්‍ය පිරිස පිරිහිලා. ඒ කියන්නේ දිව්‍ය පිරිස අඩුයි. දිව්‍ය ලෝකයේ යන්න පිරිස නෑ. ඉන්න අය ඔක්කොම යන්නේ අසුර ලෝකයේ. එතකොට බලවත් වෙන්නේ අසුර ලෝකයයි.

ඒ නිසා දැන් මිනිසුන්ට සමීපම ලෝකයේ අසුරයෝ තමයි ඉන්නේ. කලින් මිනිස්සුන්ට සමීප ලෝකයේ හිටියේ දෙවිවරු. ඒ දෙවිවරුන්ගේ ලෝකය දැන් නෑ. ඒක අපි හොඳට තේරුම්ගන්න ඕනේ. ඉතින් ඒ නිසා, මනුස්සයාට පිළිසරණ ලබාගන්න තියෙන අවස්ථාව ගොඩාක් අඩුයි. මොකද, අපි මේ පිනක් දහමක් කරන්න කතාවුණත් ඒකට බාධාකරන පිරිසමයි වැඩි.

එක තැනක තියෙනවා, සුර අසුර යුද්ධයක් ඇතිවුණා. (එතකොට අපට පේනවා කලින් කල සුර අසුර යුද්ධ ඇතිවෙනවා) එකල අරණ්‍යක සෘෂිවරු පිරිසක් වාසය කළා. මේ සෘෂිවරුන්ට සුර අසුරයන් පිළිබඳ යම්කිසි අවබෝධයක් තිබුණා. මේ සෘෂිවරු මෙහෙම කල්පනා කළා ‘දැන් සුර අසුර යුද්ධයක් ඇතිවෙන්නයි යන්නේ. මේ යුද්ධයෙන් නම් අසුරයන් දිනන හැඩයි. අසුරයෝ දින්නොත් අපට බාධා පැමිණෙන්න පුළුවන්. අසුරයෝ කරදර කරාවි. ඒ නිසා අපි වේලාසනින් ගිහිල්ලා අසුරයන්ට මේ කාරණය මතක්කරන්න ඕනේ’ කියලා.

ඊට පස්සේ මේ සෘෂිවරු ‘සම්බර’ කියන අසුරේන්ද්‍රයා ඉදිරියේ පහළ වුණා. පහළවෙලා ‘‘අසුරේන්ද්‍රය, සුර අසුර යුද්ධයක් ඇතිවෙනවා. අපි ඉල්ලීමක් කරන්නයි ආවේ. අපට බයක් ඇතිකරන්න එපා” කියලා කිව්වා. එහෙම කියනකොට ‘සම්බර’ අසුරේන්ද්‍රයා කියනවා ‘‘ආ… එහෙමද? ඔහේලා සක‍්‍රයාගේ පැත්තෙනේ? අපෙන් අභය ඉල්ලන නුඹලාට මා භයමයි දෙන්නේ.” (ඔන්න අසුරයන්ගේ හැටි තේරුම්ගන්න) සෘෂිවරු නිකන් හිටියේ නෑ. සෘෂිවරු කියන්නේ අපි වගේ අය නෙවෙයි, බලසම්පන්න අයනේ. ඉර්ධිමත්. මේ සෘෂිවරු සම්බර අසුරයාට ‘‘අසුරේන්ද්‍රය, යමෙක් නිර්භය පතාගෙන ළඟට පැමිණෙද්දී ඔහුට බය දෙනවා නම් නුඹෙන් බය වෙන් නොවේවා” කියලා ශාප කරලා ගියා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘මහණෙනි, එදා ඉඳලා සම්බර අසුරයා රෑ ජාමෙට තුන්පාරක් බයවෙලා නැගිටිනවා.” එතකොට අපට පේනවා සක‍්‍ර දෙවියන්ට හිතවත් කවුද, එයාටත් අසුරයෝ විරුද්ධයි. සක‍්‍රයාට, කුසල පක්‍ෂයට හිතවත් නම් එයාටත් විරුද්ධයි. ඉතින් එවැනි බලවේගයක් මුළු ලෝකය පුරා බලපවත්වනකොට අර පින් කරන, කුසල් කරන අයට ඒ දේවල් කරන්න වෙන්නේ දුක සේ නේද? මේ හේතු දැනගත්තහම තමයි මේ කෙනාට ඉවසගෙන කරන්න පුළුවන් වෙන්නේ.

ගොඩක් අයට මේක තේරෙන්නේ නැත්තේ ඒකයි. දැන් ඔන්න පින්දහම් කරගෙන යහපත් ජීවිතයක් ගෙවනවා. එහෙම ජීවිතය ගෙවද්දීත් කරදර එනවා. එතකොට එයා තමන්ගේම පිනට ගරහා ගන්නවා ‘‘අනේ මං මෙච්චර පින් කරනවා. මෙච්චර යහපත් මාර්ගයක යනවා. මං මෙච්චර ධාර්මිකව ජීවත් වෙනවා. ඇයි මට මෙච්චර කරදර, ඇයි මටම මෙහෙම වෙන්නේ?” කියලා තමන් තමන්ටම බැනගන්නවා. නමුත් බැලූවහම පිනට අකමැති අය තමයි මේ පරිසරය හදන්නේ. පිනට අකමැති අය තමයි එයාට පින එපා කරවන්නේ. එහෙම කරලා එයා පින අත්හැරියොත් ඔන්න ඒ අය සද්ද නැතුව ඉන්නවා. ලෝකයේ එහෙම දේවල් කොච්චර සිද්ධ වෙනවද? මේකෙන් අපට තේරුම්ගන්න පුළුවන් කොයිතරම් භයානක ස්වභාවයක්ද තියෙන්නේ කියලා.

‘කේවඩ්ඪ’ සූත‍්‍රයේ තියෙනවා, බුදුරජාණන් වහන්සේ යම්කිසි ගම්මානයකට වඩිනවා නම් ඒ ගම්මානයේ මිනිස්සුන්ගේ හිත්වහගෙන ඉන්න බලවේග සියල්ලම ඒ මිනිස්සුන්ව අත්හැරලා දුවනවා කියලා. එතකොට මිනිස්සු නිදහස්. ඒ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. මිනිස්සු අවබෝධ කරනවා. මොකද, ඒ වෙනකොට මිනිස්සුන්ගේ බාධාව ඒ මිනිස්සුන්ව වහගෙන නෑ.

එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ සේනා සහිත මාරයාව පරාජයට පත්කරවලා තියෙද්දිත් අමනුස්සයෝ මිනිස්සුන්ව වහගෙන හිටියා. සම්බුදු රජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ බුද්ධ තේජසට තමයි ඒ අමනුස්සයෝ ඔක්කොම දාලා ගියේ. බලන්න මේ ලෝකය කොයිතරම් වෙනස් වෙලාද? අපි මේ වෙනස ගැන දන්නේ නැත්නම්, ඒ වෙනස ගැන අවබෝධයක් නැත්නම්, ඒක අධ්‍යයනය කරලා නැත්නම් අපට විශාල පාඩු විඳින්න සිද්ධ වෙනවා.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !