ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් දරුවනි,

දැන් බලන්න ලංකාවේ මොන තරම් ජනගහනයක් ඉන්නව ද? නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කීයෙන් කී දෙනා ද? ඊ ළඟට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පිහිට ලබාගන්න ඕන කියලා, හිතන්නේ කීයෙන් කී දෙනෙක් ද? මනුස්ස ලෝකය අත්හැරල දිව්‍ය ලෝකයේ හිත පිහිටුවා ගන්නේ කීයෙන් කී දෙනා ද? ඊ ළඟට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න ඕන කියල හිතන්නේ කීයෙන් කී දෙනා ද? ලොකු පිරිසක් නෑ. සුළු පිරිසයි ඉන්නේ. ඉතින් එ් සුළු පිරිසත් ඉන්නේ ආරක්‍ෂාවක් ඇතිව නෙවෙයි. එ් අයටත් ඕන වේලාවක තර්ක විතර්ක කරලා කරුණු කීවොත්, සමහර විට එයාලට එ් වෙලාවට බුදුරජාණන් වහන්සේව සිහි කර ගන්න බැරි වුණොත්, එයාලත් වෙනත් දෙයක් කරා යන්න පුළුවන් හානිය තියෙනවා. එ් නිසා මේ අවස්ථාවල් හැම තිස්සේ ම ගිලිහෙන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබීම, එ් ධර්මය කෙරෙහි හිත පහදවා ගැනීම, ඊ ළඟට ශ‍්‍රද්ධාව ඇති වීම, ඊ ළඟට සිල් ආරක්ෂා කරන්න ලැබීම, මේ ධර්මය මොකක්ද කියලා තේරුම් ගන්න ලැබීම, මොනව ද මේ ඔක්කොම? මේ ක්ෂණ සම්පත්තිය. එතකොට මේ ක්ෂණ සම්පත්තිය අපට කලිනුත් ජීවිතවල ලැබිලා තියෙන්න ඇති. නමුත් අපි එ්වා දැන් දන්නෙ නෑ. සමහර විට අපට එ්වා අහිමි වෙලා තියෙනවා. සමහර විට ආයෙත් දුර්ලභ අවස්ථාවකයි මේ ක්ෂණ සම්පත්තිය ලැබෙන්නේ. ලැබුණට පස්සේ, එ්ක මේ ජීවිතෙන් අහිමි වුණොත් ආයෙමත් අවස්ථාවක් ගැන කියන්න බෑ. එ් නිසා මේ අවස්ථාව හොඳට තේරුම් ගන්න ඕන.

මනුස්ස ලෝකේ නම් කිසිසේත් ම අනාගතේ ධර්මාවබෝධයට අවස්ථාවක් පැහැදිලිව ම නෑ. මනුස්ස ලෝකේ ධර්මය ලබන්නට කිසිම අවස්ථාවක් නෑ ඉස්සරහට. ඉස්සරහට තියෙන්නේ පිරිහීමක් ම යි. මනුස්ස ලෝකේ ඉස්සරහට පුදුම විදිහට පිරිහෙනවා. පිරිහිලා, පිරිහිලා මේ ගුණ නැතිවෙලා, කාලා බීලා විනෝදෙන් ඉන්න ලෝකයක් විතරක් ම හැදෙනවා. එතකොට එ් හැදෙන ලෝකේ තුළ ආර්ය සත්‍යය කතා කිරීමක් නැහැ. එ්ක දැනට ම විහිළුවක්නේ!

අනාගතයට කිසි ම අවස්ථාවක් අපට නැති බව තේරුම් අරගෙන, සේඛ බල ධර්ම වන ශ‍්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප‍්‍රඥා ඇති කර ගැනීම කරගත යුතු ම යි. මේ ජීවිතයේ සේඛබල ඇති කරගෙන, දෙවියන් අතර උපදින්න ලැබුණොත්, ආයෙම ධර්මය දියුණු කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ආයෙත් වතාවක් මනුෂ්‍ය ලෝකයට ආවොත් නම් එ්ක අහිමි වෙනවා. මොකද මනුෂ්‍ය ලෝකයේ දී මේ වැඩපිළිවෙළ තව කොච්චර කාලයක් තියෙයි ද කියලා අපිට කියන්න බෑ.

ඉතින් මේවා හඳුනාගෙන මොළේ පාවිච්චි කරලා නුවණ ඇතිකරගෙන, හොඳට සිහිය දියුණු කරගෙන, මේ ජීවිතේ කොහොම හරි පිහිටක් ලබාගන්න ඕන කියන අවබෝධය ඇති කර ගන්න ඕන. එ්ක ඇති කරගෙන, මේ ජීවිතෙන් චුතවෙලා ඔබ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදුණොත් ඔබට පැහැදිලි ආරක්ෂාවක් තියෙනවා. කොහොමත් චාතුම්මහාරාජිකයේ උපන්නත් ධර්ම මාර්ගයේ ඉතුරු ටික සම්පූර්ණ කරගන්න අවස්ථාවක් තියෙනවා. තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය කියන කොයි දිව්‍ය ලෝකයකට ගියත්, සේඛ බල තියෙන නිසා, ධර්මය තුළ ආරක්ෂාවක් තියෙනවා. බුද්ධ දේශනාව ඔබේ ආරක්ෂාව පෙන්නලා තියෙනවා. ආරක්ෂා වීම ඔබ සතුයි.

මේ උතුම් දහම් කරුණු ඔබ හැම දෙනාටම උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස දහම් පඬුරක් වේවා!

මහාමේඝ 2015 ඇසළ කලාපය
WWW.MAHAMEGHA.LK

– අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ