පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘මහණෙනි, මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු දහය වෙද්දී මනුස්ස ලෝකයේ තිරිසන්නු ගානයි” කියලා. දෙමව්පියන්ට දරුවෝ හඳුන ගන්න බෑ කියනවා. දරුවන්ට දෙමව්පියෝ හඳුන ගන්න බෑ කියනවා. ඊට පස්සේ මනුස්සයෝ බල්ලෝ බළල්ලූ, එළුවෝ කුකුළෝ ගානයි කියනවා. ඒකට නේද මේ පාර හැදෙන්නේ?

එතකොට අනාගත ලෝකය හැදෙන්නේ බල්ලෝ බළල්ලූ ගානට ජීවත් වෙන්නයි. ඉතින්, ඒ නිසා අනාගතයේ මහා ධර්ම ප‍්‍රබෝධයක්, මහා අමුතු දෙයක්, රහතන් වහන්සේලාගේ යුගයක් (මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000 වනතුරු) පේනතෙක් මානෙක නෑ. ඒක පරම සත්‍යයක්. ඉතින් මේ නිසා යන්තම් මේකෙන් බේරිලා යන්න අවස්ථාවක් විතරයි මනුස්සයෙකුට තියෙන්නේ.

මේ ගෙවූ සසරේ අපි කොච්චර නම් නිරයේ ඉන්න ඇද්ද? කල්ප විනාශ වෙද්දී අපි සංසාරේ ඉඳලා නැද්ද? අපි ආයුෂ අවුරුදු දහයේ වාර කොච්චර පහු කරලා ඇද්ද? ඌරෝ කුකුල්ලූ වගේ, බල්ලෝ බළල්ලූ වගේ අපි කොච්චර නම් මේ සංසාරේ ගෙවලා ඇද්ද? අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ජීවිතය පිළිවෙලක් කරගන්න බැරිව ගියොත් ආයේ ආයෙමත් ඒකට මුහුණ දෙන්න වෙනවා.

ඉතින් ඒ නිසා උන්වහන්සේ මේකෙදි හරි ලස්සනට පෙන්වා දෙනවා ‘සීලවන්ත වෙන්න ඕනේ’ කියලා. දැන් බටහිර නම් ඔය ඇල්කොහොල් පාවිච්චිය කිව්වාම ගණන් ගන්නේ නෑ. ඒක ඒගොල්ලන්ගේ පොදු එකක්. ඒකෙ පොදුබව මේ රටවල්වලටත් වේගයෙන් එනවා. මොකද හේතුව, ධර්මය මතුවෙලා නැති නිසා, ධර්මය බලවත් නැති නිසා. අධර්මය බලවත් නිසා ඒ දේවල් වේගයෙන් සුනාමියක් වගේ එනවා. ආවට පස්සේ බේරෙන්න බෑ.

දැන් මඟුල් ගෙයක් ගන්නත් බෑ, මිනිස්සු බනිනවා. ‘‘බොන්න නැති මඟුල් ගේ මොකටද?” කියලා අහනවා. ඊට පස්සේ ඉතින් බැනුම් අහන්න බයට හොරෙන් හරි ටිකක් ගෙනැල්ලා තියන් ඉන්නවා.

සුනාමියක් ඇවිල්ලා වගේනේ. විශාල වශයෙන් විනාශය. ඊළඟට ඒ විනාශයට ඇදිලා යන්න තවත් හේතුවක් තියෙනවානේ. මේකෙ නිකං ආශ්වාදයක් වගේ එකක් පෙනෙනවනේ. එතකොට ආදීනව නොපෙනී තියෙන කොට, ආශ්වාදයක් වගේ පෙනෙනකොට වෙන්නේ අර ආශ්වාදයට ඇදිලා යනවා.

බුදුරජාණන් වහන්සේ බාලපණ්ඩිත සූත‍්‍ර දේශනාවේදී නිරය ගැන විස්තර කරලා මේ ඔක්කොම සිද්ධවුණේ රසය හොයන්න ගිහින් කියලා දේශනා කළානේ. ආශ්වාදය හොයන්න ගිහිල්ලා තමයි මේක වුණේ. දැන් බලන්න මේකට ගොදුරු වෙන්නේ මේ සංසාරයේ යන අපිනේ. මේකෙන් බේරෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොයිතරම් උපකාරයිද?

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !