පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ‘‘මේ කාමයන් පස්සේ දුවන එක අල්ප වූ ආශ්වාදයක් තියෙන දෙයක්. බොහෝ දුක් තිබෙන දෙයක්. බොහෝ කරදර තියෙනවා. බොහෝ පීඩා තියෙනවා. ඒ නිසා ආර්ය ශ‍්‍රාවකයා මේ පීඩා දුක් දොම්නස් ගැන කොච්චර දැනගත්තත් එයා කාමයෙන් වෙන්වෙලා, අකුසල ධර්මයන්ගෙන් වෙන්වෙලා, පී‍්‍රති සුඛය ඇති සමාධියක් වැඩුවේ නැත්නම් එයා ආයෙමත් කැරකිලා කැරකිලා කාමයටම වැටෙනවා. සමාධියක් හදාගත්තු දවසට එයා කාමයන්ට වැටෙන එකෙන් මග හැරෙනවා.”

යම් දවසක ආර්ය ශ‍්‍රාවකයා ‘මේ කාමයේ ආදීනවයන් බොහෝ දුක් සහිතයි. පීඩා සහිතයි. කරදර සහිතයි. සන්තෝෂය චුට්ටයි’ කියලා දැකලා, එයාට පුළුවන් වුණොත් කාමයන්ගෙන්, අකුසල ධර්මයන් ගෙන් වෙන්වෙලා සමාධියකට පැමිණෙන්න, අන්න එයාට විතරක් පුළුවන් කාමයට වැටෙන්නෙ නැතුව නැගී සිටින්න.

එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මහානාම නම් ශාක්‍ය කුමාරයාට දේශනා කරනවා, ‘‘මහානාම, මට ඔය කාරණය හිතෙන්න ගත්තේ මම සම්බුද්ධත්වයට පත්වෙන්න ඉස්සර වෙලයි. මේ කාමයන් බොහෝ දුක් සහිතයි කියලා ආදීනවයන් දැනගෙන හිටියත් ඒ කාලයේ සමාධියක් ඇතිකර ගන්න බැරිවුණා. ඒ නිසා ඒ කාලයේ මම කාමයන්ට ආයෙමත් කැරකිලා වැටෙන්නේ නැහැ කියල කිව්වේ නැහැ. ඒ කාමයන් මතක් වෙන, කාමයන්ගේ හිත පිහිටන ස්වභාවයක් තමයි මුලින් තිබුණේ.
යම් දවසක මේ කාමයන් ආශ්වාදය චුට්ටක් තියෙන, බොහෝ දුක් පීඩා තියෙන, බොහෝ කරදර තියෙන දෙයක් බව අවබෝධ කරගෙන, කාමයන් ගෙන් බැහැර වෙලා, අකුසල ධර්මයන් ගෙන් බැහැර වෙලා, ධර්මාශ්වාදයෙන් යුතු, පී‍්‍රති සැපය තියෙන සමාධියක් ඇතුව වාසය කළා නම්, අන්න එදා තමයි මම කිව්වේ ආයෙමත් කාමයට වැටෙන්නේ නැහැ කියලා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ ආශ්වාදය ගැන කතා කරනවා. කාමයන්ගේ ආශ්වාදය තියෙන්නේ චුට්ටයි. කාමයන්ගේ ආශ්වාදය තමයි ඇහෙන් රූපයක් දැක්කාම පොඞ්ඩක් හිතට සන්තෝෂයක් ඇතිවෙනවා. කණෙන් ශබ්දයක් අහපුවාම ඒ ශබ්දය ප‍්‍රියමනාප දෙයක් නම් සතුටක්, සොම්නසක් ඇතිවෙනවා. නාසයට සුවඳක් දැනුණාම ඒක පි‍්‍රයමනාප දෙයක් නම් සතුටක් සොම්නසක් ඇතිවෙනවා. දිවට රසයක් දැනුණාම ඒ රසය පි‍්‍රයමනාප දෙයක් නම් සතුටක් සොම්නසක් ඇතිවෙනවා. කයට පහස දැනුණාම ඒක පි‍්‍රයමනාප දෙයක් නම් සතුටක් සොම්නසක් ඇතිවෙනවා. එච්චරයි. ඔය පොඞ්ඩට තමයි සම්පූර්ණ ලෝකයම අහුවෙලා ගියේ.

ඒ පොඩි ආශ්වාදය ලබන්න නම් එයා ඉස්කොලේ ගිහිල්ලා ඉගෙන ගන්න ඕන. රස්සාවල් කරන හැටි ඉගෙන ගන්න ඕන. ගොවිතැන් කරන්න ඉගෙන ගන්න ඕන. වඩු වැඩ, මේසන් වැඩ ඉගෙන ගන්න ඕන. ඊළඟට වෙළඳාම් කරන්න, හමුදාවට යන්න ඉගෙන ගන්න ඕන. නොයෙක් දේවල් කරන්න ඕන. සීතලෙන් පීඩා විඳ විඳ මේ කටයුතු කරන්න ඕන. උණුසුමෙන් පීඩා විඳ විඳ කරන්න ඕන. මැසි මදුරුවන්ගෙන් පීඩා විඳ විඳ රස්සාවල් කරන්න ඕන. මේ ඔක්කොම කරන්නේ අර ඇහෙන් දකින රූපය බලලා පොඞ්ඩක් සතුටු වෙන්නයි. කණෙන් ශබ්දය අහලා පොඞ්ඩක් සතුටු වෙන්නයි. නාසයෙන් ආඝ‍්‍රාණය කරලා පොඞ්ඩක් සතුටු වෙන්නයි. දිවෙන් රස විඳලා පොඞ්ඩක් සතුටු වෙන්නයි. කයෙන් පහස ලබලා පොඞ්ඩක් සතුටු වෙන්නයි.

බුදුරජාණන් පෙන්වා දෙනවා, පිපාසාවෙන් බඩගින්නෙන් මැරි මැරී (ඛුප්පිපාසාය මීයමානෝ) මේ රැුකි රක්ෂාවල් කරන්නේ කාමය පිණිසයි කියලා. කාමයේ ආශ්වාදයන්ට වැඩිය ආදීනව ගොඩාක් තියෙනවා. තමන්ට අසනීපයක් හැදුණු වෙලාවට විවේකයක් ගන්න විදිහක් නැහැ. ගමනක් බිමනක් යන්න විදිහක් නැහැ. ඒ ඔක්කොම කැප කරන්නේ කාමය විඳින්න. ඒ කාමයන් උදෙසාම තමයි.

(අයම්පි මහානාම, කාමානං ආදීනවෝ සන්දිට්ඨිකෝ) ඒක තමයි කියලා තියෙනවා, මේ ජීවිතයේදීම කාමයන් නිසා විඳින ආදීනවය. (දුක්ඛක්ඛන්ධෝ) ඒක මහා දුකක්. (කාම හේතු) ඒ මහා දුකට හේතුව කාමයමයි. (කාම නිදානෝ) මේ මහා දුකට නිදාන වුණේ කාමයමයි. (කාමාධිකරණෝ) කාමයේමයි මේ පටලැවිල්ල තියෙන්නේ. (කාමානමේවහේතු) කාමයන් නිසාමයි එයාගේ ජීවිතයේ මේ පීඩාවන් විඳවමින් ඉන්නේ.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය !