පින්වතුනේ, පින්වත් දරුවනේ,
බුදුරජාණන් වහන්සේ වැරදි කරන කෙනාට එ්කෙන් මිදෙන්න නිවැරදි මාර්ගය පෙන්වා දෙනවා. එ් කියන්නේ යමෙක් සතුන් මරණවා නම් එ් කෙනා යන්නේ වැරදි පාරක. නමුත් එයා සතුන් මැරීමෙන් වැළකුණු ගමන් පාර මාරු කළා වෙනවා. එයා ගියේ විෂම මාර්ගයක. එයා පාර මාරු කළ ගමන් සම මාර්ගයට ආවා කියනවා. ඊළඟට එයා ගියේ යටි අතට කියනවා. නිවැරදි වූ ගමන් උඩු අතට යනවා කියනවා. එ් කියන්නේ ඔන්න කෙනෙක් හොරකම් කරමින් ඉන්නවා. හොරකමින් බැහැර වුණු ගමන් එයා උඩු අතට ආවා.

එ් කාලයේ නා නා ප‍්‍රකාර අය හිටියනේ. ධම්ම පදයේ ගාථාවක තියෙනවා, දවසක් ගැට කපන්නෝ දෙදෙනෙක් පික්පොකට් ගහන අදහසින් බණ ශාලාවට ආවා. ඇවිදින් ලස්සනට වාඩිවෙලා ඉන්නවා. නමුත් හිතේ තියෙන්නේ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා එක්කෙනෙක් සොරකම අත්හැරියා. එ් විතරක් නෙවෙයි, එයා චතුරාර්ය සත්‍යයත් අවබෝධ කළා. බලන්න, අකුසලයෙන් මිදුණු ගමන් හරි මාර්ගයට එනවා.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත් වූ පටාචාරාවගේ ජීවිතය ගත්තත්, කිසා ගෝතමීගේ ජීවිතය ගත්තත්, අංගුලිමාලගේ ජීවිතය ගත්තත්, අම්බපාලියගේ ජීවිතය ගත්තත්, අඞ්ඪකාසිගේ ජීවිතය ගත්තත් එ් අය කුසලයට පැමිණි ගමන් වේගයෙන් ජීවිත දියුණු වෙලා ගියානේ.

අඞ්ඪකාසිගේ ජීවිතය ගත්තොත් ඇය නගර ශෝභිනීයක්. පස්සේ ඇයට තේරුණා, ‘මේ මනස්ගාත ජීවිතේ තේරුම මොකක්ද?’ කියලා. තේරිලා ඇය භික්‍ෂුණියක් වුණා. නමුත් ඇය භික්‍ෂුණියක් වෙලා සිටිද්දිත් මිනිස්සු ඇයට බැල්ම හෙළාගෙන හිටියා. බලන්න, එ් කාලයෙත් අමුතු මිනිස්සු හිටියා. ඊට පස්සේ එ් අයට ආරංචි වුණා අඩ්ඪකාසි උපසම්පදාව ලබන්න එනවා කියලා. ඊට පස්සේ එ් මිනිස්සු ‘‘හරි.. අපි පැහැර ගනිමු” කියලා ලෑස්ති වුණා. ඊට පස්සේ ඇය බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් යැව්වා, ‘‘භාග්‍යවතුන් වහන්ස, මට එන්න විදිහක් නෑ. කණ්ඩායමක් මාව පැහැර ගන්න ඉන්නවා” කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතේ පණිවිඩයක් යවනවා ‘‘අඩ්ඪකාසි, ඔබට උපසම්පදාව ලැබුණා..” කියලා. එ්කට තමයි දූතේන උපසම්පදා (දූතයෙකු මාර්ගයෙන් උපසම්පදාව ලැබීම) කියන්නේ. බලන්න, මේක එබඳු ලෝකයක්.

තවත් සමහර තැන්වන තියෙනවා, මිනිස්සු ස්වාමීන් වහන්සේලාට දානෙ අරගෙන එද්දී හොරු කැළේ දී එ් දානෙ මංකොල්ලකනවා. කොල්ලකාලා එ් කාන්තාවන්ට කරදර කරනවා. එ් නිසා හරි කරදරවලට භාජනය වෙනවා. ඉතින් එ් කාලයෙත් එවැනි නොයෙක් ප‍්‍රශ්න ඇතිවෙලා තියෙනවා. නමුත් අපි හිතාගෙන ඉන්නේ මේ මොනවත් ප‍්‍රශ්න නැති ලෝකයක ධර්මය අවබෝධ කරන්නනේ. අපි හිතන්නේ ගිහිල්ලා වාඩි වුණා… ශාන්තව ඇහුවා… අවබෝධ කළා කියලනේ. නමුත් මෙතැන තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. එ් කියන්නේ මේ කියපු කෙලෙස් එ් කාලයේ මිනිසුන්ටත් එ් විදිහට ම තිබුණා.

නමුත් අපට වෙලා තියෙන්නේ මේ කාලයේ මිනිසුන්ට මේවා කියනවා. හැබැයි කුසල් වඩාගන්න බෑ. අදත්, එ් කාලයේ මිනිසුන්ගේත් වෙනස තමයි එ් කාලයේ මිනිසුන්ට කුසල් වඩාගන්න පුළුවන්කම තිබුණා. ඇසීමෙන් විතරක් නතර වුණේ නෑ. දේශනා අහලා හිතට ගත්තා. ප‍්‍රායෝගික ව පුරුදු කරන්න මහන්සි ගත්තා. එ් වගේ ම එ්ගොල්ලන්ට එ්ක කරන්න පුළුවන් වුණා.

ඉතින් එ් නිසා අපිත් අප‍්‍රමාදී ව කුසල් දහම් දියුණු කරගන්නට මහන්සි ගන්න ඕන. එ් සඳහා ලැබුණු මේ දුර්ලභ අවස්ථාව මගහැරගන්න එපා!

මේ දහම් කරුණු ඔබ හැමදෙනාට ම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක් ම වේවා!

හැම දෙනාට ම තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!