අපි කැමතියි ලස්සන ඇඳුම් අඳින්න, ලස්සනට කොණ්ඩේ පීරන්න, නියපොතු-තොල් ලස්සනට පාට කරන්න. පිරිසිදුව පිළිවෙළට ඉන්නත් අපි හැමෝම කැමතියි. ඇත්තටම ලස්සනට ඉන්න එක කොයි තරම් හොඳ දෙයක් ද? අපි ලස්සන ඇඳුම් ඇඳලා, කොණ්ඩේ පීරලා, තොල්-නිය පාට කරලා ලස්සනට ඉන්නවා වගේ අපට පුළුවන් නම් අපේ හිතත් ලස්සන කරගන්න? ඒත් කොහොමද මේ හිත ලස්සන කරගන්නේ?

මොහොතක් හිතන්න… ලස්සන වෙන්න කැමති අපි ලස්සනට ඇඳුම් ඇඳලා ඉන්න වෙලාවක අපේ ඇඟට මැරිලා කුණු වෙච්ච සතෙක් වැටුණොත් අපි මොකද කරන්නේ? ඉක්මනට ඒක අයින් කරලා දානවා නේ ද? එහෙම කරන්නේ ඒ මළකුණ නිසා අපි කැත වුණා කියලා අපිට තේරුණ නිසා නේ ද? ඒ වගේ ම යි, අපි හැමදා ම ලස්සනට ඇඳගෙන කෙලින් ම යන්නේ කණ්ණාඩිය ළඟටනේ. කණ්ණාඩිය ළඟට ගිහින් අපි හොඳට අපේ ප‍්‍රතිබිම්බය දිහා බලන කොට, ඇඳපු ඇඳුම පොඩි වෙලා නම් ඒක අපිට පේනවා. කොණ්ඩය අවුල් වෙලා නම් ඒකත් පේනවා. මූණේ ගාපු එක එක ක‍්‍රීම් වර්ගවල අඩුපාඩු තියෙනවා නම් අපි ඒවා හදාගන්නෙත් කණ්ණාඩිය ළඟට ගිහින් නේ ද?

ඔය වගේ ම යි කවුරු නමුත් කැමතියි නම් බාහිර පෙනුම වගේ ම මේ හිත ලස්සන කරගන්න, ඒ කෙනාට කරන්න තියෙන්නෙත් ඔය වගේ ම දෙයක්…. ඔබ කොතනක හිටියත් හිතත් ලස්සනට තියාගෙන ඉන්න කැමතියි නම් ඔබටත් කණ්ණාඩියක් නිතර ම පාවිච්චි කරන්න වෙනවා. ඒ කණ්ණාඩියේ නම ‘සිහිය’. හැබැයි ඒ කණ්ණාඩියෙන් ඔබට බලන්න තියෙන්නේ ඔබේ ඇඟ දිහා නම් නෙවේ; ඔබේ හිත දිහායි.

ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ ඔබ කොහේ කොතනක මොන කටයුත්තක් කළත්, ඒ හැමදේම කරන අතරේ හොඳ කල්පනාවෙන් ඔබේ හිත ගැන අවධානයෙන් ඉන්න එක. එහෙම ඉද්දි ඔබ ‘මම මේ දවසේ වැඩි කාලයක් ඉන්නේ එක එක්කෙනාගේ දේවල්වලට ආසා කර කර ද?’ කියලා බලන්න.

ඒ කියන්නේ දැන් ඔබේ අල්ලපු ගෙදර ලස්සනට හදලා නම් තියෙන්නේ අපේ ගෙදර කවද ද හදලා ඉවර කරන්නේ කියලා ඔබට හිතෙනවා ද? අල්ලපු ගෙදරට අළුත් ශීතකරණයක්, රූපවාහිනියක් ගේනකොට ‘අනේ අපේ ගෙදරට ඕවා නෑනේ. කවදා ද අපිත් ඔය බඩු ගන්නේ?’ කියලා ඔබට හිතෙනවා ද? අහල පහල අයගේ ළමයි හොඳට ඉගෙන ගනිද්දි, ඔබේ දරුවෝ ඉගෙන ගන්නේ නෑනේ කියලා ඔබට හිතෙනවා ද? කාට හරි රස්සාවේ පඩි වැඩි වෙනකොට, උසස් වීම් ලැබෙන කොට ‘අපිට ඉතිං ඕවා නෑනේ. එයාලට ම තමයි හැමදේම.’ කියලා ඔබට හිතෙනවා ද? ඒ වගේ අවස්ථාවල ඔබේ හිත පවතින්නේ මොන මොන ආකාරයෙන් ද කියන කාරණාව ඔබ හොඳට හොයලා බලන්න.

ඊළඟට, බලන්න ඔබ දවස ගෙවන කොට ගෙදර වැඩකටයුතු නිසා හරි, රස්සාව කරන තැන සිද්ධ වෙන දේවල් නිසා හරි, ගෙදර ඉන්න ළමයි කරන දේවල් නිසා හරි ඔබට නිතරම තරහා එනවා ද කියලා… ඒ වගේ.ම ඔබ නිදහසේ පොතක් බලන්න ගියොත් ඔබේ බෙල්ල නිදිමතේ කඩා වැටෙනවා ද කියලා බලන්න. උයන්න පිහන්න ගියත්, රස්සාව කරන තැනදී වුණත්, ඔබ ගෙදර වැඩ කළත් නිතර නිතර නිදිමත නිසා ඔබ දුක් විඳිනවා ද කියලා බලන්න.

ඒ විතරක් ද? ඔබ මොනවා කරකර හිටියත් ඔය හිතට එක එක මනස්ගාත ඇවිත් ඒවා වටේ ම කැරකි කැරකි කල්පනා කර කර ද ඔබ නිතර ම ඉන්නේ කියලා බලන්න.

එතකොට ඔය විදිහට ඔබ ඔබේ හිත ගැන සෝදිසියෙන් ඉද්දි ඔබට තරහක් එනකොට ‘අනේ මට තරහා ආවා’ කියලා ඔබට ම තේරේවි. අනික් අයගේ දේට ආශාව ඇති වුණා ම, ‘මට අනිත් අයගේ දේට ආශාව ඇති වුණා’ කියලත්, නිදිමත ස්වභාවය ඔබ වෙලා ගනිද්දි, ‘නිතර ම මම නිදි කිර කිර ඉන්නවා’ කියලත් ඔබට ම තේරුම් යාවි. කිසිම තේරුමක් නැති දේවල් කල්පනා කරනවා නම්, ‘මගේ හිත නිතර ම එක එක මනස්ගාත ගැන කල්පනා කර කර ඉන්නවා’ කියලත් ඔබට ම තේරේවි. එතකොට ඔබ අර ලස්සනට ඉන්න කැමති කෙනාගේ ඇඟට මළකුණ වැටුනම එයා ඉක්මනට ඒක අයින් කරනවා වගේ ඔබේ හිතට වැටෙන මළකුණත් ඉක්මනට අයින් කරලා දාන්න.

එතකොට ඔබ ලස්සනට ඇඳලා ඉද්දී ඔබේ පෙනුම ලස්සන වෙනවා වගේ ම, ඔබේ හිතත් බොහෝ ම ලස්සන කරගන් ඔබට පුළුවන්.

-හිත ලස්සන කරගන්න කැමති පිරිසක්-