මීට අට සාළිස් වසරකට ඉහතදී බුද්ධ වර්ෂ 2518 ඇසළ මස පුන් පොහොය දිනයේ මහනුවර සිරි දළදා මැදුර අබියස මහ මළුවේ දී බොදු සැදැහැතියන්ගේ සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් රංජනය කරවමින් අසිරිමත් වදන් නින්නාදයක් ගුවන් ගැබ සිසාරා පැතිර ගියේ ය. ඒ වූ කලී බුදුරජාණන් වහන්සේ උදෙසා පිදූ උත්තම ගීතමය උපහාරයකි. ගීතයේ තේමාව වූයේ දළදා මැදුරේ වැඩ හිඳිනා බුදුරජාණන් වහන්සේගේ වාම ධාතූන් වහන්සේගේ ද පහස ලැබ දේශනා කරනු ලැබූ ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයයි. සතර අපා ගිනි නිවා නිවන් දොරට මඟ විවර කළ ඒ මහා ප්‍රතිහාර්යය සිදුවී අවුරුදු දෙදහස් හයසිය එකොළහක් ගෙවී යන මෙසමයේ ඒ අරභයා පබැඳුණු නිර්මාණයක රසභාව විමසුම අතිශයින්ම කාලෝචිත වෙයි.

වෙසක් පොහොය දින අලුයම් යාමයේ සියලු කෙලෙසුන් නසා සර්වඥතාඥානය පසක් කොට වදාළ අමාමෑණී වූ බුදුරජාණන් වහන්සේ සතර ඉරියව් සේවනය කිරීම් වස් බෝමැඩ අවට ගයා ශීර්ෂයේ සත්සතිය ගත කොට පට්ඨානය වශයෙන් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය පුනරාවර්ජනය කරමින් විවේක සුවයෙන් වැඩ සිටි සේක. ඇසළ පුන් පොහොය දිනය ළඟාවෙත්ම උන්වහන්සේගේ සිත තුළ තම ධර්මය ලෝකයට විවෘත කිරීමේ අදහස පහළ වීය. ප්‍රථමයෙන් කවුරුන් හට දහම් දෙසම්දෝයි සිතත්ම සසරේ නොයෙක් ජන්මයන්හි උපත ලබමින් දිගුකලක් බෝසත් ගුණ සපුරා අවබෝධ කොටගත් දහම කවර ප්‍රාඥයෙකුට නිරවශේෂ වශයෙන් වටහා ගත හැකිදැයි යන හැඟීම උන්වහන්සේ තුළ ඇති විය. අනතුරුව සහම්පති මහ බඹහුගේ ඇරයුමද ලදින් දහම් චාරිකාව ඇරඹීමට අදිටන් කළ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ගිහිගෙයින් නික්මුණු දා සිට පූර්වෝපකාරී වූ පස්වග මහණුන් සිහිපත් කළ කල්හි ඔවුන් තවමත් ජීවත්ව සිටින බව දැන ඔවුන් වෙසෙන බරණැස මිගදාය බලා පිටත් වූ සේක. භාග්‍යවතුන් වහන්සේ බරණැස බලා පිටත් වීම පිණිස පළමුව වැඩියේ බෝමැඩ සිට ගයාව දෙසට ය. එකල බරණැස් මාර්ගය තිබුණේ ගයාවේ සිට ය. බෝමැඬ සිට ගයාවට තුන් ගව්වක් දුර ය. මෙකල බෝමැඬ සිට ගයාවට කි.මී. දහයක දුරකි. බෝමැඩ සිට ගයාවට වඩින අතරමඟදී උන්වහන්සේට උපක ආජීවක මුණගැසිණි. බුදු වදනට පළමුවෙන් සවන් දීමේ භාග්‍යය හිමි කරගත් තැනැත්තා උපක ආජීවක ය.

තමන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති කරගත් උපකට, බුදුරජාණන් වහන්සේ තම චාරිකාවේ අරමුණු පැහැදිලි කොට වදාළේ මෙසේ ය:

“ධම්මචක්කං පවත්තේතුං
– ගච්ඡාමි කාසිනං පුරං
අන්ධභූතස්මිං ලෝකස්මිං
– ආහක්‍ද්ඡං අමතදුන්දුභිං”

“ධර්මචක්‍රය කරකවන්ට කාශී ජනපද නුවරට යමි. අවිද්‍යාවෙන් අන්ධ වී ගිය ලෝකයා හට සත්‍යයේ නාදය පැතිරෙන අමාබෙරය වයන්නෙමි.”

මෙසේ ලෝක සත්වයින් කෙරෙහි මහා කරුණාවෙන් යුතුව පස්වග මහණුන් උදෙසා පැවැත්වූ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සිට පන්සාලිස් වසක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සුවාසූදහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබූ වාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින සිරි දළදා මාලිගාව පෙනෙන තෙක් මානයේ සිට ප්‍රථම සම්බුද්ධ දේශනාව අලලා ගීතමය උපහාරයක් පැවැත්වීම අතිශයින්ම සිහි කටයුතු සංසිද්ධියක් වෙයි. ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීන් සුමධුර ලෙස ගායනා කළ එම ගීතයේ පද පබඳ සුනිල් සරත් පෙරේරා සුලවතුන්ගේ ය.

දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශෘස්තෘවරයාණන් වූ බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදා වන අරණේ වැඩ හිඳ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කොට වදාළ පුවත සඳහන් කරමින් ගීතය ආරම්භ වෙයි.

සනරාමර හිමි දම්සක් දෙසුවේ
ඉසිපතනේ මිගදා වන අරණේ

ගීතයේ ප්‍රාරම්භක ස්ථායී ගායන කොටස රාව නංවන ‘ඉසිපතනේ මිගදා වන අරණේ’ යන වදන් නඟන ධ්වනිය වූ කලී මිනිසුන් දෙවියන් සහිත මුළු විශ්වයම උතුම් බුදු වදනින් සැනහී නිවී අලුත් ජීවන ප්‍රබෝධයක ආස්වාදය ලැබූ බව අඟවන්නකි. සමස්ත බුද්ධ දේශනාවම හකුලා දැක්වූ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව පස්වග මහණුන් උදෙසා පැවැත්වුව ද එය දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අතරට පැතිර ගිය අයුරු අපට සිහිපත් කරවන්නේ ධම්මචක්කප්පවත්න සූත්‍රයයි.

පස්වග මහණුන් හමුවේ
සිව්සස් දහමකි දෙසුවේ
සුරඹුන් පරසතු සැලුවේ
සාධු! සාධු! හඬ නැඟුවේ

ඉසිපතනේ මිගදායෙන් වනගැබට ගලා ගිය පළමු දහම් පණිවුඩය දෙව්ලොවින් දෙව්ලොවට පැතිර ගොස් දෝංකාර නැඟුවේ සාධුකාර නාද මධ්‍යයේ ය. ගීතයේ වරින් වර ගැයෙන සාධු නාදය දෙව් මුවින් නැඟෙන්නක් වැන්න.

අනන්ත අපරිමාන කාලයක් මුළුල්ලේ අනවරාග්‍ර සංසාරයේ කෙළවරක් නොදකින දුකට වැටී සිටි ජනතාව මැරී ඉපිද යළි ඒ දුකටම පත්වෙමින් සිටියහ. දෙවි මිනිසුන් ඇතුළු ලෝක සත්වයින්ගේ සසර සැරිසැරුම නතර කරන අදිටනින් යුතුව සිදුහත් බෝසත් කුමරාණන් සිය මැදුරින් පිටව ගියේ බුද්ධත්වය පසක් කර ගන්නා බව සපථ කරමිනි. යසෝදරා දේවියට ඇසෙන නොඇසෙන පරිද්දෙන් බෝසතාණන් කළ ඒ අභීත ප්‍රකාශය ‘යසෝදරාවත’ ලියූ ජන කවියා සඳහන් කළේ මෙපරිද්දෙනි:

‘පැතුම් බලෙන් දෙන්නා ආවේ පේවී
මෙතුන් ලොවට නායක බිම්බා දේවී
ඉතින් සසර ඇවිදින්නේ නැත දේවී
ගොසින් බුදුව එනකල් හිටපන්දේවී’

ගිහිගෙයින් පිටව ගොසින් වනයට වැදී සය වසරක් දුෂ්කර ක්‍රියාවල යෙදෙමින් සත්‍ය ගවේෂණයේ නියැලී ගයා හිස බෝ මැඩදී උතුම් බුද්ධත්වය පසක් කොට සසර ඇවිදීම නතර කළ බුදුරජාණන් වහන්සේ සසරේ සැරිසරන සත්වයන්ගේ දුක නිවන මඟ පහදා දුන් සේක. ඒ නිවන් මගේ ගමන් කරන සත්වයින්ට සතර අපායන්හි වැටෙන මං ඇවිරී ගියේ ය.

“සසර කතර දුක් නිවුණේ
සතර අපා ගිනි නිවුණේ
සදහම් දිය වැසි වැටුණේ”

සතර අපා ගිනි නිවී ගියේ සදහම් වැසි වැටීමෙනි. දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සදහම් වැසි දිය ඇදහැළීමක් ලෙස පද පබඳ නිමැයූ සුනිලුන් උපකල්පනය කිරීම සාකල්‍යයෙන් අර්ථාන්විතය. ඒ සදහම් වැසි දියෙන් සසර කතර දුක්, අපා ගිනි නිවී ගියේ දෙවියන් මිනිසුන් පමණක් නොව මුළු මහත් සත්ව වර්ගයා වෙසෙන සකල ලෝක ධාතුවේම ය. ගීතයේ අවසානයේ යෙදී ඇති අන්තරා ගී ඛණ්ඩයෙන් එය මනාව සනාථ වෙයි.

“කෙලෙස් මලින් ලොව මිදුණේ
නිවන් දොරට මං ඇරුණේ
මුනිඳු නැණින් ලොව දිලුණේ”

ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීමෙන් සකල ලෝක ධාතුවේ ම කෙලෙස් මල සේදී ගොස් භව ගමන නවතන වැඩපිළිවෙළට මඟ විවෘත වූ අයුරු දක්වමින් ගීතය නිමා වෙයි.

‘නිවන් දොරට මං ඇරුණේ’ යන ගී ඛණ්ඩය සවනත වැකෙත්ම අමා ගිනි නිවාලමින් ලබන සහනයෙන් ශ්‍රාවක රසික සිත් සතන් ද සුපහන් වී ගියා සේ දැනෙයි. ගීතයේ වරින් වර ගැයෙන සාධු! සාධු! සාධු! නාදය ශ්‍රාවක මුවට ද නැඟෙන්නේ නිතැතිනි. ‘මුනිඳු නැණින් ලොව දිලුණේ’ දෙව් මිනිසුන් සහිත මුළු තුන්ලොවටම දහම් ඇස පහළ වූයේ, ඥානය පහළ වූයේ, ආලෝකය පහළ වූයේ බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ඥානයේ මහිමයෙනි.

ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

සටහන – දයාපාල ජයනෙත්ති.