ධර්මය නොදන්නාකම නිසාත්, වීර්යය නැතිකම නිසාත් ගොඩක් අය සතුට හොයාගෙන වැරදි කරනවා. එක දිගට වැරදි කිරීම නිසා ඒ වරදට ඇබ්බැහි වෙනවා. ඒක පුරුද්දක් බවට පත් වෙනවා. එවන් අයටත් ධර්මය ඇහුවම, පව්වල භයානකකම ඇහුවහම වැරදි අතෑරලා පිරිසිදු ජීවිතයකට එන්න ආසාවෙන් උත්සාහ කරනවා. හැබැයි ඇබ්බැහිවීමක් අතෑර ගන්න එක ලේසි නෑනේ. ඒ නිසා සමහරු වැරදි නොකරන්න හිතාගත්තට (අධිෂ්ඨාන කළාට) ආයෙ නොදැනී ම වරදට වැටෙනවා.

ආයෙ ආයෙ උත්සාහ කළත්, ඒ උත්සාහය අසාර්ථක වෙද්දී බොහෝ අය හිතින් කඩා වැටෙනවා. ‘අනේ, මට මේක කරන්න බෑ. මං කිසි වරදක් නැති පිරිසිදු ජීවිතයකට කොච්චර කැමති ද… ඒත් මට ඒකට පින් නැතුව ඇති.’ කියලා… අන්තිමට උත්සාහයත් අතෑරලා දාලා පවේ ම ගිලිලා ඉන්න හිත හදාගත්ත අයත් ඉන්නවා.

ඒත්… මිතුර… ඇබ්බැහියකින් මිදෙන්න දුෂ්කර උනාට… ඒ වරදින් මිදෙන්න ගන්න උත්සාහය හිතට කයට වේදනාකාරී හෝ දුක්බර උනාට…

පළමුවෙනි එක… වැරදි අතාරින්න බැරි නෑ දෙවෙනි එක… වැරදි අතෑරියේ නැත්තම් විපාක හැටියට ලැබෙන දුක් කොච්චර දරුණු ද? අපි හංගං වැරදි කළාට…, ඇත්තටම ලෝකේ රහස් කියලා දෙයක් නෑ. කොච්චර කල් හංගන් හිටියත් එළිවෙනදාට ලැජ්ජාව, නින්දා අපහාස, විඳින්න වෙන දඬුවම්, අනිත් අය කොන් කරන්න ගත්තාම… කොහොම විඳවන්න වෙයි ද? අද කාලේ සම්මත නීතියෙන් වැරදි දෙයක් නොවුනත් (පිටරටක කියමු) ධර්මානුකූල ව වරදක් නම්… විපාක ලැබෙද්දී… ඔයිට වඩා කොච්චර දරුණු ද? ස්වභාවික ව්‍යසනවලට මැදි වෙලා, අනතුරට පත් වෙලා, අද්භූත චෝදනාවලට ලක් වෙලා, හොඳ කර ගන්න බැරි ලෙඩ හැදිලා… ආදරය – අනුකම්පාව අහිමි වෙලා… නොසිතූ කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි මේ ජීවිතේ ම. අපි මේ ජීවිතේ දැන් විඳින සමහර පීඩාවන්ට, අපි මේ ජීවිතේම කරපු දේවල් හේතු වෙන්න පුළුවන්. අපිට ඒක තේරුම් ගන්න ක්‍රමයක් නැති එක විතරයි. සමහර වැරදි නිසා මේ ජීවිතේම මානසික රෝග හැදෙනවා. නැතත් මරණින් මතු සැප මාත්‍රයක් නොලැබී යන්න පුළුවන්නේ. එම නිසා අකුසල් දුරුකරන්න විඳින දුක උතුම්. ඒ දුකට බය වෙන්න එපා.

ඔව්. මේවා දැන දැනත් කෙලෙස් බලය වීරියට වඩා වැඩි උනාම ආයේ වැරදිලා යන්න පුළුවන්. එතකොට ආයෙත් හිතින් කඩා වැටිලා වීරිය අතාරිනවා. නමුත් ලොකුම වරද වෙන්නේ උත්සාහය අතෑරීම නිසා. අධෛර්යවත් වීම නිසා.

මෙහෙම හිතන්න… කොහොම වරදක් කළා උනත්, ලෝකේ වැරදි කරලා ගණන් නොගෙන ඉන්න කෝටි ගණනක් මිනිස්සු අතර, කෙනෙක් ඒ වරදින් මිදෙන්න සැබෑවටම සටන් කරනවා නම්… එයා කොච්චර උතුම් ද? එයා දක්ෂ සොල්ලාදුවෙක්නෙ. වරදක් අතෑරපු ගමන් එයා කෙලෙස් සටනකින් ජයගත් වීරයෙක්. දහස් වරක් වැටුණොත් දහස් වරක් නැඟිටින්න. සටන් නොකර පරාජය භාරගන්න එපා. පැරදුන කෙනෙක් විදිහට මැරෙන්නත් එපා.

සකල කෙලෙස් යුද්ධය දිනූ මහා වීර අප ශාස්තෘන් වහන්සේ… සංසාරෙ යන අපේ දුර්වලකම් දැකලා, අපව නගා සිටුවන්න කී මේ බණ පදය අහන්න.

“පින්වත් මහණෙනි, අකුසලය අත්හරින්න. පින්වත් මහණෙනි, ඔය අකුසලය අත්හරින්න පුළුවනි. පින්වත් මහණෙනි, ඔය අකුසල් අත්හරින්න බැරි නම් මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, අකුසලය අත්හරින්න’ කියලා කියන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් හෙයකින් මේ අකුසලය අත්හරින්න පුළුවන් නිසා තමයි මා මේ විදිහට කියන්නේ. ‘පින්වත් මහණෙනි, අකුසලය අත්හරින්න’ කියලා. පින්වත් මහණෙනි, මේ අකුසලය ප්‍රහාණය වූ විට එය අයහපත පිණිස, දුක පිණිස හේතු වෙනවා නම්, මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, අකුසලය අත්හරින්න’ කියලා කියන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් විදිහකින් මේ අකුසලය ප්‍රහාණය වූ විට එය යහපත පිණිසම, සැපය පිණිසම හේතු වෙනවා. අන්න ඒ නිසා තමයි මා කියන්නේ, ‘පින්වත් මහණෙනි, අකුසලය අත්හරින්න’ කියලා.
පින්වත් මහණෙනි, කුසලය වඩන්න. කුසලය වඩන්නට පුළුවනි. පින්වත් මහණෙනි, කුසලය කියන්නෙ වඩන්න බැරි දෙයක් නම් මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න’ කියලා කියන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් විදිහකින් මේ කුසලය වඩන්න පුළුවන් නිසාම තමයි මා මේ විදිහට කියන්නේ. ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න’ කියලා. පින්වත් මහණෙනි, මේ කුසලය වැඩුවහම එය අයහපත පිණිස, දුක පිණිස හේතු වෙනවා නම්, මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න’ කියලා කියන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් විදිහකින් මේ කුසලය වැඩුවහම ඒක යහපත පිණිසම, සැපය පිණිසම හේතු වෙනවා. අන්න ඒ නිසා තමයි මා කියන්නේ, ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න’ කියලා.

අංගුත්තර නිකාය – 1 (දුක නිපාතය) (1.2 අධිකරණ වර්ගය)

බලන්න… මහාකාරුණිකයන් වහන්සේ අපට ඇප වෙලානෙ. පොරොන්දු වෙලානේ… ස්ථිර වචනයක්නෙ මේ කියන්නේ. වැරදි අතාරින්න පුළුවන්, නැත්තටම නැති කරන්නත් පුළුවන්, නිවැරදි දේවල් කරන්නත් පුළුවන් කියලා. සම්බුදු බව ලබලා, අපේ හිතුත් එක්කම සියලු සත්වයන්ගේ හිත් බලලා වදාළ මේ බුදු වදන අදහන්න. විශ්වාස කරන්න. සැක කරන්න එපා.

තමන්ව කිලිටි කරන්න කෙලෙස්වලට ඉඩ දෙන්න එපා! වරදින් මිදෙන්න කළ යුතු හැම උපක්‍රමයක් ම කරන්න. වරදට උදව් කරන, පොළඹවන පුද්ගලයා, පරිසරය මඟ අරින්න. යහපත් පරිසරයකට යන්න. කල්‍යාණමිත්‍ර ඇසුරකට යන්න.

ඒ වගේම යාළුවේ, පින් කරන්න, ධර්මයේ හැසිරෙන්න, ඔක්කොම වැරදි නවත්තනකල් ඉන්න එපා. පින් බලයක් නැතුව වැරදි අතාරින්නේ මොන බලයකින් ද? ඒ නිසා… ඔය යුද්දේ අස්සෙම කරන්න පුළුවන් හැම පිනක් ම, හැම කුසලයක් ම කරන්න. ආයෙ ආයෙත් අකුසල්වල භයානකකම කියන ධර්මය ම අහන්න. සිල් කැඩෙන, අධිෂ්ඨානය බිඳෙන ගානේ… ආයේ ආයේ සිල් සමාදන් වෙන්න අධිෂ්ඨාන කරන්න.

පමා නොවී ම… පුද පූජාවට සුදුසු සෑය, බෝධිය, ධාතුන් වහන්සේලා, සංඝයා වැඳලා පුදලා, වත්පිළිවෙත් කරලා, පිරිත් කියලා, දන් දීලා, බුදුගුණ කියලා, සූත්‍ර සඡ්ඣායනා කරලා… ගොඩක් පින් රැස්කර ගන්න. කැඩෙන සිල් පදය අධිෂ්ඨානයෙන් වරුවක් රකින්න… හැමදාම. ඊළඟට එක දිගට දවසක්… සතියක්… මෙහෙම ටික ටික හරි සිල්වත් වෙන්න. ගුණවත් වෙන්න. හිතේ අකුසල් උපදින්න පටන් ගද්දීම කල්පනාවෙන් ඉඳලා අඳුනගෙන අකුසලයේ ආදීනවයත් කුසලයේ ආනිසංසත් සිහි කරන්න. ඉහත බුදු වදන සිහි කරන්න.

වරදින් නැගී සිටින්නවුන්ගේ සෙන්පතිඳුන් වූ අංගුලිමාල මහරහතන් වහන්සේ, මහානුභාව සම්පන්න අංගුලිමාල මහ සෑ රදුන් හිතින් හරි වැඳ වැඳ ජීවිතය පූජා කරන්න. පුළුවන් වෙලාවක ගිහින් වැඳ පුදා වරදින් නැගී සිටින්නට හයිය ගන්න.

ආයෙමත් කියන්නේ… මිතුර… හිත වෙනස් වෙන්න පුළුවන්. නමුත් ධර්මය කෙරෙහි විශ්වාසය තබන්න. මට බැරි වෙයිද කියලා හිතන්නවත් එපා. අකුසලයත් නිත්‍ය නෑනෙ. කෙලෙසුත් නිත්‍ය නෑ. පුරුදුත් නිත්‍ය නෑ. ඒ නිසා, ධර්මය ම කල්‍යාණමිත්‍රයා කරගන්න. තමන්ට තනියම කරගන්න බැරි දේ ධර්මය විසින් කරලා දෙනවා. ඔබ ධර්මයට ළං වුණොත්… අකුසල් දුරු කරපු කෝටි ගණන් මුනිවරු ඒ බවට ඔබට සාක්කි සපයනවා.

දන්නවා ද… ඔබ ගැන සතුටු වෙන්න කවුරුත් නෑ කියලාද හිතන්නේ. ඔබ අකුසල් අතාරිනදාට ඔබ වෙනුවෙන් සතුටු වෙන ගොඩාක් අය ඉන්නවා. සත්පුරුෂ මිනිස්සු… සත්පුරුෂ සංඝයා… සත්පුරුෂ දෙවිවරු…! අමතක කරන්න එපා. අනන්ත සසරේ පෙරුම් පුරපුරා දුක් විඳලා සම්බුදු බව ලබපු භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රාර්ථනය අපේ ජීවිතයේ පිරිසිදු බවමයි. ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේගේ පැතුම ඉටුකරන්න. ඔබට තිසරණ සරණින් ජය ම වේවා!

“යස්ස පාපං කතං කම්මං
කුසලේන පිථීයති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝ’ව චන්දිමා”

“යම් කෙනෙක් තමන් කරපු පව්, ආර්ය මාර්ගයේ ගමන් කිරීම නිසා උපදවාගත්තු කුසල් බලයෙන් වහලා දානවා නම්, ඔහු මේ ලෝකය ආලෝකමත් කරනවා. වළාකුලින් මිදිලා අහස් කුස එළිය කරන පුන්සඳක් වගේ.”

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.