ධර්මය යනු බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයේ අමුතුවෙන් පහළ කළ දෙයක් නොවේ. ධර්මය යනු හුදෙක් පුද්ගල මතවාදයක් ද නොවේ. ධර්මය යනු හුදෙක් කිසියම් ආඥාදායක නීතියක් ද නොවේ. ධර්මය යනු ලෝකයේ යථාර්ථයට අයිති දෙයකි. ධර්මය යනු ප්‍රකෘතියෙන්ම, ස්වභාවයෙන්ම ලෝකයේ ඇති යහපතකි.

ඒ ධර්මයට බොහෝ ගරු කොට වාසය කළ, අසංඛෙය්‍ය කල්ප ගණන් මේ ධර්මය ම ජීවිතය කරගත්, ධර්මයට ම දිවි පිදූ ශ්‍රේෂ්ඨ පුරුෂ රත්නයකගේ හද මඬල නිකෙලෙස් කරවමින් ඒ ධර්මයම ‘උත්තම සන්තානයක අවබෝධයක්’ බවට පත් වේ. එසේ ධර්ම බලයෙන් සියල්ල අබිබවා ගිය මහෝත්තමයාණෝ ශ්‍රී සම්බුදු මුවින්, ලොවට සැඟවී ගිය – එහෙත් සෑම කල්හි එක ලෙස පවතින නිධානයක් බඳු ධර්මය ලොවට විවර කරන සේක.. අනාවරණ ඤාණයෙන් බැලූ තථාගතයන් වහන්සේ අකාලික වූ ඒ ධර්ම සුධර්මත්වය පිළිබඳව වදාළේ:

“ධම්මෝ හි වාසෙට්ඨා, සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ, අභිසම්පරායේච.” – “වාසෙට්ඨයෙනි, මෙලොවත් පරලොවත් ජනයා අතර ධර්මයම ශ්‍රේෂ්ඨ වෙයි” කියා ය.

(අග්ගඤ්ඤ සූත්‍රය, දී. නි. 3)

කුමක්ද මේ ධර්මය? ලෝභය දුරු කොට දන් දීම ධර්මයයි. බෙදා හදා අනුභව කිරීම ධර්මයයි. අවංකව සේවය කිරීම ධර්මයයි. පිදිය යුතු මවුපිය ගුරුවර වැඩිහිටියන් ද බුදු පසේබුදු උතුමන් ද පිදීම ධර්මයයි. දුසිල් පවිටු ක්‍රියා අතහැර සිල්වත් වීම ධර්මයයි. මිහිරි, අරුත්බර, සිත් නිවන, සමඟිය උපදවන වචන කතා කිරීම ධර්මයයි. පතිවත, කුමර කුමරි බඹසර රැකීම ධර්මයයි. ඉවසීම, මෛත්‍රීය, අනුකම්පාව, දයාව ධර්මයයි. ඉරිසියා නොකිරීම ධර්මයයි. අකුසලයට නොවැටී පීඩාව දරාගැනීම ධර්මයයි. ආගන්තුක සත්කාරය ධර්මයයි. යුතුකම් වගකීම් ධාර්මිකව ඉටුකිරීම ධර්මයයි. මිථ්‍යා ආජීවයෙන් වැළකී සාධාරණ ධාර්මික ක්‍රමයකින් ධනය ඉපයීම ධර්මයයි. මායා වංචා නැතිකම ධර්මයයි. තමා උපමා කොට අන් අය ගැන සිතීම ධර්මයයි. කලබල නොවීම ධර්මයයි. බොහෝ දුර අනාගතයේ ලැබෙන ප්‍රතිඵල සලකා කටයුතු කිරීම ධර්මයයි. එකට එක නොකිරීම ධර්මයයි. කළ උපකාර සිහි කිරීම ධර්මයයි. ගුරු භක්තිය ධර්මයයි. ශීල සමාධි ප්‍රඥා වැඩීම ධර්මයයි. මග ඵල නිවන් සාක්ෂාත් කිරීම ධර්මයයි.

සෑම මනුෂ්‍යයා ම ධර්මයට ගරු කළා හෝ නොකළා හෝ වේවා ධර්මයට ගරු කරන ලෝක ස්වභාවය සෑම මනුෂ්‍යයා කෙරෙහි ම පවතී. එනම් කෙතරම් කුලීන, ධනවත්, උගත් වැදගත් අයෙක් වුවද (නොවුවද) පස් පව් කළේ නම්, දස අකුසල් කළේ නම් දියෙහි අත්හළ ගලක් දිය යට කිඳා බහිනවා සේ සිව් අපායෙහි ගිලෙන්නේම ය. දුගී දුප්පත් අසරණ නූගතෙකු වුවත් (එසේ නොවූවත්) දස කුසල් දාන සීල භාවනා කළේ වී නම් ජලයේ බිඳුනු ගිතෙල් කළයක වළංකටු දියේ ගිලී, ගිතෙල් උඩ පාවෙන්නා සේ කය අත්හළ වහා සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදිත්ම ය. අප අකුසලයෙන් වැළකී පුරුදු කළ යම් ධර්මයක් ඇද්ද ඒ ධර්මයම ජනයාව සුගති භාවයෙන් රකී.

(අසිබන්ධක ගාමිණී සූත්‍රය, සං. නි. 4)

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං” – “ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් ම රකී.”
“න දුග්ගතිං ගච්චති ධම්මචාරී” – “ධර්මයේ හැසිරෙන්නා දුගතියේ නොයයි.”

මෙසේද මෙලොවත් පරලොවත් ධර්මය ම ශ්‍රේෂ්ඨ වේ.

තවද සියල්ලම පෙර කර්මය අනුව සිදු වේ යැයි කියන්නෝ ද සියල්ල දෙවියන්ගේ කැමැත්තට සිදුවේ යැයි කියන්නෝ ද හේතු ප්‍රත්‍ය රහිත ව සියල්ල ඉබේ සිදු වේ යැයි කියන්නෝ ද මනුෂ්‍ය ඝාතන, සොරකම් ආදී පාපී ක්‍රියාවලට වරදකරුවන් වූ විට සමාජයේ ඔවුන් දරන මතවාදයම දරන්නවුන්ගේ පවා දඬුවමට ගැරහීමට පිළිකුලට ලක් වේ. එකී වරද පෙර කර්මයක් නිසා සිදු වූ බව හෝ දෙවියන් වග කිව යුතු බව හෝ ඉබේ සිදු වූ බව හෝ පිළිගෙන නිදහස දෙන්නෝ කවරහු ද? ඒ කවර සමාජයක වුවත් යම් අසාධාරණයක්, දුක්පීඩාවක්, අපරාධයක් සිදු වූ විට ඒ මතවාදය පිළිසරණට නොඒ… මන්ද, පාපය සැමදා අධර්මය වන අතර ධර්මයම සියල්ලෝම පතන සැපය උදාකරන නිසා ය. මෙසේත් මෙලොවත්, පරලොවත් ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.

දිනෙක එක් පුරෝහිත බ්‍රාහ්මණයෙකු ද ‘ලොවෙහි කුමක් ශ්‍රේෂ්ඨ දැයි පරීක්ෂා කළ මනා යැ’ සිතා රජවාසලට යන මඟ කහවණුවක් හොරකම් කළේය. එදා, ‘පුරෝහිත නොවැ’ යි මුරකරු ඉවසීය. දෙවන, තෙවන වරටත් සොරා ගත් කල… “මේකා සොරෙකි… මේකා සොරෙකි” කියා අල්ලාගෙන දෑත් බැඳ රජු වෙත පැමිණවීය.

“දේවයෙනි, මම සොරෙක් නොවෙමි. ඔබ මට ගරු කරන්නේ මගේ බ්‍රාහ්මණ බවට ද උගත් බවට ද නැතහොත් සිල්වත් බවටදැයි දැනගැනීමට මෙසේ කළෙමි. ලොවෙහි සිල්වත් බව ම උතුම් බව මෙයින් ප්‍රත්‍යක්ෂ විය. එහෙයින් මම සියලු වස්තුව දන් දී පැවිදි වනු කැමැත්තෙමි.”යි ධර්මය වැළඳගෙන පැවිදි විය.

(සීලවිමංස ජාතකය)

අද ද ලොව දුස්සීලයන් අතර පවා යම්තමින් හෝ ඇති සිල්වත් බව ආදී ගුණදම් පිදුම් ලබයි. ගරු කොට සලකයි. දුසිල් බවට පුරුදු වූවන්ට සිල් රැකගෙන ගිහි දිවිය ගතකරනු බැරි ය. කිසිවෙකු ‘සීලයට අනුබල නොදෙති. කැමති නොවෙති.’ යි කීව ද ඔවුහු සියල්ලෝම ලොවෙන් ආදරය, කරුණාව, රැකවරණය, සාධාරණය බලාපොරොත්තු වෙති. ඉදින් ඒ සියලු රැකවරණ ලැබෙන්නේ දශමයක් හෝ ධර්මය පුරුදු කරන්නන්ගෙන් නොවේද? ලොවට සැබවින්ම ප්‍රියමනාප ධර්මය පුරුදු කරන්නන් නොවේද? මෙසේත් මෙලාවත් පරලොවත් ධර්මය ම ශ්‍රේෂ්ඨ වෙයි.

එක් ජීවිතයක අප මහා බෝසතාණෝ ගිනි පුදන බ්‍රාහ්මණ තාපසයෙක් වී වර්ෂ දහස් ගණන් ගිනි පිදීම විමුක්ති මාර්ගය යැයි කියමින් එය පුරුදු කළේ ය. ගිනි පිදීම ශ්‍රේෂ්ඨත්වයට මග යැයි දැඩිව අදහා ගත්තේ ය. හෙතෙම ආයු ක්ෂය වී මරණාසන්න වූ කල සයනාසනය හාත්පස ගිනිදැල් පෙනෙන්නට පටන් ගති. මේ නිරයේ ඉපදීමට පෙරනිමිත්ත බව හඳුනාගත් අප මහ බෝසතාණන් තමන් මෙතෙක් ඇදහූයේ මිථ්‍යාදෘෂ්ටියක් බවත්, එයම තමා ව නිරයට ගෙන යන බවත් වටහාගෙන සැණෙකින් ඒ මිසදිටු අතහැර කර්මඵල විශ්වාසයේ පිහිටි සේක්, නිරා ගිනි ද වහා නිවී දෙව්ලොව උපත ලැබීය.

(ලෝමහංස ජාතකය)

යම්තාක් අධර්මයේ සිටිත් ද ඒ තාක් ඇති මහා අනතුර…, ධර්මය වැළඳගත් වහා ධර්මය විසින් වළකයි. අහෝ! ශ්‍රේෂ්ඨ ධර්මයම යි.! එක් දිනක වාසව දෙවිඳුන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනයේ කුදුගැසුණු විරූපී යක්ෂයෙක් අසුන් ගත්තේ ය. හේ දුටු දෙව් පිරිස ඔහු කෙරෙහි කිපී, ඔහුට නින්දා අවමන් කරත් ම හේ පැහැයෙන් බැබළී වඩවඩාත් දැකුම්කළු වූයේ ය. එහි පැමිණි ශක්‍ර දේවේන්ද්‍රයෝ දකුණු දණුමඬල බිමලා, මෙත් සිතින් යුතුව වැඳගෙන “නිදුකාණෙනි, මම ශක්‍ර දේවේන්ද්‍රයා වෙමි.” යි තුන්වරක් කියත්ම ඒ ක්‍රෝධය අනුභව කරන යක්ෂ තෙම තව තවත් කුදු ගැසී තව තවත් විරූපී වී එතනම අතුරුදහන් වූයේ ය. මෙසේ ශක්‍ර දේවේන්ද්‍රයෝ සිය බලපරාක්‍රමය පසෙකලා නිහතමානීව, මෛත්‍රිය නම් ධර්මයෙන්ම ඒ යක්ෂයා පරාජය කළ බැවින් ද මෙලොවත් පරලොවත් ධර්මයම ශ්‍රේෂ්ඨ වෙයි.

අප මුනිඳුන් ධරමාන කාලයේ එක් තම්බදාඨික නම් චෝරඝාතකයෙකු පනස්පස් වසරක් සොරුන් මරා, රැකියාවෙන් විශ්‍රාම ලැබුණු දවසේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් නිවසට වැඩි ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේට පහන් සිතින් ගිතෙල් මුසු කිරි කැඳ පූජාකොට බණ ද අසා තිසරණ සීලයෙහි පිහිටියේය. තෙරුන් වහන්සේ ආපසු වඩිද්දී තම්බදාඨික උපාසක ඉමහත් ප්‍රීතියෙන් උන්වහන්සේගේ පිටුපස්සෙන්ම ටික දුරක් ගොස් තෙරුන් වහන්සේ නොපෙනී යන තුරු වන්දනා කරගෙන බලා සිටියේය. එවේලෙහි එක්තරා යක්ෂණියක් වැහුණු ගවදෙනක් මොහුගේ පිටුපස්සෙන් පැමිණ මොහුට ඇන්නාය. තම්බදාඨික එතනම මියගොස් නිදා පිබිදියාක් මෙන් තුසිත දෙව්ලොව උපන්නේය. දිගු කලක් සිත දූෂ්‍ය කළ අධර්මය අභිබවා සිත පෑදී දියක් සේ සුපහන් වී හෙතෙම ධර්මයෙන් නැගී සිටි අයුරු විස්මිතය. ඒකාන්තයෙන්ම මෙලොවත් පරලොවත් ධර්මය ම ශ්‍රේෂ්ඨ වන්නේ නොවැ!

කෙසේ නම් ධර්මය අධර්මය අභිභවා යයි ද? කුසලය අකුසලය අභිභවා යයි ද? පව යනු ස්වල්ප දෙයකි. දුබල දෙයකි. පවක් කරද්දී මා විසින් පවක් කරන ලදැයි සිතා විපිලිසර වෙනවා. ඒ හේතුවෙන් ඒ පව පිළිවෙලින් වර්ධනය වෙන්නේ නෑ. පින යනු විශාල ව පැතිරෙන දෙයකි. උතුම් වූ අධිකතර බලයකින් යුත්තකි. පිළිවෙළින් වර්ධනය වන දෙයකි. පිනක් කරන විට විපිලිසර නොවන නිසා සිත පිනා යයි. ඉන් ප්‍රීතිය ද පස්සද්ධිය ද සැපය ද සමාධිය ද මතු යථාභූත ඥානය ද සලසා දෙයි. අති බලවත් වූ පින දීර්ඝ කාලයක් මුළුල්ලේ සුදුසු අවස්ථා බලමින් විපාක දෙයි. ධර්මයෙන් ධර්මයම උපදවයි. කුඩා ගල වුව ජලයේ ගිලෙන නමුත් කරත්තයක ප්‍රමාණයේ ගල් සියයක් වුණත් නැවක තැබුව විට එය ජලයෙහි පා කළ හැකි සේ ම අකුසල් බලය නිෂ්ප්‍රභා කොට කුසල කර්මය නම් නෞකාව ඒ කුසලයෙහි යෙදෙන්නා ආරක්ෂා කරයි. අපායේ ගිලීමෙන් වළකයි.

(මිලිඳුරාජ ප්‍රශ්නය)

මෙසේත් මෙලොවත් පරලොවත් ධර්මය ම ශ්‍රේෂ්ඨ වේ.

යම් දිනක අපට ධනය අහිමි වනු ඇත. අඟපසඟ පවා අහිමි වනු ඇත. ‘මගේ’ යැයි දැඩිව වැළඳගත් ජීවිතයද අනපේක්ෂිත මොහොතක අහිමි වනු ඇත. අපේක්ෂා, ආශා පොදි බැඳ සිටිය දී ම මේවා අත්හරින්නට සිදු වීම මහත් දුකකි. කම්පනයකි. එම නිසා කල්තියාම ධනය අත්හැරීම සුදුසු ය. අඟපසඟ පිළිබඳ අපේක්ෂා ද අත්හැරීම සුදුසු ය. ජීවිතාපේක්ෂාව ද අතැර නිරතුරු මරණයට සූදානම් වීම සුදුසුය. කුමක් බලාපොරොත්තුවෙන් ද යත්, ඒ ධනයටත්, අඟපසඟටත්, ජීවිතයටත් වඩා වටිනා ධර්මය වෙනුවෙනි. ධර්මය ආරක්ෂා කොට එහි පිහිටා අධර්මය පිටුදැකීම වෙනුවෙනි.

“ධනං චජේ යෝ පන අංග හේතු” – “අඟපසඟ රැකීමට ධනය අත හරී.”
“අංගං චජේ ජීවිතං රඛ්‍යමානෝ” – “ජීවිතය රකිනු පිණිස අඟපසඟ අතහරී.”
“අංගං ධනං ජීවිතං චාපි සබ්බං” – “අංග ද ධනය ද ජීවිතය ද යන සියල්ල ම…”
“චජේ නරෝ ධම්මමනුස්සරන්තෝ” – “ධර්මය සිහිකරන නරයා ධර්මය රැකීම උදෙසා අත හරී.”

(මහා සුතසෝම ජාතකය)

මෙසේ ද ධර්මයම මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වෙයි.

මුළුමහත් පෘථිවියේ ඇති රන් රිදී මුතු මැණික් ආදී වස්තුව ඒකරාශී කොට කළ නොහැකි ‘සතර අපායෙන් සදහටම අත්මිදවීම’ සෝවාන් ඵලයෙන් සලසා දෙයි. මහා පෘථිවිය හා සමාන සංසාර දුක් නැති කොට කුඩා ගල් කැට හතක තරම් අල්ප දුකක් ජීවිත හතක් තුළ විඳ නිමා කරන පරිද්දෙන් සෝවාන් ඵලය පිහිට සදයි. මාර්ග ඵල පිළිවෙළින් කෙලෙසුන් ක්ෂය වෙමින්, සංසාර දුක් ද ක්ෂය වෙමින් අමා නිවනින් භව දුක නිමා කරයි. කිසිදු අධර්මයකින් ඒ අමා නිවනට හානි කළ නොහැක.

ගිහි වේශයෙන් අරහත්වයට පත්ව එක් දිනක් ඉක්මවා නොයා පිරිනිවනින් නිවෙන ජීවිතය, අධිකතර ගුණ ඇති පැවිද්ද හේතු කරගෙන ආයු ඇති තාක් ලොවට සෙත් සදා පවතී. ඒ මුනිවරුන්ගේ ශාරීරික ධාතුන් වහන්සේලා ද බුද්ධෝත්පාද කාලයේ කෙළවර තෙක් සත්වයන්ට සඟමොක් සැප සලසමින් මහානුභාව සම්පන්නව වැඩ සිටින සේක.

අද ද පැවිදි පරපුරට ඇතුළත් වන දුගී කුල පුතු පවා රජවරුන්ගේ මෙන්ම දෙව්බඹුන්ගේ පවා වැඳුම් ලබමින් පූජිත බවට පත් වේ.

මේ සියලු ධර්මයෙහි පීතෘ වූ, ධර්මස්වාමී වූ, ධර්ම ධාතුව අවබෝධ කළා වූ ධර්මරාජයාණන් වහන්සේ ධර්මයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ සේක්, සිය කැමැත්තෙන් පිරිනිවෙනු මිසක කිසිදු උපක්‍රමයකින් නැසිය නොහැකි ධර්මතාවයක පිහිටන්නේ උත්තරීතර ශාස්තෘත්වයකට සුදුසුමයැ. අහෝ…! ඒකාන්තයෙන් ම මෙසේද මෙලොවත් පරලොවත් ධර්මය ම ශ්‍රේෂ්ඨ වේ.

අපි… හැකියා නැත්තෝ වෙමු. ධර්මය අපට නැති හැකියාව උපදවත් ම ය. අපි (අකුසල් ප්‍රහාර හමුවේ) දුබල වෙමු. ධර්මයේ ප්‍රබල බව, ධර්මය වැළඳගන්නා බලවත් කරයි. අපි (ගුණසම්පත්තීන් හා ඤාණසම්පත්තියෙන්) නොමේරූවෝ වෙමු. වැටි වැටී හෝ යළි යළිත් ධර්මය කරාම යන්නා කෙමෙන් කෙමෙන් මෝරන පරිදි සකස් කිරීම ධර්මය විසින් කරනු ලැබේ. අපට මේ සසරෙහි වරදිනු ඇත. අප මුළා වනු ඇත. නොමඟ යනු ඇත. එනිසා විශ්වාස කළ යුත්තේ තමා ව හෝ අන්‍යයකු හෝ නොවේ; ශ්‍රේෂ්ඨ වූ ධර්මයයි. ප්‍රතිපදාවයි. ඒ මෙලොවත් පරලොවත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂ්ඨ වන නිසාවෙනි.

පෘථිවිය වසා අකුරු කරවිය හැකි අනේක ප්‍රකාර වූ ධර්මයේ ශ්‍රේෂ්ඨ බව සහෘදයනි, දකින අසන නිමිති මාත්‍රයක් පාසා සිතත්වා…! වීදි දෙපස, කඩපිල්ය. විවිධ තරාතිරමේ මිනිසුන් ය. සසර කළ යහපත – අයහපත ම ප්‍රදර්ශනය වේ. අධර්මයෙන් සත්වයා විඳින දුක් පෙනේ. ධර්මයේ ශ්‍රේෂ්ඨ බවින්ම සත්වයා සැප ද විඳියි. දුකින් ද අත්මිදෙයි.

ලොව අග්‍ර දායාදය වූ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය දායාද කරගන්න අප සැමට වාසනාව උදා වේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.