හිතට දරාගන්න බැරි තරම් දුක් පීඩා ඇතිවුණ දවස් අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. අපි එතකොට කියනවා මේක මගේ කරුමයක් කියලා. නමුත් අපට හිතුණෙ නෑ පවට විතරක් නෙවේ, පිනටත් කියන්නෙ කර්මය කියලා. දන් දුන්නම සැප ලැබෙනවා කියන්න විමානවත්ථු කියවලා අපි දන්නවා. පේතවත්ථුවේ කථා කියවපුවම අපි දැනගත්තා දන් නො දුන්නා ම, අනුන්ගේ දේට ආසා කළා ම දුගතියේ දුක් විඳින්න වෙනවා කියලා. දුක අතර දෝලනය වන අප විසින් ම කරපු, කියපු දේවල් අපේ දේ කරගෙන මේ යන ගමනේ අපට තව වරදින්න පුළුවන් තැනක් ගැනයි මේ කියන්නේ.

සැවැත් නුවර කියන්නේ හරි ලස්සන පින්වන්තයෝ පිරුණ පින් බිමක්. ඒ වාසනාවන්ත භූමියේ හිටියා ‘ධාන’ කියලා තරුණයෙක්. බුදු බණ ඇසුණට පස්සේ ධාන කුමරුට හිතුණා ‘මේ ජීවිතේ නම් දුකක්. මම පිරිසිදු බඹසර රකින්න ඕන.’ කියලා. ඉතින් උතුම් පැවිද්ද ලබාගත්තා. වනගත කුටියකට ගිහින් වීරිය වඩන්න පටන් ගත්තා. ටික දවසක් යනකොට පිණ්ඩපාතේ වඩින මේ අහිංසක තරුණ භික්ෂුවට මිනිස්සු එක එක දේ කියන්න පටන් ගත්තා.

“ස්වාමීනි, මේ දන් හැන්ද ඔබ වහන්සේට, අනිත් දන් හැන්ද ඔබ වහන්සේගේ ඇඹේණියට.” කියලා.

මේ කියන කථා මේ භික්ෂුවට තේරුණේ නෑ. අන්තිමේ දී තමන් එක්ක එකට පැවිදි වූ භික්ෂූණුත් එක එක දේ කියන්න පටන් ගත්තා. මේ අහිංසක භික්ෂුව ව සියලු දෙනා සැකකරන්න පටන් ගත්තා. බාහිරින් බලන හැමෝට ම අසංවර විදියට ඇඳපු, අසංවර ඉරියව්වෙන් හැසිරෙන කාන්තාවක් මේ ධාන භික්ෂුව ළඟ ඉන්නවා පෙනුනා. මේ නිසා ම මේ භික්ෂුවට ‘කුණ්ඩධාන’ කියන නම ඇති වුණා.

මේ විදියෙ කාන්තාවක් තමා ළඟ හැසිරෙන බව භික්ෂුවට වැටහුණේ නෑ. ඒ නිසා බඹසරට කරන මේ චෝදනා හැම එකක් ම ප්‍රතික්ෂේප කළා.

මෙය සැබෑවක් විදියට සලකපු, ධර්මය ගැන – සසර ගැන වැඩි වැටහීමක් නැති භික්ෂු පිරිස හරියට කලබල වුණා. උතුම් භූමිය කෙලෙසනවා කියලයි ඔවුන් හිතුවේ.

අනාථපිණ්ඩික සිටුතුමා, විශාඛා උපාසිකාව ආදීන් දැනුවත් කළා. අන්තිමේ දී මේ භික්ෂු පිරිස කෝසල රජුට දන්වන්න කල්පනා කළා.

“දේවයන් වහන්ස, අහස පොළව නුහුලන අපරාධයක් සිදුවෙනවා. සිවුරු දරාගත්ත පැවිද්දෙක් අසංවර කාන්තාවක් එළිපිට ම, යන යන තැන අරං යනවා. දේවයන් වහන්ස, මේ ගැන කළ යුතු දේ කරන සේක්වා. තව නොබෝ කලකින් දරුවනුත් රැගෙන යාවි.”

“ස්වාමීනි, කොහෙද ඔය වසලයා ඉන්නේ? මං ම ගොහිං මේ විජිතයෙනුත් පන්නා දමන්නම්. මගේ විජිතයේ එහෙම නොහොඹිනා නොපනත්කම් කරන්න ඉඩක් නෑ.”

මෙහෙම ප්‍රකාශ කළ පසේනදී කෝසල රජතුමා කුණ්ඩධාන හිමියන් වැඩසිටි කැලෑබද කුටියට සේනාව සමඟින් ගියා. සේනාවේ ඝෝෂාව අහලා භාවනා කරමින් සිටිය කුණ්ඩධාන භික්ෂුව කුටියෙන් එළියට වැඩියා. දොර ඇරගෙන වඩිනකොට අසංවර ගැහැනියක් කුටියේ එහෙට මෙහෙට යනවා මහරජුටත්, සේනාවටත් පෙනුනා. කෝසල රජතුමා ඉදිරියට ගියා. ඇසින් දුටු සාක්කියක් එක්ක ම අපැහැදුණ රජතුමා ඇසුවා

“කවුද, අර ගෑනි?”

“දේවයන් වහන්ස, ඒක තමයි, මේ අනිත් භික්ෂූනුත් එහෙම කියනවා. මම නම් දන්නේ නෑ.”

රජතුමා ම කුටිය ඇතුළට ගියා කවුරුත් නෑ. ආයෙත් තෙරුන් ඉදිරියෙන් හිටගත්තාම කුටියේ ඇතුළේ කාන්තාවකගේ ඡායාවක් යනවා පේනවා.

රජතුමා හොඳින් පරීක්ෂා කළා. පැය කීපයක මෙහෙයුමකින් පස්සේ මේ බුද්ධිමත් රජුට තේරුණා මෙය සාමාන්‍ය හිතන නීතිය ක්‍රියාත්මක කරන සීමාව ඉක්මවා ගිය දෙයක් බව.

“ස්වාමීනි මේක හරි බැරෑරුම් කාරියක්. අපි නොහිතන දෙයක් මෙතන තියනවා. ඔය අසංවර කාන්තාව ඇත්තටම නෑ. පේන්න තියෙන නිසා නැත්තෙත් නෑ. මට තේරෙනවා ඔබ වහන්සේ පිරිසිදු ව සිල් රකිනවා. නමුත් පිණ්ඩපාතේ යන නිසා අනිත් අය අපහදීවි. ඒ නිසා ඔබ වහන්සේ දුක්ගන්ට කාරි නෑ. හෙට ඉඳන් මාළිගයට වඩින්න. මං දන්පැන් පුදන්නම්.”

මහරජතුමා පැහැදුනා කියලා අර භික්ෂූන්ට ඉවසුම් නැතුව ගියා. අන්තිමට කුණ්ඩධාන භික්ෂුවට චෝදනා කළා. කිසිම වරදක් නැතිව, පිරිසිදුව සිල් රකින කුණ්ඩධාන භික්ෂුවට නිවැරැද්දේ අසන වචන ඉවසන්න බැරුව ගියා. උන්වහන්සේ පෙරලා නපුරු වචන කිව්වා. අන්තිමට මේ සිද්ධිය භාග්‍යවතුන් වහන්සේටත් දැනුම් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩධාන භික්ෂුව ඇමතුවා.

“පින්වත් භික්ෂුව, ඔබ ස්ත්‍රීවාදයෙන් අනිත් අයට චෝදනා කරන්න එපා. නමුත් සිත්‍රියක් ඔබ පිටුපසින් එනවා කියනවා නම් ඒක ඇත්තක්. ඔබට එය පෙනෙන්නේ නැත්තේ ඔබේ ම කර්ම විපාකයක් නිසා. ඉතින් මේ භික්ෂූන්ට දොස් පවරන්න ගිහිං ආයිම අවුලක වැටෙන්න එපා.

පින්වත් ධාන, කවුරු මොනවා කිවුවත්, නිශ්ශබ්දව ඉන්න. යකඩ බඳුනක කට කැඩුණා වාගේ නිහඬ ව ඉන්න. අනිත් අයට ඕන දෙයක් කියන්න අරින්න. ඒක තමන්ට භාවනාවක් කරගන්න, ධර්මයේ හැසිරෙන්න බාධාවක් කරගන්න එපා.”

භාග්‍යවතුන් වහන්සේ අනිත් භික්ෂූන්ට කරුණු පැහැදිලි කළා.

“පින්වත් මහණෙනි, මේ භික්ෂුව සිල්වත්. නමුත් අතීතයේ සිදුවුනු කර්මයක විපාක මේ ගෙවන්නේ. මේ භික්ෂුවට අනුකම්පා කරන්න.”

මෙහෙම වදාළ භාග්‍යවතුන් වහන්සේ අතීතයේ යටවෙලා ගිය කථාවක් විස්තර කළා.

“පින්වත් මහණෙනි, මේ භික්ෂුව කස්සප බුදුරජුන්ගේ කාලයේ දේවතාවියක්. මේ දේවතාවිය දුටුවා පොහොය කරන්න වඩින ඉතා සමඟි සම්පන්න භික්ෂූන් දෙනමක්. දැකලා සිතුවා.

‘ඇත්තෙන්ම, මේ දෙදෙනා තුළ තියෙන සමඟිය ඇත්ත එකක් ද? කාටවත් බිඳින්න බැරි එකක් ද? මම අත්හදා බලන්න ඕන.’

මෙහෙම හිතලා, වැසිකිළි යාමේ අවශ්‍යතාවෙන් බැහැරට යන භික්ෂුව පිටුපසින් මනුෂ්‍ය කාන්තාවකගේ වේශයෙන් ගියා. අනිත් භික්ෂුව අසංවර ඉරියව්වෙන් ඒ භික්ෂුව ගිය දෙසට යන ඒ කාන්තාව දුටුවා. දැකලා අර භික්ෂුවගේ බඹසර සීලය ගැන සැක කළා. බඹසර නැති දුස්සීලයෙක් කියලා චෝදනා කළා.

පොහොය කරන්න ගිය අවස්ථාවේ සංඝයා අතර ලොකු අර්බුදයක් පැන නැංගා. මේ කලබැගෑනිය දුටු දේවතාවියට බය හිතුණා. තමා අතින් බරපතළ දෙයක් සිදුවුණ බව තේරුම් ගත්තා.

තමන් ඒ භික්ෂු දෙනමගේ සමඟිය ස්ථිර බව පරීක්ෂා කරන්න මෙසේ කළ බවත්, ඒ භික්ෂුව සිල්වත් නිර්දෝෂී බවත් ප්‍රකාශ කළා. සංඝයාගෙන් සමාව ගත්තා.”

මෙන්න මේ විදියට මෙතරම් නින්දා අපහාස ලබන්න අද්භූත කර්ම විපාකයක් ගෙවන මේ භික්ෂුව ගැන භාග්‍යවතුන් වහන්සේ විස්තර කළා.

පින්වත්නි, මේ චෝදනාවක් ඇතිවෙන විදියට අත්හදා බැලුවේ ප්‍රේතයෙක්, අමනුෂ්‍යයෙක් නෙවෙයි. දෙව්ලොව දේවතාවියක්. දෙවියන් අතර ඉපදුනු අය පවා මේ වගේ නුවණ මඳ දේවලට පැටලෙනවා නම් අන් අය ගැන කවර කථා ද? කේළාම්, බොරු, පාවා දෙන ස්වභාවය මේ ලෝක ස්වභාවයක්. එහෙනම් සාස්තර වැනි දේවලින් මුළාවෙලා රණ්ඩු සරුවල් කලකෝලාහල ඇතිවෙනවා. අපි වටහාගන්න ඕන, නොපෙනෙන ලෝකේ සියලු දේ ම නිවැරදි නැති බව.

දැන් ඒ වගේ කෙනෙක් කර්ම විපාකයක් විඳිනකොට ඒ කෙනා වැරදි, දඬුවමට සුදුසු කෙනෙක් බව බැලූ බැල්මට පේනවා. නමුත් ඒ පේන දේ සම්පූර්ණයෙන් නිවැරදි නෑ. කුණ්ඩධාන භික්ෂුවට චෝදනා කරන්න සාධාරණ පරිසරයක් තිබුණා. නමුත් චෝදනා කරන කෙනාට පව් රැස් වෙනවා. එනිසා තව කෙනෙක්ගේ වරදකට නින්දා කරන්න, චෝදනා කරන්න කලින් හිතන්න මේ කෙනා සසරේ සිදුවූ දෙයක් විඳිනවා වෙන්න පුළුවන්, අපි සසරට දෙයක් රැස් කරනවා වෙන්න පුළුවන්.

හොඳ ම දේ චෝදනා විවේචන නො කර සිටීම යි. සාධාරණය අසාධාරණය කියල කියන්නෙ සසරට අයිති දෙයක් ම යි. ඒ නිසා උපේක්ෂාවට පත් වීම යි උතුම්. හැබෑවට ම කාන්තාවක් ඉන්නවා පෙනුනා නම් තව මොනවා නම් නො වේවි ද…

ඒ වගේ ම අපි දක්ෂ වෙන්න ඕන අනවශ්‍ය දේට ඇඟිලි නො ගසා ඉන්න. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ නො කරගෙන ඉන්න. තමන්ට කර ගන්න බැරි වැඩ, අනිත් අය ලවා කරව ගන්නකොට ඒවගෙන් වළකින්න. තව කෙනෙක් තමන් ළඟට ඇවිත් ගතු කියනකොට ඒ දෙයින් කිපිලා වචනවත්, ක්‍රියාවන්වත් පවත්වන්න එපා. වීරත්වයෙන් ඔද වැඩිලා පව්කම් කළොත් ඒවා විඳින්නේ අහිංසක දීන සිතකින් බව මතක තියා ගන්න ඕන.

මේක භයානක සසරක්. වටහගන්න බැරිතරම් දුෂ්කර, උහුලන්න බැරි තරම් දුක්බර සසරක්.

(මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.)