අපි හැමෝම අපේ ජීවිතයේ දියුණුව කැමතියි. ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, කැපකිරීම් කරනවා, උත්සාහය වගේ ම වාසනාවත් උරගා බලනවා. නමුත් මොහොතක් නැවතිලා කල්පනා කරන්න, ගොඩක් අය ව්‍යාපාර ආදිය කරමින් උත්සාහ කළත් එයාලට තමන්ගේ ඉලක්කයට ළං වෙන්න ගොඩක් අමාරුයි. සමහර විට ජීවිත කාලයේ ම උත්සාහ කළත් එයාගේ ඒ ඉලක්කයට යන්න බැරිවෙන බවත් පේනවා. ඒ ඇයි…? ඒකට හේතුවක් තියනවා ද?

ඔව්, ඒ ප්‍රශ්නේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඔය විදිහට ම අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ අපූරුවට පහදා දෙනවා කර්මානුරූප ව මේ දේවල් පසුපස තිබෙනා කාරණා මොනවා ද කියා.

“ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් කඩාකප්පල් වී යන්නේ වෙයි නම් එයට හේතුව කුමක් ද? එයට කාරණය කුමක් ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් සිතූ පරිද්දෙන් දියුණු නො වෙන්නේ නම් එයට හේතුව කුමක් ද? එයට කාරණය කුමක් ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා අදහස් කළ අයුරින් දියුණු වෙයි නම් එයට හේතුව කුමක් ද? එයට කාරණය කුමක් ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා නො සිතූ අයුරින් අතිශයින් ම දියුණුවට පත්වෙයි නම් එයට හේතුව කුමක් ද? එයට කාරණය කුමක් ද?”

1. “සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය නොදෙයි. ඉදින් එය නොදුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම්, ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද, ඔහුගේ ඒ වෙළඳාම කඩාකප්පල් වෙයි.

2. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් වූ පරිදි නොදෙයි. ඉදින් එය අදහස් වූ පරිදි නොදුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම්, ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද, ඔහුගේ ඒ වෙළඳාම සිතූ පරිද්දෙන් දියුණු නොවෙයි.

3. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් වූ පරිදි දෙයි. ඉදින් එය අදහස් වූ පරිදි දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම්, ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද, ඔහුගේ ඒ වෙළඳාම සිතූ පරිද්දෙන් දියුණු වෙයි.

4. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් කළ ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දෙයි. ඉදින් එය අදහස් කළ ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම්, ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද, ඔහුගේ ඒ වෙළඳාම නොසිතූ අයුරින් ඉතාමත් වැඩිදියුණු වෙයි.

(වණිජ්ජා සූත්‍රය – අං. නි. 02)

ඔබ මේ ධර්ම පරියාය ඉක්මනින් කියවා ඔබේ ඉලක්කය අතහරින්න යනවා නම් ඒක බුද්ධිමත් කෙනෙක්ගේ ලක්ෂණයක් නෙමෙයි. මොකද භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය ලෝකයට දේශනා කළේ කෙනෙක් ව පසුබස්සවන්න නම් නෙමෙයි. එයාට තිබෙන බාධාවන් හඳුනාගෙන ඒ බාධා ජයගන්න මග හෙළිදරව් කරදෙන්න යි. ඒ නිසා, මේ වෙලාවෙ අපි අපේ දියුණුවට ඇති බාධා ගැන හොයා බලමින් ජීවිතයේ ජයග්‍රහණය සොයාගෙන යමු.

වරදින්න බය වෙන්න එපා…!

අපි ගොඩක් වෙලාවට බය වෙන්නේ අපිට වරදීවි, වටේ ඉන්න මිනිස්සු මොනවා කියාවි ද දන්නේ නැහැ කියලා. ඒ නිසා අලුත් වැඩක් පටන් ගන්න වගේ ම අවදානමක් ගන්න අපි ගොඩක් බයයි. හැමදාම එක ම තැන පල් වෙන වතුර වගේ වෙලා ඔහේ ජීවත් වෙනවා. මෑත කාලයේ බිහි වුණ හොඳ ව්‍යාපාරිකයෙක් තමයි අලි බබා සමාගමේ අයිතිකරු චීන ජාතික ජැක් මා. එයා ගියපු ගියපු හැම සම්මුඛ පරීක්ෂණයෙන් ම අසමත්. ඔහු හැම වෙලාවෙ ම ප්‍රතික්ෂේප වුණ චරිතයක්. නමුත් එයා තමන්ගේ ජීවිතය වෙනස් කර ගන්නවා කියන ඉලක්කයේ ජීවත් වුණා. අලුත් ව්‍යාපාරික සංකල්ප හොයාගෙන යන්න හදද්දී වටේ සිටි හැමෝ ම ‘ජැක් මාට පිස්සු කියලා හිනා වෙන්න පටන් ගත්තා. නමුත් ඒ කිසිම දෙයක් තමන්ට බාධාවක් නොකරගත්ත ඔහු අවසානයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වුණේ ඒ සිනාවන්, පසුබැස්සවීම්, ප්‍රතික්ෂේප කිරීම් තමන්ගේ ජීවිතේ පසුකරපු සැතපුම් කණු බවට පත් කර ගනිමින්.

නමුත් හිතන්න, ‘මේක මගේ පෙර කරපු කර්මයක්, මේකෙන් ගොඩයන්න බැහැ’ කියලා හිතලා ‘ජැක් මා’ තමන්ගේ ඉලක්කය අත්හැරියා නම් අද ඔහුට තමන් ඉන්න මේ තැන හිමි වෙන්නේ නැහැ.

අත්නොහැර වීර්යය කිරීම ගැන තුන්ලොවට ම උත්තම උදාහරණයක් මම මතක් කරන්නම් ඔබට. එක් ඇසළ පෝය දවසක රාජ කුමාරයෙක් තමන්ගේ සියලු සම්පත් අතහැරලා මාලිගයෙන් පිටත් වුණා, කවුරුත් නො දැකපු, නො විඳපු අවබෝධය සහ විමුක්තිය සොයාගෙන. ඒ ගැන අහගන්නවත් කවුරුවත් නැහැ, ඒ ගැන කියලා දෙන්නත් කවුරුවත් නැහැ. බොහොම බලවත්, බොහෝ පාපී බලවේගයක් හමුවේ පවා තමන්ගේ වීර්යය මුවහත් කර ගන්න මේ තරුණයාට හැකි වුණා. අවුරුදු 6ක් එක ම ඉලක්කයක් සාක්ෂාත් කිරීම වෙනුවෙන් අප්‍රමාණ ව වීර්යය කළා. හිතාගන්නටවත් නො හැකි තරම් දුෂ්කර, කටුක ප්‍රතිපදාවන්ගේ යෙදුණා. එය බැහැර කර මධ්‍යස්ථ පිළිවෙතකට එද්දී ඔහුව අත්හැර දමා ළඟ ම උන්නු පිරිස පිටුපා ගියා. නමුත් ඒ කිසිවකින් නොසැලුනු මේ උතුම් මනුෂ්‍ය රත්නය ජීවිතය පරදුවට තබා කළ වීර්යයේ ප්‍රතිඵලය විදිහට යථාවබෝධය උපදවා ගත්තා.

නමුත් හිතා බලන්න, ඇසටවත් නො පෙනෙන අඳුරු, පාපී බලවේග පසුබෑම් ඇති කරවීමට කටයුතු යොදද්දී ‘අනේ මට මේක කර ගන්න බැහැ’ කියා සිතුවා නම්, සය අවුරුද්දක් අනන්ත දුක් විඳිද්දී ‘මේක මගේ කර්මය, අවාසනාව’ කියා සිතුවා නම්, තමන් ළඟ ම උන්නු අය පිටුපා යද්දී මනසින් ඇද වැටුනා නම් අද ගෞතම බුදුරජාණන් වහන්සේ කියන නම නෑසෙන්න තිබුණා. එදා උන්වහන්සේ නොපසුබට වීර්යයයෙන් කටයුතු කළ නිසා ලෝකයේ බොහෝ දෙනා යථාවබෝධය උපදවා ගත්තා.

සාර්ථක බවේ රීති තුන

කෙනෙකුට ඇත්තටම සාර්ථක වෙන්න ඕන නම් එයා අනිවාර්යයෙන් ම අනුගමනය කළ යුතු ලස්සන සහ බලවත් රීති තුනක් තියනවා. ඒ රීති තුන අප ව සාර්ථකත්වය වෙත ගෙන යන බව අපි මතක තියා ගන්න ඕන.

1. පටන් ගන්න
*අපිට හීන තියනවා, ඉලක්ක සහ අරමුණු තියනවා. නමුත් ඒ ඉලක්ක අරමුණු නිකන් හිතේ තියාගත්තා කියලා අපිට ඒ ඉලක්ක සහ අරමුණු වෙත යන්න බැහැ. ඒක හරියට කාට හරි යවන්න ලියුමක් ලියලා ලාච්චුව ඇතුළේ දාගෙන ඉන්නවා වගේ වැඩක්. ඒ නිසා කෙනෙක් හොඳින් සැලසුම් කරලා පටන් ගත්තොත් ඒ තමයි සාර්ථක බවේ පළමු පියවර.

2. පවත්වාගෙන යන්න
*අපි ගොඩක් දෙනෙක් දේවල් පටන් ගන්න දක්ෂයි. මේ වෙනකොට අපි ගොඩක් දේවල් පටන් අරන් ඇති. නමුත් ඒ අතරින් කීයක් අපි සාර්ථක ව පවත්වාගෙන යනවා ද? නිකමට හිතන්න අලුතෙන් ව්‍යවහාරික වර්ෂයක් පටන් ගන්නකොට කිරි උතුරවලා, කිරිබත් කෑල්ලක් කාලා කීයක් වැඩ අපි පටන් ගත්තා ද? 2017 වසරෙත් එහෙම ආරම්භ කරපු කීයක් දේවල් මේ මාස ගාණට අපිට අමතක වෙලා ගිහිල්ලා ද? ඒක හරියට හොඳට සැලසුමක් ඇඳලා, භූමි දෝෂ හොයලා, ඉවත් කරලා අලුත් ගොඩනැගිල්ලක් හදන්න මුල් ගඩොල තිබ්බා වගේ. එතනින් එහාට කිසි ම දෙයක් නැහැ.

3. අවසන් කරන්න
*හොඳින් සැලසුම් කරලා පටන් අරගෙන, පවත්වාගෙන ගිහින් අවසන් නො කරපු දේවල් අනන්තවත්. ඒ නිසා පටන් ගත්ත ඕනම වැඩක් අවසන් කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. නැත්නම් අපිට ඒ ඉලක්කය වෙතට ආසන්න වෙන්නවත් බැහැ. මේ පියවර තුන රඳා පවතින්නේ වීර්යය තුළ බව අපි අමතක නො කළ යුතුයි.

සැමට මුල්වෙන හිතේ උදව්ව…

දියුණුව කියන දේට උදව් ගන්න හොඳ ම කෙනා තමයි අපේ හිත. මෙයා කොයිතරම් බලවත් ද කිව්වොත් මේ හිතට පුළුවන් කෙනෙක් ව මරණින් මතු යන තැන තීරණය කරන්න. ඒ වගේ ම යි හිතට තියෙන්න විස්මිත හැකියාවක්. කෙනෙක් හිත සමාධිමත් කරලා සියුම් කරලා එක් එක් විස්මිත ක්‍රියා කළා කියලා බුද්ධ කාලයේ වගේ ම අදත් අහන්න ලැබෙනවා. එහෙව් හිත කෙනෙක් ව පරිහානියට පත් කරන්න තරම් බලවත් නම් කෙනෙක් ව දියුණුව සහ සාර්ථකත්වය කරා ගෙනියන්න බැරි ද? ඔව්, කෙනෙක් ව සාර්ථකත්වයට ගෙනියන්න හිතෙන් ගන්න පුළුවන් උදව් විශාලයි.

කන්ද තරණයට පෙර – හිතෙන් තරණය…

අපිට අපේ කරන්න තියන දෙය, අපේ ඉලක්කය හිතෙන් මුලින් ම දකින්න පුළුවන් නම් එය අපේ ඉලක්කයට යන්න අපිව පොළඹවන සාධකයක් බව අත්දැකීම් තුළින් ම ඔබට තහවුරු වී ඇති. ඒ කියන්නේ ඔබේ ඉලක්කයට ළඟා වන අයුරු, සාර්ථක බව ලැබුණ අයුරු සිහිනයක් වගේ නිතර දෙවේලේ දකින්න. උත්සාහයට ලොකු ම පිටුවහල එයින් ලැබේවි.

එක්තරා ඔලිම්පික් ක්‍රීඩිකාවක් තමන් උස පැනීම කියන ඉසව්වට සහභාගී වීමට ප්‍රථම එය සන්සුන් මනසින් පැත්තකට ගොස් මෙනෙහි කරන බව සඳහන් කළා. ඒ හරහා තමන්ට ලොකු ශක්තියක් දැනෙන බවත් ඇය සඳහන් කළා. ඒ නිසා ම තමයි ගොඩක් වෙලාවට තම ඉලක්කය නිතර දෙවේලේ පෙනෙන අයුරින් තබන්න කියා සඳහන් වන්නේ. නමුත් අමතක නො කළ යුතු ම වටිනා ම සාධකය තමයි කොයිතරම් ධනාත්මකව සිතුවිලි මෙහෙයවූවත් ඒ හරහා තමන් පොඩි හෝ උත්සාහයක් නො කර ‘ඇලඩින්ගේ පුදුම පහනේ’ වික්‍රමය බලාපොරොත්තු වෙනවා නම් ඒක හුදෙක් ම කාලය කා දැමීමක් පමණයි.

හිතෙන් වෙනස් වූ පරිසරය….

ගොඩක් වෙලාවට අපේ ඉලක්කවලට යන විට ඇතුළතින් වගේ ම පිටතිනුත් ගොඩක් බාධා සිද්ධ වෙනවා. පරිසරය කියන සාධකයත් අපේ දියුණුවට බලපානවා. එහෙනම් මොහොතකට හිතන්න මේ දේ අපට වෙනස් කරන්න බැරි ද? යම් ප්‍රමාණයක් පුළුවන්, අපට එදිරිව යන පරිසරයක් නම් තියෙන්නේ මෛත්‍රිය කියන සාධකය හරහා අපිට මිතුරු පරිසරයක් බිහි කර ගන්න පුළුවන්. ඒ හරහා විශාල පිනකුත් රැස් වෙනවා. ඔබට හානි කරන ද්වේෂයත් නැති වෙනවා. තවත් දෙයක්, ඔබ නිතර ම කොන් වෙලා වගේ දැනෙනවා නම් මෛත්‍රිය සමඟ අන් අයගේ මිතුරු බව විශ්වාස කරන්න. සැමවිට ම කෙනෙක් ඉදිරියට මුණගැහෙන විට ‘මේ කෙනා සුවපත් වේවා!’ යැයි සිතමින් මුව පුරා සිනාසෙන්න. අවංකව ම ඔවුන්ට සුභ පතන්න… ඇත්තට ම පරිසරයේ වෙනසක් ඔබට දැනේවි.

කර්මයත්, අවාසනාවත් වෙනස් කරන්න…

ඔබ කරන කරන දේ සාර්ථක නො වන්න පුළුවන්, පරාජය එක දිගට ගලාගෙන එන අවස්ථා තුළ, අමිහිරි අත්දැකීම් තුළ ඔබ පීඩනයට පත් වෙන අවස්ථාත් ඔබට මුණගැසේවි. ඔබ එය කර්මයටවත්, අවාසනාවටවත්, වෙන කිසි ම දෙයකටවත් බාරදෙන්න යන්න එපා. ඔබට හිතෙනවා නම් පින මදි කියා ජීවිතය සාර්ථක කර ගන්න, ඇයි තවත් කර්මය, කර්මය කිය කියා බලා ඉන්නේ? අවස්ථාව ලැබෙන හැම මොහොතේ ම පින් රැස් කරන්න. ඒ පින කවදාවත් අපතේ යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මානසික පීඩාව දුරුවෙන්න වගේ ම බාධා මග හැරෙන්නත් ඒ රැස් කරන යහපත් කර්මය ඔබට උපකාර කරාවි.

සැප දුක සමබර වේ…

දියුණුව බලාපොරොත්තු ඔබට වගේ ම මටත්, අපේ පෞරුෂය ගොඩනගා ගැනීම අතිශයින් ම අවැසි දෙයක්. පෞරුෂය යන්නට ඉවසීම, කැපකිරීම, සැප දුක එක සේ බාර ගැනීම වැනි කාරණා ගොඩක් බලපානවා. ඉලක්කයට ළඟා වෙන්න බොළඳ චරිතවලට නො හැකියි. ඒ නිසා ශක්තිමත් පෞරුෂයක් ධර්මය තුළින් ඇති කරගෙන ඉවසීමෙන් ගමනක් යන්න ඔබ හැමට ම ශක්තිය ලබේවා!

සටහන – කෞශල්‍ය. අයි. රණසිංහ