කාර්යබහුල අවිවේකී දිවියක් ගත කරන ඔබට එක්වරම ඔබ පවුලේ සමීපතමයෙක් භයානක අනතුරකට මුහුණ දී සිටින බව දැනගන්නට ලැබුණොත්, නැතිනම් අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගෙන සිටින බව දැනගන්නට ලැබුණොත්, ඒකාන්තයෙන් ම නිම්හිම් නැති ශෝකයකින් ඔබ සිත වෙලාගනු ඇති. ඉතින් ඒ පුද්ගලයා, ‘මට මෙසේත් කළා’ යැයි වෛරය පිහිටුවාගෙන සිටින සතුරා නම්…
සිතෙහි ස්වභාවය
හොඳින් සිටිනා තුරු සතුරාට වෛර කරත්, මෙබඳු තත්ත්වයකට පත් වුවහොත් සතුරා කෙරේ පවතින වෛරය යට කරගෙන කරුණාව උපදින්නේ ය. ඒ අප සිත් තුළ උපදින කරුණාවේ ස්වභාවය යි. දුකට පත් වූ විට කරුණාවත්, අඩියක් ඉහළට තැබුවොත් විනාශයත් පතයි. සිතුවිලි හසුරුවන ආකාරයට අනුව සිතුවිලි දහරට විෂ මුසු වෙයි. එතුළින් ඔහු තුළ සතුරෙක් නිර්මාණය වෙයි. විනාශය කැමති වෙමින් මිහිරි ආශ්වාදයක් ලබයි. විෂ ඇතුළු වූ බව නොදත් හේ එතුළින් ම විඳවයි.
අසාමාන්‍ය සිතක්
කෙසේ නමුත් කාෂ්ඨක පරිසරයට පතිත වන සිහිල් සුවදායක වරුසාවක් සේ ලොවට සිරි සැපත සලසාලන අයෙක් ලොව තුළ කලින් කල පහළ වෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ සිතීම් රටාවෙන් ඔබ්බට ගිය ඔහු ඉතාමත් කලාතුරකින් පහළ වන්නෙකි. ගලා හැළෙන දිය ඇල්ලක සිසිලස භේදයක් නැතිව ඕනෑම අයෙකුන් නිවා සනසාලන්නාක් සේ සියලු සත්වග හට මෙත් සිසිල බෙදා දෙයි. ඔහුට සතුරන් ඇතත් ඔහු තුළ කිසි සතුරෙකු නොවනා මේ අසාමාන්‍ය පුද්ගලයාට බෝසත්වරයෙකැයි කියති. වරෙක තිරිසන්ගත සත්වයෙකි. කෙසේ නමුදු චින්තනය නම් සුවිසල් ය.
තම පරපුරට පවා දැවැන්ත පරාජයක් අත්කර දුන් තම සතුරා තම ග්‍රහණයට හසුවූ විට ඉදින් හේ අභය ඉල්ලා සිටින්නේ වී නම් ජීවිත දානය ලබා දෙන්නේ වෙයි. මෙසේ ද පවසත්. ‘මම තා අද මරණයෙන් මුදමි. පුතුන් තිදෙනෙක් ඇති ලොව – නැත සිව්වැනියෙක්. තම ශිෂ්‍යයා එක් පුතෙකි. අනෙකා හදාගත් දරුවා ය. තමාට දාව උපන් දරුවා තුන්වැන්නා ය. තොපත් ඒ පුතුන් අතරින් එකෙකි. දක්ෂ වෙදෙක් ලෙඩෙක් සුවපත් කරයි ද පිපාසිත වූවන්ගේ පවස සිහිල් දිය විලෙන් නිවෙයි ද හිම වැටෙන සීතලෙන් රැකෙන නිවෙසක් වේ ද එසෙයින් මම තොප රකිමි.’ මෙලෙසින් ලොව කිසිවෙකුත් නොසිතනා දේ ඔහුට සිතේ. මෙසේ අනේක අයුරින් සිතමින් මහපොළොව පවා කම්පිත ප්‍රකම්පිත කරවන අද්භූත උත්තමයෙකි හේ…
විෂ සිතුවිලි
ලොව පුරා නානාප්‍රකාර ගතිගුණැතියන් හමුවෙති. ඇතැමුන් තුළ උපදින සිතුවිලි තුළට ඔහුත් නොදැනම විෂ මුසු වී, විෂ සහිත චිත්ත ධාරාව විසින් ඇති කරන බලපෑමට උතුම් අරමුණක් මුදුන්පත් කරගැනීමට පැමිණෙනා මහා පුරුෂයින් පවා හසුකර ගනිමින් තමාත් දුක්ඛිත ඉරණමක් උරුමකර ගනී.
විෂ මුසුවන අයුරු
එවර ඒ මහා පුරුෂයාණෝ මහා ඍද්ධිමත්, සවණක් ගණ රැස් විහිදෙන දළැති, අට දහසක් වූ ඍද්ධිමත් ඇත් සේනාවකට නායක වූ මහා හස්තිරාජයෙකි. ඇත් රජුට බිරින්දෑවරු දෙදෙනෙකි. දෙදෙනටම සමව සෙනෙහස දැක්වූ ඇත්රජු දිනක් සල් මලින් පිරීගිය සාල වෘක්ෂයක් අසලට පැමිණියේ ය. සල් රුක් මුල සිටි ඇත් රාජිනියන් දෙදෙනා හට සල් මල් වස්වා සතුටු කරවනු පිණිස වෘක්ෂය සෙලවී ය. එක් ඇතින්නියකට සල් මල් ද අනෙක් ඇතින්නියට නොසිතූ විරූ අයුරින් දිඹි ගොටුවක් ද වැටුණි. සිදු වූ දෝෂය මහ බෝසතුන්ගේ කර මතට පැටවිණි. දිඹි ගොටුව වැටුණු ඈ වැරදි අයුරින් සිතුවා ය.
සිතුවිලි දහරට විෂ මුසු විය. පසේබුදුවරු පුදා බරණැස් රජුට ප්‍රිය රාජ මහේෂිකාව වන්නට පැතුම් එක් කරන ලදී. සිතූ අයුරින් ම පැතුම් ඉටු විය. ඇත් රාජිනිය කිසි අහරක් නොගෙන මරණයට පත් විය. රැස් කළ පින් බලෙන් බරණැස ඉපිද නිසි කලවයසේ දී බරණැස රාජ මහේෂිකාව විය. ගත වූයේ සුළු කලකි. අද සවණක් ගණ රැස් විහිදෙන දළ කැපුමට ක්‍රමයක් සොයයි.
‘කිම? මසිතට මේ කුමක් සිදුවී ද?’ කියා සිතට එබී බැලීමට ඈට සිතක් නොවීය. තම සිත ගැන කිසිත් නොහඳුනනා ඈ පළිගැනීම ම මිහිරි ලෙස දුටුවා ය.
සූක්ෂම අයුරින් ඈ හිමි රජුට කූඨ දොළක් පෙන්වීය. දොළ සංසිඳවීමට සුදුසු ම ආකාරයේ වැද්දෙක් මුණගැසිණි. ඉතාමත් කෛරාටික හේ අරහත් ධජයක් ගත දවටා පොළොවේ වළක් හාරා සැඟවී සිට මහා ඍද්ධිමත් ඇත් රජු නසන්නට මාන බලන්නට විය. දුනුදිය ගෙන ඇත් රජුගේ කුසට විෂ පෙවූ හීයක් විදී ය.
අහෝ! කිසි වරදක් නැති ඇත් රජුගේ කුසට පිවිසී ගිය හීය පිටිකරෙන් උඩට නික්මී ගියේ ය. අට දහසක් ඇත් සේනාව සතුරා සොයා අට දිශාවට නික්ම ගියහ. මහ බෝසතුන් තම තීක්ෂණ නුවණින් ඔහු සිටිනා තැන සැණින් හඳුනාගැනීමට සමත් විය. ඔහු මරනු පිණිස ගල් පතුරට පහරක් දී බලනා කල්හි ඔහු කසාවතක් පෙරවාගෙන ය…
විෂ මුසු නොවන සිතක්
චීවරය යනු හිංසා කිරීමට සුදුසු දෙයක් නොවන බව වටහාගෙන, “කෙලෙස් කසටයෙන් ඔය සිවුර ගත දවටාලීම නම් සුදුසු දෙයක් නොවන බව” පැවසීය. කෝපය සංසිඳුවා ගත් ඇත් රජිඳුගේ වදන් තුළ පුදුමයෙකි, ‘මිත්‍රය’ යන ඇමතුම පවතී. “මිත්‍රය, මා හට හීයෙන් විද්දේ ඔබේ ඕනෑකමකට ද?” යැයි ඇසී ය. වැද්දා සියලු පුවත් හෙළි කළේ ය.
එකල්හි, “මාගේ පියවරුන්ගේ මුතුන් මිත්තන්ගේ බොහෝ උතුම් දළ ඇති බව ඈ දනියි. ක්‍රෝධ බැඳගත් ඈ අන්ධ බාලයි නොවැ. වෛරයෙන් යුතු ඈට මා මරා ගන්නයි ඕනා. ක්‍රෝධ බැඳගත් රජදූට නිසැකව ම මෙය කියව. ඒකාන්තයෙන්ම ඒ ඇත් රජා මැරුණා. මෙන්න ඒ දළ යුග.” කියා කියන්නැයි ඇත් රජිඳු පැවසීය.
(නුවණ වැඩෙන බෝසත් කතා 50 පොත් වහන්සේ)
ඒ සුන්දර දළ යුග තමා ජීවත්ව සිටිය දී ම කපා රැගෙන යාමට දණ ගසා හිස පහත් කර ගති. කෙතරම් වෙහෙස දැරුවත් කපා ගනු නොහැකි වූයෙන් තමන් ද කියතේ පැත්තක් සොඬින් ගෙන, සිහිය උපදවාගෙන, වීරියෙන් දළ කැපී ය. දළේ මුල් සිඳී ගියේ ය.
මහ බෝසතාණෝ සර්වඥතා ඤාණ දළ පතා උතුම් දළ සඟල වැද්දා අතට දුන්නාහු ය.
නොකිලිටි සිත් පෙළහර
“මිතුර, තොපට මෙහි එන්නට කොපමණ කලක් ගත වී ද?” “සත් වසරකුත්, සත් මසකුත්, සත් දිනකුත් ගත විය.” යි හේ පැවසීය. රියන් පහළොවක විශ්කම්භයෙන් යුතු, රියන් තිහක දිගින් යුතු දළ සඟල රැගෙන යාම තබා ඔසවා ගැනීමටත් දුෂ්කර විය. නමුත්, “උතුම් දළ සඟලේ අනුභාවයෙන් සත් දිනක් ඇතුළත බරණැසට යා ගත හැකියි.” යැයි මහ බෝසතාණෝ වැද්දාට පැවසීය. අහෝ! සිත් පිත් නැති දළ සඟල පවා පෙළහර පානා අයුරු! මෙතරම් විශ්මිත දේ ලොව තවත් තිබේ ද?
මිහිරි ඵලය ද විෂ ම ය
වැදි තෙමේ සත් දිනක් යන්නට මත්තෙන් බරණැසට සේන්දු විය. රාජ මහේෂිකාවට දළ සඟල පෙන්වීය. මහ බෝසතුන් කී වදන ද නොවළහා කීය. බෝසත් ඇත් රජුගේ ගුණ සිහි වී රාජ මහේෂිකාවගේ ළය පැලී මරණයට පත් විය. අහෝ! විෂ මුල් ඇති, මිහිරි අග ඇති සිතුවිල්ලක අවසානය! විෂ මිශ්‍රිත ආශ්වාදයෙහි මිහිරි ඵල ලැබෙනා කල්හි මරණය හෝ මාරාන්තික දුකක් හෝ ශේෂ වන බව පැහැදිලි ය.
ඈ කැමති වූ දෙය ඈ හට දන් දී මහ බෝසතාණෝ සර්වඥතා ඤාණය පැතුවෝ ය. එසේ ලබනා සම්බුද්ධත්වය කෙතරම් ආශ්චර්යවත් දෙයක් විය යුතු ද?
නොකිලිටි සිතක ආශීර්වාදය ලබමු.
එවන් බුදු සසුනෙනි අපත් පිළිසරණ ලබනුයේ, උණුසුම ලබනුයේ. සම්මා සම්බුදු බව ලැබූ අප ශාස්තෘන් වහන්සේ අපගේ එකම පරමාදර්ශය වන සේක් ම ය. සත්වග සියලු දුකින් මුදවාලීම පිණිස සම්බුදු වූ අප භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු හද මඬලේ තම ශ්‍රාවකයන් පිළිබඳ එක් සොඳුරු අපේක්ෂාවක් වෙයි.
පෑල වියෙන් ගගනතට උදාවන සඳ මඬල දිනෙන් දින මෝරා යන්නා සේ, පුන් පොහෝ දිනෙක පුරසඳ මඬල වලා අතරින් ගගනතට මෝදු වන්නා සේ, තම ශ්රාවකයා මොහොතින් මොහොත, දිනෙන් දින කුසල් දහමින් පිරිපුන් වීමක් දකිනු රිසි වේ. අඩුපාඩු දොස් දුරලා සුපුන් සඳ දිලෙන සේ කුසල් දහමින් පිරිපුන් වීමක් දකිනු රිසි වේ. සැමදා එකම තැන සිටීම දකිනු රිසි නොවන සේක් ම ය.
ගෝතම යසස් ඇති ඒ නරෝත්තමයන් වහන්සේගේ අපමණ ගුණයට ඇල්මෙන් වසන ශ්‍රාවක දරුවන් වන අපට ද කායික, මානසික, වාචසික දොස්, ඇද, වංක ගති දුරලා සොඳුරු නිවන් මගෙහි පියවර තබා යන්නට දුලබ වාසනාව උදා වේවා…!
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments