‘‘හප්පා මේ ටිකේ ම ඇඟට හරි නෑ. පුදුමාකාර අපහසුවක් නෙව තියෙන්නේ.”

‘‘ආහ්… ගොක්කොළ, සුදුවැලි එහෙමත් පේනව ද? එ්… සොහොන් ලකුණු තමයි එහෙනම්. වැලිගම්පිටි යන්න ළං වෙලා.”

ඔන්න ඔහොම කථා ඔබටත් නිතර අහන්න ලැබිලා ඇති. ගොක්කොළ, මල්වඩම්, සුදුවැලි, සුදුමල් ආදියෙන් සොහොන් ලකුණු නිරූපණය වන බව තමයි අද සමාජයේ මුල්බැසගත්ත අදහස.

එ්ත් මේ දේවල් සැබෑ ම සොහොන් ලකුණු නෙමෙයි. අප සරණ ගිය තථාගතයන් වහන්සේ සොහොන් ලකුණු ගැනත් අප කෙරෙහි කරුණාවෙන් පෙන්වා වදාළා. අප අවට කී දෙනෙකුට සොහොන් ලකුණු පහළ වෙලා ද? කියලා දැන ගන්න මෙන්න මේ සොහොන් ලකුණුවලින් පුළුවන්.

තථාගතයන් වහන්සේ සොහොනක ලක්ෂණ පහක් පෙන්වා වදාළා. උන්වහන්සේ එ් දේවල් දේශනා කොට වදාළේ අමු සොහොනක පවතින දෝෂයන් කියලයි.
මෙන්න එ් සොහොන් ලකුණු පහ. අපවිත‍්‍ර තැනක්, දුර්ගන්ධයෙන් යුක්ත තැනක්, බය ඇති වන ස්වභාවයෙන් යුක්ත තැනක්, අමනුෂ්‍යයන්ට වාස භූමියක්, බොහෝ දෙනා හඬා වැළපෙන තැනක්.

දැන් ඔබට හිතෙන්න පුළුවන් බොහෝ ම ලස්සනට මල්, තණකොළ ආදිය වවලා, සුදුපාට සොහොන් කොත් හදලා, මනාව නඩත්තු කරවන සොහොන කොහොම ද අපවිත‍්‍ර, දුගඳ හමන තැනක් වෙන්නේ කියලා? අද කාලේ සොහොන් මේ විදිහට තිබුණට බුද්ධ කාලයේ මළසිරුරු ආදාහනය කියන දේවත් ප‍්‍රකට ව තිබුණේ නැහැ. යම් කෙනෙක් මරණයට පත් වුණා ම එ් සිරුර රෙදිවලින් ඔතලා සොහොනට ඇද දමන එකයි එ් කාලේ සිදු කළේ. ඈත අතීතයේ අපේ රටෙත් ඔය දේ සිදු වෙලා තිබෙනවා.

මොහොතින් මොහොත කුණු වෙවී යන මළසිරුරුවලින් ඕජස් ගලාගෙන එනවා. පණුවො වැක්කෙරෙනවා. එවන් තැනක් බොහෝ ම අපවිත‍්‍රයි නේ ද? එ් වගේ ම යි මහා දුගඳක් නිසැකයෙන් ම පැතිරී යනවා. එයින් බිය ඇති කෙරෙනවා. කුණු වෙවී යන මළසිරුරු ආහාර කොට ගන්න චණ්ඩ අමනුෂ්‍යයන් එහි එකතු වෙනවා. මොන තරම් සත්‍යයක් ද? එ් වගේ ම යි, මළගිය පුද්ගලයාගේ නෑදෑ හිතවතුන් එ් මළසිරුර සොහොනේ දමන්න යන්නේත්, එහි රැඳෙන්නේත්, නැවත එන්නේත් හඬා වැළපෙමින් ම යි. ඉතින් තථාගතයන් වහන්සේ වදාළ එ් සොහොන් ලකුණු අමු සොහොනක් තුළ නිසැකයෙන් ම දකින්න ලැබෙනවා ම යි.

මේ කාරණා පෙන්වා දුන්නාට පසු ව තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා සොහොන් ලකුණු සහිත වූ පුද්ගලයාගේ ස්වභාවය. අමු සොහොනක් බඳු පුද්ගලයාගේත් මේ ලක්ෂණ එ් ආකාරයෙන් ම දැකගන්නට පුළුවන්.

තථාගතයන් වහන්සේ අමු සොහොනකට උපමා කරන්නේ කාය දුෂ්චරිතයෙන්, වචී දුෂ්චරිතයෙන්, මනෝ දුෂ්චරිතයෙන් යුතු වූ පුද්ගලයා ව යි. යමෙක් යම් ආකාරයකින් අපිරිසිදු කාය කර්මයෙන්, අපිරිසිදු වචී කර්මයෙන්, අපිරිසිදු මනෝ කර්මයෙන් යුක්ත වෙනවා නම් එය ම තමයි එ් තැනැත්තාගේ අපවිත‍්‍ර භාවය. එ් කියන්නේ පළමු සොහොන් ලකුණ.
එ් ආකාරයෙන් සිතින්, කයින්, වචනයෙන් අපිරිසිදු පුද්ගලයා ගැන පැතිරෙන්නේ කල්‍යාණ කීර්ති රාවයක් නම් නො වෙයි. එ් ගැන නුගුණ ම යි කියැවෙන්නේ. එ් තමයි දෙවන සොහොන් ලකුණ. දසත පැතිරී යන දුර්ගන්ධය…

ප‍්‍රිය උපදවන සුළු සබ‍්‍රහ්මචාරීන් වහන්සේලා ඇසුරු කරමින් වාසය කරන්නට ඔහුට පුළුවන්කමක් නැහැ. ඔහු උන්වහන්සේලා ව දුරින් ම දුරු කරනවා. විශාරද ව ආර්යයන් වහන්සේලා හමුවට යෑමට නො හැකි ආකාරයේ බයක් ඔහු තුළ තිබෙනවා. තුන්වන සොහොන් ලකුණ තමයි එ්. යළි යළිත් බිය ඇතිකරවන ස්වභාවය.

තිදොරින් වරදෙහි යෙදෙන මේ පුද්ගලයා සමග එක්වන්නේත් එවැනි චරිත ස්වභාවයන් ඇති පිරිස්. තමන් වැනි ම වූ සදොස් පුද්ගලයන් හා වාසය කිරීමටයි ඔහු පෙළඹෙන්නේත්. එ් තමයි හතරවන සොහොන් ලකුණ. චණ්ඩ අමනුෂ්‍යයන්ට ගැවසිය හැකි, සේවනය කළ හැකි තැනක් වීම.

එවන් පුද්ගලයන් සත්පුරුෂයන්ගේ ගුණ මකා දමනවා. එවන් ගුණමකුවන් සමග වාසය බොහෝ දෙනෙකුට දුක් උපදවන්නක්. ”අහෝ… අප මෙවන් පුද්ගලයන් සමග නෙව සිටින්නේ. මෙවන් අයගේ ඇසුර නම් එ්කාන්තයෙන් ම දුකක්” කියා බොහෝ දෙනා දුකට, කම්පාවට පත් වෙනවා, හඬා වැළපෙනවා. එ් තමයි පස් වන සොහොන් ලකුණ.
අපි හිතමු යම් පුද්ගලයෙක් සතුන් මරණවා. ඔහු ලේ වැකුණු අත් ඇති ව සිටිනවා. එවන් පුද්ගලයා එ්කාන්තයෙන් ම අපිරිසිදු පුද්ගලයෙක්. ඔහු ගැන පැතිරෙන්නේ ගුණ රාවයක් නෙමෙයි. එ් වගේ ම ඔහුට සත්පුරුෂයන් හා එක්ව සිටීමට නො හැකියි. පාපී අසත්පුරුෂයන් තමයි ඔහුගේ ඇසුරට එක් වන්නේ. එවැන්නෙකු නිවසක සිටී නම් සමීපතමයින් බොහෝ විට ”අනේ අපේ පුතා මෙහෙම වුණානේ..”, ‘‘අනේ මගේ ස්වාමියා මෙවැනි නපුරු ගති ඇති කෙනෙක් වුණානේ”, ‘‘අනේ අපේ සහෝදරයා මෙහෙම නුගුණක් ඇති කෙනෙක්නේ” යනාදි වශයෙන් හඬා වැළපෙමින්, කම්පා වෙමින් තමයි කාලය ගත කරන්නේ.

සතුන් මැරීම, සොරකම් කිරීම, කාමය වරදවා හැසිරීම, බොරු කීම, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිත කිරීම ආදි ඕනෑම දුරාචාරයක් තුළින් පණපිටින් ජීවත්වන ‘අමුසොහොන්’ බිහිවෙන්නේ ඔන්න ඔය ආකාරයෙන්.

දැන් බලන්න අනිත් අයට කෙසේවෙතත් අපි අපිට ඔය සොහොන් ලකුණු තිබෙනවා ද කියලා…? සොහොනට යන්න කලින් ම සොහොනක් වෙලා ඉන්න බහුතරයක් අතරේ ඔබ සොහොනක් නො වෙයි නම්, එ් ඔබ මේ ගෞතම බුද්ධ ශාසනයෙන් ලැබූ මහත් වූ ලාභයක්.

තම තමන් තුළ සොහොන් ලකුණු නො දැක, සංසාර දුකින් නිදහස් වන්නට සෑම දෙනාට ම භාග්‍යය උදා වේවා!

ඇසුර : සීවථික සූත‍්‍රය – අං. නි.

මහාමේඝ 2013 උඳුවප් කලාපය
WWW.MAHAMEGHA.LK