කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයෙහි, අකලට පිපී ගිය මල් ඇති, යමක සාල වෘක්ෂයන් අතර පැනවූ යහනේ වැඩහිඳිමින්, පිරිනිවන් වඩින්නට සැරසෙන අප මහා කාරුණික ගෞතම සම්මා සම්බුදුරජාණෝ, අග්‍ර උපස්ථායක අනඳ තෙරුන් අමතා මෙසේ වදාළ සේක.

“සියා ඛෝ පන ආනන්ද තුම්හාකං ඒවමස්ස. ‘අතීත සත්ථුකං පාවචනං, නත්ථි නෝ අම්හාකං සත්ථා‘ති. න ඛෝ පනේතං ආනන්ද ඒවං දට්ඨබ්බං. යෝ ඛෝ ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ, සෝ වෝ මමච්චයේන සත්ථා.”

“පින්වත් ආනන්දය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. දැන් මේ ශ්‍රී සද්ධර්මය අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේ ය. අප හට දැන් ශාස්තෘන් වහන්සේ නැත’යි. පින්වත් ආනන්දය, එය ඒ අයුරින් නොදැක්ක යුතු ය. ආනන්දය, මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද්දේ ද, යම් විනයක් පනවන ලද්දේ ද මාගේ ඇවෑමෙන් ඒ ධර්මයත් විනයත් ඔබට ශාස්තෘ වන්නේ ය.”

(මහා පරිනිබ්බාන සූත්‍රය – දී. නි. 2)

මේ අප සම්බුදුරජාණෝ දේශනා කළ දෙයයි. ශ්‍රී මුඛ බුද්ධ වචනය යි. ශාස්තෘන් වහන්සේගේ අවවාදය යි. උතුම් බුද්ධ ආඥාව යි. ඒ එසේ නම්, අප හට මේ ගැන අන් පැහැදිලි කිරීමක් කුමකට ද?

අප හට ශාස්තෘවරයෙක් ඇත්තේ ම ය. අප අසරණ වූ මහා අවාසනාවන්තයෝ නො වේ. අපගේ ඒ ශාස්තෘවරයාණෝ උතුම් ධර්ම – විනය යි. යමෙක් ඒ ධර්ම විනයට ගරු කරයි ද ඔහු ශාස්තෘන් වහන්සේ ට ගරු කරන්නෙකි. යමෙක් ඒ ධර්ම විනය පුද දෙයි ද හේ ශාස්තෘන් වහන්සේ ව පුද දෙන්නෙකි.

මේ ධර්ම – විනය වනාහී අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේත්, ඒ තිලෝගුරු මුනිරජුන් ගුරු තන්හී පුද සත්කාර කළ දෙයයි. ඒ එසේ නම්, ශ්‍රාවකයෝ ධර්ම විනයට කෙසේ ගරු කළ යුත්තෝ ද? කෙසේ පුද සත්කාර කළ යුත්තෝ ද?

මාණික්‍යයක අගය වහා හඳුනාගන්නා දක්ෂ ව්‍යාපාරිකයන් සේ, පින් ඇති ඤාණවන්තයෝ මේ ධර්ම – විනයේ අගය හඳුනාගත්තෝ ය. ඒ අනර්ඝ වූ ශ්‍රී සද්ධර්මය වෙනුවෙන් ඔවුන් හට අත්හැරීමට, කැප කිරීමට නො හැකි දෙයක් නොමැත්තේ ය. ඒ ගැන ධර්මයේ මෙසේ සඳහන් වේ.

“ධනං චජේ යෝ පන අංග හේතු
අංගං චජේ ජීවිතං රක්ඛමානෝ
අංගං ධනං ජීවිතං වාපි සබ්බං
චජේ නරෝ ධම්මමනුස්සරන්තෝ”

“යමෙක් ශරීරයේ අංග රැකගැනීමට කැමැත්තෙන් ධනය අත් හරින්නේ ය. ජීවිතය රැකගැනීමට අවැසි වූ විට ශරීරයේ අංගත් අත් හරින්නේ ය. ධර්මය සිහි කරන කෙනා ඒ ධර්මය වෙනුවෙන් ධනය වුව ද ශරීරයේ අංග වුව ද ජීවිතය වුව ද අත් හරින්නේ ය.”

එය එසේ ම ය. සැවැත් නුවර හතළිස් කෙළක් ධනය ඇති සිටු පුත්‍රයෙක් වාසය කළේ ය. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවේ ධර්මය ඇසූ ඒ සිටු පුත්‍රයා, බුදු සසුනේ මහත් සේ සිත පහදවා ගත්තේ ය. කලක් ගත වෙද්දී ඔහුට මෙබඳු සිතක් ඇති විය. ‘මේ ගෘහ ජීවිතය නම්, සම්බාධයෝ බහුල වූවක්. කෙලෙස් ම උපදින මාවතක්. මේ ගෘහ ජීවිතයේ ඉදිමින් ම නම් මා හට පිරිසිදු බඹසරක් සුරකින එක පහසු දෙයක් නො වේ. හැබැයි පැවිද්ද නම් අහස වගේ. නිදහස්. ඇත්තෙන්ම මාත් ඒ උතුම් පැවිදි දිවියට පත් වෙන්ට ඕන.’

ඒ සිටු පුත්‍රයා තම මහා ධනස්කන්ධය අත් හළේ ය. ඥාති සමූහයා අත් හළේ ය. යොවුන් වියේ සිටි තම ප්‍රිය බිරිඳ ද අත් හළේ ය. යදම් සිඳගෙන නිදහසේ වනයට පිවිසෙන මහා හස්තිරාජයෙකු සේ ඒ සියල්ල අත්හැර ධර්මයේ හැසිරෙන්නට නිදහස සොයා උතුම් පැවිද්දට පත් විය. පැවිදි උපසම්පදාව ලබා, ධර්ම – විනය ඉගෙනගත් උන්වහන්සේ සැවැත් නුවරට නුදුරු අන්ධ වනයේ වැඩ වාසය කළේ ය. කුටුම්බිය පුත්ත තිස්ස තෙරුන් නමින් උන්වහන්සේ ප්‍රකට විය.

සතළිස් කෙළක් මහා ධනයට අධිපතිනිය බවට පත් වූ ඒ තෙරුන්ගේ ගිහි කල බිරිඳ හිතු මනාපයේ ජීවත් වන්නට විය. නොයෙක් පුරුෂයන් ඇසුරු කරමින් අනාචාරයේ හැසිරෙන්නට විය. මේ අතරේ ඈට මෙබඳු බියක් ඉපදුණි. ‘හප්පා ! මා දැන් ඉන්නේ කොයිතරම් විනෝදෙන් ද? කොයිතරම් නිදහසේ ද? පැවිද්දට ගිය මගේ මනුස්සයා බැරි වෙලාවත් ආයේ සිවුරු හැර ආවෝතින්, මගේ මේ නිදහස නැතිවෙලා යාවි! ඒ හන්දා ඔය කැලෑවේ ඉන්න අතරේ, කැලෑවේ දී ම ඉවරයක් කරලා දැම්මානං හොඳයි!’
මෙසේ සිතූ ඇය දරුණු සොරමුලකට තම ස්වාමියාගේ හැඩහුරුකම කියා පිටත්කොට හැරියා ය. අන්ධ වනයේ භාවනානුයෝගීව වැඩවසන භික්ෂූන් අතරේ ඒ තිස්ස තෙරුන් ව හඳුනාගත් සොරු උන්වහන්සේ ව ඝාතනය කිරීමට සැරසුණි. ඒ තිස්ස තෙරණුවෝ සොරමුල අමතා මෙසේ කීවේ ය.

“මම මේ පැවිද්දට ආවෙත්, මේ වනයට ආවේත් එක ම අරමුණක් ඉටු කර ගන්ටයි. මට ඒ දේ කරගන්ට තාම බැරි වුණා. ඔබලාට පුළුවන් නම් හෙට අරුණ නැගෙනා තෙක් මට කාලය දෙන්ට. ඉන් පස්සේ ඔබේ අදහස ඉටු කරන්ට.”

“බෑ…! බෑ…! උඹ රාත්‍රියේ අපට වංචා කොට පැන යාවි. කල් දෙන්ට විදියක් නෑ. උඹ පැනල යන්නේ නෑ කියලා අපි කොහොම ද සහතිකේට ම විස්වාස කොරන්නේ?” යි සොරු මොර දෙන්නට විය.

ඒ තෙරුන් වහන්සේ නිහඬව ම ළඟ තිබූ තරමක් විශාල ගලක් ගෙන, දෙපා දිග හැර රුක් සෙවණේ වාඩි විය. ඒ ගලෙන් දණහිස් කුඩු වෙන්නට තලා දැමී ය. විස්මයෙන් ඒ දෙස බලා සිටිනා සොරු අමතා “දැන් ඔබලාට ඒ ගැන සහතික වෙන්ට පුළුවන් නේ ද?” යි විමසී ය. ඒ සොරු නිහඬ විය.

ඒ සවස් කාලයේත්, නිහඬ රාත්‍රියේත් ධර්මයේ හැසිරීම වෙනුවෙන් තම දෙපා බිඳගත් තිස්ස තෙරුන් ඒ වේදනාවට සිත යටවෙන්නට නො දී ධර්මය ම සිහි කළේ ය. හෙට දිනයේ උදෑසන ම තමා ඝාතනය වන බව දැන දැන උන්වහන්සේට බියක් නැත්තේ ය. තම ප්‍රියාදර බිරිඳ මෙසේ කළේ යැයි දුකක් කණගාටුවක් නැත්තේ ය. ‘හනේ මට උදේ වෙද්දී ධර්මාවබෝධ කර ගන්නට බැරිවේවිවත් ද?’ යැයි සිතක් නැත්තේ ය.

අඳුරු රාත්‍රිය ගෙවී ගොස් අරුණ නැගෙනා විට ම, මේ දුක් සහිත සසරේ තමාව ඇදගෙන ආ අවිදු අඳුර නසා ඒ තිස්ස තෙරණුවෝ උතුම් වූ අරහත්වය සාක්ෂාත් කළ සේක. මරණය නම් වූ රෝගයෙන් සුවපත් වූ ඒ කුටුම්බිය පුත්ත තිස්ස මහරහතන් වහන්සේ සොරුන්ගේ අසිපත් පහරින් පිරිනිවන් පා වදාළ සේක.

අපගේ මේ සිරි ලක්දිව ද ධර්ම – විනයට දිවි පිදූ එබඳු මහා පින් ඇති වීරෝදාර පුරුෂයන් වැඩ සිටියෝ ම ය. මහා වනයේ වැඩ සිටි ඒ තෙරුන් වහන්සේ එක්තරා සොර මුලකට දැක ගන්නට ලැබුණි. මේ තෙරුන් ළඟ සොරා ගන්නට යමක් නැත්තේ ය. එහෙත් සොරු ‘මේ ශ්‍රමණයා අපිව දැක්කා නොවැ. මේකා ගමට පිවිසිලා අපි ගැන කීවෝතින් ආයේ අපට විසුමක් වෙන්නේ නෑ’ යි සිතා උන්වහන්සේ ව අමු රසකිඳ වැල්වලින් බැඳ දමා ගියේ ය.

හදිසියේ ම ඒ වනයේ ලැව් ගින්නක් හට ගත්තේ ය. එය වේගයෙන් පැතිරී තෙරුන් බැඳ සිටි දෙසට ද එන්නට විය. ඒ දුර්වල රසකිඳ වැල සිඳගෙන උන්වහන්සේට පණ බේරා ගන්නට පුළුවන. ඒත්, ශාස්තෘන් වහන්සේගේ වචනය ඉක්මවා යන්නේ කෙසේ ද? ගස් කොළන් සිඳලීම අපගේ ශාස්තෘන් වහන්සේ අකැප යැයි පනවන ලද්දේ ය. ශ්‍රේෂ්ඨ වන්නේ ඒ ශාස්තෘන් වහන්සේගේ වචනය යි. මගේ ජීවිතය නො වෙයි.” යැයි සිතූ ඒ තෙරුන් වහන්සේ ධර්මය සිහි කරමින් එහි ම නො සැලී සිටියේ ය. ලැව් ගින්නට දැවී ඒ තෙරණුවෝ පිරිනිවන් පා වදාළ සේක.

සැබැවින් ම මේ පින් ඇති මහා පුරුෂයින් දහමට සත්කාර කළ අයුරු සිතා ගන්නටවත් නො හැකි ය. දුර්වල සිත් ඇති දුෂ්ප්‍රාඥයෝ ජීවිතයට ලාභ – සත්කාර උපන් විට ඒ ලාභ සත්කාරයන්ට ගරු කරති. ධර්මයට ගරු නො කරති. රාගය උපන් විට රාගයට ගරු කරති. ද්වේෂය උපන් විට ද්වේෂයට ගරු කරති. ක්‍රෝධය උපන් විට ක්‍රෝධයට ගරු කරති. එබඳු දුර්වල පින් ඇතියන්ට ධර්මයට, විනයට දිවිපුදා සත්කාර කරන්ට තරම් ධෛර්යයක් නැත්තේ ය.

ඒ අසිරිමත් ධෛර්යය අතීතයේ මේ හෙළදිව වැඩ සිටි භික්ෂුණීන් තුළත් තිබූ බැව් සීහළවත්ථුවේ එන මේ කතාවෙන් පෙනේ.

මේ හෙළදිව අතීතයේ කම්බුව ගම නම් ග්‍රාමයක් විය. එහි මෙහෙණවරක වැඩ විසූ තරුණ භික්ෂුණීන් දෙනමක් ගඟේ නෑමට ගියහ. පැන් පහසුව ලබමින් සිටිනා ඒ දෙනමගෙන් එක් භික්ෂුණියක ව කිඹුලෙක් අල්වාගෙන ගඟ මැදට ඇදගෙන යන්නට විය. අනෙක් මෙහෙණියගේ කෑ ගැසීමට එහි දිව ආ එක් පුරුෂයෙක් කිරිච්චියක් ද අතින් ගෙන ඒ දෙසට පිහිනන්ට පටන් ගත්තේ ය.

තමා ව බේරාගන්නා අදහසින් පිහිනා එන පුරුෂයා ව දුටු කිඹුල් ග්‍රහණයට පත් භික්ෂුණිය ‘මට මාගේ ජීවිතය රකිනවාට වඩා, බුදුරජුන් පැන වූ ශික්ෂාව පිරිසිදුව රැකීම වටින්නේ ය’ යි සිතා ඒ පුරුෂයාට ඇසෙනා සේ හඬ නඟා මෙසේ කීවා ය. “උපාසකය, ඔබ මාව ස්පර්ශ නො කළ මැනව. මම බුදුරජුන්ගේ දියණියක් වෙමි.”

ඉතා අසිරියකි. ඒ කීම සමඟ ම කිඹුලා භික්ෂුණිය ව හැර දමා දියේ ගිලුණි. තියුණු දත් පහර වැදී තුවාල වූ සිරුරු ඇති ඇය පුරුෂයාගේ සහයක් නොගෙන ම ගොඩබිමට පිහිනා ආවා ය. එහි ම ගං ඉවුරේ භාවනා ඉරියව්වෙන් හිඳ ගත් ඇය අරහත්වය සාක්ෂාත් කළා ය.

ඉපදෙමින් මැරෙමින් යන මේ දුක්ඛිත සසර ගමනේ මහ ගෙදර වන් සතර අපා දුකෙන් ධන බලයෙන් නිදහස් විය නො හැක. වෙනත් කිසියම් හෝ බලයකින් ද එය කළ නො හැක. එහෙත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය වනාහී මේ සත්වයා ව සතර අපායෙන් නිදහස් කරවන බලය යි. අනන්ත දුක් ඇති මේ සසර ගමනෙන් ධනයට, වස්තුවට, වෙනත් සම්පතකට අපව මුදවාගත නො හැකි ය. එහෙත් ශ්‍රී සද්ධර්මය වනාහී සත්වයා ව සසරින් නිදහස් කරවන්නා වූ බලය යි. එසේ නම් ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මේ ලොවේ තවත් තිබේ ද?

“ධම්මෝ හි වාසෙට්ඨා සෙට්ඨෝ ජනේතස්මිං, දිට්ඨේ චේව ධම්මේ, අභිසම්පරායේ ච.”

“වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත් පරලොවෙහිත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ උතුම් ශ්‍රී සද්ධර්මය යි.”

(අග්ගඤ්ඤ සූත්‍රය – දී. නි. 3)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි