පින්වත් යොවුන් දූ දරුවනේ,

ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පසුතැවීම. තමන්ගෙන් වෙච්චි වැරදි, අඩුපාඩු, අතපසුවීම්, කරන්න ප්‍රමාද වුණ දේවල් නිසා පසුතැවි තැවී ඉන්න ගතිය ගොඩක් අයට තියෙනවා. ඇතැම්විට ඔයා ළඟත් මේ ස්වභාවය තියෙන්න පුළුවන්. ඔයා දන්න කියන කෙනෙක් ළඟත් මේ ස්වභාවය තියෙන්න පුළුවන්.

ඉතිං ඒ වෙහෙසකර සිත් නිවන අවවාදයක් තමයි අද මේ ලිපියෙන් ඔබට දැනගන්න ලැබෙන්නේ. ඉතිං හැමදාම වගේ සෙනෙහසින් සිහිපත් කරනවා, පොඩි වෙලාවක් ගත කරලා ලිපිගත දිගේ ඉදිරියටම යන්න. ඔබේත් වෙහෙසකර සිත නිවී යන හැටි ඔබට දැනේවි!

කොච්චර වැරදුණත් පරදින්න නම් එපා!

ඔව්! ඒ තමයි ඔබට කරන කාරුණික අවවාදය. ඔබට වැරදිලා තියෙන්න පුළුවන්. නමුත් පරදින්න සූදානම් වෙන්න එපා! වෙච්චි වැරදි ගැන හිත හිතා තැවි තැවී හිටියොත් ඔබ පරදිනවා. වැරදි අත්නොහැරියොත්, වැරදි හදා නොගත්තොත් ඒත් පරදිනවා.

ඒ නිසා වැරදි අත්හැරීම අපි කළ යුතුයි. පසුනොතැවී ටික ටික හෝ අපි නිවැරදි දේ කළ යුතුයි. එතකොටයි දිනන්න පුළුවන්.

‘ඉතිං කොහොමද වැරදි අතහරින්නේ? කොහොමද නිවැරදි දේවල් කරන්නේ?’ ඔයාට එහෙම හිතෙනවා ඇති. ඔව්! අපි ඒ ගැන තමයි මේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ.

නමුත් ඊට පෙර දැන්ම ඔබ හිතක් ඇති කරගන්න, ඔබ ඔබටම යෝජනා කරන්න ‘මම නම් පරදින කෙනෙක් වෙන්නේ නෑ. මම වැරදි හදාගෙන නිවැරදි කෙනෙක් විදිහට ජීවිතේ දිනනවා’ කියලා.

දිනන්න පුළුවන් ම යි!

අපිට මේ හමුවුණේ බුද්ධ ශාසනයක්. මේ බුදුසසුන තුළ අපිට වැරදි අඩුපාඩු දුර්වලතා හදාගන්න පුළුවන් ම යි! ඒ කියන්නේ අපිට දිනන්න පුළුවන් ම යි! බුදුරජාණන් වහන්සේ ඒ ගැන මේ විදිහට දේශනා කළා.

යෝ ච පුබ්බේ පමජ්ජිත්වා – පච්ඡා සෝ නප්පමජ්ජති,
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝව චන්දිමා

කවුරු හරි කලින් දහමේ හැසිරෙන්ට පමා වෙලා හිටියත්, පස්සෙ කාලෙක අප්‍රමාදීව දහමේ හැසිරුණොත් එයා මේ ලෝකය එළිය කරනවා. වලාකුළින් මිදුණ පුන්සඳක් වගේ.

(අංගුලිමාල සූත්‍රය – ම. නි.)

අපි යම් වැරදි අඩුපාඩුවලින් ජීවිතේ ගත කළා නම් ඒක හරියට අපේ ජීවිතේ අඳුරු කරන කළු වලාවක් වගේ. වලාකුළු බැහැර කරනා තාක් සඳ තිබුණට ඒ සඳ බබළන්නේ නෑ. ඒ වගේ වැරදි තියෙන තාක් අපේ ජීවිත අඳුරුයි. ඒ අඳුර බැහැර කරපු ගමන් සඳ බබළනවා ම යි.

ඒ නිසා වැරදි කියන අඳුර තියෙද්දී පසුතැවෙමින් ඉඳීම විසඳුමක් නොවෙයි. ඒ වැරදි කියන වලාකුළ බැහැර කිරීමයි අපි කළ යුත්තේ. ඒක කරන විදිහ බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කළා. එය පියවරෙන් පියවර හොඳින් තේරුම් ගන්න.

වරද පිළිගන්න දක්ෂ වෙන්න…

ඔන්න කෙනෙක් අතින් වැරදි අඩුපාඩු සිදුවෙලා තියෙනවා. පස්සේ ධර්මය අහද්දී, සත්පුරුෂ ඇසුර ලැබෙද්දී එයාට දැනගන්න ලැබෙනවා ‘මං කරපු මේ දේවල් වැරදියි, මං කථා කරපු වචනත් වැරදියි, මගේ තිබුණ අදහසුත් වැරදියි, මං ඇසුරු කරපු පුද්ගලයින්, ඇසුරු කරපු මාධ්‍යය වැරදියි’ කියලා.

ඇතැම්මු තමන්ගේ වැරදි පිළිගන්නේ නෑ. එහෙම නැත්නම් කරන්නේ වැරදි පෙන්වා දෙන ධර්මයට, සත්පුරුෂයාට, ධර්මය කියන දේශකයන් වහන්සේලාට දෝෂාරෝපණය කරන එක. එබඳු අනුවණයන්ට වරදින් මිදෙන්න තැබිය යුතු පළමු පියවරවත් තියා ගන්න බැරිව යනවා. ඔබ නම් එබඳු කෙනෙක් වෙන්න එපා!

නුවණ තියෙන කෙනා පිළිගන්නවා තමන්ට වැරදි සිදුවුණා කියලා. ආන්න ඒක තමයි පළමු පියවර. වැරදි හදාගැනීම උදෙසා එයාට අවස්ථාවක් ලැබෙන්නේ එතකොටයි.

යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං – පණ්ඩිතෝ වා’පි තේන සෝ
බාලෝ ච පණ්ඩිතමානී – ස වේ බාලෝ’ති වුච්චති

යම්කිසි අඥාන පුද්ගලයෙක් තමන්ගේ අඥානකම දන්නවා නම්, ඔහු නුවණැත්තෙක් වෙන්ට හේතු වෙන්නෙ ඒකමයි. අඥාන පුද්ගලයා තමන් ගැන හිතාගෙන ඉන්නෙ මහා නුවණැත්තෙක් කියලා නම්, ඔහු ඒකාන්තයෙන්ම අඥානයෙක් කියලයි කියන්ට තියෙන්නේ.

(ධම්මපදය)

හිතට ගන්න…

නුවණැත්තා ඊළඟට කරන්නේ තමන් ගැන මේ විදිහට කල්පනා කිරීම. ‘මගෙන් කලිං වැරදි වුණා තමයි. මං කටයුතු කරපු විදිහ වැරදියි තමයි. ඒ වැරදි මං නොකළා නෙවෙයි. නමුත් මම දැන් ඒ පරණ වැරදි ගැන හිතමින් තැවි තැවී හිටියා කියලා ඒ වැරදි නොකළා වෙන්නේ නෑ. ඒ නිසා මං පසුතැවෙන්නේ නෑ.

මම කළ යුතු වැදගත් දේ තමයි මේ වැරදි යළි නොකර සිටීම. ඒ නිසා මම අදින් පස්සේ වැරදි කරන්නේ නෑ’

ඔය විදිහට හිතට ගන්න ඕන. එසේ සවිමත්ව සිතට අදහසක් ගන්න පුළුවන් නම් ඒක එයාට තියෙන හොඳ ම ශක්තිය. සවිමත්ව සිතට ගන්නවා කියන්නේ ‘අනිත් අය වැරදි හදාගත්තත් නැතත් මම නම් මගේ වැරදි හදාගන්නවා’ කියලා හිතට ගැනීම.

ආදීනව හිතන්න පටන් ගන්න…

තමන් වැරදි කරමින් ගියොත් එයින් කොයිතරම් දුක් විපාක විඳවන්න වේවිද කියලා නිතර වැරැද්දේ, පාපයේ ආදීනව අපි අපේ සිතටම සිහිපත් කරලා දෙන්න ඕනි. මේ ජීවිතේ ආදීනවත්, මරණින් මත්තේ ආදීනවත් නිතර සිහි කරද්දී වැරදි කරමින් ඉන්න භය උපදිනවා. වරදින් ගැලවෙන්න කැමැත්ත උපදිනවා.

ඒ වගේමයි වරදින් වැළකුණාම ජීවිතේට මෙලොව පරලොව වශයෙන් ලැබෙන ආනිශංසත් නිතර තමන් සිහි කරන්න ඕනි. එතකොට නිවැරැදි දේ කරන්න කැමැත්තක් උපදිනවා.

මෙහෙම හිතන්න. ඔයා හොඳට නාලා සුවඳ ගාලා ඉද්දී ඔයාගේ ඇඟට කවුරුහරි මැරිච්ච සර්පයෙක්ගේ කුණුවෙලා ගඳ ගහන මළකුණක් දානවා. එතකොට ඉතාම අප්‍රසන්න බවක් ඇති වෙනවා නේද? ඉක්මනින්ම ඒ මළකුණ අයින් කරලා ඇඳුම් පවා මාරු කරලා ආයේ නාලා පිරිසිදු වෙනවා නේද?

අන්න ඒ වගේමයි වැරැද්දේ ආදීනව සිතද්දී, නිවැරැදි බවේ ආනිශංස හිතද්දී මේ සිත වරදින් වළකින්නම ආසා කරනවා.

බැරි නෑ… පුළුවන් ම යි…!

බහුතරයක් කරන දෙයක් තමයි ‘මං කරලා තියෙන වැරදිවල හැටියට මට ආයේ හැදෙන්න බෑ, මගෙන් වුණ අඩුපාඩු ආයේ සකස් කරන්න බෑ, මගේ ඇබ්බැහිවීම් මට ගැලවෙන්න පුළුවන් ඒවා නෙවෙයි’ කිය කියා බැරි බැරියාව කියව කියවා, එක්කෝ හිත හිතා ඉන්නවා.

ඇත්තෙන්ම මේ ජීවිතේ ගැන නුවණින් හිතුවොත් අපිට බැරි බැරියාව හිතමින් හෝ කියමින් ඉන්න කාලයක් තියෙනවා ද? වේගෙන් ආයුෂ ගෙවී යනවා. ගෙවී යන තප්පරයක්වත් ආයේ ගන්න බෑ. ඔබ මේ ලිපිය කියවමින් පවා ගෙවන කාලය අහිමි වී යන කාලයක්. මෙබඳු සාර ලිපියක් කියවමින් ගතවෙන නිසා ඔබේ මේ කාලය අපතේ යන්නේ නෑ. නමුත් ජීවන ගමනේ වැඩිපුරම ඔබ ගෙවන්නේ වටිනා කාලයන් ද නැත්නම් නොවැදගත් දේ වෙනුවෙන් ගත කරන කාලයන් ද? එය සැබැවින්ම ඔබ ඔබේ දිවි ගමන ගැනම හිතිය යුතු ඉතා වැදගත් කරුණක්.

භයානක පාරක් මඟ හැර යාමට ප්‍රවේශම් සුන්දර මාවතක් තිබුණොත් ඔබ තෝරගන්නේ මොකක්ද? ඔබ පැහැදිලිවම බුද්ධිමත්ව ගන්න තීරණේ තමයි භයානක පාර මඟහැර ප්‍රවේශම් සහගත මාවතේ ගමන් කිරීම.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්න ඒ වගේමයි, සිතින් කයින් වචනයෙන් කරන වැරදි අකුසල් මඟ හැර යන්නටයි, සිත කය වචනයෙන් යහපත් වූ කුසල් කිරීමක් තිබෙන්නේ.

ඉතින් ‘බෑ’ කියා සිතන අය එසේ සිතමින්ම වටිනා කාලය ගෙවා දමාවි. නමුත් ඔබ නම් ටිකෙන් ටික හෝ ගෙවී යන වටිනා කාලයේ වැරදි පාරවල් ජීවිතෙන් මඟහැර යන්නත්, යහපත් මාවතේ ගමන් කරන්නත් උත්සාහ කරන්න.

පරදින්න නම් එපා!

මෙබඳු සොඳුරු බුදුවදන් ඇසෙන ජීවිතයක් ලැබිලත් ඔබ වැරදි හදා නොගත්තොත් ඒක මහා අවාසනාවක්. මේ ලිපිගත සමඟ රැඳුණු ඔබ කිසිවෙක් එබඳු අවාසනාවන්තයෝ නොවේවා! කොතරම් වැරදී තිබුණත්, පරදින්නෙ නැතිව ජීවිතේ දිනන්නට ඔබ සැමට වාසනාව ලැබේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.