වසරෙහි අන් කවර කලෙකටත් වඩා, කවර උත්සවයකදීටත් වඩා වෙසඟෙහි සිරිය අප හදවත්වලට දැනෙන්නේ ශාන්ත සුන්දරත්වයක් ලෙසිනි. එකලට හමන සුළඟෙහි පවා විරාගය, කරුණාව, මෛත්‍රිය, ජීවිතාවබෝධය වැනි යහගුණදම් මුසු වී ඇති සෙයක් හැඟේ. සැබැවින්ම කුමක්ද මේ විරාගය? මේ මෙත් සිහිල, මේ ශාන්ත බව, මේ සුචරිතයන් කාගෙන් හුරු වූවක් ද? වෙසඟෙහි මහ බෝ සෙවණේ උතුම් වජිරාසනය අරා වැඩ හිඳ, පර උපකාර රහිතව සියලු දහම් පිරිපුන්ව අවබෝධ කොට, සියලු කෙලෙසුන් නසා තිලොව දිනූ ගෞතම නම් වූ අප සම්මා සම්බුදුරජුන්ගේ විරාගය, මෙත් සිහිල, කරුණාව, ප්‍රඥා මහිමය ආදී උතුම් සම්බුදු සුවඳ නොවෙද අප හට එලෙසින් දැනෙන්නේ? එයමැයි මේ මිහිර…
ආමිෂයෙන් වේවා ප්‍රතිපත්තියෙන් වේවා ලොව යමෙකු සැබවින් ම පිදුම් ලැබිය යුතු නම් ඒ නිකෙලෙස් උතුමෙකු ම ය. රහසින්වත් වරදෙහි නොබැඳෙන්නෙකු ම ය. එවිට ය ඒ පිදුම කරන්නා හට මහඵල ලැබදෙන්නේ. දැනහඳුනන්නන් ඇති තැන සංවරව සිට, නැති තැන වරදේ බැඳීම ලොව සාමාන්‍ය සිරිත ය. කවුරුන් හෝ ඇති තැනත්, නැති තැනත් සම සේ සංවරව හිඳින්නේ නම් ඔහු තුළ කිසියම් විශේෂත්වයක් තිබිය යුතු ය. නැතහොත් ගොයම මැදින් යන ගවයා බුරුල ලැබුණ විගස ගොයමට ම පනින්නා සේ, බුරුල ම සොය සොයා සිටින කෙලෙස් සහිත සිතට බුරුල ලැබුණ විගස අකුසලයට පැනීම ඒ සිතේ උරුමය මිස අරුමයක් නොවේ. අප භාග්‍යවතුන් වහන්සේ ලොව යථා ස්වභාවය තම දියුණු කරන ලද නුවණින් දුටුව කල්හී චිත්තාභ්‍යන්තරයේ මුල් බැසගෙන තිබුණ සියලු අකුසල් ඉතිරි නැතිවම සදහට ම දුරු වී ගියේ ය. චිත්ත සන්තානය සදාකාලික පරම පාරිශුද්ධත්වයට පත් විය. එම කෙලෙසුන්ගෙන් නිදහස් වූ සිත ‘අකෝප්‍ය’ හෙවත් කිසිදා වෙනස් නොවේ (අකුප්පා මේ චේතෝවිමුත්ති). එම පිරිසිදු සිතින් යළිත් කිසිදා අපිරිසිදු දෙයක් සිදුවන්නේ නැත. එය හරියට මේ වගේ ය. ස්වභාවික දිය උල්පතකින් නිර්මාණය වූ පිරිසිදු දිය උතුරා යන දිය කඩිත්තක් තිබේ. එයින් දෝර ගලා යන්නේ ම පිරිසිදු සිසිල් නිමල දිය දහර ම ය. එයට හේතුව දිය උල්පත පිරිසිදු වීම ය. අප භාග්‍යවතුන් වහන්සේගේ හදමඬල නැමැති සුනිල නිමල දිය උල්පත ද පරම පිවිතුරු ය. එනිසා සුගතයන් වහන්සේගේ සිත, කය, වදන යන තිදොරින් ම දෝර ගලා යන්නේ මෙත්, කරුණා, මුදිතා, විරාගාදී සිහිල් නිමල පිවිතුරු ගුණදම් නමැති සිහිල් සුනිල දියදහරාවන් ය. එහෙයින් තෘණ දෝෂ නොමැති සරුසාර කෙතක සාරවත් බිජු වපුරන්නෙකුට මහත් සරුඵල ලැබෙන්නා සේ නිකෙලෙස් පරම පිවිතුරු පිරිසිදු හදමඬලක් දරන, රහසෙන් හෝ වරදෙහි නොබැඳෙන අප භාග්‍යවතුන් වහන්සේ විෂයෙහි පිදූ සුළු දෙය පවා මහත් වූ සරු ඵල ලබා දෙයි.
භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් බව අතිශයින්ම පුදුම සහගත ය. උන්වහන්සේගේ නෙත් අබියසට මනුලොව රාජකන්යාවන්, මාගන්ධිය වැනි අභිරූපී මනුසත් ළඳුන් පමණක් නොව දෙවි ළඳුන් පවා පැමිණියහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ඒ කිසිදු රුවකට නොඇලුණ සේක. එසේම දෙවිදතුන්, සුප්රබුද්ධ රජුන් වැනි මිනිසුන් පමණක් නොව ආලවක යකුන්, මරුන් ආදී නොමිනිසුන් ද නෙත ගැටුන සේක. එවැනි තමන්ට ගැහැට කරනු කැමති වූවන් පවා දකිද්දීත් ඒ කිසිදු රුවකට භාග්‍යවතුන් වහන්සේ නොගැටුණ සේක. ඇතැම්විට පාපී මාර තෙමේ නාග, හස්ති ආදී නොයෙක් බිහිසුණු වෙස් ගෙන භාග්‍යවතුන් වහන්සේව බිය වැද්දීමට පැමිණ පෙනී සිටි විට ඒ කිසි රුවකට බිය නොවුණ සේක. භාග්‍යවතුන් වහන්සේට මනුලොව කන්කළු මිහිරි ගීතස්වර නර, නාරී ශබ්ද පමණක් නොව දිව්‍ය තත්සර හා දෙවඟනන්ගේ මොළොක් බස් පවා ඇසුණ සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ කිසිදු හඬකට නොඇලුණ සේක. එමෙන් ම තමා ඉදිරියේ ක්‍රෝධයෙන් ගිගිරූ අක්කෝසක භාරද්වාජ, අග්ගික භාරද්වාජ, සුප්රබුද්ධ රජු ආදී නපුරු මිනිසුන්ගේ පමණක් නොව ආලවක යකුන්, මරුන් ආදී නොමිනිසුන්ගේ ශබ්ද පවා භාග්‍යවතුන් වහන්සේගේ සවන් වැකුණු සේක. එහෙත් ඒ කිසිදු හඬකට නොගැටුණ සේක. අජකලාපක යකුන්, මරුන් ආදීන් නොපෙනී සිට භාග්‍යවතුන් වහන්සේව බිය වැද්දීමට මොර දුන්න ද ඒ කිසිවකට බිය නොවුණ සේක. මුළා නොවුණ සේක. ශබ්දයේ සැබෑ තත්ත්වය පිරිපුන් ව අවබෝධ කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ නාසයට මනුලොව නරනාරීන්ගේ ගතින් හමන විළවුන් සුගන්ධය, පුෂ්ප සුගන්ධය මෙන්ම දිව්‍ය ළඳුන් ගල්වන ලද දිව සුගන්ධයන්, දිව පුෂ්ප සුගන්ධයන් දැනුණ සේක. එහෙත් ඒ කිසි සුගන්ධයකට මොහොතකටවත් නොඇලුණ සේක. සැරව ගෙඩි පුපුරා ලෙයින්, සැරවින් ගත හා සිවුරු තෙත් වී, හුන් යහනේ ම මළ මූ පහ වී සිටි පූතිගත්තතිස්ස තෙරුන්ගේ ගතින් හැමූ පිළිකුල් දුර්ගන්ධය ද දැනුණ සේක. එහෙත් එයට නොගැටී සියතින් ම නහවා පිරිසිදු කොට දහම් අමෘතයෙන් ද අභිෂේක කොට වදාළ සේක. ගන්ධයෙහි යථා ස්වභාවය පිරිපුන්ව අවබෝධ කළ සේක. ගන්ධයට මුළා නොවුණ සේක.
භාග්‍යවතුන් වහන්සේට රජවරුන්, සිටුවරුන්, ඇමතිවරුන් පුදන ලද ප්‍රණීත බොජුන් මෙන් ම දෙවියන් පිදූ දිව බොජුන් ද ලැබුණ සේක. එහෙත් දිවට දැනුණ ඒ කිසි රසකට නොඇලුණ සේක. යථා ස්වභාවය නුවණින් සලකා වැළඳූ සේක. එමෙන්ම පුණ්ණා වැනි ඉතා දුගී දාසියන්, යාචකයින් ආදීන් පිදූ ලුණු, සීනි ආදී කිසිදු ප්‍රණීත රසක් නොමැති දන් ද වරෙක අශ්ව වෙළෙඳුන් පිරිසක් පිදූ යව සහලින් දිය පමණක් මුසුකොට තැනූ අග්ගලා ආදිය ද ලැබුණු සේක. මහා කාරුණිකයාණෝ එම රළු අහරට නොගැටී පිදුවන්ට මහඵල ලැබෙන පරිදි කරුණා පෙරදැරිව මෙත් සිතින්ම වැළඳූ සේක. ආහාරයේ යථා ස්වභාවය පිරිපුන්ව අවබෝධ කළ සේක. රසයට මුළා නොවුණ සේක. භාග්‍යවතුන් වහන්සේට ජේතවනාරාමයේ සඳුන් කුටිය, පූර්වාරාමය ආදී සුවපහසු කුටි සෙනසුන් ලැබුණ සේක. කසී සළු ආදී සියුම් සිනිඳු වස්ත්‍ර හා සිවුරු ලැබුණ සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ කයට දැනුණ කිසිදු පහසකට නොඇලී ආදීනව දකිමින් ම පරිභෝග කළ සේක.
වරෙක වන ලැහැබක රුක්සෙවණක තුරින් පතිත කොළරොඩු ගොනුකොට ඒ මත වැඩසිටි සේක. තවත් වරෙක ගොනු කුරවලින් සෑදුණු වළවල් සහිත රළු පොළොවක හිම වැටෙන සීත කාලයේ, එළිමහනෙහි රැයක් පුරා වැඩසිටි සේක. දිරා ගිය, අණ්ඩ දැමූ පාංශුකූලික සිවුර දැරූ සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ කයට දැනුණ දුක්ඛිත පහසට නොගැටුණ සේක. පහසෙහි ඇති යථා ස්වභාවය පිරිපුන්ව අවබෝධ කළ සේක. පහසට මුළා නොවුණ සේක. භාග්‍යවතුන් වහන්සේගේ සිතට විටෙක රාහුල පුතු, බිම්බා දේවිය, පියරජු, ශාක්‍ය වංශික සහලේඥාතීන් අරමුණු විය. එහෙත් ඒ කිසි අරමුණකට නොඇලුණ සේක. තවත් විටෙක දෙව්දතුන්, පාපී මාර තෙම ආදීන් අරමුණු විය. භාග්‍යවතුන් වහන්සේ ඒ කිසි අරමුණකට නොගැටුණ සේක. අරමුණුවල යථා ස්වභාවය පිරිපුන්ව අවබෝධ කළ සේක. ඒ කෙරෙහි මුළා නොවුණ සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේට ද ආයතන සයෙන් ම අරමුණු ලැබුණ ද ඒ කිසිවකට නොඇලුණ සේක. නොගැටුණ සේක. මුළා නොවුණ සේක. සියල්ල කෙරෙහි ම ආශාව මුළුමනින් ම දුරු කර වැඩසිටි සේක. ඒ නිකෙලෙස් බව සම්බුදු දිවියේ පියවරක් පියවරක් පාසා ඉස්මතු වී බැබළුණේ ය.
දිනක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටින විට තමන් වහන්සේ තුළින් ප්රහාණය වී ගිය පාපී අකුසල් ගැනත්, භාවනාව තුළින් සම්පූර්ණ කරගත් නොයෙක් කුසල් දහම් ගැනත් නුවණින් විමසා බලන්නට විය. එකල්හී භාග්‍යවතුන් වහන්සේගේ මුවින් නිරායාසයෙන් ම මේ උදානය පහළ විය.
“අහු පුබ්බේ තදා නාහු – නාහු පුබ්බේ තදා අහු,
න චාහු න ච භවිස්සති – න චේතරහි විජ්ජතී”ති
“ඉස්සර මට තිබුනේ රාගාදී කෙලෙස් විතරයි. ඒ කාලෙ ආර්ය සත්‍යය අවබෝධය තිබුනේ නෑ. ඉස්සර ආර්ය සත්‍යය අවබෝධය මට තිබුනේ නෑ. ඒ කාලෙ මට තිබුනෙ කෙලෙස් විතරයි. සම්බුද්ධත්වය අවබෝධ වුනාට පස්සේ මට කෙලෙස් නැතුව ගියා. අනාගතයේ හටගන්නෙත් නෑ. දැන් දකින්නත් නෑ.”
එබඳු සැබෑම නිකෙලෙස් උතුමන් කෙරෙහි කරන පුදපූජාවන්හි විපාකයේ ස්වභාවය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ ම හැර ලොව වෙන කවුරු නම් දකින්ට ද? දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සැවැත්නුවර සිට බරණැස බලා වඩින අතරේ තෝදෙය්‍ය නම් ගමක් ආසන්නයට වැඩි සේක. එම ප්‍රදේශයේ එක්තරා සුප්‍රසිද්ධ දේවාලයක් තිබුණි. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා එම දේවාල භූමියට වැඩමකොට එළිමහනේ සඟල සිවුර අතුරා එහි වැඩසිටි සේක. ඉන්පසු ආනන්දයන් වහන්සේ අමතා “පින්වත් ආනන්ද, ආන්න අර කුඹුරේ ගොවිතැන් කරන බ්‍රාහ්මණයාට එන්න කියන්න.” යැයි ඒ අසල කුඹුරේ සිටි ගොවියා ව කැඳවූහ. සිදු වූයේ අමුතුම දෙයකි. ගොවියා පැමිණ දේවාලයට පමණක් වන්දනා කොට තිලොවග මුනිඳුන්ට වන්දනා නොකර ම සිට ගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ “පින්වත් බ්‍රහ්මණය, මේ ස්ථානය මොකක් කියල ද මේ ප්‍රදේශයේ අය හිතාගෙන ඉන්නේ?” යැයි ගොවියාගෙන් විමසූ කල “භවත් ගෞතමයන් වහන්ස, අපේ පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි චෛත්‍යස්ථානයක් කියලයි අපි දන්නේ. ඒ නිසයි අපි වඳින්නේ.” යැයි ගොවියා පිළිතුරු දුන්නේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ “පින්වත් බ්‍රහ්මණය, බොහෝම හොඳයි. මෙම ස්ථානයට වන්දනා කිරීමෙන් යහපත් දෙයක් කරගත්තේ.” යැයි එම ගොවියාට ප්‍රශංසා කළ සේක. නමුත් එතැන සිටි සඟ පිරිසට මෙය මහත් ප්‍රහේලිකාවක් විය. තුන්කල් දක්නා නුවණින් යුතු අප මුනිඳාණෝ පෙර කාශ්‍යප සම්මා සම්බුදුරජුන් කල සිදු වූ අතීත තොරතුරු සමඟින් ඝටීකාර සූත්‍රය ද මෙතැන්හි දී දේශනා කළ සේක. ඉන්පසු අප භාග්‍යවතාණෝ ඍද්ධි බලයෙන් යොදුනක් පමණ උස් වූ රන් ගඩොලින් නිමවා තිබූ කාශ්‍යප සම්බුදුරජුන්ගේ ස්වර්ණමය ධාතු සෑය මවා පෑ සේක. “පින්වත් බ්‍රහ්මණය, මෙබඳු වූ පුදපූජාවන්ට සුදුසු උත්තමයන් හට පුදපූජා පැවැත්වීම යුතුකමක්.” යැයි වදාරා ථූපාර්හ පුද්ගලයන් ගැනත් – ශාරීරික, උද්දේසික, පාරිභෝගික යන ත්‍රිවිධ චෛත්‍යයන් ගැනත් වදාරා එබඳු පිදිය යුත්තන් පිදීමෙන් රැස්වෙන පින මැනිය නොහැකි බව පවසමින් මෙම ගාථා රත්නයන් දෙක වදාළ සේක.
“පූජාරහේ පූජයතෝ – බුද්ධේ යදි ව සාවකේ
පපඤ්චසමතික්කන්තේ – තිණ්ණසෝකපරිද්දවේ”
“කෙලෙස් පටලැවිලි ඉක්මවා ගිය, ශෝක වැළපීම්වලින් එතෙර වුණ, බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශ්රාවකයින්ට හෝ එබඳු පූජනීය උතුමන්ට යමෙක් පිදුමන් කරයි නම්,”
“තේ තාදිසේ පූජයතෝ – නිබ්බුතේ අකුතෝභයේ
න සක්කා පුඤ්ඤං සංඛාතුං – ඉමෙත්තමපි කේනචි”
“කිසි ලෙසකිනුත් බිය තැතිගැනීම් නැති, නිවුණු සිත් ඇති, එබඳු උතුමන්ට පූජා – සත්කාර කරන කෙනාගෙ ඒ පින් මෙච්චරයි කියලා, මැනලා කියන්ට කාටවත් පුළුවන්කමක් නෑ.”
කාශ්‍යප සම්මා සම්බුදුරජුන්ගේ ධාතු සෑය එතැනින් අතුරුදන් වී පසුව ඉදිවුණ දේවාලයට වන්දනා කිරීමෙන් ද යහපතක් උදාවෙයි නම්, අප ගෞතම සම්මා සම්බුදුරජුන්ගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා නිධාපිත ස්වර්ණමාලී සෑ රජුන් පිදීමෙන්, දකුණු අකු ධා නිදන් ථූපාරාම සෑ රජුන් පිදීමෙන්, ලළාට ධා නිදන් සේරුවිල මංගල මහා සෑ රජුන් පිදීමෙන්, ග්‍රීවා ධාතුන් වහන්සේ නිධන් මහියංගණ සෑ රජුන් පිදීමෙන්, එකී මෙකී නොකී ලක්දිව නන්දෙස සුපිහිටි ධාතු සෑ රජාණන් වහන්සේලා පිදීමෙන්, දළදා වහන්සේ පිදීමෙන්, ජයසිරි මහ බෝ රජුන් පිදීමෙන්, සමනොළ ගිරිහිස සුපිහිටි ශ්‍රී පාද පද්මය පිදීමෙන්, පිළිම වහන්සේලා පිදීමෙන් රැස්වන පින මැන කියන්නට කාට නම් හැකි වේ ද? එබැවින් සම්බුදුරජුන්ගේ ත්‍රිවිධ මංගල්‍යය සමරන මේ වෙසඟෙහි මෙවන් මහත් පුණ්‍ය ක්ෂේත්රයක පින් අස්වනු නෙළාගැනුම සැප කැමති නුවණැත්තන්ට ම ය.
දෙව් මිනිස් සියලු ලෝසතුන්ගේ සියලු පිදුම් ලැබීමට සුදුස්සන් අතර අග්‍ර වූ අප භාග්‍යවතුන් වහන්සේ, පිදිය යුත්තන් පුදන ආමිෂ, ප්‍රතිපත්ති යන පූජා දෙවිදියෙන්, ප්‍රතිපත්ති පූජාව ම වඩාත් ප්‍රශංසා කොට වදාළහ. මහඵල ලැබෙන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් ම ය. සසර දුක් ගෙවා දමා අග්‍ර සැප වන නිවන්සැප උරුම වනුයේ ප්රතිපත්තියෙහි යෙදෙන්නවුන්ට ම පමණි. ගෞතම නම් වූ අප සම්මා සම්බුදුරජුන් ආමිෂ මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන් ද මනා ලෙස පුදා, මෙලොව සැපය පිණිසත්, පරලොව සුගති සැපය පිණිසත්, පරම සුන්දර වූ අග්‍ර වූ නිවන් සැපය පිණිසත් බොහෝ පින් රැස්කර ගැනුමට මේ වෙසඟෙහි අප කාටත් වාසනාව ලැබේවා!
මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.
Recent Comments