මේ සිත කියන්නේ මහ පුදුම දෙයක්. අපි කාටත් හිතක් තියෙනවා. ඒත් අපි කවුරුත් මේ සිත දැකලා නෑ. ඇස් දෙකෙන් දැකලත් නෑ. නුවණින් දැකලත් නෑ.

මේ ‘සිත’ දැකපු කෙනෙක් හිටියා. ඒ අපි ආදරයෙන් සරණ ගිය අපගේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ මේ සිතේ හැම අස්සක් මුල්ලක් නෑරම දැන ගත්තා. සිතේ හැම රහසක්ම සොයා ගත්තා. සිතේ ඇත්ත ස්වභාවය ඒ අයුරින් ම අවබෝධ කළා. පරිපූර්ණ වශයෙන් ම ඒක කරන්න පුළුවන් සම්මා සම්බුදු කෙනෙකුට විතරමයි.

සියල්ල දන්නා – සියල්ල දකිනා අපගේ භාග්‍යවතුන් වහන්සේ සිත ගැන මේ විදිහේ විශ්මිත හෙළිදරව්වක් කළා.

“පභස්සරමිදං භික්ඛවේ, චිත්තං, තඤ්ච ඛෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨන්ති.”

“පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු ආගන්තුක වූ උපක්ලේශ (අකුසල් සිතුවිලි) වලින් තමයි කිළුටු වෙලා තියෙන්නේ.”

අනන්ත සසර පටන් ගෙවී ගිය අති දීර්ඝ කාලය පුරා ම අනේක කෙලෙස් අකුසල්වලින් කිලිටි වූ මේ සිත පිරිසිදු කරගන්නවා කියන එක සුළුපටු වීරියකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මහා වීර වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ඒ වෙනුවෙන් ම, ඒ අරමුණ 
උදෙසා ම දානාදී දස පෙරුම් පිරුවා. සත්පුරුෂ ගුණ දම් පුරුදු කළා.

අතිශය වේගවත් දැවැන්ත සැඩ පහරක් සෙයින් සිතෙන් මතුව එන කෙලෙස් ආවේගය විශ්මිත වූ ජවසම්පන්න වීර්යකින් පාලනය කළා. අවසානයේ එක්තරා වෙසක් පුන් පොහෝ දිනක නේරංජරා නදී තෙර ජය ශ්‍රී මහා බෝ 
සෙවණේ දී වජිරාසනය මත වැඩ හිඳ දස 
බිම්බරක් මර සෙනඟ පරදා චිත්ත අභ්‍යන්තරයේ සැඟව තිබූ සියලු කෙලෙස් ප්‍රහාණය කරමින් ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළා. සිත ජයගත් ඒ මහා වීරයන් වහන්සේ සතලිස් පස් වසරක් පුරා දෙව්මිනිස් ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් සිත දමනය කරන අයුරු, සිතේ කෙලෙස් නසන අයුරු, සිත පිරිසිදු කරන අයුරු මැනවින් පෙන්වා වදාළා.

මේ බලන්න, සියල්ල දන්නා – සියල්ල දක්නා අපගේ භාග්‍යවතුන් වහන්සේ සිත හඳුනාගත් ආකාරය…

“ඵන්දනං චපලං චිත්තං – දුරක්ඛං දුන්නිවාරයං…”‍

හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැකගන්නට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්.

“‍වාරිජෝ’ව ථලේ ඛිත්තෝ – ඕකමෝකත උබ්භතෝ”‍

“වතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් දඟලනවා වගේ මේ හිත අරමුණෙන් අරමුණට දඟල දඟල තියෙන්නේ.”

“දුන්නිග්ගහස්ස ලහුනෝ – යත්ථකාමනිපාතිනෝ…”‍

“මේ ‘සිත’ කියන්නේ නිග්‍රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතින් වෙනස් වෙනවා. ආස කරන දේටමයි ඇදිලා යන්නේ.”‍

“දූරංගමං ඒකචරං – අසරීරං ගුහාසයං…”‍

“මේ සිතට බොහෝම දුර ගමන් තියෙනවා. හැබැයි තනියම තමයි යන්නෙ. හිතට 
ඇඟක් නෑ. නමුත් මේ සිත වාසය කරන්නෙ ශරීරය නමැති ගුහාවෙ.”‍

මොනතරම් සත්‍යයක් ද..! අපි කාටත් තියෙන්නේ මෙවැනි හිතක්නෙ. එවන් සිතක් රැකගන්න එක මොනතරම් සූක්ෂම ව කරන්න ඕන දෙයක් ද.

කය ගැන නම් අපි කොච්චරවත් හිතනවා. අවධානයෙන් ඉන්නවා. ශරීරයේ 
නිරෝගිකම වෙනුවෙන් අපි මොනතරම් වියදම් 
කරනවා ද? කයේ පිරිසිදුකම වෙනුවෙන් කොයිතරම් වෙහෙස වෙනවා ද? අඟල් භාගයක්වත් නැති කුඩා 
මදුරුවෙකුගෙන් පවා හානියක් නොවී මේ කය රැක ගන්න අපි කීයක් දේවල් කරනව ද…

ඒත් මේ සා ආදරයෙන් සැලකිල්ලෙන් සරසන, ලස්සන කරන, පිරිසිදු කරන, රැක ගන්න ශරීරය කොයිතරම් පිරිසිදු කළත්, මොහොතකින් අපිරිසුදු වෙනවා. කොයිතරම් සුවඳ ගැල්වුවත් ඊළඟ මොහොතේ දුඟඳ වහනය වෙනවා. කොයිතරම් ලස්සනට තියාගන්න හැදුවත් වයසට යන්න යන්න ක්‍රම ක්‍රමයෙන් විරූප වෙනවා.

මොනතරම් රැකගන්න හැදුවත් නොයෙකුත් අන්තරා උපද්‍රවවලට ලක් වෙනවා. අත් පා ආදිය කැඩී බිඳී යනවා. මොනතරම් නිරෝගිව තියාගන්න හැදුවත් ඇසටවත් නොපෙනෙන තරමේ ක්ෂුද්‍ර විෂබීජයකින් පවා මේ ශරීරය අනේකප්‍රකාර ලෙඩ දුක්වලට භාජනය වෙනවා. අන්තිමේ දී මේ ශරීරය වටා නැගුන ප්‍රතිරූපය නම්ගොත්, තාන්නමාන්න, නම්බුනාම, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා සහිත ජීවිතය මරණයෙන් අවසන් වෙලා යනවා. අන්න එදාට මුළු මහත් ජීවිත කාලය පුරාම මහත් ආයාසයෙන් රැකගත් මේ ශරීරය අවසානයේ ගින්නෙන් පිළිස්සී යනවා. නැත්නම් පොළොවේ වැළලී යනවා.

මේ යථාර්ථය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ ගැන මෙසේ වදාළා.

“කුම්භූපමං කායමිමං විදිත්වා – නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යෝධේථ මාරං පඤ්ඤායුධේන – ජිතඤ්ච රක්ඛේ අනිවේසනෝ සියා”‍

“වහා බිඳී යන මැටි බඳුනක් වගේ කියලයි මේ කය ගැන දැනගන්නට ඕනෙ. හොඳට ආරක්ෂාව තියෙන නගරයක් විදිහටයි මේ හිත තබාගන්ට ඕනෙ. මාරයත් එක්ක යුද්ධ කරන්ට තියෙන්නෙ ප්‍රඥාව නැමැති ආයුධයෙන්. යුද්ධෙන් ජය අරගෙන ඒක රැකගන්ට ඕනෙ. ආයෙමත් සංසාරෙට නවාතැන් නම් හදන්ට ඕනෙ නෑ.”‍‍

“අචිරං වතයං කායෝ – පඨවිං අධිසෙස්සති
ඡුද්ධෝ අපේතවිඤ්ඤාණෝ – නිරත්ථං’ව කලිංගරං”

“ඇත්තෙන්ම මේ ශරීරය එච්චර කාලයක් තියෙන එකක් නොවෙයි. විඤ්ඤාණය පහ වුණාට පස්සෙ වැඩකට ගන්ට බැරි දරකඩක් වගේ, මහ පොළොවෙ වැතිරෙනවා.‍‍‍‍”

මොනතරම් සත්‍යයක් ද… ඇත්තෙන්ම අපි කවුරුත් ආසයි මේ සිත රැකගන්න. සිත දමනය කරගන්න. ඒත් ඒක කොහොමද කරන්නෙ? සිහියෙන් ම යි. වීර්යයෙන් ම යි. 
නුවණින් ම යි. අපේ ජීවිතේ ඕනෑම දේකට තව කවුරුහරි උදව් කරගන්න පුළුවන්. ඒත් සිත රැක ගන්න එක තමන්ට තනියමයි කරගන්න තියෙන්නේ.

“න තං මාතා පිතා කයිරා – අඤ්ඤේ වා පි ච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං – සෙය්‍යසෝ නං තතෝ කරේ

මේ වැඩේ තමන්ගේ අම්මා විසින් කරලා දෙන්නෙත් නෑ. තාත්තා විසින් කරලා දෙන්නෙත් නෑ. වෙන ඤාතියෙක් කරලා දෙන්නෙත් නෑ. ඒ වැඩේ තමයි යහපත් කොට ධර්මය තුළ හිත පිහිටුවාගන්න එක. ඒ හේතුවෙන්මයි ඔහු උතුම් කෙනෙක් බවට පත්වෙන්නේ.”

අකුසල්වලින් හිත වළක්වලා කුසල් සිතින් වාසය කරන්න කෙනෙක් දක්ෂ වුණොත්, “චිත්තං දන්තං සුඛාවහං”‍ දමනය කර ගත් ඒ සිතෙන් මහත් සැපයක් ලබන්න පුළුවන්.

“හැමදාමත් ඒ නිවන් මඟ පුරුදු කළේ සිත රැකගත්තු උතුමන් විතරයි.”‍

(තාලපුට රහත් මුනිඳු)

අපටත් බලවත් සිහිනුවණ, වීරිය උපදවාගෙන මේ සිත දමනය කර ගැනීම පිණිස ශ්‍රී සද්ධර්මයේ සරණ ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි.