වෙසක් පෝය බෞද්ධ අපට ඉතා වැදගත් පෝයක්. බෝධිසත්වයන් වහන්සේ මනුලොව ඉපදී, දසමාර සේනා පරදවා සම්මා සම්බුද්ධත්වයට පත් වී, හතළිස් පස් වසරක බුදුකිස නිමවා, පිරිනිවන් පාන්නට වැඩිය උතුම් දිනය වෙසක් පෝ දිනය යි. එදින බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසිකාවක් ආමිස වශයෙන්, ප්‍රතිපත්ති වශයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න අප මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවේ පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ මෙසේ සාකච්ඡා කළා.

************************************************

සෑම පෝ දිනක ම සඳක් අහසට නැගිලා සඳ පායලා සඳ බැස යනවා. එසේ පායන සඳ බෞද්ධ අපට විශේෂයි. අපට මතක් කරන්න දෙයක්, සිහි කරන්න දෙයක්, සතුටු වෙන්න දෙයක් තිබෙනවා. පේ වෙලා විශේෂයෙන් සූදානම් ව කරන්න දෙයක් තිබෙනවා. මෙලෙස පායන සඳ අතරේ වෙසක් සඳ කියන්නේ අප හැමෝට ම දැනෙන දෙයක්. ත්‍රිවිධ මංගල්‍යයක් සමරන පෝය දිනයක්.

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින කාලයේ ‘අද වෙසක් පෝය දිනය’යි කියා විශේෂ දවසක් හෝ සඳහනක් තිබුණේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ පසුව රහතන් වහන්සේලා ධර්ම සංවේගයෙන් කතා කළා “අනේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවිලා මේ වෙසක් පෝයට අවුරුද්දක් ගත වුණානේ” කියා. ඊ ළඟ වසරේ “වසර දෙකක් ගෙවී ගියානේ” කියා සිහි කළා. මේ වන විට උන්වහන්සේ පිරිනිවන් පාලා වසර දෙදහස් පන්සිය හැට තුනක් සමඟ ඒ සිදුවීම් දුර ඈත අතීතයට එකතුවෙලා.

වෙසක් පෝය ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට වැදගත් වන්නේ සංස්කෘතික ලෙස පමණක් නො වේ. ආගමික ලෙසත් අපේ ජීවිතවලට විශාල බලපෑමක් තිබෙනවා. පෙර කාලයේ අපේ රටේ සිටි රජවරු තමන්ගේ කාලය, ශ්‍රමය, බලය, මුදල කැපකර වෙසක් උත්සවය ඉතාමත් ඉහළින් සැමරුවා. ඒ වගේ ම බෞද්ධ ජනතාව ප්‍රතිපත්තිමය වශයෙන් මෙන් ම ආමිෂ වශයෙනුත් වෙසක් උත්සවය සැමරුවා. මල් පූජා, ධාතුන් වහන්සේ පූජා, සංඝයා වහන්සේ උදෙසා නොයෙක් පුද පූජා සිදු කළා. ඒ කාලයේ ගිලන් මිනිසුන්ට උපස්ථාන කිරීම වගේ ම බොහෝ මහන්සි වී වැඩ කළ ගවයන්ට මී පැණි තැවරූ පිදුරු පවා වෙසක් පෝ දින දී තිබෙනවා. තමන්ගේ කරුණාව හැම පැත්තක් ම නියෝජනය වන පරිදි දන් දෙන්නට මේ රජවරු පෝ දා විශේෂ කොටගෙන තිබෙනවා.

එසේ ගුණධර්ම දියුණු කර ගත් දිනයක් තමයි වෙසක් පෝය කියන්නේ. එලෙස ධර්ම සංවේගය ඇතිකරගෙන සිහිපත් කරගත් වෙසක් පෝ දිනය අද කාලය වනවිට බොහෝ සේ ලෞකික වෙලා. අපි බෞද්ධ කියා පෙන්වන්න ඕනේ නම් වෙසක් පෝ දිනට වෙසක් කූඩුවක් නිවස ඉදිරිපිට එල්ලනවා. බකට් දෙක තුනක් එල්ලනවා. ඊට පස්සේ හිතනවා මමත් හොඳ බෞද්ධයෙක් කියලා. දැන් ඒක ව්‍යාපාරයක් බවට පත්වෙලා. වෙසක් උත්සවය කිට්ටු වන කාලයට පාර පුරා වෙසක් කූඩු ගන්න තිබෙනවා. නොයෙක් විසිතුරු මෙන් ම සංකර දේ ද වෙළෙඳපොළේ තිබෙනවා.

නමුත් බෞද්ධ අම්මා කෙනෙකු ලෙස දරුවන්ට යම් ගුණයක් පුරුදු කරන අදහසින් සැරසිලි භාවිත කරන්න උත්සාහ කරන්න ඕන. වෙනත් පෝයට වඩා වෙසක් පෝය වැදගත් වන්නේ ඇයි? කියා දරුවන්ට කියා දෙන්න ඕන. අද බොහෝ මවුපියන් කරන්නේ වෙළෙඳපොළේ තිබෙන වෙසක් කූඩුවක් ගෙනවිත් නිවසේ එල්ලන එකයි. නමුත් ඔබට පුළුවන් නම් දරුවන් සමඟ වෙසක් කූඩුවක් හදලා එල්ලලා දරුවන්ට කියා දෙන්න “පුතේ, අපි මෙහෙම වෙසක් කූඩුවක් හදලා එල්ලන්නේ බුදුරජාණන් වහන්සේට උපහාර පිණිස ආලෝක පූජාවක් වශයෙන්, උන්වහන්සේට ගෞරවයක් පිණිස යි” කියලා ඒ දරුවා යම්කිසි හික්මීමකින් එය තේරුම් ගන්න උත්සාහ කරාවි. දරුවෝ සියලු දෙනාම ළං කරගෙන එසේ කූඩුවක් හෝ වෙනයම් සැරසිල්ලක් හදනවා නම් බුදුරජාණන් වහන්සේගේ ගුණ කතා කරන්නත්, ඔවුන් තුළ මෙත් සිත වර්ධනය වීමටත් එය බලපානවා.

එනිසා ලෙහෙසියට කරන්න පුළුවන් දෙයක් නොකර විදුලි බල්බ් පමණකින් අලංකාර කර සතුටු නො වී දරුවන්ට එය අම්මා ලෙස ඔබට කියා දෙන්න පුළුවන් නම්, ඒ දරුවෝ ඒක තේරුම් ගෙන හික්මීම ඇතිකර ගනියි.

ඔබ දන්නවා අනෙක් පෝ දිනවලට සිල් සමාදන් නොවන බොහෝ පිරිසක් වෙසක් පෝ දින සිල් සමාදන් වෙනවා. නමුත් බොහෝ දෙනෙක් එදින ඇති වැදගත්කම නිවැරදි ව දන්නේ නැහැ.

තමන්ගේ පවුලේ උදවිය ධර්මයට නැඹුරු කරන්නට වෙසක් පෝය හේතු කර ගන්නට පුළුවන්. විශේෂයෙන් කාන්තාව, නැත්නම් අම්මා මෙයට මුල්වෙන්න ඕනේ. සැමියා සිල් සමාදන් වීමට කැමැති නැත්නම්, ඒ සඳහා උත්සාහයක් නැත්නම් වෙසක් පෝ දින වටිනාකම කියා දී “අපි උපෝසථය සමාදන් වෙලා වන්දනා කර එමු.” කියලා ඔහු ව විහාරස්ථානයකට කැඳවාගෙන යන්න. එදා සිල් සමාදන් වීම ඉදිරියේ දී ස්වාමියා ධර්මයට නැඹුරු වීමට ලොකු රුකුලක් වෙන්නත් පුළුවනි. වැරදි ගතිගුණ තිබෙන ස්වාමියෙක් නිවැරදි වෙන්නත්, සිල් පද කඩන ස්වාමියෙක් ඒ සිල්පද රැක ගන්නටත් ඒක හේතුවක් වෙන්න පුළුවන්.

ඒ වගේ ම දරුවන් කුඩා කාලයේ සිට ම සිල් සමාදන් කරවීම මවුපියනගේ යුතුකමක්. දරුවා කුඩා කාලයේ වැරැද්දක් කරන විට අපි හිතනවා ‘තවම පොඩියි. ලොකු වුණාම ඒක ඇරිලා යාවි.’ කියලා. නමුත් දරුවා කුඩා කාලයේ සිට ම ඒ වැරැද්ද කරනවා නම් ඒක ඔහුට පුරුද්දට යනවා. ඒකෙන් මුදවන්නට මවුපියන්ට අපහසු වෙනවා. එසේ නොකර කුඩා කාලයේ සිට ම කිසියම් හික්මීමකින් දරුවා හදනවා නම් මවුපියන්ට එය පහසුවක් වෙනවා. වෙසක් පෝ දිනක දරුවා විහාරස්ථානයට කැඳවාගෙන ගිහිල්ලා, උපෝසථ සීලය සමාදන් කරවා, විහාරස්ථානයේ අංග කියා දී විහාරස්ථානයේ හැසිරෙන හැටි, වන්දනා කරන හැටි, කියා දෙන්න. සෑයක් වටේ දකුණු පැත්තට පැදකුණු කරන්නේ කොහොමද, ධර්මය ශ්‍රවණය කරන්නේ කොහොමද ආදී මූලික ශික්ෂණයක් ලබා දීමට පටන් ගන්න හොඳ දවසක් තමයි වෙසක් පෝය.

දරුවාගේ ඒ හික්මීම වෙසක් පෝ දිනට සීමා කරන්නේ නැතිව ඉන් පසු එළඹෙන පුන් පෝ දිනවලත් විහාරස්ථානයට කැඳවාගෙන යාම අම්මාගේ යුතුකමක්. ඇසුර නිසා බොහෝ මිනිසුන් වෙනස් වෙනවා. දරුවාට නිතර නිතර කල්‍යණ මිත්‍රයන් වහන්සේලාගෙන් හොඳ දේ ඇසෙද්දී ඔවුන් වෙනස් වෙනවා. සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය මිනිසුන් කියන කරන දේ අතර ඔහුගේ ජීවිතය ගෙවෙනවා නම්, එතැන දරුවන්ට අනතුරක් තිබෙනවා. නමුත් ගුණදහම් කියා දීලා පුරුදු කරනවා නම් ඒ දරුවාට පුළුවන්කම තිබෙනවා විශේෂ කෙනෙක් වෙන්න. දෙමාපියන්ට සලකන, දෙමාපිය ගුරුවරුන්ට ගරු කරන දරුවෙක් ලෝකයට දායාද කරන්න පුළුවන්කම තිබෙනවා.

එහෙම නම් කාන්තාවක් ලෙස තේරුම් ගන්න වෙසක් පෝය කියන්නේ තමන්ගේ ජීවිතය වෙනස් කර ගන්නට පුළුවන් විශේෂ පෝ දිනයක් බව. එයයි අපගේ නව වර්ෂය. බොහෝ දෙනෙක් එකතු වෙලා පසුගිය මාසයේ සැමරුවා නව වර්ෂයක්. ඒක සිංහල බෞද්ධයාගේ නව වර්ෂය නො වේ. සිංහල බෞද්ධයාගේ නව වර්ෂය වෙසක් පෝ දිනය යි. එදිනට වෙසක් කූඩු හැදීම, තොරණ්, විදුලි බුබුළුවලින් සැරසීම් ආදී ආමිස ප්‍රතිපදාව වගේ ම කෙනෙක්ට තමන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිපත්ති පූජාව කරන්න පුළුවන් නම්, ඒක විශේෂ දෙයක්.

ප්‍රතිපත්තිය කියූ විට ඔබට සිතෙන්න පුළුවන් කරන්න අපහසු අද්භූත දෙයක් කියලා. නමුත් යම්කිසි කැපකිරීමක් කරලා කරන දෙයක් ප්‍රතිපත්තියක් ලෙස ගන්න පුළුවන්. කෙනෙක් සතුන් නොමරා සිටින්නට කැප වෙනවා. අන්සතු දේ නොගෙන සිටිනවා. ඒ වගේ ම බ්‍රහ්මචාරී ව ඉන්නවා. බොරු නොකියා සිටිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයක් නැහැ. විකාලයේ ආහාර නොගෙන සිටිනවා. ඒ වගේ ම සිහි කරනවා ‘රහතන් වහන්සේනමක් කවදාවත් සුවඳවිළවුන් ගල්වලා, මල් සැරසිලි කරලා, විසිතුරු ලෙස ජීවත් වුණේ නැහැ.’ කියලා. එදිනට සැප පහසු ආසන පරිහරණයෙන් වැළකී සිටිනවා. මෙසේ කරද්දී එය කැප කිරීමක්. ඇය ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. එය ප්‍රතිපත්ති පූජාවක් බවට පත් වෙනවා. අපි සෑය වටේ ගොස් මලක් පූජා කළොත් එය ආමිස පූජාවක්. නමුත් භාග්‍යවතුන් වහන්සේ වඩාත් ප්‍රශංසා කළේ එවැනි පූජාවන් නො වේ.

එදා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට සල්රුක් දෙකක් අතරේ සැතපී සිටිද්දී අකලට සල්මල් පිපිලා නටුවෙල් ගිලිහිලා බිමට වැටුනා. දෙවිවරු සුවඳ කුඩු අහසේ සිට ඉස්සා. අහසින් දිව්‍ය මදාරා මල් ඇද හැලුනා. දිව්‍ය සංගීතය නාද වුණා. එවිට භාග්‍යවතුන් වහන්සේ ආනන්දයන් වහන්සේ අමතා මේ විදිහට වදාළා. “ආනන්දයෙනි, මේ බලන්න. ස්වභාව ධර්මයත් දෙවිවරුත් තථාගතයන් වහන්සේට නොයෙක් අයුරින් පුද පූජා පවත්වනවා. එහෙත් මෙපමණකින් තථාගතයන් වහන්සේ පිදුවා වෙන්නේ නෑ. යම් භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව වාසය කරනවා නම් ඔහු තමයි තථාගතයන් වහන්සේට උතුම් වූ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන කෙනා.” කියලා.

සමාදන් වූ සීලය කැපවීමෙන් ආරක්ෂා කරනවා නම්, සන්සිඳීමක් නැති සිත අරමුණකට යොදවා භාවනාවක් කරනවා නම්, ඇය අන් අයට වඩා වෙනස් කෙනෙක්. ඒ ප්‍රතිපත්තිමය පූජා වශයෙන් යම් වෙහෙසක්, කැපකිරීමක් කරන නිසා. ඇය ප්‍රතිපත්තිමය වශයෙන් රැකගත් ඒ පින භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරනවා. එය අන් අයගේ ඇසට පෙනෙන්නෙත් නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. නමුත් ඒ ප්‍රතිපත්ති පූජාව තමයි බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්නට තිබෙන උතුම් ම පූජාව වන්නේ. ප්‍රතිපත්ති පූජාවෙන් වැඩියෙන් ම සතුටු වෙන්නේ තමන්. සමහර වයෝවෘද්ධ අම්මලා ජීවිතයේ අවසන් කාලයේ දී කියනවා “මම මෙතරම් කාලයක් උපෝසථ සීලය ආරක්ෂා කළා. දන්පැන් පූජා කළා. වෙහෙර විහාර ධාතුන් වහන්සේලා වන්දනා කළා. භාවනා කළා.” කියලා. එසේ සිතද්දී ඇයට සතුටු වෙන්න පුළුවන් දෙයක් ඈ තුළ ම තිබෙනවා.

ඒ වගේ ම අපි වෙසක් උත්සවය සමරන්න ඕනේ යහපත් ලෙසයි. ලෝකයේ දන්සල් පවත්වන එක ම රට, මිනිසුන්ට බොහෝ සත්කාර කරන රට අපි වෙන්න පුළුවන්. පිරිසක් එකතුවෙලා බොහෝ පිරිසකට සංග්‍රහ කරනවා. මේක බොහෝ ම පින් සිදුවන කරුණක්. බොහෝ සතුටු වෙන්න පුළුවන් දෙයක්. නමුත් මෙම දන්සැල් පැවැත්වීමත් මේ වනවිට පරිහානියට යමිනුයි තිබෙන්නේ. තරුණ පිරිසකට පුළුවන් නම් සමඟියෙන් එක්රැස් වෙලා දෙන කෑම වේල හොඳින් සකස් කරලා, දාන චිත්තයෙන්, ‘අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසකටයි අපි දන් දෙන්නේ’ කියලා හිතන්නට, ඒ දානය තමන්ගේ ජීවිතයට සතුටක් එක් කරනවා. පිනක් රැස්වෙනවා. තමන් අනුන්ගේ ජීවිතයට අනුග්‍රහයක් කළා වෙනවා. එහෙම නම් ඒ දේවල් හරියට සමරන්නත් අපි නුවණ පාවිච්චි කරන්නට ඕන.

වෙසක් පෝ දිනට අපේ බෞද්ධ ස්වභාවය අපි බොහෝ සේ ප්‍රකට කරවනවා. අපට හිතෙන්න පුළුවන් මේ හැම දෙයක් ම ඒ ආකාරයෙන් ම තව බොහෝ කාලයක් තිබේවි කියලා. අනුරාධපුරයට ගියාම අපට මහාසෑය, බෝධින් වහන්සේ පූජනීය බොහෝ දේ පෙනෙනවා. එවිට අපට සිතෙනවා මේ සියලු දේ හැමදාම තිබේවි කියා. එහෙත්… බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරීමේ හැකියාව හැමදාම තිබේවි කියා අපට සිතන්නට බැහැ. කාලයාගේ ඇවෑමෙන් සියල්ල අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ධර්මරත්නය, සංඝරත්නය අතුරුදහන් වෙනවා. එදාටත් හඳ පායනවා. නමුත් එදාට කරන්න දෙයක්, හිතන්න දෙයක්, සමරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජ කෙනෙක් හිටියා කිකී කියලා. ඔහුගේ පුතා පඨවින්දර. ඔහුගේ පුතා සුයාම. දැන් පරම්පරා තුනයි. මේ සුයාම කුමරු ඔටුණු පැලඳුවා. ඒ රජුට ආරංචි වුණා ‘අපගේ සීයාගේ කාලයේ සම්බුදුරජාණන් වහන්සේනමක් ලෝකයට පහළ වෙලා හිටියාලු, උන්වහන්සේ වදාළ බණ ඇසුවා ම නිවන අවබෝධ වෙනවාලු, දුකෙන් නිදහස් වෙනවාලු. ඒ වගේ ම සංඝරත්නය කියලා කසාවතක් දරා ගත් සිල්වත් පිරිසකින් මේ නුවර බැබළුණාලු” කියා. ‘අනේ මටත් ඒ බුදුරජාණන් වහන්සේගේ සංඝරත්නය දකින්නට හැකි නම්, බණ ටිකක් අසන්න ඇති නම්…’ කියා ඔහුට ආශා හිතුණා. ඉතින් මේ රජතුමා ඇතාගේ පිටේ රත්තරන් පොදියක් තියලා ප්‍රචාරය කළා බණපදයක් දන්නා කෙනෙක් සිටිනවා නම් මේ රන් පොදිය අරගෙන මට බණ පදයක් කියන්න කියලා. ඇතා නගරයේ හැම වීදියක ම ගියත් රත්තරන් අරගෙන හෝ ධර්මය කියන්න කෙනෙකු නැහැ. මේ දේ රජතුමා දෙවැනි වතාවටත්, තුන්වැනි වතාවටත් කළා. එදා රජතුමා හිතනවා ‘සද්ධර්මය අතුරුදහන් වෙලා. බණ ටිකක් අහන්න නැති මේ ජීවිතය මොකටද?’ කියා. එසේ සිතා රජකම අතහැරියා. තාපස පැවිද්දෙන් පැවිදි වුණා.

මේ තාපසතුමා හිමාලයට යද්දී සක්දෙවිඳු ‘අනිච්චා වත සංඛාරා’ කියා ගාථාවක් වදාළා. මේ ගාථාව අසාගෙන කැලයට ගිය මේ තාපසතුමා භාවනා කළේ ඒ ගාථාව සිහිකරමිනුයි. නමුත් මේ කාලයේ අපට නම් ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද වශයෙන් මේ ඕනෑම ආකාරයකට පුරුදු කරන්න පුළුවන්කම තිබෙනවා. සිල්පද රකින්නට ඕනෑ නම් පංචසීලය, ආජීව අෂ්ටමක සීලය, උපෝසථ සීලය, දස සීලය ආදී තමන් කැමැති ආකාරයකට සිල් රකින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ම බොහෝ දෙනාට ධර්මයේ වටිනාකම නැතිවෙලා. මේ වෙසක් පෝය දිනට හිතනවා ‘අද සිල් සමාදන් වෙන්න ඕනේ නැහැ, ලබන පෝයට සමාදන් වෙනවා.’ කියලා. මේ විදිහට තමන්ගේ ජීවිතයට වටිනා පිනක් රැස්කර ගන්නට තිබෙන අවස්ථාව මග හරිනවා.

නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක් කාලයක දී අතුරුදන් වෙනවා. ධාතුන් වහන්සේලා අතුරුදහන් වෙනවා. බෝධින් වහන්සේලා අතුරුදන් වන කාලයක් එනවා. සංඝයා වහන්සේ දක්නට ලැබෙන්නේ නැහැ. චීවරය මොන වගේ එකක් ද කියා දන්නේ නැති කාලයක් එනවා. නිවන් දකින බණ, දුකෙන් නිදහස් වෙන ධර්මය මොන වගේ එකක් ද කියලා නොදන්න කාලයක් එනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අද මේ වනවිට ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වටිනාකමක් තිබුණාට අනාගතයේ දී මේ දහම අතුරුදහන් වෙනවා කියලා. ඒ නිසා මේ ලැබුණ අවස්ථාවේ දී අපි නුවණ, වීර්යය, උත්සාහය යොදලා මේ ධර්මයේ හැසිරෙන්න ඕනේ.

එහි දී නිවසේ අම්මාට තමයි ප්‍රධාන වගකීම පැවරෙන්නේ. සැමියා ධර්මයට ලොකු නැඹුරුවක් නැති වුණත් බිරිඳකගේ ආදරණීය ඇමතුමකට ඔහු අවනත වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු ව ධර්මයට නැඹුරු කරගෙන සුගතියට යන කෙනෙක් බවට පත් කළොත් ඒ පින තමන්ට ලැබෙනවා. සැමියාගේ ආදරය, කරුණාව පමණක් නො වේ; තමන්ට සීලවන්ත, ත්‍යාගශීලි, නුවණින් යුතු ස්වාමියෙක් ද ලැබෙනවා. ඒ පින තමන්ට හිමි වෙනවා. සිල්වත් දරුවන් තමන්ට ඉන්නවා නම් ඒ අම්මාට සමාජයෙන් දෝෂ එල්ල වන්නේ නැහැ. නින්දා අපහාස විඳින්නට වෙන්නේ නැහැ.

ඒ නිසා සෑම කාන්තාවකගේ ම වගකීම වන්නේ පෝ දින තමන්ගේ පවුලේ සියලු දෙනාට ධර්මයේ වටිනාකම කියා දී ඒ සියල්ලෝ ම ධර්මයේ සමාදන් කරවීම යි. හිතමිතුරන්ට, නෑයන්ට, සහෝදරයන්ට අසල්වාසීන්ට වෙසක් පෝ දිනය නිමිති කරගෙන උතුම් ධර්ම පණිවිඩයක් දිය හැකි නම් ඒක තමන්ටත් පිනක්. තමන්ගෙන් ලෝකයට සිදුවන විශාල යහපතක් ද වෙනවා.

සාකච්ඡා සටහන – නයනා නිල්මිණි