නූතන ලෝකය, බොහෝ අර්ථ දැක්වීම් තුළ ‘දියුණු’ යැයි සම්මත ලෝකයක්. තාක්ෂණික භාවිතයන් ඔස්සේ මුළුමහත් ලෝකප්‍රජාව ම එක ම වේදිකාවක තබා සිදු කරන රංගනයකුයි වර්තමානයේ අප අත්දකින්නේ. ඇසිල්ලකින් සෙසු ලෝකයා හා යා කරලන යාන්ත්‍රික සබඳතා ඇති මේ ලෝකය දියුණුවට පත් වූවක් යැයි කියන්නට පිටු ගණන් වචන ගළපමින් රචනා ලියූ බොහෝ දෙනෙකු අප අතර සිටිනවා. මා ද ඒ පිරිසට අයත්…

කාර්මීකරණය, පරිගනක විප්ලවය, චන්ද්‍රිකා තාක්ෂණය, මිනිසා සඳ මත පා තැබීම, අඟහරු ලෝකයේ ජලය ඇතැයි සොයා ගැනීම වැනි කාරණා නිමිති කොට ගනිමින් අප විසින් ම වාද විවාද කරමින් පවා දියුණු යැයි සපථ කළ නූතන ලෝකයත් – අතීත ලෝකයත් අතර පවත්නේ තාක්ෂණික මෙවලම්වල සහ මානසික මට්ටම්වල පරතරයක් බව අප බොහෝ දෙනෙකු තේරුම් ගන්නේ කල් ගත වී. අද ලෝකය තාක්ෂණික ව දියුණු යි; නමුත් එකී තාක්ෂණය ද අපරිපූර්ණ වූවක්. එවන් ලෝකයක ඉරණම සැබැවින් ම ඛේදජනක වූවක්. පසුගිය මාසයේ දින හයක් තුළ ලෝකයේ වාර්තා කෙරුණු සිදුවීම් ත්‍රිත්වයක් අනුසාරයෙන් අප මේ ලිපිය සකසන්නේ අප ද මුහුණපා සිටින එකී පොදු ඉරණමේ පසුවදන කුමක් වීම ආරක්ෂා සහිත ද යන්න ගැන කෙරෙන සිහි කැඳවීමක් ලෙසටයි.

මෙය මතක තබා ගන්න. අතීත ලෝකය මානසික බලවත් බවින් දියුණුයි. දියුණු තාක්ෂණයක් නොවූ එකල ඔවුන් බුද්ධ රාජ්‍යය තුළ උත්සාහවත් වෙමින් දියුණු මනසකින් යුතුව සුවපත් කයක් හා සුවපත් මනසක් ඇත්තවුන් බවට පත් වූවා…! එනිසා ඔවුන් සිටියේ සැබෑ ම අනතුරින් නිදහස් ව යි; නමුත් මරණයෙන් නිදහස් ව නොවෙයි…

මේ සටහනට අප නිමිති කොට ගන්නා පළමු සිදුවීම වාර්තා වූයේ ඉතියෝපියාවෙන්. දිනය මාර්තු 10 වනදා. ඉතියෝපියානු ගුවන් සේවයට අයත් වූ බෝයිං 737 යානය එරට අඩිස් අබාබා අගනුවර වූ ගුවන් තොටුපළේ සිට කෙන්යාවේ නයිරෝබි අගනුවර බලා පියාසර කිරීම අරඹා විනාඩි 6කට පසුව කඩා වැටුණේ එහි ගමන් ගත් මගීන් හා කාර්යමණ්ඩලයට අයත් වූ 157 දෙනා හට ම ජීවිත අහිමි කරලමින්. රටවල් තිහකට වැඩි ගණනකට අයත් වූ නොයෙක් ආගම් අදහන, නොයෙක් භාෂා කථා කරන, නොයෙක් විවිධත්වයන් ඇති පිරිසකුයි එකී යානයේ ගමනේ යෙදී සිටියේ. ඒ සියලු දෙනාගේ ම අභිප්‍රාය වූයේ සාර්ථක ගුවන් ගමනකින් අනතුරුව නයිරෝබි නුවරට පැමිණීම යි. නමුත් ඔවුන් ගමන් කළේ කිලෝමීටර් 60ක දුරක් පමණයි. ඉතා ම සුළු මොහොතකින් සියල්ල අවසන් වූවා.

157ක් වූ මිනිස් ජීවිත සුළු මොහොතකින් නැසී ගිය නිසාවෙන් මේ සිදුවීම කා තුළත් සංවේගයක් ඉපැදවූවක් බවට පත් වන්නට ඇති. ගුවන් ගමන්වල නිරත වන්නවුන් තමන් ගමන් ගන්නා ගුවන් යානයේ වර්ගය පවා සොයා බලමින් විමර්ශනශීලී වන්නට ඇති. ගුවන් ගමන් නැත්තවුන්ට ඒ ගැන නම් නොසන්සුන් බවක් ඇති වන්නට ඉඩක් නැහැ. එහෙත්… තවත් යානයක් කොතැනක දී හෝ කඩා වැටෙන්නට පුළුවනි. එහි ඔබ සිටියහොත්…? නැති නම්, ඒ ගුවන් යානය ඔබ සිටින තැනට කඩා වැටුණහොත්…? ඔබ කුමක් කරන්න ද?

එකී ගුවන් යානා නිපදවන බෝයිං නම් ඇමෙරිකානු සමාගම මේ ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් තමන් අතිශය කනගාටුවට පත් වන බව නිවේදනය කොට සිටියා. වැඩිදුර පරීක්ෂණ සඳහා වුවමනා තාක්ෂණික සහය ලබා දෙන බව ද ඔවුන් තවදුරටත් පවසා තිබුණා. ඔවුන්ට කළ හැක්කේ ද එපමණයි. දියුණුව යැයි පවසන දේ මෙය ද?

දෙවන සිදුවීම වාර්තා වූයේ බ්‍රසීලයෙන්. මාර්තු මස 13 වනදා බ්‍රසීලයේ දකුණුදිග සාවෝ පාවුලෝ ප්‍රදේශයේ පිහිටි රාවුල් බ්‍රසීල් නම් වූ පාසලට කඩාවැදුනු තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීම්වලින් පාසලේ සිසු දරුවන් හතර දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් විසි දෙනෙකු පමණ තුවාල ලැබුවා. වෙඩික්කරුවන් දෙදෙනා ප්‍රහාරයෙන් පසු වෙඩි තබා ගැනීමෙන් සියදිවි හානි කොටගෙන තිබුණා.

අසන්නට දකින්නට ලැබෙන දේවල හැටියට මේ දෙය මහා දෙයක් නො වේ කියා ඔබට සිතෙන්නට ද පුළුවනි. නමුත්… ඔබේ දරුවා පාසලට යවන විට යළි පාසලෙන් නිරුපද්‍රිත ව පැමිණේ ද කියා සැක සිතන්නට සිදු වන දවසක් එළඹෙන තුරු මෙය ඔබට ගැටලුවක් නොවේවි. එහෙත්… එසේ සැක සංකා සහිත ව සිතන්නට සිදු වන දවසක…? ඔබ කුමක් කරන්න ද?

තුන්වන සිදුවීම ගැන අසන්නට ලැබුණේ සාමකාමී රටක් ලෙස ලෝප්‍රකට නවසීලන්තයෙන්. එරට සාමකාමී යැයි ප්‍රසිද්ධ දිවිපෙවත තර්ජනයට ලක් කළ එකී කනගාටුදායක පුවත වාර්තා කෙරුණේ ක්‍රයිස්චර්ච් නගරයෙන්. දිනය මාර්තු 15 වනදා. එහි වූ ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානයන් දෙකක් තුළ දේව මෙහෙයේ නියැළෙමින් හුන් බැතිමතුන් හා එම ස්ථාන දෙක අතර මාර්ගයේ සිටි පිරිස් ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයන්ගෙන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පනහකට අධික පිරිසක් තුවාල ලැබුවා.

ඒ කිසිවෙකුත් තමන් පිහිට යැයි පිළිසරණ යැයි සලකන දෙවියන් හට පුදපූජා පවත්වන්නට ගොස් ආපසු ගෙවල් දොරවල් බලා එන්නට නොලැබේ යැයි සිතූවන් නොවෙයි. අඹු දරුවන් ද බලා සිටියේ ඔවුන් යළි පැමිණෙන තුරු යි. ඒ දවසේ දී ම නිම කරන්නට ඔවුන් යොදා ගත් කටයුතු තිබූ බව ද සැක නැහැ. එහෙත්… නොසිතූ විරූ මොහොතක මරණය ඔවුන් කරා ද එළඹුණා.

ඝාතකයා තම හිස්වැස්මට සවි කළ කැමරාවක් ආධාරයෙන් එකී ප්‍රහාරය රූපගත කළා පමණක් නොවෙයි; සජීව ව අන්තර්ජාලයට මුදා හැරීමට ද කටයුතු කළා. දියුණු යැයි සම්මත ලෝකයේ සම්මුති මිනුම්දඬු ස්වකීය ම්ලේච්ඡත්වය ලොව පුරා මොහොතකින් බෙදා හැරීමේ උපායක් බවට පත් වූ අයුර මුළු ලෝකයට ම අත්විඳින්නට සිදු වුණා.

අන්තවාදය, ජාතිවාදය, ම්ලේච්ඡත්වය වැඩී වර්ධනය වන සහ එකී පිළිලයන් අතු රිකිලි ලා පෝෂණය කෙරෙන සමාජයීය පසුබිමක් තුළ එදා නවසීලන්තයේ සිදු වූ දේ අද හෝ හෙට අප සිටිනා තැන දී ද වන්නට පුළුවනි. උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභිමුව දී සැදැහැතියන් කුරිරු ලෙස ඝාතනය කෙරුණේ අපට ගණනකින් කිව නොහැකි දුරාතීතයේ දී නොවෙයි. වසර කිහිපයකට එපිට දී… එවැනි ම වූ ම්ලේච්ඡත්වයක් කවර මොහොතක හෝ අප වෙත යොමු වන්නට පුළුවනි. එවිට අප කුමක් කරන්න ද?

අප වනාහී උකුණෙකු මරනවාට වඩා පහසුවෙන් මිනිසුන් මරා දමන ලෝකයක උපන්නවුන් කියා සිතෙන තරමට ම කුරිරු ලෙස සිදු කෙරෙන මනුෂ්‍ය ඝාතන ගැන දිනපතා ඇසෙනවා. සිය ගණනින් වූ ජීවිත බිලි ගන්නා වෙනත් විපත් ගැන ද නිතර අසන්නට ලැබෙනවා. මාර්තු 10 වනදා සිට 15 වනදා තෙක් වූ දින හය තුළ අහිමි වූයේ මේ මිනිස් ජීවිත 214 පමණක් නොවෙයි. එහෙත් මේ සිදුවීම් සෙසු මරණයනට වඩා සිත සංවේගය උපදවාලූ බවයි සැබෑව. මෙවැනි දේ ගැන අසන්නට, දකින්නට ලැබෙන්නට අපටත් පැරණි කර්ම තිබිලා. මේ ලෝකය ගැන කිව යුත්තේ ‘දියුණු ලෝකයක්’ කියා ද? මෙවැනි දේ අභිමුව අප කුමක් කරන්න ද?

මෙවැනි දේ සිදුවිය හැකි බව කලාතුරකින් හෝ මෙනෙහි කරත් ම, ‘අප සිටින්නේ අනතුරක. අප සිටින්නේ විපතක. කවුරු නම් අප ගලවා ගන්න ද?’ යි කියා යි එසේ මෙනෙහි කරන සුළුතරයෙන් බොහෝ දෙනෙකුට සිතෙන්නේ. මෙවැනි අතුරු ආන්තරාවක් සිදු වේවි යැයි කියා සෙසු බොහෝමයකගේ සිතේ කොණකවත් නොතිබෙන නමුත් අප සිටින්නේ එවැනි ඕනෑම දෙයක් සිදු විය හැකි අවදානමක් ඇතිව ම යි. ඉදින් අප කුමක් කරන්න ද?

එයින් අප ගලවා ගන්නට දෙමාපියන්ට නොහැකි යි. ආදරණීයයන්ට නොහැකි යි. රජයට නොහැකි යි. මිලමුදල්, වස්තු සම්භාරයට හෝ දැන උගත්කම් ආදියට ද නොහැකි යි. සැබැවින් ම කිසිවෙකුටවත් නොහැකි යි. කිසි විටෙකත් නොහැකි යි. එහෙම නම්… අපට රැකවරණයක් නැති ද?

මේ කරුණෙහි ලා අපට රැකවරණයක් නැහැ. ‘මරණය නොලැබේවා’ යන්න ඉපදුණවුන්ට ලැබිය නොහැක්කක්. උපන් සියලු සත්වයන් මරණයට පත් වනවා ම යි. එය අනතුරක් නොවෙයි; පොදු ඉරණමක්. එනිසා එය ‘අනතුරක්’ කියා නම් කිරීම ද ගැටලු සහගතයි. සැබෑ ම අනතුර මෙකී පොදු ඉරණම නොවන බවයි අප තේරුම් ගත යුත්තේ. සැබෑ ම අනතුර තිබෙන්නේ එයට එපිටින්. ඒ ගැන බුද්ධකාලීන පුවතකින් ම අපි මෙසේ සිහිපත් කර ගනිමු.

පසේනදී කෝසල රජුට දා ව කොසොල් රාජධානියේ හිමිකම ඇති ව වාසභඛත්තියා බිසවගේ කුසින් උපන් රජ කුමරු වූයේ විඪූඩභ යි. භාග්‍යවතුන් වහන්සේගේ පහළ වීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් ශාක්‍ය රාජධානිය හා නෑකමක් සදා ගනු කැමැත්තෙන් ශාක්‍ය කුමාරිකාවක් විවාහ කර ගැනීමට ඉල්වූ කොසොල් රජුට ශාක්‍යයන් එවූයේ වාසභඛත්තියා. නමුත් ඇය රාජ කන්‍යාවියක් නොවෙයි. මහානාම ශාක්‍ය රජුට දා ව දාසියකගේ කුස ඔත් දැරියක්. ස්වකීය කුලාභිමානය ඉහළින් සැලකූ ශාක්‍යයන් රූපශ්‍රීයෙන් අනූන වූ දාසි දියණිය රාජ කන්‍යාවියක ලෙසින් දක්වා කොසොල් රජුට පාවා දුන්නා. ඇයගේ පුතු වූ විඪූඩභ තරුණ වියට එළඹ ශාක්‍ය මාලිගයට නෑගම් පැමිණි අවස්ථාවේ ඔහුගේ නික්ම යාමෙන් පසු ඔහු වාඩි වූ අසුන ශාක්‍ය දාසියක විසින් සෝදාලූයේ ඔහුගේ මව දාස භාවයේ සිට රාජකීයත්වය ලැබීම ගැන ඊර්ෂ්‍යාවෙන් යුතුව දෙස්දෙවොල් තබමින්.

ඒ මොහොතේ ම තමන්ට අමතක වී ගිය අසිපත ගන්නට ශාක්‍ය මාලිගයට ආපසු පැමිණි විඪූඩභගේ සෙබළෙකුට මෙය අසන්නට ලැබුණා. ඔහු වහා ගොස් විඪූඩභට එය දැනුම් දුන්නා. විඪූඩභ වහා ශාක්‍යයන් හා වෛර බැඳ ගත්තා. තමන් වාඩි වීමෙන් කිලිටි වී යැයි සලකා ශාක්‍ය දාසියන් විසින් ජලයෙන් සෝදන ඒ ආසනය ශාක්‍යයන්ගේ ලෙයින් සෝදන්නට අමනෝඥ වූ ඔහු ඉටා ගත්තා.

කොසොල් රාජ්‍යයේ රජ පැමිණි විඪූඩභ ඔහුගේ අදිටන අනුව කටයුතු කළා. සේනාව පිරිවරා පැමිණ ශාක්‍යයන් ඝාතනය කරලූ ඔහු ශාක්‍ය රාජ කන්‍යාවියන් 500 දෙනෙකුගේ දෑත් පිටුපසට කොට තබා රැහැනකින් ගැට ගසා කෝසල රාජ්‍යයේ වහල් සේවයට යොදවනු පිණිස ඇදගෙන යන්නට පටන් ගත්තා. ස්වකීය ඥාතී සමූහයාට අත් වූ ව්‍යසනයෙන් ද තමන්ට සිදු වූ පරිභවයෙන් ද පරිපීඩිත වූ ඔවුන් හඬමින්, වැළපෙමින් විඪූඩභ ඇතුළු පිරිස හට fදාස් තබන්නට පටන් ගත්තා. පන්සියයක් වූ කාන්තා පිරිසෙන් නැගුණු වැළපීම් හා ශාප කිරීම් හඬ අතිමහත්. විඪූඩභ තවත් කෝපයට පත් වූවා. ඔවුන් කෝසල රාජ්‍යයට ගෙනයාම පසෙක ලා අත් පා සිඳ දමා මැරෙන්නට හරින්න යැයි ඔහු අණ කළා.

ශාක්‍ය කුමාරිකාවන් පන්සියයගේ ම අත් පා සිඳ ගං ඉවුරේ අත්හරිනු ලැබුවා. ඒ වේදනාව අතිමහත්. ඤාති ව්‍යසනය ද අතිමහත්. එයින් පීඩිත වූ ඔවුන් ඉමහත් ද්වේෂයෙන් කෑ මොර දෙමින් ශාප කරන්නට පටන් ගත්තා. මේ මොහොතේ සම්බුදුරජාණන් වහන්සේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේනමක් අමතා වදාළා.

“පින්වත් භික්ෂුව, මාගේ ඤාතී දියණිවරුන් අනතුරේ වැටෙන්නයි යන්නේ. ඔබ ගොස් ඔවුන් ව බේරා ගන්න.”

සම්බුදුරජාණන් වහන්සේ වදහළේ ඤාතී දියණිවරුන් අනතුරේ වැටී සිටින බව නොවෙයි; අනතුරේ වැටෙන්නට යන බව යි. එසේ නම්, අත් පා සිඳ දමා – කඳ කැබැල්ල පමණක් ඇති ව ඉමහත් වේදනා විඳිමින් මරණාසන්න ව හිඳීම සම්බුදුරජාණන් වහන්සේ අනතුරක් ලෙස වදාරා නැහැ. උන්වහන්සේ ‘අනතුර’ ලෙස පෙන්වා දුන්නේ ද්වේෂ චිත්තයෙන් යුතු ව ඒ ඤාතී දියණිවරුන් මරණයට පත් වීමෙන් ඔවුන්ට දුගතිගාමී වන්නට සිදු වීම යි. එසේ නම්, අනතුර මරණය නො වෙයි; මරණින් මතු උපත දුගතියකට නැඹුරු ව තිබීම යි. අප සිටින්නේ ද ඒ සැබෑ ම අනතුරින් ගැලවීගෙන නොවෙයි…

ඔබ මේ මොහොතේ දහම් ලිපියක් කියවමින් සිටිනවා. මේ මොහොතේ ම කී දෙනෙක් නම් මියැදෙමින් සිටිනවා ද? කී දෙනෙක් නම් හඬා වැළපෙමින් සිටිනවා ද? කී දෙනෙක් නම් භය තැතිගැනීම් ඇතිව සිටිනවා ද? කී දෙනෙක් නම් වෛරයෙන්, තරහ සිතින් සිටිනවා ද? කී දෙනෙක් නම් කාම පිපාසයෙන් දැවෙමින් තැවෙමින් සිටිනවා ද? කී දෙනෙක් නම් නිදමින් සිටිනවා ද? ඔවුන් ඒ කවරක් කරමින් සිටියා වුවත් – ඔබ දහම් ලිපියක් කියවමින් සිටිනවා වුවත් ඔවුනුත්, ඔබත් කිසි ම වෙනසක් නැතිව මරණයට සමීප වෙමිනුයි සිටින්නේ.

මරණයට ගුවනේ ද ජලයේ ද පොළවේ ද කියා වෙනසක් නැහැ. ස්ත්‍රී ද පුරුෂ ද ළමා ළපටි ද තරුණ ද වැඩිමහලු ද කියා වෙනසක් නැහැ. ගිහි ද පැවිදි ද කියා වෙනසක් නැහැ. උගත්, නූගත් කියා වෙනසක් නැහැ. දැහැමි, අදැහැමි කියා වෙනසක් නැහැ. උදය දහවල සවස හෝ රාත්‍රි කියා වෙනසක් නැහැ. කිසිවකින් නොනැවතී මරණය අප කරා පැමිණෙනවා. මරණය අබියස තිබෙන මේ බිය දකින කෙනා කළ යුත්තේ කම්පා වීම නොවෙයි; අමා නිවන් සුව කැමැත්තෙන් ලෝකාමිසය අතහැරීම යි. ඒ සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදය යි.

නිර්මල ව බුදු වදන් ඇසෙන යුගයක් වූ නිසා මෙකරුණ මෙසේ ගළපා ගන්නට, අනතුර නිවැරදි ව තේරුම් ගන්නට, අනතුරින් නිදහස් වන ඉඩ විවෘත කර ගන්නට අපට වාසනාව ලැබුණා. නමුත් මේ ඉඩ ක්‍රමයෙන් පටු වන්නක් මිස පුළුල් වන්නක් නොවෙයි. ලෝකයේ දියුණුව මනින මිනුම්දඬු බවට පත් තාක්ෂණික මෙවලම් ඔස්සේ ම අධර්මය ද අකුසලය ද බලවත් ව නැගෙමින් අප ව මැඩලන අයුරු හොඳින් විමසා බලන්න. අසුරු සැණෙකින් කෙලෙස් වපුරමින් එකී කෙලෙස් මූලයන් නොසිඳී පවතින්නවුන්ගේ කෙලෙස් වැඩී යන්නට සලස්වමින්, කුසල මූල සහමුලින් ම සිඳලන්නට සමත් වෙමින් තාක්ෂණය අප ව ආක්‍රමණය කරනා අයුරු බලන්න.

ජංගම දුරකථනය අතට ගත් තුන වසරේ දියණියක එහි ‘ගේම්ස්’ ගැනත්, ‘ෆේස්බුක්’ ගැනත් විමසමින් ඒ වෙත පිවිසෙන්නට ඉල්ලූ අවස්ථාවක් මා දුටුවා. සත් හැවිරිදි ඒ දියණිය ගුණදහමින් සුපෝෂිත කොට රැකගන්නට ෆේස්බුක් බලකායක් බිහි වේවි ද? මේ සමාජය සුචරිතවත් වී ඇය ව සුරක්ෂිත කරාවි ද? ඒ කිසිවක් සිදු වන්නේ නැහැ. මේ ජීවිතය අවසන යළි මිනිස් ලොව කරා එන කා හටත් පොදු ඉරණමත් එය ම යි. ‘දියුණුව’ නමින් නම් කරලන ලද ‘කෙලෙස් වසඟයේ පවත්වාලීමට ඇති හැකියාවේ වැඩී යාම’ අනාගත මිනිස් ලෝකය සහමුලින් ම වසා දමනවා. එදිනට අප මිනිස් ලොව සිටියහොත්, මරණින් මතු දුගතියේ උපත වළක්වන්නට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

එනිසා, සුගතිය රැක ගන්න. මිනිස් ලොව ද ඉක්මවා මගඵල ලාභී දෙවිවරුන් සුපිරිසිදු සම්බුදු දහම් මැනැවින් කියන දෙව්ලොවක් වෙත යන අවස්ථාව රැක ගන්න. ගන්නා ආහාරයේ ලුණු ඇති – නැති බවට පවා ගැටෙමින්, සාධාරණය – අසාධාරණය සොයමින්, අනුන් හදන්නට වෙර දරමින් එය කළ නොහැකියි. අප වැනි ම වූ මිනිසුනුයි මේ මිය ගොස් තිබෙන්නේ. අප නොමැරී සිටින්න ද? නැහැ. අප ද මැරෙනවා. ඊ ළඟ අවස්ථාව ඔබේ හෝ මගේ විය හැකි යි. මැරෙන මොහොතේ අප සිටින්නේ රාග ද්වේෂ මෝහ සහිතව නම් එය ම යි අනතුර. එනිසා අප ජීවිතය ගෙවිය යුත්තේ රාග ද්වේෂ මෝහ දුරු කරන ප්‍රතිපදාවක නියැළෙමින්. එයට කියන්නේ ‘ධර්මයේ හැසිරීම’ කියල යි…!

ළඟ ළඟ ම අසන්නට සිදු වූ මේ ඛේදනීය පුවත් ත්‍රිත්වයට අප තබන පසුවදන එය යි. නොවැළැක්විය හැකි මරණය උරුම කර ගත් ජීවිතය තුළ දිවි පරදුවට තබා ධර්මයේ හැසිරීමෙන් පිළිසරණ සලසා ගන්නට අපට තෙරුවනේ ආශීර්වාදය වේවා!

සටහන – උදුලා පද්මාවතී