දියවන්නාවේ සිට ගාලූ මුවදොරට…

2012 වසරේ මා දුටු දියවන්නාව අද එහි නැත!

කලබල වීමට කාරි නැත. දියවන්නාව එහි ඇත. නැත්තේ ‘මා දුටු දියවන්නාව’ ය. නාගරික සංවර්ධන ව්‍යාපෘතීන් හරහා නවීකරණය වූ මංමාවත් තුළ ගමන් කරන්නෙකුට ඇතැම් විට මීට වසරකට, දෙකකට පෙර මේ භූමිය පැවැති ආකාරය සිහි කරන්නටවත් ඉස්පාසුවක් නො වනු ඇත. මන්ද, ගමන එතරම් වේගවත් ය. සුව පහසුවෙන් යුතු ය.

පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට දින කිහිපයක් ඉතිරිව තිබිය දී වර්තමානයේ සිට ඉතිහාසය දක්වා, එනම්, දියවන්නාවේ නව පාර්ලිමේන්තුව අභියස සිට ගාලූ මුවදොර පැරණි පාර්ලිමේන්තුව අභියස දක්වා අප ගමන් කළේ මේ අපූරු වෙනස සියැසින් දැක බලා ගන්නට ය.

සෝබාව දේ මෙපුර සිරි විසිතුරු…

පෙර නේක පඳුරුවලින් ගැවසී වල් වැදී ගිය වගුරුබිම් දැන් එහි නැති තරම් ය. ඒ සියල්ල හෙළිපෙහෙළි කොට මඩ පිරී ගොඩ වී තිබුණු ජල මාර්ග පිළිසකර කොට ඇත. වසර ගණනාවක් එක් රැස් වූ රොන් මඩින් පුරවන ලද ඇතැම් බිම් සිංහල හාලෙන් අස්වද්දා ඇති අතර ආදර්ශ ගොවිපළවල් හරහා පෙර කල පැවති හෙළ ගොවිකමට පණ දෙන්නට උත්සාහ දරා ඇති බව පෙනී යයි.

පාසි ගැවසී තිබුණු ජලාශ දැන් පවිත‍්‍ර ය. තැනින් තැන මල් පිපී ගත් ඕලූ පඳුරක් දෙකක් මිස වෙනත් ශාකයන් ඒ ජල ප‍්‍රදේශ ආක‍්‍රමණය කොට නැත. සාමාන්‍ය ජනතාවට ව්‍යායාමයන්හි නියැලිය හැකි වන අයුරට ශරීර සුවතා මංතීරු ඉදි කර තිබෙන්නේ මෙලෙස අලංකරණයට ලක් කෙරෙන භූමි පරිශ‍්‍රයන් තුළ ය.

පාර දෙපැත්තේ සොඳුරු සල්පිල්වල…..

තැනෙක සුවිසල් මින් මැදුරු ය. තවත් තැනෙක දේශීය නිෂ්පාදකයන් දිරි ගන්වමින් ඉදි වුණ අලෙවි සැල් ය. ඔබට වුවමනා නම් තැඹිලි ගෙඩියක් බොන්නට, නැවුම් බඩඉරිඟු කරලක් කන්නට, කිරි ද පැණි ද රස බලන්නට, දේශීය ආහාර වේලක රස විඳින්නට…. ඒ කවරකට වුව ද ඉඩ ප‍්‍රස්ථා එහි ඇත. පශ්චාත් යුද සමයක රටේ පරිපාලන හා වාණිජ අගනගරයන් සේ ම දීපව්‍යාප්ත ව මාර්ග පද්ධති, ගොඩනැගිලි, යටිතල පහසුකම් මෙලෙස සංවර්ධනය වීම සතුටට කරුණකි. කොළඹට පමණක් සීමා නො වී මේ දේවල් ක‍්‍රියාත්මක වීම වර්තමානයටත් වඩා අනාගතයට සුබ ආයෝජනයක් වනු ඇතැයි අපට බලාපොරොත්තු තැබිය හැකි ය.

මෙලෙස දියුණු වූයේ අප පමණ ද?

මේ ක‍්‍රමය අත්හදා බලන පළමු රට අප නො වේ. අසූව දශකයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා කොළඹ නගරයේ යෝජිත නවීකරණ සැලැස්ම දැක තම රටේ ද එකී සැලසුම අනුගමනය කළ බව ප‍්‍රකට කාරණාවකි. එදා එකී සැලැස්ම වූ ‘කොළඹ ක‍්‍රමය’ ව්‍යාපෘතියේ යථාර්ථයක් දක්නට එදා අප පින් මඳ වුව ද අපේ සැලසුම තිතට ක‍්‍රියාත්මක කළ සිංගප්පූරුව මේ වනවිට ලෝකයේ අති නවීන පහසුකම්වලින් සපිරි මනරම් දිවයිනකි. අද ලෝක බලවතා ව සිටින ඇමෙරිකාව ද සිදු කළේ මෙය ම ය. ඒ අප මෙම ක‍්‍රියා පිළිවෙළට යොමු වන්නට බොහෝ කලකට පෙර පටන් ය. අද ලෝකය ඉදිරියේ ඔවුන් භෞතික සම්පතින් දියුණු ජාතියකි. අධිවේගී මහා මාර්ග පමණක් නො ව සාගරපත්ල හරහා ඉදි වූ උමං මාර්ග ද ඔවුන්ට හිමි ය. අහස සූරන මැදුරු නිමක් නැත. ශරීර සුවතාවය පිණිස පමණක් නො ව මානසික සුවතාවය පිණිස ද සිදු කළ ඉදිකිරීම් ඔවුන් සතු ය. ලෝකයේ බලවත් ම ආර්ථිකයේ පළමු හෝ දෙවන හිමිකාරීත්වය ඇත්තේ ද ඇමෙරිකාව සතුව ය. ලොව පුරා අනෙක් රටවලට වැඩිපුර ම බලපෑම් කරන්නේ ද ඔවුන් ය. මාර්ග පද්ධති ආදි වූ නොයෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය වීම යනු දියුණුව නම් ලොව දියුණු ම ජාතියක් ලෙස ඇමෙරිකාව පෙරමුණේ සිටිනු ඇත.

මව්බිම හා පෙරදැක්ම

පෙර දැක්මකින් යුතු රටක ආර්ථිකය මෙන් ම සමාජ සාරධර්ම ද මනාකොට වැඞීම අත්‍යාවශ්‍ය වූ කාරණයකි. අපටම උරුම සාරධර්ම පද්ධතියකින් වැඩුණු අපගේ සංස්කෘතිය අනෙක් ජාතීන් හා සංසන්දනය කරන්නට හෝ සංසන්දනය කොට ගොඩ නඟන්නට නො හැක. අනාදිමත් කාලයක සිට ගොඩනැඟුණු අපට ම උරුම ලාංකේය බෞද්ධ සාරධර්ම පද්ධතියක් ඇත. ඒ තුළ ස්වාමීන් වහන්සේට, මවට, පියාට, සහෝදරයාට, ගුරුවරයාට, නැදෑයන්ට ගරුසරු දක්වන අපට ම ආවේණික රටාවක් බිහිව ඇත. නව වාණිජ රැල්ලේ අලූත් අංගෝපාංග නිසා අපි අපේ ම සොඳුරු සිත් වනසා ගන්නේ ද යන්න විමසීම කාලෝචිත ය. අපගේ වාණිජ දියුණුව හා උරෙනුර ගැටෙන අනාගත පරපුරෙන් සාරධර්ම ගිලිහී ගියහොත් ජපානයේ දැනට ඇතිවී තිබෙන සමාජ රටාවට අප ඇදී යනු ඇත. ඔවුනට ආගම දහමක විශේෂ ඇල්මක් නැත. බහුතරයක් යන්ත‍්‍ර මෙන් උදේ හවා වැඩ කරති. ඔවුන් වෙහෙස නිවාගැනීමට පංච දුෂ්චරිතය ම කරති. ඇත්තෙන් ම දින දින ඇසෙන පුවත්වලින් අපේ රටේ ද සාරධර්ම නැතැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එය වරදකි. අපගේ සාරධර්ම පදනමට තව ද හානි වී නැත. එය නැසී යන්නට මත්තෙන් නව පරපුරට ගුණ දහම් උපදවා දෙන්නට අපි ප‍්‍රමාදී වුවහොත් අපට ද වත්මන් ජපානය වැනි සමාජයක් උරුම වනු ඇත.

සමාජ සාරධර්ම කෘතිමව ඇති කළ නො හැක. අධ්‍යාපනයෙන් සාරධර්ම කියා දෙනමුත් එය ක‍්‍රියාත්මක වන්නට පවුල් පසුබිමක් නැත්නම් වපුරන බීජ ලත් තැනම වැනසී යනු ඇත. කෘතිමව සාරධර්ම පුරුදු කරන්නට වෙර දැරූ උදාහරණයක් අප දැන් අසා දැනගනිමු.

මනුස්සකම උගන්වන්න කරුණාවේ පාඨමාලා….

බිඳ වැටීයන ආර්ථිකය හමුවේ ඇමරිකානුවන් සාරධර්ම පාඨමාලා ඔස්සේ උගන්වන්නට පටන්ගෙන ඇත. ඒ නිසා ඇමෙරිකාවේ බොස්ටන් නුවර පිහිටි ඊසානදිග සරසවියේ සමාජ මනෝවිද්‍යාඥයන් පිරිසක් කරුණාව ඉගැන්වීමේ පාඨමාලාවක් ක‍්‍රියාත්මක කළහ.

බෞද්ධ භාවනා ක‍්‍රම මූලික කරගත් ක‍්‍රමවේදයක් ඔස්සේ අනුකම්පාව, කරුණාව, මෛත‍්‍රිය ආදි ගුණාංග හුරු කරවන්නට වෑයම් දැරීම පිණිස සිසුන් මෙහෙයවනු ලැබූ මෙම පාඨමාලාව අවසානයේ, දැනුම් දීමකින් තොරව සිදු කෙරුණු පරීක්ෂණයෙන් තහවුරු වූයේ පිරිසෙන් හරි අඩකටත් වඩා කරුණාවන්තයන් බව ය. කරුණාවේ පාඨමාලාවට සහභාගී වූව ද 15%ක ප‍්‍රතිශතයක් අනුකම්පා විරහිත වූවන් බව වැඩි දුරටත් පෙන්නුම් කෙරිණි.

භෞතික අතින් අති දියුණු වුව ද කරුණාව ඩොලර්වලට හරවන පාඨමාලාවන් හරහා මානූෂීය ගුණධර්ම දියුණු කරවන්නට ඔවුන්ට සිදු වීම තුළින් පෙන්නුම් කෙරෙන්නේ ආර්ථිකයටත් වඩා ඔවුන්ගේ ආධ්‍යාත්මයන් බංකොලොත් වී ඇති බව නො වේ ද? පාඨමාලාව අවසන්කොට නැවතත් ඔවුන් පා තබන්නේ සුපුරුදු වාණිජ තරගයට ය. සිතේ අනිත්‍යතාවය නො දත් ඔවුන් කරුණාව මෛත‍්‍රිය නැති සමාජ රැල්ල ඔස්සේ නැවතත් පරණ තැනට යන බවට බොහෝ උදාහරණ ඇත.

පසුගිය දා 12 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු කළ වෙඩි තැබීමකින් ඇමෙරිකාවේ නෙවාඩා මධ්‍යම පාසලේ සේවය කළ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත් කෙරුණු අතර තවත් සිසුන් දෙදෙනෙකුට තුවාල සිදු කළ එම වෙඩි තැබීම කෙළවර වූයේ වෙඩි තැබූ සිසුවා ද සියදිවි හානි කර ගැනීමෙනි.

පසුගිය කාලය පුරා ම ඇමෙරිකානු පාසල්වල මෙවැනි වෙඩි තැබීම් වාර්තා විය. පසුගිය දෙසැම්බරයේ ප‍්‍රාථමික පාසලකට කඩා වැදුණු තුවක්කුකරුවෙකු එල්ල කළ මිලේච්ඡ ප‍්‍රහාරය නිසා කුඩා ළමුන් විසි දෙනෙකු සහ වැඩිහිටියන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. එකී ඛේදනීය තත්ත්වයන් වළක්වාලන්නට ඇමෙරිකාව නම් ලෝක බලවතාගේ ලොව අනෙකුත් රටවල් තමන් වෙත හීලෑ කරගැනීම පිණිස යොදනා කිසිදු බලයක් සමත් වූයේ නැත.

බස් රථයක පාසල් ගුරුවරුන් දකිනා විට තමා වාඩිවී සිටින ආසනය ලබාදෙන, වාර නිවාඩු අවසානයේ පාසල පටන්ගත් විට ගුරුවරුන්ට බුලත් දී වන්දනා කරන අපගේ සංස්කෘතිය නැසී යන්නට අප ඉඩ නො තැබිය යුතු ය. එහෙත් අද වන විට සිංහල භාෂාවවත් නො දත් දරු පරපුරක් ද බිහිවන බව කිව යුතු ය. ඉංග‍්‍රීසි භාෂා පදනමින් යුතු ජාත්‍යන්තර පාසල් ඔස්සේ උගන්වන රටාව මෙයට හේතු වී ඇත. ඒ සඳහා රජයක් ලෙස සුභදායී තීරණයකට එළඹ ඇත. එන වසරේ සිට සිංහල භාෂාව ඔවුනට ද අනිවාර්ය විෂයකි. ඒ ඔස්සේ බටහිර රටාවට ම අනුගත වූ එම ජීවිත ගුණ ධර්ම තුළින් ද පෝෂණය කරන්නට නිලදරුවන්ට සිත් පහළ වේවා..!!

දහම් පාසල් අධ්‍යාපනය තුළ කාලයක් තිස්සේ අපගේ අනාගත පරපුරට ගුණ ධර්ම කියා දීමේ මහඟු මෙහෙයක් සිදු වන්නේ ය. කරුණාව, මෛත‍්‍රිය කියා දෙන ලෝකයේ හොඳම තෝතැන්නක් සදහම් අධ්‍යාපනයෙන් ලැබෙනු ඇත. එය නිකරුණේ කාලය වැය කිරීමක් නො වන්නේ ය. යහපත් දේ පුරුදු කරන තෝතැන්නක් බඳු එවන් දෙයට අනිවාර්යයෙන් තම දරුවා යොමු කරන්නට කාර්ය බහුල දෙමාපියන්ට වුවද සිදු වනු ඇත. නැති වුවහොත් අනාගතේ පොඩි ගැටලූවකටත් අවි ගන්නා දරුවන් මේ රටේ ද බිහි වීම නො වැළැක්විය හැක.

උගත යුතු පාඩම්

රටක දියුණුව මැන බලන්නට භෞතික මෙන් ම ආධ්‍යාත්මික වත්පොහොසත්කම් ද ගණනය කෙරෙනා මිනුම් දඬු තිබිය යුතු ය. ඒ හරහා මිනිස් චිත්ත සන්තානයන් තුළ තමාටත්, අනුන්ටත් යහපත පිණිස පවතින්නා වූ ගුණධර්ම සුරක්ෂිත වී තිබීම වටිනාකමක් ලැබිය යුතු ය. රටක සැබෑ අභිමානය වන්නේ බාහිර ව මෙන් ම ආධ්‍යාත්මිකව ද සුඛිත මුදිත දේශයක් බිහි කිරීම ය. රට හැදුණ ද පුරවැසියා නො හැදෙන්නේ නම් එවන් දියුණුවක් අනාගත ව්‍යසනයකට අතවනන බව අප තේරුම් ගත යුතු ය. එහි ඵලය කුමක් ද? සංයමය පුහුණු කරවන ධර්මයකට පිටු පෑ, සංස්කෘතික අනන්‍යතාවයන් බැහැර කළ, ඇස් පනාපිට කෙලෙසා දමන මනුෂ්‍යත්වයක් ඇති දේශයකි. එසේ වුවහොත් අභිමානවත් හෙට දවසක් සිහිනයක් වී බොඳවනු ඇත.

ඔළු නො සෝදා රටක් හැදිය නො හැකි ය

දියවන්නාවේ සිට ගාලූ මුවදොරට අප ආ ගමන අවසන් කොට ආපසු පැමිණිමේ දී මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිට වූ කෙටි වාහන තදබදයකට මුහුණ දෙන්නට අප හට සිදු විණි. අප ගමන් ගත් වාහනයට ඉදිරියෙන් වූයේ කොළඹ – කුරුණෑගල මාර්ගයේ ධාවනය වන බස් රථයකි.

බස්රථයේ ජනේලයකින් එක් වරම මාර්ගයට යමක් විසි කෙරුණු අතර ඒහා සමඟ ම වාහන ගමන් කිරීම ද ඇරඹිණි. බසයේ ගමන් ගත්තෙකු විසි කළ දෙය වැදුණේ පාර මාරු වෙන්නට බලා සිටි පදිකයෙකුගේ ශරීරයේ ය. ඔහු පහතට නැමී සිය ඇඳුම් පිස දමන අතරේ මා දුටුවේ එලෙස විසි කොට තිබුණේ කා අවසන් කළ බඩඉරිඟු කැබැල්ලක් බවයි.

මානසික දියුණුවක් නැති රටක් නිවැරදිව හැදිය නො හැකි යැයි අප කියන්නේ එනිසා ය. ඉන්ද්‍රීය ගෝචර වූ පිනවීම් සිදු කිරීම ඉතා පහසු ය. එහෙත් ප‍්‍රඥ ගෝචර වූ ආකල්ප ම ය වෙනසක් සිදු කිරීම කජු කන්නාක් මෙන් පහසු නැත.

රට හැදෙන ලෙස ම ඔළු ද හැදෙන්නේ නම් බඩඉරිඟු ලඩය පාරට විසි නො කොට අපද්‍රව්‍ය බැහැර කරන තැනක දී ඉවත ලන්නට තරම්වත් ස්වයං සංවරයක් ඇති වෙන්නට රට මේ හැදී තිබෙන තරම හොඳට ම ප‍්‍රමාණවත් ය. දියුණුව යනු භෞතික මෙන් ම ආධ්‍යාත්මික සංවර්ධනය ද අන්තර්ගත වූවකැයි කියා සිතූ විට නම් මේ වනවිටත් අපරට ද පසුබෑමකින් යුක්ත ය. හදාගත යුතු ආධ්‍යාත්මික සංවර්ධනයට මූලික හරය වන බුද්ධ වචනය ද ඇත්තේ මෙහි ය. එම පදනමට හානි වන්නට නො දිය යුතු එක ම ක‍්‍රමය වන්නේ ධර්මයේ හැසිරෙන සමාජයක් බිහි කිරීම ය.

එළිපිට ඇත අවකල් කිසිවෙකු මැසිවිලි නො කියන්නේ

රට හැදෙන්නේ අපට වුවමනා අයුරට ද යන්න පවා දැන් සැක සහිත ය. මෙතරම් ගුණ ධර්ම කතාවෙන රටේ මෙතරම් දුශ්චරිතය වැපිරෙන්නේ අපට සාරධර්ම පුරුදු කරන්නට ඇති ප‍්‍රායෝගික වැඩපිළිවෙළෙහි දුර්වලකම නිසා ම ය. 2012 වසරේ අපේ රටේ පරිහරණය වුණු නීතිගත මත්පැන් ප‍්‍රමාණය ලීටර් විසිතුන් කෝටි හතළිස් ලක්ෂ දහනවදහස් නවසිය තුනකි (234,019,903). (උපුටා ගැනීම – සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ පාලන වාර්තාව) රටේ අවාසනාවට මත්පැන් නිසා සිදු වූ අනතුරු, රෝගාබාධ, මරණ ආදියෙන් සිදු වූ හානිය කිසිදු තැනක නිල වශයෙන් නිර්ණය කෙරී නැත. එනිසා, ඉපැයූ ආදායමට වඩා කී ගුණයක් ඒ හානි නිසා රජයට වියදම් වූයේ ද යන්න කිසිවෙකු සිහිපත් කරන්නේ ද නැත. සිහිපත් කළ යුතු කරුණක් ඇත. දැනටමත් ලංකාව වැඩිම ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය කරන රට වී ඇත. එය ලීටර් 11.2 කි.

මෙරටට සුරා ගෙනාවේ සිංහලයාගේ වුවමනාවකට නො වේ. එහෙත් එයට ඇබ්බැහි වීමෙන් අත්මිදෙන්නට සිංහලයෝ සමත් නො වූහ. මේ දුරාචාරයන් ඉදිරියේ ඇති නිහඬතාවයත්, සදාචාරය කියා නො දීමත් විසින් අපේ රට, අපේකම, අපේ අනන්‍යතාවයන් ආදි සියල්ල ම අපෙන් උදුරා ගන්නා දිනය නම් වැඩි ඈතක නො වනු ඇත.

ඛේදජනක ලෝක වාර්තා…

ලෝකයේ සිදු කෙරෙන නිවර්තන වැසි වනාන්තර විනාශ කිරීම් අතින් අප දැන් සිටින්නේ හතර වන ස්ථානයේ බව ස්වීඩනයේ විශ්ව විද්‍යාලයක් විසින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පසුගිය වසර දෙක තුළ මෙරට වනාන්තර අක්කර 65525ක් බදු දී ඇති බව ද ශ්‍රී ලංකා පරිසර හා සොබා දහම් අධිකාරිය ප‍්‍රකාශ කර ඇත. ලොව වැඩි ම ජෛව විවිධත්වයකින් යුතු වූ පරිසර පද්ධතියක උරුමය මෙලෙස අපට අහිමි වී යන්නේ දිගුකාලීන අහිතකර ඵලවිපාකයන්ට මුල පුරමින් බව අප තේරුම් ගන්නේ කවදා ද?

අප රටේ රසායනික පොහොර භාවිතය ඇරඹුණේ වර්ෂ 1960න් පසුව ය. අද වනවිට ලොව රසායනික පොහොර භාවිත කරන රටවල් අතර හයවන ස්ථානයට අප පත්ව ඇත. පස, ජලය විනාශ කරන, මිනිසුන්ගේ සෞඛ්‍යයට සෘජුව ම බලපෑම් කරන මේ රසායනික ත‍්‍රස්තවාදයට වැට බඳින්නට යෝජිත සැලසුම් අපට නැත. ඒවෙනුවට වගකිව යුතු අංශ හරහා ද සිදු කෙරෙන්නේ සහනාධාර යටතේ පොහොර ලබා දෙමින් රසායනික පොහොර භාවිතය දිරිමත් කිරීම යි. ඒඅනුව රටේ ජාතික අධ්‍යාපනයට වෙන් කරන මුදල හා සමාන මුදලක් පොහොර සහනාධාරය වෙනුවෙන් ද වෙන් කෙරේ.

ඔළු සෝදන්නට නම්…

නිවස, මහමඟ, කඩපිළ, බසය, දුම්රිය, පාසැල, විශ්ව විද්‍යාලය, රැකියා ස්ථානය, පාලන අධිකාරිය, පාර්ලිමේන්තුව යනාදි සෑම සියලූ ස්ථානයක ම ඇති සෑම ඔළු ගෙඩියක් ම සෝදා මිසක් මනුෂ්‍යත්වයේ දේශයක් ගොඩනඟන්නට අපට නො හැකි ය. එය කළ යුත්තේ ආකල්ප ම ය වෙනසක් තුළිනි.

පෙර පාසලේ ඉගෙන ගන්නා අපේ දරුවන් අභ්‍යවකාශය ගැන දනිති. නීල් ආම්ස්ට්‍රෝං හඳුනති. පරිගණකයෙන් වැඩ කරන්නට ද දනිති. සුපර්මෑන් ද හඳුනති. ගෙම්බාගේ, මදුරුවාගේ ජීවන චක‍්‍රයන් ගැන පවා දනිති. එහෙත් ඔවුන් ගාමණී අභය රජු යනු කවුරුන් ද කියා දන්නේ නැත. වීර පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා වැනි වීරවරුන් ගැන දන්නේ නැත. රටේ ඉතිහාසය දන්නේ නැත.

තමාට ලැබුණු රසවත් ආහාරය යහළුවා සමඟ බෙදා හදා ගන්නට දන්නේ නැත. යහළුවා තල්ලූ කරන්නට මිස වැටී හඬන යහළුවා ට අත දී නැගිටුවන්නට දන්නේ නැත. එරෙහිව තරග වදින්නට මිස සුහද ව නැගී සිටින්නට දන්නේ නැත.

පෙර පාසැලෙන් පටන් ගෙන පාසැල, විශ්ව විද්‍යාලය දක්වා ම ඒ තරගකාරී ජීවන ක‍්‍රමය දිව යයි. පළමු පන්තියේ සාමාර්ථයක් සහිත ව උපාධිය ලබා ගන්නට වෙහෙස වන අතරේ සමකාලීන උපාධි අපේක්ෂකයන්ගේ ජීවිතවලට පැමිණි දුක් ද සැප ද බෙදා හදා ගන්නට සමත් නො වන්නෙකු කෙලෙස නම් සාමූහික ගමනකට සමාජය හා අත්වැල් බැඳ ගන්න ද? අපට වුවමනා තම තමන් තුළ සිරගත වන්නවුන් නො වේ; තමන් තුළ අත්දකින ජීවිතය සමාජයේ යහපත වෙනුවෙන් යොදවන්නවුන් ය.

පළමු පියවරේ පටන් ම මේ නිවැරදි වීම සිදු විය යුතු ය. ගල්කණු, සඳකඩ පහන්, වැව්, පොකුණු පිරි වැරූ ඉතිහාසය වන වැදී නිද්‍රාගත විය යුතු නො වේ. කිසිවකටත්, කිසිවෙකුටත් වහල් නො වූ නිදහස්, නිවහල් චින්තනය තුළ කවර සමාජ, දේශපාලනික බලපෑම් එල්ල වූව ද අප සතු අභිමානයන් බිඳ හෙළිය නො හැකි ය. ඒ නිදහස්, නිවහල් චින්තනය ඒ සා විසල් බල පරාක‍්‍රමයක් දරන්නේ අන් කිසිවක් නිසා නො ව තමන්ට ද අනුන්ට ද යහපත රිසි වීම මත එකී චින්තනය ගොඩ නැගෙන නිසා ය.

සුභාවිත මාධ්‍ය මෙහෙවරක අවශ්‍යතාවය

උදයට පිරිත් හඬ මධ්‍යයේ දනන් පුබුදුවා, අනතුරු ව ගේම් ෂෝ පවත්වා මුදල් දෙන, පේ‍්‍රමය හා විරහව පමණක් ම මුළු ලෝකය ම කරගත් යෞවන යෞවනියන්ගේ කථා පුවත්වලින් සිත් ඇද බැඳ ගන්නා, නො නවතින ගී වැල්වලින් කන සතුටු කර, සෙත් කවි කියා ආශීර්වාද කොට පිරිත් හඬ මධ්‍යයේ ඇහැ පියා ගන්නට ඉඩ හැරීමෙන් සමාජය සුවපත් කළ හැකි යැයි සිතන මාධ්‍ය බොහෝ ඇති බව සැබෑවකි. එසේ කළා කියා සමාජය යහපත් අතට වෙනස් වී නැත. සමාජය වෙනස් නො වුණේ මාධ්‍ය තුළින් යහපත් දේවල් නො ලැබෙන නිසා නො වේ; මාධ්‍ය තුළින් යහපත් දේට වඩා අයහපත් දේ ලැබෙන නිසාවෙනි. මේ වන විට ජනමාධ්‍ය යනු ජන මනස වෙනස් කරන ප‍්‍රමුඛතම සාධකය වී හමාර ය.

වගකිව යුතු මාධ්‍යයක කාර්යභාරය විය යුත්තේ මුළු මහත් සමාජ පැවැත්මට ම බලපාන්නා වූ ඒ කටයුත්තේ වගකීම තමන් භාර ගැනීම යි. ආසාවන්ගෙන් ගිනි ගන්න, කෝපයෙන් වෛරයෙන් දැවීයන, මෝහයෙන් අන්ධ වුණ සමාජයක් වර්ධනය වීම පිණිස හේතුවන දේ ගලා ඒම වළක්වන්නටත්, ආසාවන්ගෙන් අන්ධ නො වුණ, අද්වේෂකර, ප‍්‍රඥගෝචර දේ ප‍්‍රකට වීමට උපකාරී වන කරුණු සමාජය තුළ සුලබ කරන්නටත් මාධ්‍යයට හැකි වුවහොත් මේ සමාජ විප්ලවය එතරම් දුෂ්කර එකක් නො වනු ඇත. එසේ නො මැතිව ‘අප හොඳ දේත් දුන්නා, නරක දේත් දුන්නා, තෝරා බේරා ගන්න එක තම තමන් අතෙයි’ කියා අත සෝදාගෙන පසෙකට වන්නට නම් මාධ්‍ය කියා දෙයක් සමාජයට වුවමනා නැත.

පාට කන්නාඩි පසෙකලා හොඳ නරක වෙනුවෙන්…

තම තමන්ගේ කැමැත්ත මත අපට පක්ෂ පාට ඇති බව සැබෑවකි. එසේ ම අප ඕනෑම කාර්යයක හොඳ නරක වර්ගීකරණය කරන්නේ ඒ පක්ෂ පාට අනුව බව ද සැබෑවකි. මේ නිසා ම රටේ සිදු කෙරෙන සංවර්ධන ක‍්‍රියාවලීන්ගේ ගුණාගුණ කථාබහට ලක් වන්නේ ද තම තමන් පැලඳ සිටින පාට කන්නාඩියේ වර්ණය අනුව ය. රටක සංවර්ධන ක‍්‍රියාවලියෙහි ලා මේ සා පසුගාමී වන වෙනත් හේතුවක් වේ යැයි සිතීම උගහට ය.

සකලවිධ සංවර්ධනයේ සියලූ ප‍්‍රතිඵලයන් සුවසේ භුක්ති විඳින අතරේ එකී වැඩපිළිවෙළට ම ගරහනා අවස්ථාවාදී නිලධාරීන්ගෙන් රටට යහපතක් වන්නේ නැත. එය හැඳින්විය යුත්තේ ප‍්‍රගතිශීලීත්වය කියා නො වේ; අගුණ දැකීම නම් වූ පාපී ආසාව කියා ය.

එවැනි පාලන ව්‍යාකූලත්වයක් ද අපට වුවමනා නැත. ශක්තිමත් රටක් යනු දූරදර්ශී, බුද්ධිමත් තීරණ ක‍්‍රියාත්මක කරලීමට පක්ෂ පාට වෙනසකින් තොරව අනුමැතිය සලසන්නා වූත්, රටේ අයහපත පිණිස වන සියල්ල ද බුද්ධිමත් ව ප‍්‍රතික්ෂේප කිරීමට තරම් පිට කොඳු ඇත්තා වූත් ජන සමූහයක් මිස අනෙකක් නො වේ.

ඒ මහා අසිරි සිරි බොහෝ දුර නො වේවා!

සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු ලෙසත් හඳුනා ගන්නට සමත් ජාතියක් රටකට වාසනාවකි. ඒ වනාහි පරපුරෙන් පරපුරට උරුම කරදිය යුතු ආශ්චර්යයයේ සුබ පණිවිඩය යි. සංවරය, සංයමය අනුදත් දහමක දායාදයෙන් පණ පෙවුණු ශ්‍රී විභූතියක් හිමි වූ, ඒ අනුසාරයෙන් බිහිවුණු ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් උරුම වූ අපට ආශ්චර්යවත් දේශයක් යනු නුහුරු නුපුරුදු දෙයක් නො වේ. සියවස් ගණනකට පෙර තුන්හෙළය එක්සේසත් කළ ධීර වීර හෙළ රජදරුවන් ඒ ආශ්චර්යයයේ පෙර ගමන්කරුවන් වූහ. ඒ ප්‍රෞඪ අතීත අභිමානය දැනුදු අපට හඬ ගා කියන්නේ ආශ්චර්යය යනු සිහිනයක් නො ව සැබෑවක් බවයි.

අතීතයේ ගුණ දහමින් හෙබි පරපුරක් බිහි විය. එම වැසියෝ අනතුරුව රට නැඟූහ. එහෙත් දැන් අප කරන්නේ රට හැදෙන විට වැසියන් හැදේ යැයි සිතා කටයුතු කිරීම ය. මේ කපන ඉණි සියල්ල ගඟට වැටෙන බව අපට තේරුම් යන විට කරුණාවේ පාඨමාලාවන් රුපියල්වලින් මිල කරන්නට වෙන තරමට ම අප ද බංකොලොත් වී සිටිනු ඇත.

එහෙත් එවැනි ඛේදවාචකයක් සිදු වීමට පළමු එක් සිතුවිල්ලකින් සැබෑ ආශ්චර්යයේ අසිරිමත් මුල පිරුම සනිටුහන් කරන්නට අපට හැකි ය. එනම්, අප වනාහි තමන්ට ද අනුන්ට ද යහපත කරනු රිසි වූ උත්තුංග ජාතියක් ලෙස ගොඩනැගෙන්නවුන් වන බවයි….!

සටහන
ඉඳුනිල් වික‍්‍රමසූරිය