කෙස් ගසේ පටන් මේ ශරීරයේ සෑම අංගයක් ම අප හැම කෙනාට ම බොහොම වටිනවා. ඒ එකින් එක කෙරෙහි වෙන් වෙන් වශයෙන් අප වටිනාකම් නොදෙන නමුත්, ඒ එකක් හෝ අපට අහිමි වී යන අවස්ථාවක් එළඹුනහොත් අන් කවරකටවත් වඩා ඒ අහිමි වන්නට යන දෙයෙහි වටිනාකම අපට දැනෙන්නට පටන් ගන්නවා.

රෝගී තත්ත්වයන් නිසා අතක ඇඟිලි පුරුකක් ඉවත් කරන්නට සිදු වන රෝගීන් සිටිනවා. ඒ බව ඔවුන්ට වෛද්‍යවරුන් විසින් පැහැදිලි කර දුන් පසු එසේ ඇඟිල්ලක පුරුකක් ඉවත් කරන්නට මැලිව ඔවුන් බොහෝ සෙයින් හඬා වැළපෙන අවස්ථාවන් අප දැක තිබෙනවා. දින ගණනාවක් එම ශල්‍යකර්මයට අවසර ලබා නොදෙමින් බොහෝ දුකට පත්වන ඔවුන් අවසානයේ ජීවිතය අවදානමට නොහෙළීම පිණිස ගත යුතු ම තීරණය ලෙස ඇඟිලි පුරුකක් ඉවත් කරන්නට බොහොම අකමැත්තෙන්, කැමති වෙනවා…

ඇඟිලි පුරුකත් වටිනා මිනිසුනට, එය අහිමි වීමත් දරා ගැනීම අපහසු මිනිසුනට මුළුමහත් ජීවිතය ම හිටිහැටියේ ම අහිමි කරලන ජීවිත අවදානමක් එළඹීම කොතරම් නම් දුක් පීඩාවන් උපදවාලන්නට සමත් වනවා ද? අද අප සිටින්නේ එවන් යුගයක යි…

ජීවිතයට උදා වේවි යැයි අපේක්ෂා සහගත වූ වසන්තය, වසංගතයකින් යට වී ගොස් මළසිරුරු ගොඩ ගසනා මහා ව්‍යසනයක් වූ යුගයක් අප වෙත එළඹිලා. ඛේදවාචකයක් වූ මේ යුගයේ බිඳ වැටෙන අපේක්ෂාවන් තුළ සමීපතමයන්ගේ වියෝව බොහෝ දෙනෙකුට අත්දකින්නට සිදු වෙලා. මාපියන්ට දූ දරුවන්, දූ දරුවනට මාපියන්, ස්වාමියාට බිරිඳ, බිරිඳට ස්වාමියා යළි දකින්නට ඉඩක් නොතබා අහිමි කරලූ දුක්ඛිත යුගයක් ලෙස මේ කාලසීමාව ඉතිහාසගත වේවි…

මෙවැනි සමාජ ඛේදවාචකයක දී මරණය සේ ම මේ වටපිටාව තුළ උපදින සහකම්පනයන් සහ පසුකම්පනයන් සමාජ ව්‍යුහය තුළ උග්‍ර අර්බුදයන් නිර්මාණය කරන්නට සමත් වනවා. ඇතැම්විට එකී සහකම්පනයන්, පසුකම්පනයන් මේ වසංගතයෙන් දිවි ගලවා ගන්නවුන්ගේ ජීවිත කාලය පුරා ම ඔවුන් ව අකර්මණ්‍ය කරන්නට, ඔවුන්ගේ ජීවිත වටිනාකම් උදුරා ගන්නට සමත් වනු ඇති. එය කොවිඩ් – 19 වසංගතයට පෙර වාර්තාගත ඉතිහාසයේ ලෝකයේ පැතිර ගිය වසංගතයන් තුළ දී ද දක්නට ලැබුණු තත්ත්වයක්. මේ සටහනට නිමිත්ත වූයේ ද පෙර පැතිර ගිය ව්‍යාධි බියකින් උපන් කම්පනයන් ඉක්මවා ජීවිතයේ ජයග්‍රහණයන් සොයා ගිය දිරිය මිනිසෙකුගේ පුවත යි.

ඒ දහනම වන සියවසේ මුල් අර්ධය යි. වර්ෂ 1840 දී වෛරසයක් මගින් පැතිර යන පෝලියෝ හෙවත් බාලක පක්ෂඝාත රෝගය පළමු කොට හඳුනාගැනුනා. එයට ගොදුරු වීමෙන් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත දරුවන් මරණයට ද සදාකාලික ආබාධ තත්ත්වයට ද ගොදුරු වූයේ විසිවන සියවසේ මැද භාගයේ දී යි. පෝලියෝ වෛරසය නිසා ආබාධිත වූවන් ගැන දැනුදු සමාජයේ අසන්නට ලැබෙනවා. පෝල්ගේ කතාව ඒ අතර එකක්.

‘පෝල් ඇලෙක්සැන්ඩර්’ ඇමෙරිකාවේ දී උපත ලබන්නේ 1946 දී. ඔහු දුව පැන ඇවිදින, කෙළි සෙල්ලමේ යෙදෙන දරුවෙකු ව සිටියේ අවුරුදු හයක කාලයක් පමණයි. හය හැවිරිදිව සිටිය දී ඔහු පෝලියෝ වෛරසයේ ගොදුරක් බවට පත් වුණා. වෛරසයේ ක්‍රියාකාරීත්වය නිසාවෙන් හිසෙන් පහළ සියලු මාංශපේශීන් අකර්මණ්‍ය බවට පත් වීමෙන් උග්‍ර ශ්වසනාබාධ තත්ත්වයකට ඔහු පත් වුණා. මෙම සිදුවීමේ දී පෝලියෝ වෛරසය බලපා තිබුණේ මොළයෙන් ඍජුව හට ගන්නා කපාල ස්නායු පද්ධතියට හා සුෂුම්නාවට යි.

මරණය පෙනි පෙනී සිටිය දී රෝහලට ඇතුළත් කෙරුණු පෝල්ගේ ජීවිතය ගැලවුණේ ඔහුව කෘත්‍රිම ශ්වසන ආධාරක යන්ත්‍රයකට සවි කිරීම නිසාවෙනුයි. ෂරදබ කමබට කියා හඳුන්වන එම යන්ත්‍රය අප රටේ ද පෝලියෝ රෝගී දරුවනට ප්‍රතිකාර කිරීම පිණිස භාවිත කරනු ලැබ තිබෙනවා. යන්ත්‍රයේ ඇතුළත වායු පීඩනය වෙනස් කිරීමෙන් ශ්වසනයට උපකාරක වන පපුවේ මාංශපේශී තෙරපුමට ලක් කරමින් කෘත්‍රිමව ශ්වසනය උත්තේජනයට ලක් කිරීම යි එයින් සිදු වන්නේ. එය ක්‍රියාත්මක වන්නේ කෘත්‍රීම පෙණහැල්ලක් ලෙසටයි.

සාමාන්‍යයෙන් සති කිහිපයක් තුළ මෙම යන්ත්‍රයේ උපකාරයෙන් තොරව හුස්ම ගත හැකි මට්ටමකට මාංශ පේශීන්ගේ ක්‍රියාකාරීත්වය වර්ධනය වනවා. එහෙත්, මාස 18ක් පුරා පෝල් සම්පූර්ණයෙන් ම ශ්වසන ආධාරක යන්ත්‍රය මත ජීවත් කරවනු ලැබූවත් ඔහුට තනිව හුස්ම ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. අවසානයේ ඔහු රෝහලින් නිවස වෙත යවනු ලැබුවේ තවදුරටත් ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරවීමට වෛද්‍ය ප්‍රතිකාර උපකාරී නොවනු ඇති බව තේරුම් ගැනීමෙන් අනතුරුවය. එහෙත්, පෝල් ඇලෙක්සැන්ඩර් අද දක්වා ම ජීවත් ව සිටිනවා…! එපමණක් නොවෙයි, ඔහු ආර්ථික විද්‍යාව හා මූල්‍ය පිළිබඳව මෙන් ම නීතිය පිළිබඳව ද උපාධි ලද ද්විත්ව උපාධිධාරියෙක්. නීතිඥයෙකු ලෙස සේවාදායකයනට සේවා සැලසූ දක්ෂ වෘත්තිකයෙක්…!

පෝලියෝ රෝගයට ගොදුරු වූ මුල්ම අවධියේ ඔහු සම්පූර්ණයෙන් ම ශ්වසන ආධාරක යන්ත්‍රය මත යැපුණු නමුත් වසර කිහිපයකට පසු භෞතචිකිත්සක ප්‍රතිකාර මත පැය කිහිපයක් යන්ත්‍රයෙන් ඉවත් ව තනිව හුස්ම ගැනීම කළ හැකි මට්ටමකට ඔහුගේ ශ්වසන හැකියාව වර්ධනය කර ගන්නට ඔහුට හැකියාව ලැබුණා. දැන් හැත්තෑ හතර හැවිරිදිව සිටින ඔහු මාංශපේශීන්ගේ දුර්වල වීම නිසාවෙන් තවදුරටත් තනිව හුස්ම ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටිනවා. එනිසා, යකඩ පෙණහලු තවමත් භාවිත කරන අතලොස්ස අතරට එක් වී එම යන්ත්‍රය තුළ ජීවත් වන්නට යි පෝල්ට සිදු ව තිබෙන්නේ…

පෝලියෝ වෛරසයේ අවදානම සහමුලින් ම තුරන් කිරීමට ක්‍රමෝපායන් මේ වනවිට සකස් වී තිබෙන නමුත් පෝල්ගේ ජීවිත කාලයේ ඔහු අත්දකිනා දෙවන වසංගත තත්ත්වය වන කොවිඩ් – 19 මිහිමඬලින් තුරන් කෙරෙන කාලයක් ගැන සිතාගන්නට තවම හැකියාවක් නැහැ. එයින් ඇතිවන සහකම්පන, පසුකම්පන තත්ත්වයන් තුළ ජීවිත ඉලක්ක සොයා යාමට වීර්යය බොහෝසෙයින් වුවමනා කෙරේවි. එනිසා, මරණයටත් ජීවිතයටත් අප සූදානම් ව සිටීම බොහොම වැදගත්.

කොවිඩ් වසංගතය නිසා පසුකාලීන ව උද්ගත වන්නට හැකි සෞඛ්‍ය ගැටලු ගැන දැනගන්නට තව වසර කිහිපයක් ගත වේවි. සවියෙන්, ශක්තියෙන් යුතු වූවන් පවා ශරීර සෞඛ්‍යයෙන් පිරිහී යමින් නොසිතූ විරූ අයුරින් මරු වෙත ගෙනයන්නට කොවිඩ් රෝගයට හැකි බව අප අත්දකිනා දෙයක්. බාල මහලු භේදයකින් තොරව, වැඩිහිටි උදවිය වෙත මාරාන්තිකව බලපෑමේ ඉහළ ප්‍රවණතාවයක් ඇති ව පැතිර යන කොවිඩ් වසංගතය අපගෙන් හෝ අපගේ සමීපතමයන්ගෙන් ජීවිත උදුරා ගෙන යන කාලය ළඟ ළඟ ම විය හැකියි. එසේම නොසිතූ විරූ දීර්ඝකාලීන ආබාධයන් ද ඒ හරහා අප කරා පැමිණිය හැකියි.

එයින් ම නොවුණත්… තව කොපමණ නම් අනතුරු අප වටා තිබෙනවා ද? කෙනෙකුට අත පය ඇස අහිමි වන්නේ තප්පර කිහිපයක් තුළ සිදු වන අනතුරකින් වන්නට නොහැකි ද? අපට තිබෙන ජීවිත ඉතා ප්‍රවේශමෙන් රැක බලා ගත යුතුව තිබෙන, සැණෙකින් පළුදු විය හැකි – බිඳී යා හැකි ස්වභාව ඇති දෙයක්. ඒ ස්වභාවයට අප සැබෑ ලෙස මුහුණ දෙන දවසේ ඒ කම්පනයෙන් දැවී නොයන්නට නම් අප දැන් දැන් ම ඒ ගැන සිතා තිබීම වැදගත්.

අනතුරු බොහෝ ඇති ගමනකට යි සසර කියා කියන්නේ. අනතුරු සහගත භාවය නිසා බිය වැදුනා කියා හෝ තැති ගත්තා කියා හෝ මුලු ගැන්වුණා කියා හෝ කිසිදු රැකවරණයක් ලද නොහැකි ගමනකට යි සසර කියා කියන්නේ. අනතුරු එළඹීම එහි සහජ ස්වභාවයක් මිස අරුමයක් නොවෙයි. පෝල් වැනි මිනිසුන්ට ඒ එළඹි අතිදුෂ්කර ස්වභාවයන් මැඩලමින් උගත් මිනිසෙකු ව, ලෝකයට වැඩදායි මිනිසෙකු ව යහපත් අයුරින් නැගී සිටින්නට වීරිය තිබුණා. මේ ගෙවන ජීවිතයට එකී වීරිය තිබිය යුතු ම යි. බිඳෙන, කඩතොලු වන, පළුදු වන ස්වභාව ඇති ශරීරය එයට ගොදුරු වද්දී ජීවිතයෙන් පලා යාම උත්තරයක් වන්නේ නැහැ. නැති දෙය හෝ නැතිවන දෙය ගැන වෙහෙස නො වී ඇති දෙයින් කළ හැකි යහපත් දෙයට වෙහෙස වන මිනිසුන් ගැන කිව යුත්තේ මෙලොව ගැන ඇස් ඇත්තවුන් කියල යි. ඒ ඇස ඇත්තවුන්ට මේ ජීවිතය සාර්ථක කර ගත හැකියි.

සසරේ වපුරපු ආකාරයට අස්වනු නෙළමිනුයි අපට මේ ජීවිතය ගෙවන්නට සිදු වී තිබෙන්නේ.

පෝල් පෙර සසරේ සිදු කළ කවර කර්මයක විපාකය ලෙසින් මෙලෙස ගෙලෙන් පහළ සහමුලින්.ම අකර්මණ්‍ය ව, යන්ත්‍රයකට කොටුව ජීවත් වන්නට සිදු වූවා ද කියා දකින්නට ඤාණයක් අපට නැහැ. නමුත්… අප විඳව විඳවා පරිහරණය කරනු ලබන මේ ඇස කන නාසය දිව කය මනස පැරණි කර්මයක ප්‍රතිඵලයක් බව අපට පහදාලන උතුම් දහමක් අපට තිබෙනවා. සැප කැමති වූවන්, දුක අකමැති වූවන් ඒ දහමේ පිහිටා මේ සසර දුකින් නිදහස් වන කැමැත්තෙන් පින්දහම් සිදු කළ යුතු යි. එසේ කරන්නවුනට කියන්නේ පරලොව ඇස් ඇතියවුන් කියල යි…

යන්ත්‍ර මත ජීවිතය පවත්වන්නට සිදු වුණත් – නොවුණත්, ඉඳුරන් එකින් එක අකර්මණ්‍ය ව ගෙලෙන් ඉහළ පමණක් ජීවිතය රඳනා තත්ත්වයට පත් වුණත් – නොවුණත් මේ උතුම් න්‍යාය අපට සිහි තිබේවා! මෙලොවත්, පරලොවත් ඇස් ඇතියවුන් සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට බඳුන් වනවා. සත්පුරුෂ දහමක් අසන්නට, පුරුදු කරන්නට ලැබුණ අප ඒ ප්‍රශංසාවට කැමති විය යුතුයි.

අහෝ!, අහෝ! කියා තැවුණාට, දැවුණාට සසරේ ගැබ් වූ දුක්ඛිත ස්වභාවයන් වෙනස් වන්නේ නැහැ. ඒ තැවීම, දැවීම අප කාය මානසික පීඩාවට පත් කිරීම පමණ ම යි සිදු වන්නේ. එනිසා, නැසෙන වැනසෙන පිනි බිඳුවක් වන් මේ ජීවිතය සත්පුරුෂ ගුණධර්මයන් තුළ පිහිටුවන්නට අපි අප්‍රමාදී වෙමු. වීරියෙන් ගුණධර්ම උපදවා ගනිමු. වීරියෙන් උපදවා ගත් ඒ සොඳුරු ගුණධර්ම මහත් වූ වීරියෙන් යුතුව රැක ගනිමින් මෙලොවත්, පරලොවත් රැක ගනිමු. දෙලොව ඇස් ඇත්තවුන් ව සසර දුකින් නිදහස් වන සදහම් මාවතේ අපි නොනැවතී ඉදිරියට යමු. ඔබටත්, මටත්, කාටත් එක ම පිළිසරණ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම පමණයි…!

සටහන – උදුලා පද්මාවතී.