වටිනාකමින් අග්‍ර බොහෝ දේවල් සඳහා ආදේශකයන් (පතිරූපකයන්) බිහි වීම ලොව සාමාන්‍ය දෙයකි. එවන් පතිරූපකයන් (Duplicate) සුලභ වූ විට සැබෑම වටිනා දෙය (Original) හඳුනා ගැනීම අභියෝගයක් වෙන්නට පුළුවන. නමුත් එම ආදේශකයන් කොතරම් සුලභ වුව ද දකින්නට අසන්නට ලැබෙන ඒ සියලු දෙයට රැවටී මුළාවට පත් වීම නුවණැත්තාට යුතු නො වේ. පතිරූපකය වනාහී සැම විට ම ඒ පිළිබඳව තතු නොදන්නාව ම මුළාවට පත් කරන්නකි. සැබෑ තතු මනාව දන්නෝ දියෙන් කිරි වෙන් කර ගන්නා සෙයින් ඒ සියලු දේ අතරින් උතුම් දෙය මනාව හඳුනා ගැනීමට දක්ෂ වෙති.

ලෝකයේ වටිනාකමකින් යුතු යම් තාක් දේවල් පවතී ද ඒ අතර තථාගත ශ්‍රී සද්ධර්මය තරම් බබළන තවත් දහමක් නම් නැති සේක් ම ය. වලාකුළු පහව ගිය කල හාත්පස බබළන පසළොස්වක සඳ පරිද්දෙන් ම, තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයත්- විනයත් විවෘත වූ විට ම බබළන්නේ ය. නමුත් ලෝකයේ බොහෝ දේවලට මෙන්, වටිනාකමින් අග්‍ර වූ ධර්මය වෙනුවෙන් ද පතිරූපකයන් බිහි වූ කල්හි, ගණ වලාකුළින් වැසී ගිය පුරසඳ පරිද්දෙන් දෙව් මිනිස් ලෝකය එළිය කරනා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ද අතුරුදහන් වී යනු ඇත. ඒ ලෝකයේ වටිනාකමින් අග්‍ර වූ උත්තම වූ දෙය අතුරුදහන් කරනා ඒ පතිරූපකය තරම් බිහිසුණු වූවක් ලෝකයේ තවත් නම් හට නොගනු ඇත.

“පින්වත් කස්සප, සද්ධර්මයේ වේශයෙන් අධර්මය ලෝකයේ පහළ නොවනා තාක් සද්ධර්මය අතුරුදහන් වෙන්නේ නෑ. එහෙත්, පින්වත් කස්සප, යම් දවසක සද්ධර්මයේ වේශයෙන් අධර්මය ලෝකයේ පහළ වුණොත් අන්න එදාට සද්ධර්මය අතුරුදහන් වෙනවා. පින්වත් කස්සප, ඒක මේ වගේ දෙයක්. ලෝකයේ රත්තරන් වේශයෙන් රත්තරන් නොවන දෙයක් පහළ නොවන තාක් සැබෑ රත්තරන් අතුරුදහන් වෙන්නේ නෑ. නමුත් පින්වත් කස්සප, යම් දවසක රත්තරන් වැනි ම වූ රත්තරන් නොවන දෙය ලෝකයේ පහළ වුණොත් අන්න එදාට රත්තරන් අතුරුදහන් වෙනවා.”

(සද්ධම්මපතිරූපක සූත්‍රය – සං. නි. 2)

ඒ උතුම් බුද්ධ දේශනාවට අනුව සද්ධර්මය (බුද්ධ ශාසනය) ලොවෙන් අතුරුදහන් වන්නේ ධර්මයේ නාමයෙන් අධර්මය පැතිර යාමෙනි.

සම්බුද්ධ පරිනිර්වාණයේ සිට මේ දක්වා ගෙවී ආ ශාසන ඉතිහාසය මනාව අධ්‍යයනය කර බැලුවොත් සිදු වී ඇත්තේ එය ම මිස අනෙකක් නොවන බව මනාව පැහැදිලි වේ. සද්ධම්ම පතිරූපකයන් බිහි වීම සිදුවන්නේ ශාසනය තුළ ම ශ්‍රාවක වේශයෙන් සිටින්නවුන්ගෙන් වීම එහි ඇති අනෙක් කණගාටුවට කරුණයි.

“පින්වත් කස්සප, පඨවි ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, ආපෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, තේජෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, වායෝ ධාතුව සද්ධර්මය අතුරුදහන් කරන්නේ නෑ, නමුත් යමෙක් මේ සද්ධර්මය අතුරුදහන් කරනවා ද අන්න ඒ හිස් පුද්ගලයා බිහි වෙන්නේ මේ සසුන තුළ ම යි.”

(සද්ධම්මපතිරූපක සූත්‍රය – සං. නි. 2)

එසේ නම්, යමෙක් ධර්මයේ නාමයෙන් අධර්මයක් ලෝකයේ පතුරුවා හරියි ද හෙතෙම දුර්ලභව පහළ වූ, තථාගත ශ්‍රී සද්ධර්මය මෙලොවින් අතුරුදහන් කරවන්නෙකි. යම් පිරිසක් එම මතය වැළඳගෙන එය ම අනුමත කරයි නම් ඔවුහු ද එහි කොටස්කරුවෝ ය. තමාත්, අන් බොහෝ දෙනාත් අනතුරට ඇද දමන ඒ බිහිසුණ අකුසලය එතරම් ම භයානක වන්නේ එයින් තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා වන නිසායි.

“මහණෙනි, තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා කවුද? කෙනෙක් ඉන්නවා තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකරන ලද දේ, නොපැවසූ දේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලදැයි, පවසන ලදැයි විස්තර කරනවා. තව කෙනෙක් ඉන්නවා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද, පවසන ලද දේ තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකරන ලදැයි, නොපවසන ලදැයි විස්තර කරනවා. මහණෙනි, මේ තමයි තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන දෙදෙනා…”

(භාසිත සූත්‍රය – අං. නි. 1)

බොහෝ විට ධර්මයේ නාමයෙන් මෙවන් අධර්මයන් ඉස්මතු වන්නේ තම තමන්ට රිසි සේ, තම රුචියට, දෘෂ්ටියට ගැළපෙන සේ තථාගත ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් දහම් කරුණු වැරදි ආකාරයෙන් අර්ථ විග්‍රග කිරීමට යෑමෙනි. අර්ථ, ධම්ම, නිරුක්ති පටිභාන යන සතර පටිසම්භිදාවන්හි අගතැන්පත් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ, එසේ ම පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා පන්සියනමකගේ සහභාගීත්වයෙන් සංගායනා කරන ලද ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයට, දහමට පටහැනි පුද්ගලික අර්ථ විග්‍රහ අවැසි නොවන බව ඒ බොහෝ දෙනා නොදනිති. ශාසන අන්තර්ධානයට හේතුවන එවන් කටයුතු කිසි විටෙකත් තෙරුවන් සරණ තුළ මනාව පිහිටි, දෙව් මිනිස් ලෝ සතට යහපත පිණිස පිළිපන් ආර්ය ශ්‍රාවකයන් හට කිසිසේත් ම කළ නො හැක්කේ ම ය. මේ බිහිසුණු පාපයේ කොටස්කරුවන් වන්නේ ශ්‍රද්ධා විරහිත, හුදෙක් තමන් ව ඉස්මතු කර ගැනීමේ අදහසින් ම ධර්මය භාවිත කරන්නෙකි. එසේ ම ධර්ම, විනය පිළිබඳව කිසිදු තේරුම් ගැනීමක් නැතිව ආවේගශීලිව අධර්මය කරපින්නා ගන්නා අය ද එහි කොටස්කරුවෝ වෙති.

“මහණෙනි, සද්ධර්මයේ (ශාසනයේ) විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතුවන මේ කාරණා දෙකක් තියෙනවා. ඒ දෙක මොනවා ද? වැරදි විදියට ගළපන ලද වචන ප්‍රකාශ කිරීමත්, වැරදි විදියට කරන්නා වූ අර්ථ විග්‍රහයත් ය. මහණෙනි, වැරදි විදියට ගළපාගන්නා ලද වචන ප්‍රකාශ කරන විට වැරදි අර්ථ මතුවෙනවා ම යි. මහණෙනි, මේ වනාහී සද්ධර්මයේ විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතු වන කාරණා දෙකයි.”

(සම්මෝසන සූත්‍රය – අං. නි. 1)

මෙසේ සද්ධර්මයේ නාමයෙන් ඉදිරිපත් වන සද්ධම්මපතිරූපකයන් ආකාර දෙකක් ඔස්සේ දකින්නට ලැබෙන බව සංයුත්ත නිකාය අට්ඨකථාවේ දක්වා තිබේ. එහි දැක්වෙන පරිද්දෙන් අධිගම සද්ධම්මපතිරූපක හා පර්යාප්ති සද්ධම්මපතිරූපක වශයෙන් සද්ධම්මපතිරූපකයෝ දෙකකි. අධිගම සද්ධම්මපතිරූපකය යනු සැබෑවට ම ධර්මය පුරුදු කර ගැනීමෙන් උපදින අධිගමයනට (ධ්‍යාන – මාර්ග ඵලාදී) පත් නො වී තම තමන්ගේ පුද්ගලික අත්දැකීම්වලින් මුළාවට පත් වී ධර්මයේ නාමයෙන් ඒවා ඉස්මතු කිරීම යි. එමෙන් ම තමන් කරා එළඹෙන තව බොහෝ දෙනාව ද එවන් අධිගම පතිරූපක තුළ මුළාවට පත් කරලීම ඒ තුළින් සිදුවෙයි.

පර්යාප්ති සද්ධම්මපතිරූපකය යනු නවාංග ශාස්තෘ ශාසනය තුළ දැක්වෙන දහම් කරුණු වැරදි ලෙස විග්‍රහ කරමින්, ඇතැම් විට ධර්මයේ නාමයෙන් තම පුද්ගලික මතවාද ඉදිරිපත් කරමින් ධර්මය විකෘති කිරීම යි. මේ දෙයාකාරයෙන් ම ඉස්මතු වන පතිරූපක හේතුවෙන් සිදුවන්නේ තථාගත බුද්ධ වචනය සැඟවී ගොස් පුද්ගලික මතවාද ධර්මයේ නාමයෙන් ඉස්මතු වීම යි. මෙසේ ධර්මයේ නාමයෙන් හාත්පසින් අසනා සද්ධම්ම පතිරූපකයන් බහුල වී ගිය කල තථාගත් ශ්‍රී සද්ධර්මය අතුරුදහන් නො වී තිබේ ද?

දිනක් ‘සාති’ නම් භික්ෂුවක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයෙහි දැක්වෙන එක් දහම් කරුණක් වරදවාගෙන එම වැරදි මතවාදය ඉස්මතු කරන්නට විය. එහිදී භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂුවට කළ අවවාදය අප කාටත් වැදගත් වනු ඇත.

“අථ ච පන ත්වං මෝඝපුරිස, අත්තනා දුග්ගහීතේන අම්හේ චේව අබ්භාචික්ඛසි. අත්තානඤ්ච ඛණසි. බහුඤ්ච අපුඤ්ඤං පසවසි. තං හි තේ මෝඝපුරිස භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛායාති.”

“හිස් පුරුෂය, ඉස්සෙල්ලාම තමන් වැරදි දෘෂ්ටියක් ගන්නවා. අරගෙන අපටත් (තථාගතයන් වහන්සේටත්) අභූතයෙන් චෝදනා කරනවා. තමන්ගේ ගුණත් සාරා ගන්නවා. ගොඩක් පවුත් රැස් කර ගන්නවා. හිස් පුරුෂය, ඔය වැඬේ නම් ඔහේට බොහෝ කාලයක් දුක් පීඩා පිණිස ම පවතීවි.”

(මහා තණ්හාසංඛය සූත්‍රය – ම. නි. 1)

මේ ආකාරයට මෙහි තිබෙන භයානක ආදීනවයන් නිසා ම යි, අලගද්දූපම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ ධර්මය හරි විදියට නොගතහොත් එය සර්පයාගේ නැට්ටෙන් ඇල්ලීමක් වැනි බව. තමාවත්, අන් බොහෝ දෙනාවත් අනතුරේ හෙළන මේ ශාසන විලෝපය බොහෝ සෙයින් වැඩි වී ඇති යුගයකි මේ ගතවෙන්නේ. තාක්ෂණයේ උපකාරයෙන් ඉතා වේගයෙන් පැතිරී යන එවන් අධර්මයන්ට හසු නො වී සිටීම පිණිස ධර්මයට ලැදිව ධර්මය සොයා යන ඔබ මනා සිහි නුවණින් කටයුතු කළ යුතුයි.

ඊට ඇති එකම හා හොඳම විසඳුම වන්නේ, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට ධර්ම විනය පිළිබඳව තමන් ඇතිකරගන්නා නිවැරදි වැටහීම යි. එවිට ය, ධර්මයක් නොවන අධර්මය බැහැර කළ හැකි වන්නේ. එසේ නොවන විට සිදු වන්නේ, අසන්නට ලැබෙන මතවාද තර්කයට, දෘෂ්ටියට ගැළපී යන විට එයට ධර්මයේ නාමයෙන් හසු වීම යි. එමෙන් ම හැම විට ම ත්‍රිපිටක බුද්ධ වචනයට ම ප්‍රමුඛස්ථානය දී පුද්ගලික මතවාද දෙවෙනි තැනට දැමීමට තරම් ශ්‍රාවකයා බුද්ධිමත් හා ඍජු අයෙක් විය යුතුයි. එමෙන් ම නිරන්තරයෙන් ඒ සියලු මතවාද ධර්මයෙහි බහා බැලීමට, විනයෙහි සැසඳීමට දක්ෂ විය යුතුයි. එවිට ඉමිටේෂන් රත්‍රං බැහැර කොට සැබෑ රන් තෝරගන්නා සෙයින් වැරදි මතවාදයන් බැහැර කොට පිරිසිදු ධර්ම විනය තුළ ම රැඳී සිටිමින් යහපත උදාකර ගැනීමට හැකි වේවි.

සද්ධර්මය අතුරුදහන් කර දැමීමේ භයානක අනතුරින් මිදී මේ දුලභ බුදු සසුන චිරාත් කාලයක් දෙව් මිනිසුන්ගේ යහපත පිණිස පවත්වා ගැනීමේ භාරදූර වගකීම පවතින්නේ සිව්වනක් පිරිසේ නිවැරදි ක්‍රියාකලාපය මත ම යි. සතර මහා භූතයන්ට ධර්මය අතුරුදහන් කළ නො හැකි නම්, සද්ධර්මය චිරස්ථායී කිරීමත් සතර මහා ධාතූන්ට අයත් දෙයක් නො වේ. එම නිසා ශාසන මාමක වූ සුපින්වත් සියලු දෙනා ම තථාගත ශ්‍රී සද්ධර්මයට ම ගරු සත්කාර කරමින් ත්‍රිපිටක බුද්ධ වචනයට ම ප්‍රමුඛස්ථානය දෙමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරිය යුතුයි. එවිට ය, දුලභ වූ මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මය බොහෝ කල් පවත්වා ගැනීම පිණිස වූ මහා පුණ්‍යස්කන්ධයේ කොටස්කරුවන් වන්නේ.

“පින්වත් කස්සප, බුදු සසුන දියුණු වීමට හේතුවන මේ කරුණු පහ සද්ධර්මය හඳුනාගැනීම පිණිසත්, අතුරුදහන් නොවීම පිණිසත් හේතු වෙනවා. මොනවද ඒ කරුණු පහ? පින්වත් කස්සප, මේ ශාසනයේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන ශ්‍රාවක පිරිස ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුතුව, කීකරුකමින් යුක්තව ඉන්නවා. ඒ වගේ ම සද්ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුතුව, කීකරුකමින් යුක්තව ඉන්නවා. ආර්ය ශ්‍රාවක සඟ පිරිස කෙරෙහි ගෞරවයෙන් යුතුව, කීකරුකමින් යුක්තව ඉන්නවා. පනවන ලද ශික්ෂා පද කෙරෙහි ගෞරවයෙන් යුතුව, කීකරුකමින් යුක්තව ඉන්නවා. සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුතුව, කීකරුකමින් යුක්තව ඉන්නවා. පින්වත් කස්සප, බුදු සසුන දියුණු වීමට හේතුවන මේ කරුණු පහ සද්ධර්මය හඳුනාගැනීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස හේතු වෙනවා.”

(සද්ධම්මපතිරූපක සූත්‍රය – සං. නි. 2)

දසබලසේලප්පභවා – නිබ්බාන මහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා – ජිනවචනනදී චිරං වහතු

දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දියදහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බසිනා සේක්වා!

(සළායතන සංයුත්තය – උද්දාන ගාථා)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි