ආදරණීය තරුණ දුවේ, පුතේ,

සිත කියන්නෙ අප කරනා කියනා සෑම දෙයට ම මුල්වන දෙය යි. අපි කවුරුත් නිතර ම උත්සාහ කරන්නෙ සිත සතුටින් තියා ගන්න. සිතට පොඩි හරි දුකක් එනවට අපි චුට්ටක්වත් ආස නැහැ. ඔයාල දන්නව ඇතිනෙ මේ ලෝකේ සතුටින් ම හිටියෙ රහතන් වහන්සේලා බව. ඒකට හේතුව තමයි. ඒ උතුමන්ට තිබුණෙ කම්පා නොවෙන හිතක්. ඒත් අපට ඒ වගේ අවබෝධයක් නැති නිසා, සිත සතුටින් තියා ගන්න අපි හොයන්නෙ දුක් සහිත දෙයක් ම යි කියල ඔයාලා නිකමටවත් හිතල තියෙනව ද?

මෙන්න සතුටින් ඉන්න අපි හොයන දේ…

ලස්සනට ඇඳලා, සුවඳ විලවුන් ගල්වලා රූපය පැහැපත්ව තබා ගැනීම, හොඳ ස්කෝලයකට ගිහින් හොඳට ඉගෙනගෙන විභාග හොඳට පාස් කර ගැනීම, ජංගම දුරකථනයක්, පරිගණකයක් භාවිත කිරීම, සුදුසු කෙනෙක් සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වා ගැනීම, ලොකු වැටුපක් සහිත සියලු දෙනා පිළිගත් රැකියාවක්, හොඳ ඉඩමක්, ලස්සන ගෙයක්, හොඳ වාහනයක් අරගෙන කසාදයක් බැඳගැනීම, දරුවන් හදාගෙන දරුවන්ට හොඳට උගන්නගෙන කාටවත් බරක් නො වී ඉඳීම වගේ දේවල් පිළිබඳ ව සිහින මවාගෙන ඒ සිහිනය හැබෑ කර ගන්න නොනවතින අරගලයක යෙදෙන්න අද අපි පෙළඹිලා.

මේ වගේ අපේක්‍ෂා රැසක් එක්කයි අපට ජීවත් වෙන්න තියෙන්නෙ. හැබැයි එකක් කඩ වෙනකොට තවත් අලුත් අපේක්‍ෂා එනවා. ඒ වගේ ම, අපේක්‍ෂා ඉටු වෙනකොටත් අලුත් අපේක්‍ෂා ඇති වෙනවා. මේ නිසා අපට සතුටින් නොවෙයි ඉන්න වෙන්නෙ, අසහනයෙන් ම යි. මේකට තමයි තරුණ අසහනය කියලා කියන්නෙ.

මෙන්න සතුටින් ඉන්න අය…..

අපි මුලින් ම කීවනෙ ලෝකේ සතුටින් ම ඉන්නෙ රහතන් වහන්සේලා කියලා. ඒ පින්වතුන් වහන්සේලා වාසය කරන්නේ කිසි ම අපේක්ෂාවක් නැති ව යි. එනිසා ඔබත් අපේක්‍ෂා අතහැරලා ඉලක්කයක් තියාගන්න අසහනයෙන් මිදීම පිණිස. අපේක්‍ෂාවෙන් ඈත් වුණා කියලා ඉලක්කය වෙනස් වෙන්නෙ නැහැ. ඒ නිසා අපට හෙමිහිට හෙමිහිට හරි ඉලක්කයට ළඟා වීමේ කුසලතා මතු කර ගන්න පුළුවන්.

සිත සතුටින් තියාගන්න ඕනෙ කියන ඉලක්කය ඇති කර ගත්ත ම කලබල නො වී ඊට අදාළ හේතු සැකසීම යි කරන්න තියෙන්නෙ. මේ සඳහා උපදෙස් ගන්න ඕනෙ සතුටින් හිටපු අයගෙන් මිසක් වෙනත් අයගෙන් නොවෙයි.

පුංචි දරුවෙකුට වගේ හිතට කියලා දෙමු…

අපි හිතමු පුංචි අත දරුවෙක් ඉන්නව කියල. මෙයා යහපත් දේ අයහපත් දේ අඳුනන්නෙ නැති නිසා වටපිටාවේ තියන හැමදේම අහුලල කටට දා ගන්නවා. ඉතින් දරුවගෙ මව්පියන් දැන ගන්න ඕනෙ දරුව අසල ඇති අයහපත් දේ ඉවත් කරලා යහපත් දේ ළං කරන්න. එතකොට දරුව කරන්නෙ යහපත් දේ ම අරගන්න එකයි. ඒ වගේ ම දරුවනි, ඔයාලත් දරුවෙකුට ආදරෙන් යහපත් දේ ම දෙන මව්පියන් වගේ ඔබේ සිත පිළිබඳ ව කටයුතු කරන්න. ඉතින් අපිත් සිත ගැන කල්පනාවෙන් ඉඳලා හොඳ දේ ළං කරමින් නරක දෑ ඉවත් කරමු.

අපේ වටපිටාවේ ඕනෑ තරම් වෛරය, ඊර්ෂ්‍යාව, හිංසාව, එකට එක කිරීම, රාගය ඇවිස්සෙන දර්ශන තියෙනවා. අපි ඒ වගේ දේවල භයානක පැත්ත ගැන (ආදීනව) සිතට නිතර නිතර කියල දෙමු. කෙනෙකුගේ අඩුපාඩු ම බහුල ව පෙනෙනකොට අපට එයාව එපා වෙනවා. ඒ වගේ ම මෛත්‍රිය ගැන අනුන්ගේ දියුණුව දැකලා සතුටු වීමේ වාසිය ගැන, අනුකම්පාව ගැන, කරුණාව ගැන අධ්‍යාපනයේ වටිනාකම්, ධර්මය පුරුදු කිරීමේ වටිනාකම ආදිය ගැන සිතට නිතර නිතර කියලා දෙමු. මේ විදිහට සිතට පුරුදු කරන කොට සිත පුරුදු වෙන්නෙත් එවැනි හොඳ අරමුණු කරා ගමන් කරන්නට යි.

ඔබටත් පුළුවන්……

හොඳට අධ්‍යාපන කටයුතු කරන්න, ධර්මය පුරුදු කරන්න, සැනසිලිදායක වටපිටාවක් හදාගන්න ක්‍රමයක් අපට ධර්මය තුළින් හමුවෙනවා. ඒ තමයි ඒ ඒ තැන්වල දී වත් පිළිවෙත් කිරීමේ දක්ෂතාවය (වෙය්‍යාවච්ච). වත් පිළිවෙත් කියන්නෙ වැඩ කර කර ඉන්නවා කියන එක නොවෙයි. අප ඉන්න පරිසරයේ ඉන්න අයට උදව් උපකාර කරනවා කියන එකයි. අපි කාට හරි උපකාරයක් කළාම ඒකෙන් එයාට පහසුවක් වුණා කියලා හිතනකොටත් අපට හරිම සතුටුයි. නමුත්, වැඩ කළා කියලා හිතනකොට දැනෙන්නේ පීඩාවක් නේ ද?

සතුටක් එක්ක ප්‍රමුදිතභාවය, ප්‍රීතිය, සැපය පවතිනවා. වගේ ම පීඩාවත් එක්ක කේන්තිය, මහන්සිය, අසහනය පවතිනවා. මේ නිසා තමයි අපේ අම්මලා උදේ ඉඳලා රෑ වනතුරු ම ගෙදර “වැඩ කළත්” සතුටක් නැත්තේ. “මම ගෙදර අයට උපකාර කළා. ඒ නිසා ඒ අය පහසුවෙන් ඉන්නවා.” කියල හිතුව නම් අම්මගෙ හිතට දැනෙන්නෙ පුදුමාකාර සතුටක්. අපි හැම විට ම සිතිය යුත්තේ ඒ අයුරින්. එතකොට ඔබ තුළ මුදිතාව, කරුණාව, දයාව ආදි ගුණාංග වැඩෙනවා. බලන්න හිතන ක්‍රමය නේ ද හදා ගන්න තියෙන්නෙ?

ගෙදර දී වත් පිළිවෙත් කරමු….

ඔන්න, අපි හිතමු හවසට වැලේ තියෙන අපේ ඇඳුම් ගන්න යනවා. එතකොට ගෙදර අනෙක් අයගේ ඇඳුනුත් අරගෙන නවලා අදාළ තැන්වලින් තියන්න ඔබේ සිත පෙළඹෙනවා නම් කොතරම් හොඳ ද? එහෙම කළා කියලා කවුරුවත් දොස් කියන්නෙ නැහැ. නමුත්, නො කොළොත් ඒ රෙදි වැස්සට අසු වෙලා තෙමිලා යනවා. එතකොට ගෙදර අනිත් අය අපහසුතාවයට පත් වෙනවා. ඔබෙත් සිදුවිය යුතු වත් පිළිවෙත් ඉටු වුණා නම්, එහෙම වෙන්නෙ නැහැ.

ඇඟ සෝදන ගමන්, නාන ගමන් ඔබේ කිලිටි ඇඳුම් ඔබ ම සෝදා ගන්න. අම්මගෙ, තාත්තාගෙ, මල්ලිගෙ අයියලගෙ කිලිටි ඇඳුම් ඇත්නම් ඒවාත් සෝදන්න. මේවා කළා කියල විශාල කාලයක් නාස්ති වෙන්නෙ නැහැ.

ඔබ කෑම කන පිඟාන, තේ බොන කෝප්පය ඔබට ම සෝදා ගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස විදුලි බල්බයක් දැල්වෙනව දැක්කොත් ඔබට ඒක නිවා දමන්න වැඩි කාලයක් යන්නෙ නැහැ. නමුත් ඒක නො කළේ කවුද කියල හොයන්න ගියා ම ඒක ඔබටත් අපහසුවක්. ඒ නිසා තමාගෙන් සිදු විය යුත්තක් දුටු වහාම ඒ මොහොතෙම බොහෝ දෙනාට යහපත පිණිස ඒ දෙය ඉටු කරන්න පසුබට වෙන්න එපා.

ඔබේ කාමරය ඒ ඒ වෙලාවේ දී ම පිරිසිදු කිරීම විශාල පහසුවක්. ඒ වගේ ම ගෙදර ඇතුළත පිටත පිරිසිදු කිරීමත් සතුටින් කළ හැකි දෙයක්. තමන් වාසය කරන තැනනෙ කියා සිතලා ඒ අයුරින් කටයුතු කිරීම ඔබේ සිතට විශාල සහනයක් ගෙන දෙන්නක් වේවි.

මේ කාරණා බොහෝම සරලව පෙනෙයි. ඒත් හොඳට කල්පනා කරන්න, ඔබ අතින් මේවා සිදු කෙරුන ද කියලා. ඒවා ඔබ අතින් සිදු නොවුණ නිසා ම ගෙදර ඉන්න අනෙක් අය ඔබ කෙරෙහි අප්‍රසන්න ස්වභාවයක් ඇති කර ගත්ත ආකාරය මතකයි නේ ද? මේ වත් පිළිවෙත් නොකිරීම ගෙදර සමඟිය නැති වීමට පවා හේතු වෙනවා. ඒ නිසා ඒ ගැන සරල ව හිතන්න එපා.

ඇතැම් විට ඔබ ඉහත දේවල් පුරුද්දට වගේ කරනවා වෙන්නත් පුළුවන්. අම්මා, තාත්තා බණින නිසා කරනවා වෙන්නත් පුළුවන්. නමුත් මම මේ දේවල් කරනකොට අනෙක් අයට පහසුවක්, උපකාරයක් වෙනවා කියල හිත හිතා කළොත් විතරයි ඔබට සතුටක් ලැබෙන්නෙ. ඒ නිසා අනෙක් අයට උපකාර කරනවා කියන සිතිවිල්ල ඇති කර ගන්න. නැතිනම්, ඒ දේවල් වෙනදා වගේ ම ඔබට පීඩාවක් ගෙනැවිත් දේවි.

මෙහෙම කළොත් නම් සතුටක් නැහැ…..

රෙදි සේදීමට, කාමරය අස් කිරීමට විශේෂ දිනයක් දාගෙන එදාට එක දිගට වැඩ ම කරන්න ගැනීම අසාර්ථක යි. ගෙදර වැඩ කටයුතු කරලා ඒවා කළේ තමන් බව අනෙක් අයට කියා පාන්න යාම තුළ අනෙක් අය පහත් කරල තමන්ගේ ප්‍රතිරූපය ඉහළට ගන්න අදහස වගේ ළාමක දේවල් සිතට එනවා. ඒක අනෙක් අයටත් තේරෙනවා. ඒ නිසා එයාල රණ්ඩුවට එනවා. අවඥා සහගත කථා කියනවා. එතකොට ඔබට දුක හිතෙනවා. අන්න එතකොට තේරුම් ගන්න ඔබට වැරදිලා බව.

මෙහෙමයි සිතන්න ඕනෙ…..

ඒ නිසා පළමුවෙන් ම අපි සිතන ක්‍රමය වෙනස් කර ගන්න ඕන. “මම කළ යහපත් දෙය නිසා අනෙක් අයට වැඩ අඩුයි, එයාලට හරි ම පහසුයි, මම කළ ක්‍රියාව නිසා නේ ද මේ අය මේ පහසුවෙන් ඉන්නෙ” කියලා හිතන්න ඕනෙ. එතකොට හිත ප්‍රමුදිත වෙනවා. ප්‍රමුදිත භාවය නිසා ප්‍රීතිය ඇති වෙනවා. එතකොට කය සැහැල්ලු වෙනවා. හිත එකඟ වෙනවා. දැන් මෙවැනි සුන්දර මානසික පසුබිමක් ගොඩනගා ගත් විට ඔබට පාසල් වැඩ කටයුතු හොඳට කරන්න පුළුවනි. භාවනා කරන්න පුළුවනි. ධර්මය කියවා අර්ථ විමසන්නත් පුළුවනි. මේ විදිහට හිතන කොට හිතේ දියුණුවට තියන බාහිර බාධා සියල්ල ම යටපත් වෙලයි තියෙන්නෙ. ඒක හරිම ලාභයක් නේ ද?

සතුට ලැබුණ ම….. සතුට ලැබුණු ක්‍රමයට පහදින්න…

දැන් මෙහෙම සතුටින් ඉන්නකොට ඔබ හිතන්න, “මේ සතුට මට හොඳයි. මම හෙව්වේ මේ සතුට යි. මේක මට ලැබුණෙ අන් අයට කරුණා මෛත්‍රියෙන් උපකාර කළ නිසා. ඒ නිසා මේ ගුණධර්මය මා අත් නොහැර පවත්වා ගන්න ඕනෙ” කියලා. ඒක හරියට මේ වගේ දෙයක්…..

ප්‍රණීත අඹ ගසක ගෙඩි කැමති වෙන කෙනා අඹ ගස වැවෙනවට කැමති වෙන්න ඕන. හැබැයි අඹ ගසේ දල්ලෙන් ඇද්දට ගහ වැඩෙන්නෙ නැති බව දැන ගන්න ඕනෙ. ප්‍රාර්ථනා කළාට වැඩෙන්න නැති බව දැනගන්න ම ඕනෙ. ඒ සඳහා පොහොර දාන්න ඕනෙ. වතුර දාන්න ඕනෙ. ආරක්ෂා කර ගන්න ඕනෙ. තමන්ගේ සත්කාර හේතුවෙන් අඹ ගස වැඩෙන බව දැක ගන්නත් ඕනෙ. එතකොට තමයි ගහ වැඩෙන වැඩපිළිවෙළ අත නො හැර කරන්න හිතෙන්නෙ.

අපට වැරදුනේ මෙහෙම යි….

දුවල පුතාල ඉගෙන ගන්න නිසා අම්මා තාත්තා කළේ ඉස්සරල ම ඔබව ගෙදර වැඩපළවලින් නිදහස් කළා. ඔබට ඉගෙන ගැනීම පමණක් ම පැවරුවා. ඔබත් ගෙදර වත් පිළිවෙත් කරන එක අතහැරියා. ඒත් එක දිගට ම පාඩම් කරන්න අපහසුයි. ගෙදර වැඩ කරන්නත් කම්මැලි යි. ඉතින්, ඔබ කළේ ඔගඪග බලපු එක වීඩියෝ ගේම් ගහපු එක, නිදා ගත්ත එක, මේවට අම්මලාට තාත්තලාට කේන්ති ගියා. “අපි ඔක්කොම කරල දෙන කොට උඹලට ඉගෙන ගන්න බැහැ” කියල එයාලා බණින්න ගත්තා. ඔබටත් කේන්ති ගියා. දෙමව්පියන් කෙරෙහි සෙනෙහස පළුදු වුණා. එයාල ව රිදවන්න ඕනෙ කියල හිතනකොට ම වරදට පෙළඹෙන්න ඕන හැමදෙයක් ම ඔබේ ළඟට ම ආවා. ඔබ පිරිහුණා. දෙමව්පියන් දුක් වුණා.

දැන් ඉතින් අවබෝධයක් කරා යමු….

දැන් ඔබට තේරෙනවා නේ ද වත් පිළිවෙත් කරමින් ම ඉගෙන ගන්නත් පුළුවන් කියල. ධර්මය දියුණු කරන්නත් පුළුවන් කියල. මේක අවබෝධයක්. මෙය සාමාන්‍ය මිනිසුන්ට සමාන නො වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතෙකුට හෝ දියණියකට ඇතිවෙන විශේෂ ඤාණයක් කියල “කෝසම්බිය” සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ම දේශනා කරල තියෙනවා. ලස්සන උපමාවකුත් සමඟ ම “අලුත පැටවෙකු වැදූ එළදෙනක් තණකොළත් කමින් පැටවත් බලා ගන්නවා වගේ” කියලා

ඒ නිසා මේ ක්‍රමයට සැක උපදවා ගන්න එපා. මේ නිරාමිස ප්‍රීතිය තුළින් ඔබට බොහෝ යහපත් දේ ජීවිතයට එක් කර ගන්න පුළුවන්. ඒ නිසා වත් පිළිවෙත් කරළා නිතර නිතර මේ ගැන හිතමින් සතුටු වෙන්න සිතට පුරුදු කරමු. එවිට ඔබේ ගෙදර ඉන්න අය ඔබට අනුකම්පා කරාවි. සෙනෙහස දක්වාවි. අනුග්‍රහ කරාවි, උපකාර කරාවි, ඒ වගේ ම ඔබේ වටපිටාවත් ඉතා ම සුන්දර වේවි.

ඔබ තුළ කරුණාව, මෛත්‍රිය, කීකරුකම, නිහතමානීකම, අන් අයගේ සැප දැක සතුටු වීමේ හැකියාව වැනි ගුණ දියුණු වේවි. එවිට ඔබ ගෙදර සියලු දෙනාට ම ප්‍රිය දසුනක් වේවි. අධ්‍යාපන කටයුතු ඉතා ම පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වේවි. මෙලොව යහපත් වේවි. මාර්ග ඵල සම්පූර්ණ නො වුණොත් මලක් පිපෙනවා වගේ දෙව්ලොව ඉපදේවි.

සටහන – ආර්. එස්. පින්නපොල ගුරු පියාණන්