අතීතයේ ලක්දිව රුහුණු පෙදෙසෙහි දීඝවාපි නම් චෛත්‍යයෙහි ඔසවා තිබූ කොඩියක් සුළඟට කැඩී ගොස් දුර පිහිටි කුඹුරකට වැටුණි. කෙත හිමියා කුඹුරෙහි ඇවිදින විට කොඩිය දුටුවේ ය. ඔහු එය ගෙන බලන්නේ එහි කොටා තිබූ අකුරු දැක චෛත්‍යයට පූජා කරන ලද කොඩියක් බව දැනගෙනත්, ඒ වස්ත්‍රයට ලෝභ උපදවා එහි අකුරු තිබූ කොටස ඉරා දමා පොරොවාගෙන ගෙදර ගියේ ය.

කලකට පසු ඔහු කළුරිය කොට ගිනියම් වූ දහසක් යකඩ පටි ශරීරයෙහි වෙලාගත් ප්‍රේතයෙක් විය. ඔහුට වාඩි වෙන්නට හෝ නිදන්නට හෝ නොපිළිවන. කෑම බීම ගන්නට ද නො හැකි ය. ඔහු මහ යකඩ ගොඩක් ඔසවා ගෙන ඉතා දුක සේ ඇවිදී. දිනක් ඒ ප්‍රේතයා මධ්‍යම රාත්‍රියක එක්තරා ස්ථවිර ස්වාමීන් වහන්සේනමක් ඉදිරියේ පෙනී සිට ඔහුට පැමිණ තිබෙන දුක කියා සිටියේ ය. තෙරුන් වහන්සේ ඔහුගේ දුක දැක මහත් සංවේගයට පැමිණ “නුඹට මේ දුකින් මිදීමට මා කුමක් කළ යුතු ද?” ඇසූහ. “හිමියනි, දීඝවාපි චෛත්‍යයට කොඩි දහසක් පූජා කොට මට පින් දුනහොත් මිදිය හැකි වෙයි” කියා ප්‍රේතයා අතුරුදහන් විය.

ප්‍රේතයා ගැන ඇතිවූ මහත් අනුකම්පාවෙන් පසු දිනයේ තෙරුන් වහන්සේ කොඩි සොයන්නට පටන් ගත්හ. උන්වහන්සේ කොඩි පනහක් සොයා ගත්හ. ඒවා චෛත්‍යයට පුදා ප්‍රේතයාට පින් දුන්හ. ඒ පින් ලැබීමෙන් ප්‍රේතයාගේ හිසෙහි තිබූ අගුල් අටක් විවෘත විය. එදින රාත්‍රියේ ප්‍රේතයා තෙරුන් වහන්සේ ඉදිරියේ පෙනී සිට හිසෙහි අගුල් අටක් විවෘත වූ බව කීවේ ය. තෙරුන් වහන්සේ නැවත කොඩි පනහක් සොයා චෛත්‍යයට පුදා පින් දුන් විට තවත් අගුල් අටක් ප්‍රේතයාගේ ශරීරය විවෘත විය. ඔහු ඒ බව තෙරුන් වහන්සේට කී ය. මෙසේ ක්‍රමයෙන් කොඩි සොයා දහස සම්පූර්ණ වූ දිනයේ ප්‍රේතයා සම්පූර්ණයෙන් ම නිදහස් විය.

එදින මැදියම් රැයේ දී ප්‍රේතයා පිරිසිදු වස්ත්‍රයෙන් හා නොයෙක් අභරණින් සැරසී තෙරුන් වහන්සේ ඉදිරියේ දේවත්වයෙන් පෙනී සිටියේ ය. තෙරුන් වහන්සේ නුඹ කවරෙක්දැයි ඇසූ කල්හි “හිමියනි, මම පෙර දී ගිනියම් වූ යදම් දහසකින් වෙලී කෑමක් බීමක් නැතිව වාඩිවීමක්, නිදාගැනීමක්, නැතිව මැරෙන්නේ ද නැතිව මහා දුකක් වින්දෙමි. දැන් මම නුඹ වහන්සේගේ කරුණාව නිසා එයින් මිදී දේවත්වයෙන් සුවසේ වෙසෙමි. කාරුණිකයන් වහන්ස, මා හට මාපියන් විසින් නෑයන් විසින් කළ යුතු දේ නුඹ වහන්සේ විසින් කරන ලද්දේ ය. ඒ මම නුඹ වහන්සේට වැඳීමට මෙහි පැමිණියෙමි. නුඹ වහන්සේගේ කරුණාවෙන් මා දුකින් මිදී සැපයට පැමිණියාක් මෙන් නුඹ වහන්සේට ද අග්‍ර වූ ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සැපයට පැමිණෙන්නට ලැබේවා” යි ප්‍රේතයා තෙරුන් වහන්සේට වැඳ ප්‍රාර්ථනා කළේ ය.

ඉන් පසු හෙතෙමේ “හිමියනි, බුද්ධ, ධම්ම, සංඝ යන තුන් තැන්හී කළ ස්වල්ප වූ පාපය ද අනන්ත දුක් ගෙන දෙන්නක් වන්නේ ය. එමෙන් ම ඒ තුන් තැනට කරන ස්වල්ප වූ පූජාව ද අනන්ත ඵලදායක වන්නේ ය.” කියා නැවතත් තෙරුන් වහන්සේ සාදරයෙන් ප්‍රදක්‍ෂිණා කොට වැඳ අතුරුදහන් විය.

ඇසුර: ලෝකප්පදීපකසාර ග්‍රන්ථය

සටහන :මානෙල් පොඩිමැණිකේ.