මිරිසවැටි විහාරය මහා සංඝයා වහන්සේට පූජා කරන මහෝත්සවයේදී භික්ෂු භික්ෂුණීහු දහස් ගණනක් රැස් වී සිටියහ. ඒ අතර සිටි කුඩා සාමණේර නමක් උණු කැඳ පාත්‍රයක් ගෙන යන්නේ විටෙක උණු කැඳ පාත්‍රය බිම තබමින් ද තවත් විටෙක සිවුරු පොට උඩ තබා ගනිමින් ද මහත් අසීරු තත්වයකට පත්ව ගෙන යන අයුරු දුටු කුඩා සාමණේරියක් මෙසේ කීවාය

“ස්වාමීනී, උණුකළ කැඳ පාත්‍රය මේ තලිය මත තබාගෙන යනු මැනව”යි කියා එක් බඳුනක් දුන්නීය. කාලයක් ගතවිය. දැඩි නියඟයක් ඇතිවී ලක්දිව මහා සාගතයක් හටගත්තේය. කෑම බීම අතිශය දුර්ලභ විය. මෙබඳු අවස්ථාවලදී යන්තම් දිවි රැකගැනීම සඳහා දඹදිව යාම සිරිතකි.

මේ දුර්භික්ෂය ඇති වීමට කලින් මුලින් සඳහන් කළ සාමණේරිය භික්ෂුණීන් කණ්ඩායමක් සමඟ දඹදිවට ගොස් සිටියාය. මේ දුර්භාග්‍ය සමයේදී උණු කැඳ පාත්‍රය ගෙන ගෙනගිය සාමණේර නම ද තවත් භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් සමග දඹදිවට ගොස් චාරිකාවේ යෙදී සිටියේ ය.

මේ අතරතුර පෙර කී කුඩා සාමණේරී නම ද ලක්දිවින් පැමිණ සිටි හිමිවරුන් හමුවීමට පැමිණියා ය. සුවදුක් විමසීමෙන් අනතුරුව සාමණේරියට ඒ සාමණේර නම මුණ ගැසුනාහ. එහිදී සාමණේර නම ඇමතූ සාමණේරිය “මිරිසවැටි පූජෝත්සවයේදී ඔබවහන්සේගේ වයස කීයක් පමණ වන්නට ඇතිදැයි” ඇසුවාය.

“එකල මා අවුරුදු හතක සාමණේර නමකි.” “ඔබවහන්සේගේ වයසට සමාන වයස් ඇති සාමණේරියක්, උණු කැඳ පාත්‍රයක් ගෙන යාමට නොහැකිව දුෂ්කරතාවයට පත් වී සිටි ඔබවහන්සේට තලියක් පිදුවා මතකද?” ඇසුවාය. සාමණේර නම ඔලගුවෙන් තලියක් එලියට ඇද “මේ ඒ තලිය නොවේ දැයි” විමසීය. “හරියට හරි… මේ මා පිළිගැන්වූ තලිය” යැයි භික්ෂුණිය කීවාය.

අවුරුදු බොහෝ ගණනකට පෙර සිදුවූ පුවත මතකයට ආවේය. ඔවුනොවුන්ට ආදර සිතක් ඇති විය. දෙදෙනා ම සිවුරු හැරියාහ. මේ අවස්ථාව වන විට දෙදෙනාට ම වයස අවුරුදු හැටක් වී යැයි අටුවාව විස්තර කරයි.
අට්ඨකතා සාහිත්‍ය

මානෙල් පොඩිමැණිකේ