දීඝ භානක තෙරණුවෝ වරෙක මිහින්තලා විහාරයේ අධිපතිව විසූහ. එ් කාලයේ එක් දිනක් පන්සියයක් පිරිවර සමඟ අභය නැමැති සොර දෙටුවෙක් අනුරාධපුරය අසල කඳවුරු බැඳගෙන යොදුන් තුනක පමණ ප‍්‍රදේශයක් පුරා සිය අණසක පතුරුවාගෙන විසී ය.

එම නිසා අනුරාධපුර වාසය කළ ජනයා කොළොම් ඔයෙන් එතෙරට යන්නට බිය වූහ. මිහින්තලා මාර්ගය මිනිසුන්ගෙන් හිස් විය. සොර දෙටුවා සිය පිරිවර සමග දිනක් මිහින්තලා විහාරය පැහැර ගැනීමට පැමිණියේ ය. විහාරයේ මුරකරුවෝ එ් බව අභය හිමියන්ට දැන්වූහ. උන්වහන්සේ මුරකරුවන් ඇමතූහ.

‘‘ආරක්ෂක නිල දරුවෙනි, භික්ෂූන් වහන්සේට ගෙනා සහල් ආදියත්, පස්ගෝරසත් ගෙන ආහාර පිළියෙල කොට සොරුන්ට දෙව්.”

සේවකයන් එසේ කළ විට සොරු ආහාර අනුභව කොට ‘‘අපට මේ සංග‍්‍රහ කළෝ කවුරු ද?” යැයි විමසූහ. අපගේ අභය තෙරණුවෝ විසින් මෙය කළ බව සේවකයෝ කීහ.

සොරු වහා තෙරුන් වහන්සේ වෙතට ගොස් වැන්දෝ ය. ‘‘සංඝයා වහන්සේටත්, චෛත්‍යයටත් අයිති වස්තුව පැහැර ගන්නට ආ අප ඔබ වහන්සේගේ සංග‍්‍රහයෙන් සතුටු වී දාමරික කි‍්‍රයාවන්ගෙන් වැළකුණෙමු. අද පටන් විහාරස්ථානයේ ආරක්ෂාව අපට භාරයි. නාගරිකයෝ පැමිණ දන් දෙත්වා.” යි දැන්වූහ.

එතැන් පටන් දන් පැන් දීම් ආදියට පැමිණෙන නාගරික ජනයා කොළොම් ඔයේ සිට ආරක්ෂා සහිතව කැඳවාගෙන අවුත් සියලූ කටයුතු අවසන් වූ පසු නැවත යැවූහ. භික්ෂූන් වළඳා ඉතිරි වූ ආහාර සොරු අනුභව කළහ.

මැදුම් සඟි අටුවාව ඇසුරෙනි.