ලෝකයේ අර්බුද එකක් පසුපස දෙක තුනක් ඇති වෙමින් නොසන්සුන් වාතාවරණයක් ගොඩනගන බව අපට සෑම දවසක ම අත්දකින්නට වන සත්‍යය යි. අර්බුදකාරී, සන්සිඳීමක් නැති පීඩිත සමාජයක් කරා මනුෂ්‍ය වර්ගයා යොමු කරවන මේ වටපිටාවට නිදාන වූ කාරණාවන් සොයා යන කල්හි ඉවසීමෙන් තොර බව එහි පෙරටුවේ මුණගැසේ.

නූතන ලෝකය අප‍්‍රිය වූ අමනාප වූ කටුක වූ ස්වකැමැත්තට නො ගැළපෙන්නා වූ කිසිවක් ඉවසන්නේ නැත. ඉවසා සිටින්නෙක් වේ නම් එ් ඉවසන්නේ කිසිවක් කර කියා ගන්නට බැරිකමට ය. පෙරළා යමක් කරන්නට පුළුවන්කම තිබිය දී ද කිසිවක් නො කර නිහඬ ව ඉවසා සිටින්නෝ අද අපට සොයා ගැනීම දුෂ්කර ය. එකට එක නොකිරීම දුර්වලකමක් ලෙස සලකා කෙසේ හෝ යමක් කොට සැනසෙන්නට උත්සුක වූ ලෝකය අද දැවීම, තැවීම පොදු ඉරණම බවට පත් කොටගෙන අවසන් ය.

ඉවසීම යනු සම්බුදුවරුන්ගේ ධර්මයකි. උෂ්ණ සීතල, මැසි මදුරු උවදුරු, සා පිපාසා පමණක් නොව අප‍්‍රිය අමනාප වචන, පහස ආදිය ද ඉවසීමෙන් ප‍්‍රහාණය කළ යුතු ආස‍්‍රවයන් බව සම්බුදුරජුන්ගේ අනුශාසනය යි. අද ලෝකයේ ඇති වී තිබෙන සියලූ අර්බුදවලට හේතුපාදක ව ඇත්තේ ඉවසීමෙන් දුරු කළ යුතු මේ කාරණා අබියස නොඉවසීම නො වේ ද?

ධර්මයට අයත් වූ, ධර්මයෙන් උපන්නා වූ ඉවසීම නම් වූ උතුම් තපසේ නියැළීම ලෝකයට නිවට නියාළුකමක් යැයි කියා පෙනී ගිය ද එ් වනාහී නුවණැතියන්ගේ දහමක් මිස අනුවණයන්ගේ දුර්වලකමක් නො වේ. දෙදෙව් ලොවට අධිපති, ඉසුරින් ද බලයෙන් ද පිරි සක් දෙවිඳු වරෙක එ් බව මෙසේ හෙළිදරව් කළේ ය.

‘‘අනුන්ට කේන්ති ගිය බව දැනගෙන, තමන් සිහි නුවණින් යුතුව සන්සිඳෙනවා නම්, මං හිතන්නෙ බාලයාව පාලනය කරන්න එ්ක තමයි හොඳ කියලා.
මෙයා මේ ඉවසන්නෙ මට භයෙන් ය කියල, කෙනෙක් හිතුවත් කමක් නෑ. නැතත් කමක් නෑ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇති කර ගැනීමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නෑ. යම් කෙනෙක් අතිශයින් ම බලවත් ව ඉඳගෙන, දුර්වල කෙනෙකුගේ නින්දා අපහාස ඉවසනවා නම්, එ්ක තමයි ලොකු ම ඉවසීම. බැරි කෙනා හැම තිස්සෙම ඉවසනවා නෙව. යම් අඥානයෙකුගේ බලයක් වේ ද එ්කට බලය කියල කිව්වට, එතන බලයක් නෑ. ධර්මය තුළ සුරැුකී ඉන්න කෙනාගේ ඉවසීම අභිභවා කියන්න දෙයක් නෑ. යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරළා කිපුනොත්, එ්කෙන් පාඩු සිදුවෙන්නෙ තමාට ම යි. කේන්ති ගිය කෙනාව හඳුනගෙන, පෙරළා කිපෙන්නෙ නැත්නම්, එයා තමයි ජයගන්න දුෂ්කර වූ යුද්ධය ජයගන්නෙ. අනුන් කිපුන බව දැනගෙන, තමන් සිහිනුවණින් සන්සිඳෙනවා නම්, තමාටත්, අනුන්ටත් දෙපැත්තට ම යහපත සලසා ගන්නවා. තමාටත්, අනුන්ටත් දෙපැත්තට ම සෙත සලසන කෙනා ගැන, ධර්මයේ අදක්‍ෂ කෙනා හිතන්නෙ ඔහු මෝඩයෙක් ය කියලා.”
(සුභාෂිත ජය සූත‍්‍රය – සං. නි.)

තමන් මුහුණ දෙන කටුක ස්වභාවයන් හමුවේ පෙරළා යමක් නොකිරීම මදිකමක් ලෙස සලකන්නට අනුවණයන්ට බැරිකමක් නැත. අනුවණයන් එසේ සිතනවා කියා දහමෙහි පිහිටි නුවණැත්තා කිසිවක් කෙරෙහි කිපෙන්නේ ද නැත. ඔහු නොඉවසන්නේ මේ අප‍්‍රිය අමනාප ස්වභාවයන් නො වේ; සිත යට කොට දමන හීන ක්ලේෂයන් ය.

නොසන්සිඳුන ලොවක සන්සිඳුන කෙනෙක් වන්නටත්, මෙතෙර නොරැඳී එතෙරට යන්නටත් අප කළ යුත්තේ කිසිවෙකුත් නොඉවසන තැන පවා සිහිනුවණින් යුතු ව ඉවසා සිටින්නට සමත්කමක් උපදවා ගැනීම ය.

-මහාමේඝ –