‘පිදිය යුත්තන් පිදීම’, සදාචාර සම්පන්න සමාජ සම්ප්‍රදායන් තුළ අගය කිරීමට ලක් වන්නකි. නුවණැති සත්පුරුෂයන් විසින් ද පසසනු ලබන්නකි. ලොව සුදුර්ලභ ව පහළ වන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් දෙව් මිනිස් ලෝකයාට යහපත, අභිවෘද්ධිය පිණිස පවතින්නේ යැයි වදරාණ ලද උතුම් මංගල කාරණයකි. එහිලා සැක කළ යුත්තක් නම් නැත. අද අප සැක කළ යුතුව තිබෙන්නේ නූතන සමාජ ක්‍රමය තුළ පිදුම් ලබන්නේ පිදුම් ලැබිය යුත්තා ම ද යන්න ය.

අසම වූ අනාවරණ ප්‍රඥා ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් පූජාර්හ උතුමන් පිළිබඳ දේශනා කොට වදාරා තිබේ. ලෝකොත්තර නිවන් මඟෙහි හික්මුණා වූ ආර්යයන් වහන්සේලා එහිලා මුදුන්තන්හි වැඩ වෙසෙති. දෙමාපිය, ගුරුවර, වැඩිහිටියන් ද පිදිය යුත්තන් බව ආර්ය විනයේ පෙන්වා දෙයි. අද නොපිට පෙරළී තිබෙන්නේ එය යි.

ආහාරපානාදිය ලැබීමට සැලැස්වීමෙන්, ඇඳුම් පැලඳුම් ලබා දීමෙන්, බේත්හේත් සපයා උවටැන් කිරීමෙන්, පිනට දහමට උපකාරක වීමෙන් යම් දරුවෙකු දෙමාපියන්ට සත්කාර සම්මාන දක්වන්නේ ද ඒ දරුවා බෝසත් ගුණ ඇතියෙකු යැයි කියමින් පසසනු ලැබීම ලාංකේය සමාජයේ මාපියන් බොහෝ දෙනෙකු විසින් සිදු කරන්නකි. දෙමාපියන් එසේ කරන්නා සේ ම දරුවෝ ද එය බලාපොරොත්තු වෙති. ‘අපි අම්මා තාත්තාට මේ මේ විදිහට යි සැලකුවේ’ කියමින්, සිතමින් තමන් ගුණැතියන් බව ඔවුන් විසින් ද ප්‍රකට කරවන්නේ එනිසාවෙනි. ඒ කරුණෙහි යම් නොගැළපීමක් ඇති බව අති බහුතරයකට එක එල්ලේ තේරුම් යන්නේ ද නැත. සැබැවින් ම, මේ සිදුවීමෙහි ඇති ගුණ පරිහානිය පහදා දිය හැක්කේ නුවණ මෙහෙයවා කල්පනා කරන සත්පුරුෂයනට පමණක් ම ය.

ආර්ය ධර්ම විනය තුළ පිදුම් ලැබිය යුත්තෝ වනාහි දෙමාපියෝ ය. සුගති උපතක රැකවරණ සැලසීමෙන් දරුවන් විෂයෙහි ඔවුන් සිදු කළ මහා උපකාරය වනාහී,සියක් වසරක් මුළුල්ලේ දෙවුරේ තබා ඔසවාගෙන සිටිමින් සෑම අයුරින් ම උපස්ථාන කළේ නමුදු දරුවනට ගෙවා නිම කළ නොහැකි අනුග්‍රහයකි. ඉදින්, දරුවන් විසින් සිදු කරනු ලබන ඇප උපකාරයන් ද පුණ්‍ය අනුග්‍රහයන් ද ගැන දරුවන් සිතිය යුත්තේ ‘අපට මේ සා මහෝපකාරී වූ අම්මා, තාත්තා කෙරෙහි අප කෙසේ නම් ප්‍රතිඋපකාර කොට අවසන් කරන්න ද…!’ යන සත්පුරුෂ සිතින් මිස ‘අප යි එය මැනැවින් කළේ’ යන පාපී මාන්නයෙන් යුතුව නොවේ.

ගුරු ගෝල සම්බන්ධතාවය ගැන ද කිව යුත්තේ එය ම ය. පිදුම් ලැබිය යුත්තා මග – නොමග මැනවින් තෝරා බේරා දෙන ගුරුවරයාය. එමගෙහි ගමන් කොට ලෝකයෙන් ප්‍රශංසා ලබන්නේ ගෝලයා විය හැකි ය. එවිට, තමා ගුරුවරයාට ද වඩා පිදුම් ලැබිය යුත්තෙකි යැයි, ගුරුවරයා විසින් ද පිදිය යුත්තෙකි යැයි යමෙකුට සිතෙන්නේ නම් එය සත්පුරුෂ භූමියට අයත් කරුණක් නොවේ. නමුත්, අද ලෝකය තිබෙන්නේ නොපිට පෙරළී ය. දෙමාපියන් දරුවන්ගේ ගුණ වැනිය යුත්තේ යැයි දරුවෝ සිතති. ගුරුවරු ගෝලයින්ගේ ගුණ වැනිය යුත්තේ යැයි ගෝලයෝ සිතති. දෙමාපිය, ගුරුවර, වැඩිහිටියන්ගේ ගුණවත් භාවය නිසා ස්වකීය දරුවන් ද ශිෂ්‍යයන් ද ප්‍රශංසාවට බඳුන් කරලීම නිතැතින් ම සිදු විය හැකි ය. එහි ද අප දැකිය යුත්තේ ගුණ දකිනා ගුණයෙන් යුතු උතුම් මිනිසුන්ගේ ගුණ ශෝභාව නොවේ ද?

සත්පුරුෂ ධර්මය දලුරිකිලි ලා වැඩී යන සත්පුරුෂ භූමිය වනාහි කළගුණ දන්නා බවත්, කළගුණ සිහිකරනා බවත් ය. ඒ භූමියේ පිහිටියවුන්ගේ සංකේතය බවට පත් වන්නේ පිදිය යුත්තා පිදීම යි. එනිසා, අති බිහිසුණු සසර කතරින් එතෙර වනු කැමැත්තෝ කළ යුත්තේ සමාජයේ මුල් බැස ගත් නොපිටින් වහා ම හොඳපිටට
හැරීම ය.