‘අලුත් අවුරුද්දක් එළඹුණා ය, අලුත් වන්නට සිතුවා ය’ කියා එපමණකින් අප අලුත් මිනිසුන් බවට පත් නොවේ. මන්ද, අපේ ජීවිත කථාව යා වී යන්නේ දැනට ගෙවී ගොස් ඇති – වසර ගණනකින් දැක්විය හැකි ආයුෂයට පමණක් නොව, පටන් ගත් කෙළවරක් නොපෙනෙනා අති දීර්ඝ සංසාර ගමනකට ද වීම නිසා ය. එහෙයින් ම, සතර අපාය මහගෙදර කොටගෙන පැමිණි සසර ගමනේ හුරුපුරුදුකම් වෙත ම අප සිත් නිරන්තරයෙන් නතු වෙමින් පවතී.

ඉතා සුළු කරුණෙහි පවා බොහෝසෙයින් කම්පා වෙමින්, ඒවා අත්හැරගත නොහැකිව කලබලයෙන්, ඒවා මත්තේ ම හැපිහැපී වෙහෙසට පීඩාවට පත් වෙමින් බොහෝ අය ජීවන අරගලයක නිරත වන ආකාරය ගැන අප පුදුම නොවිය යුත්තේ ඒ නිසා ය. මැරි මැරී, ඉපදි ඉපදී යන සසර ගමනේ එකම ප්‍රශ්නය නැවත නැවත මුණගැසීම ස්වභාවයකි. නොසිතූවිරූ අයුරින් අතිශය සමීපතමයන් ලෙසින් පවා චේතනාව මෙහෙයවමින් සිදු කළ කර්මයන්ගේ විපාකයන් බොහෝ දුක්පීඩා උපදවමින් අප කරා පැමිණෙන්නේ ඒ නිසා ය. සසර යනු එවැනි ඛේදනීය ස්වභාවයක් ඇති දුක්ඛිත ගමනකි. මේ සාංසාරික ස්වභාවය තේරුම් නොගන්නා තාක් කල්, සසර ස්වභාවය මෙනෙහි කරන්නට නොපෙළඹෙන තාක් කල් දුරදිග නොබලමින් – ළඟ පමණක් ම බලමින් සිත කය වචනය හැසිරවීම වැළැක්විය නොහැකි ය. පෙනෙන දුරට පමණක් පටු වූ සිත සිදු කරන්නේ සිතට වුවමනා දෙය විනා සසර ගැටළු විසඳාලීමට වුවමනා දෙය නොවේ. සිත පටු වූ කල්හි කෙනෙකු අතින් කෙරෙනා සුළු වරද පවා බරපතළ කර්ම විපාක උපදවමින් ඒ තැනැත්තා ව නිරයේ උපතක් කරා ගෙනයාමට වුව සමත් වන බව ධර්මයේ පෙන්වා දේ.

පටු සිතක පවත්නා මේ අනතුරු සහගත ස්වභාවය පිළිබඳ ව අපගේ ශාස්තෘන් වහන්සේ ලෝණඵල සූත්‍රයේ දී මෙසේ පෙන්වා වදාළ සේක.

“මහණෙනි, මේ ලෝකයේ කෙනෙක් ඉන්නවා. එයා කරන්නේ බොහොම පුංචි වැරැද්දක්. හැබැයි එයාට ඒක නිරයේ උපදින්න හේතුවක් වෙනවා.

මහණෙනි, කෙනෙකුට පුංචි වැරැද්දක් වුණොත් ඒ පොඩි වැරැද්ද නිරයේ උපතකට හේතුවක් වෙනවා නම්, ඒ පොඩි වැරැද්ද එයාව නිරයේ උපතක් කරා රැගෙන යනවා නම් එහෙම වෙන්නේ මොකද? පින්වත් මහණෙනි, ඔහු ජීවිතය දියුණු කළ කෙනෙක් නෙවෙයි. සීලය දියුණු කළ කෙනෙක් නෙවෙයි. සිත දියුණු කළ කෙනෙක් නෙවෙයි. ප්‍රඥාව දියුණු කළ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහුට තියෙන්නේ පටු සිතක්.

මහණෙනි, මෙබඳු පුද්ගලයා අතින් අල්ප වූ අකුසල කර්මයක් කයෙන් වේවා, වචනයෙන් වේවා, සිතින් වේවා සිදු වුණොත් නිරයේ උපදින්න එයාට ඒක ප්‍රමාණවත්.”

පටු සිතකින් යුතු තැනැත්තා ගුණදහම් උපදවා ගන්නට ද යම් යම් ගුණයක් උපදවා ගත්ත ද ඒවා රැකගන්නට ද අදක්ෂ ය. ඉතා සුළු දෙයටත් බොහෝ කොට කම්පා වන එවැන්නවුන්ගේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ උපමා කොට වදාළේ කුඩා භාජනයකට ය. වතුර ස්වල්පයක් ඇති කුඩා භාජනයකට ලුණු කැටයක් එක් කළ කල්හි ඒ ස්වල්ප වතුර ප්‍රමාණය ලුණු රසයෙන් යුතු වන්නේ යම් සේ ද පටු සිතකින් යුතු තැනැත්තාගේ ජීවිතය ඉතා කුඩා පාප කර්මයෙන් වුව ද සහමුලින් ම වැසී යන්නේ ය.

සිත පටු ද පුළුල් ද කියා මැනිය හැක්කේ ද ධර්මයෙන් ම ය. එනම්, සිත පටු වූ කල්හි ගුණය රැඳෙන්නේ නැත, පවතින්නේ ද අල්ප ගුණයකි, සුළු කරුණින් පවා විඳව විඳවා දුකසේ වාසය කරයි. ඉදින් අප මිනිස් ලොව උපන්න ද පෙර යම් අකුසලයකින් අප ව සතර අපායේ ඉපදවූ ස්වභාවයන් නොසිඳී පවත්නා බැවින් එවැනි ම වූ අකුසලයන් වෙත නැඹුරු වීමට පටු සිත හේතු වේ.

ධර්මය පෙරට ගෙන සිත පුළුල් ව නොවැඩුවහොත් හුරුපුරුදු පාපී ස්වභාවයනට ම නතු වෙමින් අකුසලයේ දිශාවට ඇදී යාම හැර අපට රැකවරණයක් නම් නැත. එනිසා අප කැමති විය යුත්තේ පුළුල් සිතක් උපදවා ගැනීමට ය.

පුළුල් සිතක් උපදවා ගන්නට නම් අප ජීවිතය දැකිය යුත්තේ ම අද ඊයේ ගමනක් ලෙස නොව අතිශයින් දීර්ඝ සසර ගමනක් ලෙස ය. සසරේ කොපමණ වාර ගණනින් අප අද මුහුණපාන්නාක් වැනි ම වූ ගැටළුවලින් විඳව විඳවා සිටින්නට ඇති ද කියා සිතමින් ඉවසීමෙන් යුතුව, නුවණින් යුතුව, වීරියෙන් යුතුව ධම්මානුධම්ම පටිපදාවේ ම යෙදෙමින් ධර්මයේ පිහිට පිළිසරණ සලසා ගැනීමට අප උත්සාහවත් විය යුතු ය. බිහිසුණු සසර නවත්වන්නට හැකි අන් මඟක් නැත.