ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යනු රටක් පාලනයෙහිලා ක්‍රියාත්මක ආණ්ඩු ත්‍රිත්වය යැයි කියැවේ. එහිලා හතරවැන්න වන්නේ ‘ජනමාධ්‍යය’ යි. දියුණු සන්නිවේදන ක්‍රමෝපායන් සහිත වර්තමානයේ සමස්ත සමාජ යාන්ත්‍රණයට ම වැඩි ම බලපෑම් එල්ල කරනුයේ ද මේ හතරවන ආණ්ඩුව බව නොරහසකි.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යනු සම්මත නීතිරීති මාලාවන් ඔස්සේ ක්‍රියාත්මක වන දේවල් බැවින් ඒවායේ විශ්වාසනීයත්වය, නිරවද්‍ය භාවය ඕනෑම අවස්ථාවක දී ප්‍රශ්න කිරීමට ද අභියෝගයට ලක් කිරීමට ද හැකි වන අතර ඒ සම්බන්ධයෙන් නීතිරීතීන්ට අනුකූල ක්‍රියාමාර්ගයන් ගැනීමට ද අවස්ථාව තිබේ. නමුත්, ජනමාධ්‍ය සම්බන්ධයෙන් මේ කාරණය යම් වෙනස් ස්වභාවයක් ගනී. මාධ්‍ය සදාචාරය සම්බන්ධ රීතීන් අනුගමනය කිරීම ජනමාධ්‍යයේ වගකීම විය යුතු වුව ද අද ජනමාධ්‍ය අතර පවත්නේ ද මහා තරඟයක් ම වන බැවින් පළමුවෙන් සහ වැඩි වශයෙන් ජනගත වීමේ අභිලාෂය මුල් කොටගත් මාධ්‍ය සම්ප්‍රදායන් වඩාත් ජනප්‍රිය වී ඇති බව පෙනෙන්නට තිබේ. නිරවද්‍ය භාවය යන කාරණයට වඩා නාටකානුරූපී ව සිදුවීම් වාර්තා කරලීම ගැන උත්සාහවත් වන ආකර්ෂණීය මාධ්‍ය සංස්කෘතියක් බිහි වීමේ පදනම එය යි.

ජනමාධ්‍යයේ මෙකී හැසිරීමට කිසිසේත් නොදෙවෙනි හැසිරීමකින් සමාජය ද යුතු වීම මෙහි ඇති ගැටළුකාරී තත්ත්වය යි. මාධ්‍ය ඔස්සේ වාර්තා වන්නේ යම් අයුරකින් ද ඒ අයුරින් ම පිළිගන්නට නොඉවසිලිමත් සමාජය එකී පිළිගැනීම් ඔස්සේ ක්ෂණික ව අදහස් දක්වන්නට ද සමාජ මාධ්‍යය තුළින් ඒ අදහස් බෙදා හරින්නට ද කිසිදු පැකිළීමක් නොදක්වයි. ඒ ඇතැම් අදහස් උදහස් අතිශයින් ද්වේෂ මූලික වනවා පමණක් නොව අන් අය තුළ ද ද්වේෂය උපදින්නට හේතුපාදක වන බව පැහැදිලි ව පෙනී යයි. එහෙත්, ටික කලෙකින් ම එකී මුල් පුවතේ කරුණු කාරණා නිරවද්‍ය නොවන බව දක්වමින් වෙනත් ප්‍රවෘත්තීන් ද එම මාධ්‍යය ඔස්සේ ම වාර්තා කෙරේ. එවිට, තමා බැසගත් මුල් මතයෙන් වෙනස් වී නවතම කරුණු දැක්වීම් අනුව තම අදහස් දැක්වීමට හා බෙදා හැරීමට පිරිස් පෙළඹේ. මෙකී දෙවන අවස්ථාවේ දී පෙර ද්වේෂයට බඳුන් වූ පුද්ගලයන් නිදොස් කොට නිදහස් වූවන් වන්නට ද ඕනෑ තරම් ඉඩ තිබෙන බව පසුගිය මාස කිහිපයේ පුවත් විමසා බැලුවහොත් තහවුරු කර ගත හැකි ය.

එවැනි අවස්ථාවල දී ඔවුන්ගේ නිවැරදි බව පිළිගත්තේ වුව ද එපමණකින්, පෙර ඔවුන් කෙරෙහි ද්වේෂය ඉපදවීමෙන් ද අන්‍යයන්ගේ සිත්හි ද්වේෂය ඉපදවීමට කටයුතු යෙදීමෙන් ද උපන් අකුසලයන්හි විපාකයන් සිඳී යන්නේ නැත. ජනමාධ්‍ය තුළින් වාර්තා කෙරෙන පුවත් ඒ මොහොතේ ම ඒ අයුරින් ම පිළිගෙන විනිශ්චයට බඳුන් කරලීමට අප ඉක්මන් නොවිය යුත්තේ ඒ නිසා ය. මෙබඳු ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතියක් බුද්ධකාලීන ව වූයේ නම් තීර්ථකයන් විසින් සුන්දරී පරිබ්‍රාජිකාව ඝාතනය කරවා ඝෝෂිතාරාමයේ වළලා දමා එය සම්බුදුරජුන් ප්‍රමුඛ සංඝයා විසින් කරන ලද්දේ යැයි චෝදනා කරන ලද සිදුවීම අරබයා ලෝක සත්වයා කොතරම් නම් අකුසල් රැස් කරලන්නට ඉඩ තිබුණේ ද? එහිලා සම්බුදුරජුන්ගේ නිදොස් බව ලෝකයා දැනගත්තේ ද සතියක කාලයක් ඉක්ම ගිය පසු බව අප සිහි තබා ගැනීම වැදගත් ය.

එනිසා, ප්‍රවෘත්තීන්ගෙන් පැවසෙන දේ ඒ අයුරින් ම පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ අප ඉක්මන් නොවිය යුතු ය. දුර්ලභ මිනිසත් බව ලබා, අතිශය දුර්ලභ සම්බුද්ධ ශාසනය ද මුණගැසුනු මෙවන් වටිනා ජීවිතයක අසන්නට දකින්නට ලැබෙන සිදුවීම් තුළ අප සිහි කර ගත යුත්තේ අපගේ සසර කථාව යි. බිහිසුණු මිනීමැරුම්, මංකොල්ල කෑම්, අපරාධ හා අපචාරයන් තුළ අප සිහි කළ යුත්තේ සසර දුක යි. අකුසල කර්මයන්හි අවම විපාකයන් විඳිනා මිනිස් ලෝකය ද එවැනි ඛේදනීය භාවයන්ගෙන් පිරී තිබේ නම්, සතර අපාගත ව විපාක විඳින්නට වන අකුසලයන් කොතරම් නම් කටුක දුක් සහිත වනවා ඇති ද? අප කළ යුත්තේ ඒ බව දැක අකුසල නසන්නට ද කුසල් උපදවන්නට ද උත්සුක වීම මිස කවුරුන් නිවැරදි ද කවුරුන් වැරදි ද යන්න විනිශ්චය කිරීම නොවේ.