අප ජීවිතයේ කුමන වයස් සීමාවක සිටියත් අප නිතර ඇසුරු කරන පිරිස කරන කියන හොඳ නරක දේවල් අපගේ අනාගතය තීරණය කරන්න ප්‍රධාන වශයෙන් හේතු පාදක වනු ඇති. අපිට මෙම සමාජයේ විවිධ ආගම් අදහන, විවිධ භාෂාවන් කතා කරන, විවිධ ගතිගුණ තියෙන අය ඇසුරු කරන්න ලැබෙනවා. නමුත්, ගුණවතා නුගුණවතා කවුද කියලා තේරුම් බේරුම් කර ගැනීම අපහසුයි.

ඇතැම්විට, ‘හොඳයි’ කියලා මුළු හදවතින්ම විශ්වාස කරපු අසත්පුරුෂ බාලයාගේ ඇසුර නිසා ජීවිතයේ වැරදුණ තැන් එමටයි. එනිසා දින සති මාස අවුරුදු ගණන් විඳවපු දුක් වේදනාවන් ද අපමණයි. ඇතැම් සිදුවීම්වල දී ඒ වෙලාවට චූටි සතුටක්, චූටි ආස්වාදයක් ලැබුණා තමයි. නමුත්, මේ සිදුවීම් අවසානයේ ඉතිරි වෙන්නේ දුගතිගාමී අකුසල් ගොඩක් හා ජීවිතය පුරාවට පසුතැවිල්ලක්, කලකිරීමක් විතරයි.

“පාපෝ’පි පස්සති භද්‍රං – යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං – අථ පාපෝ පාපානි පස්සති”

“කරගත්තු පව් විපාක නොදී තියෙන කල් විතරයි ඒ පුද්ගලයාට ඒ පව් ලස්සන දෙයක් වගේ පේන්නෙ. නමුත් විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි ඒ පව්වල හැබෑ ස්වභාවය ඒ පාපී පුද්ගලයාට පේන්නේ.”

හඬන වැළපෙන ජීවිතවලට සතුට සොම්නස හොයාගෙන අද සමාජයේ බොහෝ මිනිස්සු බාලයන්ගේ ඇසුර නිසා දේවාලවල යකුන් යකින්නියන් සරණ යනවා. තවත් සමහරු කේන්දර හිස් මුදුණේ තියාගෙන කේන්දර පොළවලට රිංගනවා. නමුත් ඒ අයට සිද්ධ වෙන්නේ අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු වීම විතරයි. හරියට කබලෙන් ළිපට වැටෙනවා වගේ එක ප්‍රශ්නයක් විසඳගන්න ගිහින් තවත් ප්‍රශ්න ගොඩක පැටලෙනවා. මේ වගේ දේවල් වෙන්න හේතුව තිසරණයෙන් ඈත්වීමත්, සත්පුරුෂ කලණ මිතුරන්ගෙන් ඈත්වීමත්.

ඒ නිසා අප හා ඇසුරට එන බාල අදහස් ඇති අය හඳුනාගැනීමට අප දක්ෂ විය යුතුයි. නමුත් එය හිතන තරම් ලේසිපහසු කටයුත්තක් නෙවෙයි. අද හොඳට ඉන්න කෙනා හෙට වෙනස් වෙනවා. එනිසයි පුද්ගලයන්ගේ ස්වභාවයන් ගැන හොඳින් දන්නා කෙනෙකුගේ අවවාද අනුශාසනා ගොඩක් උපකාර වෙන්නේ. මිනිසුන්ගේ පමණක් නෙවෙයි; දෙවියන්ගේ ස්වභාවයත් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ ‘සත්ථා දේවමනුස්සානං’ (දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘ වූ) බුදුරජාණන් වහන්සේ ඇසුරු නොකළ යුතු අසත්පුරුෂයන්, ඇසුරු කළ යුතු සත්පුරුෂයන් ගැනත් මෙසේ වදාළ සේක.

“අසත්පුරුෂයා යනු කවරෙක් ද?

මහණෙනි මෙහිලා ඇතැමෙක් සතුන් මරන්නේ වෙයි, සොරකම් කරන්නේ වෙයි, වැරදි කාම සේවනයෙහි යෙදෙන්නේ වෙයි, බොරු කියන්නෙ වෙයි, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වෙයි, අනුන් සතු දෙයට ලෝභ කරන්නේ වෙයි, ද්වේෂ කරන්නේ වෙයි, මිසදිටු ගත්තේ වෙයි. මහණෙනි, මොහුට ‘අසත්පුරුෂයා’ යැයි කියනු ලැබේ.

‘අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා’ යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමන් සතුන් මරන්නේ වෙයි, අන් අය සතුන් මැරීමෙහි යොදවන්නේ වෙයි. තමන් සොරකම් කරන්නේ වෙයි, අන් අය ද සොරකම් කිරීමෙහිලා යොදවන්නේ වෙයි, තමන් වැරදි කාම සේවනයේ යෙදෙන්නේ වෙයි, අන් අය වැරදි කාම සේවනයෙහි යොදවන්නේ වෙයි, තමා බොරු කියන්නෙ වෙයි, අන් අය ද බොරු කීමෙහි යොදවන්නේ වෙයි, තමාත් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ වෙයි, අන් අය ද මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙහි යොදවන්නේ වෙයි, තමන් අනුන් සතු දෙයට ලෝභ කරන්නේ වෙයි, අන් අය ද අන්සතු දෙයට ලෝභ කිරීමෙහි යොදවන්නේ වෙයි, තමා ද්වේෂ කරන්නේ වෙයි, අන් අය ද ද්වේෂ කිරීමෙහි යොදවන්නේ වෙයි, තමාත් මිසදිටු ගන්නේ වෙයි, අන් අය ද මිසදිටු ගැනීමෙහි යොදවන්නේ වෙයි.

මහණෙනි, මොහු අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා යැයි කියනු ලැබේ.”

අද සමාජයේ මිනිස්සු වෙනදාටත් වැඩියෙන් අනුන්ගේ දේවලට ආශා කරනවා. කෙසේ හෝ තමා සතු කරගන්න බලනවා. ඒ දේවල් තමන් සතු කරගන්න බැරි නම් විනාශ කරලා හරි දානවා. අද බොහෝ දෙනා ද්වේෂයෙන් වියරු වැටිලා අන් අයට ද ද්වේෂය වපුරමින් ඉන්නවා. පින් – පව්, කුසල් – අකුසල් කතාව ඈත්වෙලා අන් අයට හිංසා කිරීම, පීඩා කිරීම හොරකම් කිරීම ජීවිතයට නැතුවම බැරි දෙයක් වෙලා. බස් නැවතුම්පළක්, බස් නැවතුම්පළක් ගානේ ‘රූම්’ කියලා තියෙන මුඩුක්කු කාමර අස්සේ වැරදි කාමසේවනය අද කිරුළු පලඳිනවා. අහෝ…! මේ ජීවිතේ සැප ලබන්න හිතාගෙන මොවුන් සසරට දුගතිගාමී වන බොහෝ අකුසල් රැස් කර ගන්නවා. මෙබඳු අයගේ ඇසුරක් විඳීම නිසා මෙලොව අසුභදායී වෙනවා.

අතීත, අනාගත, වර්තමාන සියල්ල දකිනා, සියල්ල දන්නා භාග්‍යවතුන් වහන්සේ අපට ඇසුරට සුදුසු පුද්ගලයන් ගැන ද වදාළ සේක.

‘සත්පුරුෂයා’ යනු කවරෙක් ද?

මහණෙනි, මෙහිලා ඇතැමෙක් සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. අන්සතු දේට ලෝභ නොකරන්නේ වෙයි. ද්වේෂ නොකරන්නේ වෙයි. සමදිටු ගත්තේ වෙයි. මහණෙනි, ‘සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා’ යනු කවරෙක් ද? මහණෙනි, මෙහිලා ඇතැමෙක් තමා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. අන් අය ද සතුන් මැරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමන් සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි, අන් අය ද සොරකම් කිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි, තමන් වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. අන් අය ද වැරදි කාම සේවනයෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමන් බොරු කීමෙන් වැළකුණේ වෙයි, අන් අය ද බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමාත් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකුණේ වෙයි. අන් අය මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකීමෙහි සමාදන් කරවන්නේ වෙයි.

තමන් අන් සතු දෙයට ලෝභ නොකරන්නේ වෙයි. අන් අය ද අන්සතු දේට ලෝභ නොකිරීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමන් ද්වේෂ නොකරන්නේ වෙයි. අන් අය ද ද්වේෂ නොකිරීමෙහි සමාදන් කරවන්නේ වෙයි. තමාත් සමදිටු වෙයි. අන් අය ද සමදිටුවෙහි සමාදන් කරවන්නේ වෙයි. මහණෙනි, මොහු සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා යැයි කියනු ලැබේ.”

මේ ලෝකයේ සත්පුරුෂයන්ටත් වඩා සත්පුරුෂයන් සොයා ගැනීම දුර්ලභයි. සිටිනවා නම් සිටින්නේ බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් අතර පමණයි. යම් කෙනෙක් බුද්ධ ශාසනයෙන් පිට මෙවැනි සත්පුරුෂයන් හොයනවා නම් ඔහුට ඊට වඩා පහසුවෙන් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලා ගන්න පුළුවන්. මක් නිසා ද යත් අන් කිසිම ආගමක සත්පුරුෂයන්ටත් වඩා සත්පුරුෂයන් නොමැති නිසා.

ලෝභයෙන් ද්වේෂයෙන් කැළඹුන සිත් සන්සිඳුවන හැටි කියලා දෙන, රාගයෙන් ගිනිගෙන දැවෙන හිත්වලට ඒ ගින්න නිවන හැටි කියලා දෙන සත්පුරුෂයන් ඇසුරු කරනවා නම් ඔහු නෑදෑයන් සමඟ ඉන්නවා වගේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

“බාලසංගතචාරීහි – දීඝමද්ධාන සෝචති
දුක්ඛෝ බාලේහි සංවාසෝ – අමිත්තේනේව සබ්බදා
ධීරෝ ච සුඛසංවාසෝ – ඤාතීනං’ව සමාගමෝ”

“අසත්පුරුෂ බාල ජනයන් එක්ක එකට ජීවත්වෙන්ට ගියොත් බොහෝ කලක් ශෝක කරන්ට වෙනවා. ඔය අඥානයින් සමග වාසය කරන්ට ලැබීම නම් දුකක් ම තමයි. හැම තිස්සේම හතුරෝ එක්ක ඉන්නවා වගේ. නමුත් ප්‍රඥාවන්ත කෙනා සමඟ ඇසුරු කිරීම හරි සැපයි. නෑදෑයොත් එක්ක එකට ඉන්නවා වගේ.”

හතුරෝ සමඟ සිටිනවා ද නෑදෑයන් සමඟ සිටිනවා ද යන්න තීරණය කිරීම ඔබ සතුයි.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි