හේමන්ත ඍතුවේ මැදින් පුර පසළොස්වක පොහොය සමඟ ම ලබන වසන්ත සමය මේ මහපොළොව මත උපන් මිනිසුන්ගේ පමණක් නොව සතා සිවුපාවුන්ගේ ද සිත්සතන් තුටින් පුරවන්නට සමත් වෙයි. නිකෙලෙස් මුනි වදනින් වසන්තයේ සුන්දරත්වය වර්ණනා වුණු සොඳුරු ගාථාවන් සිහිපත් වන ස්නේහයේත්, කරුණාවේත්, මාතෘ පීතෘ සැබැඳියාවේත්, දේශානුරාගයේත්, ජාතිවාත්සල්‍යයේත් උත්තරීතර වූ නිරාමිස ලෝකාර්ථ චර්යාවක විශ්මය දනවන වෘත්තාන්තය සිහිපත් වන සෞම්‍ය පුන් පොහෝ දිනය මැදින් පුර පසළොස්වකයි.

පොහොය වැදගත්කම

අපගේ භාග්‍යවතුන් වහන්සේ සිය ජන්මලාභය ලැබූ කපිලවස්තුවට වැඩම කිරීමට ගමන් ඇරඹියේ අද වැනි උතුම් දිනකයි. මැදින් පෝ දින ඇති ප්‍රකට වැදගත් සිදුවීම එය පමණක් වුව ද එම දහම් චාරිකාවට ආරාධනා කිරීමේදීත්, කපිලවස්තුවට වැඩම කළ පසුවත් සිදු වූ ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් ම ශ්‍රාවකයාගේ සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් සනසන්නට සමත් වෙයි.

අසීමිත ඉවසීමක්

ගත වෙමින් තිබුණේ තම ප්‍රාණසම පුත්රුවන, ශාක්‍ය රාජමාළිගයෙන් නික්මී හත්වැනි වසරයි. පුත්‍ර වියෝවෙන් හිස් අහස දෙස ම බලා සිට ගෙවුණු රාත්‍රීන් සුදොවුන් මහරජුගේ සිත තුළ සාංකාව වැඩිකරයි. බුද්ධිමත් අමාත්‍යවරයකු ඇමතූ මහරජු “පුත්‍රය, උන්වහන්සේ නික්මී වසර හයක් ම කළ ආර්ය පර්යේෂණය නිමවා ගයාවේ නදීතෙර සම්බුද්ධත්වය සාක්ෂාත් කොට ඇත. ධර්ම චක්‍රය ද කරකවා බොහෝ සව්වන් ද තනා සිය ප්‍රඥා සන්දේශය පතුරවමින් බිම්බිසාර මහ නිරිඳුන්ගේ රටෙහි අගනුවර ගිරිව්‍රජයෙහි වේළුවනයේ වැඩ වසන්නේලු මාගේ පුතණුවෝ. ඔබ ජවසම්පන්න පුරුෂයින් දහසක් සමඟින් ගොස් උන්වහන්සේ අප දේශයට වැඩම කරවාගෙන ආ යුතු ය.”“එසේය මහරජුනි…” දහසක් පිරිවර සමඟ රජගහ නුවරට ගිය අමාත්‍යතුමා ඒ වන විටත් ඇරඹී තිබූ දම් දෙසුම ශ්‍රවණයට පසෙකින් තැන්පත් වූයේ ය.

අහෝ… ඒ විස්මිත දහමේ අසිරිය. ඔවුහු අවබෝධ කළහ. සදාකාලයට ම නිවී ගියාහු ය. ඒහිභික්ෂු පැවිදි උපසම්පදාලාභී එක්දහස් එක්නමක් රහත් තෙරවරු ලොවට දායාද වූහ. විමුක්ති රසයෙහි ම සැනසී ගිය ප්‍රධාන රහතන් වහන්සේගේ සිත සුදොවුන් නිරිඳුගේ රාජකාරිය වෙත යොමු නොවුණි.

රාජකීය දූතයන් නැවත පැමිණෙන හැඩක් නැත. ඔටුන්න හිමි අතිජාත රාජ පුත්‍රයා ද අතහැර ගිය මාළිගයට එය අමුත්තක් නොවී ය. අප සුදොවුන් මහරජාණෝ දෙවැනි වර ද
බුද්ධිමත් අමාත්‍යවරයෙකු කැටිව දහසක් පුරුෂයින් පිටත් කොට යැවූහ. පෙර සේ ම ය. මෙසේ නව වතාවක් ම කරන්නට සිදු විය. සත් වසරක් බලා සිටි මහරජුට එය ද ඉවසිය හැකි විය.

කාළුදායී තෙරණුවෝ මහ බෝසතාණෝ උපන් දිනයේ ම පහළ වූ රත්නයන් සතෙකි. සක්විති රජිඳුන්ට සේ ය.

“බෝධිසත්තේන හි සද්ධිං බෝධිරුක්ඛෝ, රාහුලමාතා, චත්තාරෝ නිධී, ආරෝහනියහත්ථි, අස්සකණ්ඩකෝ, ඡන්නෝ, කාළුදායීති ඉමේ සත්ත ඒකදිවසංයේව ජාතත්තා සහජාතා නාම අහේසුං”

“අප මහා බෝසතාණන් සමඟ බෝධි වෘක්ෂය, රාහුල මාතා යශෝධරාව, සතර මහා නිධානය, ආරෝහනිය හස්තිරත්නය, කන්ථක අශ්වයා, ඡන්න අමාත්‍යතුමා, කාළුදායී අමාත්‍ය පුත්‍රයා යන මේ සත්දෙනම එක ම දින උපන් බැවින් ‘සහජාත’ නම් වේ.”

(කාළුදායී ථේරගාථා වණ්ණනා පරමත්ථදීපනී ථේරගාථා අට්ඨකථා)

කාළුදායී අමාත්‍යතුමා මහා පිනැතියෙකි. මාතෘ දේශයට අප තථාගතයන් වහන්සේ වැඩමවීම පිණිස ප්‍රධාන භූමිකාව සකසනුයේ උන්වහන්සේ ය. කාළුදායී තෙරණුවෝ ‘කුලප්පසාදක’ – කුල පහදවන භික්ෂූන් අතර අග්‍ර වන්නේ ය. පදුමුත්තර බුදුරජුන් කල සිට එන අභිනීහාරයකි. ඔහු පියුමතුරා සසුනෙහි ඒ පිණිස පින් කොට දෙව් මිනිස් සුගතියෙහි සැරිසරන්නේ අපගේ බෝසතුන් මව්කුස පිළිසිඳ ගන්නා දින ම කපිලවස්තුවේ අමාත්‍ය ගෘහයක පිළිසිඳ ගත්තේ ය. බෝසතුන් සමඟ උපන් හෙයින් එදින ම ඉතා සිනිඳු කොට්ටයක සතපා බෝධිසත්වයන්ගේ උපස්ථානයට පැමිණවීය.

“අථස්ස නාමග්ගහණදිවසේ සකලනගරස්ස උදග්ගචිත්තදිවසේ ජාතත්තා උදායීත්වේව නාමං අකංසු, ථෝකං කාළධාතුකත්තා පන කාළුදායීති පඤ්ඤායිත්ථ”

“ඒ කුමරුන්ට නම් තබන දවසේදී මුළු නුවර වැසියන්ම සතුටින් ඔද වැඩී ගිය දිනෙක උපන් බැවින් ‘උදායී’ යන නාමය තබන ලදී. මඳක් සම කළු පැහැයෙන් යුතු නිසා ‘කාළුදායී’ යන නාමයෙන් ප්‍රකට විය.”

(පරමත්ථදීපනී)

තුන්ලොවට පහළ වූ අසහාය ශාස්තෘ රත්නය සිය ජාතභූමියට වැඩමවීමේ පුණ්‍යාධිකාරධර කාළුදායී අමාත්‍යතුමාට ස්නේහයෙන් අමතා, “පුතේ, වැලි කෙළියේ පටන් ඔබගේ මිත්‍ර මාගේ පුතණුවන් වහන්සේ මාගේ දෙනෙත් පියවෙන්නට පෙර මාළිගයට පමුණුවන්න.” යැයි සුදොවුන් මහරජු පවසා සිටියේ ය. “උන්වහන්සේ වෙත ශ්‍රමණ දම් පුරන්නට අවසරය ලැබෙන්නේ නම් ඒ වගකීම මම භාර ගනිමි මහරජතුමනි.” මහරජු එකඟ විය.

වේළුවනයේ දී කාළුදායී අමාත්‍යතුමාත්, දහසක් පිරිවරත් අනුත්තර දහම් අසා සදහටම නිවී ගියෝ ය. පැවිදි උපසම්පදාව ලදහ. ශාක්‍ය ජනපදයෙන් ම පැමිණ අරහත් වූවෝ දසදහස්නමකි. අංග මගධ දෙරටින් පැවිදි වූවෝ දසදහස්නමකි. සියල්ලෝ විසිදහස්නමකි. දහම් සක කරකැවී යන්නේ ය. ලෝ සතුන් සුවපත් වන්නේ ය. ගොයුම් සසුන් සිරි පැතිරී යන්නේ ය.

සොඳුරු ඇරයුම

බුද්ධත්වයෙන් දස මසක් ගෙවී ගියේ ය. උදා වූයේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයයි. කාළුදායී තෙරුන් පැවිදිව සත් දිනක් ගත වී තිබුණි. විසිදහසක් රහතන් වහන්සේලා පිරිවරා වැඩ සිටි අප භාග්‍යවතුන් වහන්සේ ඇහැළ මල් විමනක රන් රුවක් සේ ය. කාළුදායී තෙරුනුවෝ දණින් වැඳ වැටී නැඟිට දෑඟිලි එක්කොට අඤ්ජලී කර්මයෙන් සිට මෙසේ වදාළහ. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දැන් වෘක්ෂයෝ පැරණි පත් සලා ගිනි අඟුරු පැහැ දලුයෙන් සොඳුරුව සුවඳ මලින් සැරසී ඵල දැරීමට රිසියෙන් පසුවෙත්. මහා වීරයන් වහන්ස, භගීරථ පරම්පරානුයාත ශාක්‍යයන්ට යහපත පිණිස එහි වැඩම කිරීමට මේ සුදුසු කාලයයි. ඉතා ශීතත් නොවූ – උෂ්ණත් නොවූ මේ වසන්ත ඍතුව සුව ගෙන දෙයි. ගමනට සුදුසු ය. පැසුළු දිගට මුහුණලා රෝහිණී නදියෙන් එතෙර වන ඔබ වහන්සේව ශාක්‍ය කෝලිය රජහු දකිත්වා!”

“වීරෝ හවේ සත්තයුගං පුනේති – යස්මිං කුලේ ජායති භූරිපඤ්ඤෝ
මඤ්ඤාමහං සක්කති දේවදේවෝ – තයා භි ජාතෝ මුනිසච්චනාමෝ”

“යම් කුලයක වීර වික්‍රමාන්විත ගම්භීර ප්‍රඥා ඇති පුද්ගලයෙක් උපදින්නේ ද ඒ උතුම් පුද්ගලයා නිසා සත්මුතු පරම්පරාවක් ම පිරිසුදු වෙතියි ලොව අදහසක් පවතී. ඔබවහන්සේ ආර්ය ජාතියේ උපන් සත්‍ය නාම වූ මුනිවරයා ය. දෙවියන්ට දෙවි වූ භාග්‍යවතුන් වහන්සේට ඊටත් වඩා සත්වයන් පිරිසුදු කරන්නට පුළුවන් බව මගේ හැඟීමයි.” මෙසේ ගාථා හැටකින් කපිලවස්තුවට වැඩම කිරීමට සුදුසු කාලය බව හඟවමින් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළේ ය. විසිදහසක් රහතුන් පිරිවැරූ අපගේ බුදුරජාණන් වහන්සේ යොදුන් හැටක් දුර ගමනට පිළිපන් සේක. සෑම දිනක ම ඍද්ධියෙන් ශාක්‍ය මාළිගයට වඩින කාළුදායී තෙරණුවන් මහරජුට තතු පවසා සිත් පහදවා පිණ්ඩපාත දානය රජු වෙතින් පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් පූජා කරන්නේ ය. ප්‍රථම දින අහසින් මාළිගයට වැඩි තෙරුන් දැක හඳුනාගත නොහැකිව නුඹ කවුදැයි විමසූ රජුට උන්වහන්සේ මෙසේ වදාළ සේක.

“බුද්ධස්ස පුත්තෝම්හි අසය්හසාහිනෝ – අංගීරසස්සප්පටිමස්ස තාදිනෝ
පිතු පිතා මය්හං තුවංසි සක්ක – ධම්මේන මේ ගෝතම අය්‍යකෝසී”

“ශාක්‍ය රජුනි, මම; ඉවසීමට අතිශයින් දුෂ්කර දේ ද ඉවසන, අංගීරස වූ උපමා රහිත අප්පටිම වූ තාදී ගුණැති බුදුපියාණන්ගේ පුත්‍ර වෙමි. නුඹවහන්සේ මාගේ පියාණන්ගේ පියා වන්නේ ය. ගෞතමය, ස්වභාවයෙන් ම ඔබ මාගේ මුත්තණුවන් වන්නේ ය.”

(ථේර ගාථා පාළි)

දිනකට යොදුනක් බැගින් වැඩි බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය දින හැටක් ගිය තැන කිඹුල්වතට සම්ප්‍රාප්ත වූහ. මෙසේ කිඹුල්වත්පුර වැඩි අපගේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම දින ම යමාමහ පෙළහර පා ශාක්‍ය මානය බිඳ, දමනය කළෝ ය. දෙවැනි දින පිඬු සිඟා වැඩි වීථියේ දී, “උත්තිට්ඨේ නප්පමජ්ජෙය්‍ය” ගාථා රත්නය වදාරා සුදොවුන් රජු සෝවාන් ඵලයෙහි පිහිටුවා ඒ දින ම මාළිගයෙහි දී “ධම්මං චරේ සුචරිතං” ගාථාවෙන් දහම් දෙසා සකදාගාමී ඵලයෙහි පිහිටවූහ. එම දහම් ඇසූ ප්‍රජාපතී මෑණියන් වහන්සේ සෝවාන් විය. එසේම නිග්‍රෝධාරාම පූජාවත්, යශෝදරාවන් මුල් කොට චන්දකින්නර ජාතකය දේශනා කිරීමත්, නන්ද කුමරුන් පැවිදි උපසම්පදා කිරීමත්, යශෝධරාවගේ නරසීහ ගාථා අසා බුදුරදුන්ගෙන් දායාද ඉල්ලීමට පැමිණි රාහුල කුමරුන් පැවිදි කිරීමත්, මහා ධර්මපාල ජාතක දේශනාවත්, එම දෙසුම අසා සුදොවුන් රජු අනාගාමී වීමත් යන වැදගත් සිදුවීම් රාශියක් ම සිදු විය.

මෙසේ මැදින් පුර පසළොස්වක දින ඇරඹි කිඹුල්වත්පුර බලා බුදුරජුන්ගේ වැඩමවීම හේතුවෙන් සිදු වූ යහපත හැමවිටම වර්ණනා විෂය ඉක්මවා සිටින්නේ ය. මේ උතුම් පුන් පොහෝ දින ප්‍රතිපත්ති පූජාව පෙරට ගෙන ආමිස, ප්‍රතිපත්ති යන ආකාර දෙකින් ම පින් රැස් කරන්නට, කුසල් වඩන්නට ඔබ සැමට වාසනාව ලැබේවා!

සියලු දෙනාට ම සුපින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.