පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ උතුම් පුණ්‍ය සංකල්පයක් අනුව ඇරඹි මහාමේඝ පුවත්පත මේ වන විටත් ගෞතම බුදුරජුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කරමින්, මිනිසාගේ ආධ්‍යාත්මය තුළ උතුම් මානුෂීය ගුණධර්මයන් උපදවාලන්නට අත්වැලක් වෙමින්, මහත් වූ සමාජයීය මෙහෙවරක් සිදු කරමින් සිටී. “වියැළී මියැදෙන්නට පෙර – ඔබ තෙමා සුරකිනු පිණිස” යි යන වදන පුවත් පතේ තේමා පාඨයයි.

මිනිසා වියැළෙන්නේ ගුණධර්ම පිරිහී යාම නිසාවෙනි. අතීතයේ අපේ මුතුන් මිත්තන් සතුව තිබුණු සමහර උතුම් ගුණධර්ම අද වන විට අපට අහිමි ය. අප සතුව යම් ගුණධර්මයක් ඇත්ද, මතු පරපුරට ඒවා ද අහිමි වේවි. මෙලෙස කාලයත් සමග ගුණධර්මයන්ගේ පිරිහීයාම බහුතරයකට ගැටලුවක් නො වූවාට එය මුළු මහත් ලෝකයාට ම බලපා ඇති ශෝචනීය තත්ත්වයකි. තාක්ෂණය අතින් ලෝකයා අද මහා දියුණුවක් ලබා ඇති බව පෙනුනත් ආධ්‍යත්මයෙන් පිරිහුන මිනිසා ඒ පිරිහීම නිසා ම අද වියැළෙමින් මහා අගාදයකට වැටෙමින් සිටි. එවන් වියැළුන මිනිසුන් පිරි සමාජයක මතු උපදින දරුවන්ගේ ඉරණම කෙසේ නම් යහපත් වන්නට ද?

මේ වියැළී විනාශ වන මනුෂ්‍යත්වය තෙමා සුරකින්නට සමත් යම් ධර්මයක් වේ නම් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් විසින් දේශනා කොට වදාරන උතුම් ශ්‍රී සද්ධර්මයක් ම විය යුතු ය. මිනිසාගේ සිත් තුළ ආධ්‍යාත්මික ගුණයන් උපදවාගෙන එම ගුණධර්ම දියුණු කර ගනිමින් පරිපූර්ණත්වයට පත් කර ගැනීමට අවශ්‍ය සියලු මගහසර තථාගතයන් වහන්සේලා විසින් ලෝකයාට පෙන්වා දෙන සේක. ඉතින් එවන් වූ ශාස්තෘන් වහන්සේනමකගේ ධර්මයකින් පෝෂණය ලබන යම් ජන කොට්ඨාසයක් වේ ද ඔවුන් සැබෑ ම වාසනාවන්තයෝ වන්නේ නොවියැළුන නිසාවෙනි. ලක්දිව උපන් අපි සැවොම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පහස යම් පමණකට හෝ විඳගැනීමට වාසනාව ලද්fදා් වෙමු. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය නිසාවෙන් මුතුන් මිත්තන්ගෙන් ද අපට ලැබුණ දායාදයන් අමිල ය. අතීතයේ පටන් මිනිසාට සෙනෙහෙවන්ත නුවණැති සත්පුරුෂයින් ලෝකයාගේ යහපත පිණිස ගෞතම බුදුරජුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය මතු පරපුරට දායාද කළහ. ඒ මිනිසාට ආදරය කරන කෙනෙකුට මේ ධර්මය හා සමාන සෙනෙහසින් තිළිණ කළ හැකි වෙන කිසිවක් නැති බව ඔවුන් වටහාගත් නිසාවෙනි.
මාධ්‍යයකින් සිදු කළ යුත්තේ මිනිසාගේ යහපත පිණිස පවතින දේවල් ලෝකයට හඳුන්වා දීමයි. නමුත් අද බොහෝ මාධ්‍යයන් තුළින් සිදු කරන්නේ මිනිසාගේ මනස සන්සිඳුවීම නොව විකෘති කිරීමයි. දිනෙන් දින සිදුවන අපරාධයන් වුනත් මාධ්‍යයකට මුදල් ඉපයීමට කදිම මාර්ගයක් වී ඇත. මිනිසාගේ යහපත පිණිස හොඳ දේවල් දායාද කරන්නට වගකීම උසුලන මාධ්‍යයන් ඇත්තේ ඉතාමත් අල්පවයි.

මහාමේඝ පුවත්පත ආරම්භයේ සිට ම මිනිසාගේ ආධ්‍යාත්මීය ගුණධර්ම ම අගයමින් යහපත් දේ ලොවට දායාද කරමින් සිටී. 2010 වර්ෂයේ නිකිණි මස ඇරඹි මහාමේඝ පුවත් සඟරාව අවු 6ක් පුරා ම ගෞතම බුදුරජුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් මිනිසාගේ සිත්සතන් ගුණදහමින් පෝණය කරන්නට මෙතරම් වෙහෙසක් ගනු ලැබුවේ මානුෂීය ගුණධර්ම මිනිසාට එතරම් ම වටිනා නිසාවෙනි. අදටත් මහාමේඝ පුවත්පතෙන් උතුම් ධර්මදායාදය ලබමින් තම ආධ්‍යාත්මීය ගුණධර්මයන් දියුණු කර ගැනීමට වෙහෙසෙන සැදැහැතියන් බොහෝ දෙනෙක් සිටී. සමහරෙක් මහාමේඝ පුවත්පත නිසා ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය හඳුනාගත් අය ය. පුවත්පතේ එක් ලිපියක් පමණක් කියවා තමන් ගත කළ වැරදි ජීවන රටාවෙන් වෙන් වී යහමගට පැමිණුන අය ද ඒ අතර සිටී. බොහෝ තරුණ දරුවන්ට ඔවුන් පවසන පරිදි තම ආධ්‍යාත්මික මෙන් ම ලෞකික ජීවිතයේ සාර්ථකත්වය පිණිස මගපෙන්වන කලණමිතුරා වන්නේ මහාමේඝ පුවත්පතයි.

මෙලෙස මිනිසාට කලණමිතුරෙකු වෙමින් ධර්ම දානමය වශයෙන් අප රැස් කළ පින අපමණයි. මහාමේඝ පුවත්පත අවු 6ක් පුරාවට ධර්මදාන වශයෙන් රැස්කළ සියලු පින්, පින්වත් ඔබ සැමට අනුමෝදන් කරන්නට අපි කැමැත්තෙමු. ඒ සියලු පින් සියල්ලෝ ම සතුටින් අනුමෝදන් වෙත්වා!

නමුත් මහාමේඝ පුවත්පත සමහර දුෂ්කර ප්‍රදේශවලටත්, අනෙකුත් සමහර ප්‍රදේශවලටත් නො ලැබී යාම නිසා ධර්මාවබෝධයට පින් ඇති මුත් මේ උතුම් දායාදය නො ලැබී දුර්ලභ වාසනාවන් මඟ හැරෙන අය කොතෙකුත් සිටී. ඔවුන් ද ගෞතම බුදුරජුන්ගේ මේ උතුම් දායාදය ලැබිය යුත්තෝ ය. ඒ අපේ ම සහෝදර ජනතාවට මේ උතුම් දායාදය ලබා දීමේ අවශ්‍යතාවය පාඨක ඔබට ද හොඳින් දැනෙනු ඇතැයි අපි සිතන්නෙමු.

ඒ අවශ්‍යතාවය සපුරාලනු වස් සැමට මේ දායාදය ලබා දෙනු පිණිසයි මහාමේඝ ධර්මදාන පුණ්‍ය ව්‍යාපෘතිය 2017 වර්ෂයේ සිට නව මුහුණුවරකින් ආරම්භ වන්නේ. මේ ව්‍යාපෘතියට සම්පූර්ණ ශක්තිය වන්නේ පින්වත් පාඨක ඔබයි. එනිසා මේ ව්‍යාපෘතිය මහාමේඝ ආයතනයෙන් ක්‍රියත්මක වුව ද මිනිසාට ආදරය කරන මිනිසාගේ හිතසුව කැමති පින්වත් ඔබගේ ම ව්‍යාපෘතියක් වනු ඇත. ඉතින් ඒ අපේ ම සහෝදර ජනතාවට මේ උතුම් දායාදය සෙනහසින් තිළිණ කරන්නට මහාමේඝ සමග අත්වැල් බැඳගන්න කියා ඔබ සැමට අපි මෙත් සිතින් ආරාධනා කරන්නෙමු.

රැකගනිමු අපේ ම දරුවන් සෙනෙහසින්…..

බොහෝ අය තමන්ගේ ජීවිතවල හැරවුම් ලක්ෂය සනිටුහන් කරන්නේ පාසල් දිවිය තුළයි. ඒ කාලයේ දී තමාට ඇසුරු කරන්න ලැබෙන පුද්ගලයන් නිසා, එහෙමත් නැත්නම් බාහිර යම් හේතුවක් නිසා විවිධ පැතිවලට යොමු වීමට පාසල් දිවියේ දී ම පටන් ගනී. ඒ කාලයේ දී නරක ඇසුරු ලබා ගත් අය තමන්ගේ මුළු ජීවිතයෙන් ම එයට වන්දි ගෙවයි. ඉතින් පාසල් ළමුන්ට කල්‍යාණ මිතුරෙකුගේ අවශ්‍යතාවය ඇතිවන්නේ ඒ නිසාවෙනි.

වර්තමාන ශ්‍රී ලංකාවේ රජයේ පාසල් 10012ක් පමණ තිබෙන බව අධ්‍යපන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවල දැක්වේ. ඊට අමතරව පෞද්ගලික හා වෙනත් පාසල් ඇතුළුව පාසල් විශාල ප්‍රමාණයක් රට පුරා විසිරී තිබේ. මෙම පාසල්වල 4,037,157 පමණ සිසුන් මේ වන විට ඉගෙනුම ලබමින් සිටී. ඔවුන් අතරින් අති විශාල ප්‍රමාණයක් මේ වන විටත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ය. වෙනත් වෙනත් නරක පුරුදුවලට යොමු වුණු දරුවන් කොතෙකුත් ද සිටී. නිවැරදි මගපෙන්වීමක් නොමැතිකමින් විනාශ වන්නේ අපේ ම දරුවන්ගේ ජීවිත නො වේ ද? ඒ අයහපත් දේවලට ඇබ්බැහි වූ දරුවන්වත්, අනාගතයේ ඒවාට ගොදුරු වන දරුවන්වත් බේරා ගැනීම වෙනුවෙන් අප කළ යුත්තේ කුමක් ද?
හෙට දිනයේ රට දැය භාර ගන්න සිටිනා මේ අපේ ම දරුවන්ගේ ජීවිත ගුණදහමින් පෝෂණය කිරීම අප සැමගේ ම වගකීම වන්නේ ය. මහාමේඝ ධර්මදාන ව්‍යාපෘතියේ පාසල්වලට පුවත්පත ලබා දීමේ වැඩපිළිවෙළ වෙන් වන්නේ මේ මහඟු අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට දායක වනු වස් ය. මෙහි දී සිදු වන්නේ පින්වත් ඔබගේ දායකත්ව හරහා ලැබෙන පුවත්පත් තෝරා ගත් ක්‍රමයක් අනුව දිවයින පුරා පාසල්වලට යොමු කිරීමයි. පාසල්වල පුස්තකාලවලට යොමු වන පුවත්පත ඒ අනුව සියලු දරුවන්ට කියවීමේ අවස්ථාව ලැබේ. යම් සේ ඔවුනගේ ජීවිත යහමගට හැරවීමක් ඒ හරහා සිදු වන්නේ ද ඒ සඳහා පින්වත් ඔබද දායක වූවා වන්නේ ය.

ආයතනවලටත් මහාමේඝ ….

ඊට අමතරව පාසල් දිවිය අවසන් කළ තරුණ ප්‍රජාවටත්, මැදි වයසේ ප්‍රජාවටත්, ජ්‍යෙෂ්ඨ පුරුවැසින්ටත් මේ පුවත්පත ධර්මදානයක් ලෙස ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ. මේ සඳහා ද ශක්තිය වන්නේ ඔබ ම යි. ලක්දිව පුරා විසිරී ඇති පුස්තකාල, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, රෝහල්, බන්ධනාගාර හා සෙසු වෙනත් ආයතනවලට තෝරාගත් ක්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ පුවත්පත ලබා දීමට කටයුතු සූදානම් කොට තිබේ. එම ආයතනවල ද පොදු ස්ථානවලට යොමු කෙරෙන පුවත්පත කියවීමේ අවස්ථාව සියලු දෙනාට සැලසේ. වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා මෙම සබැඳිය ඔස්සේ පිවිසෙන්න.

මේ ධර්මදාන ව්‍යාපෘතිය හරහා බොහෝ පිරිසකට මේ උතුම් දායාදය ලබා දිය හැකි වුවහොත් එය සමාජයීය වශයෙන් මහඟු මෙහෙවරක් වනු ඇත. සදහම් දායාද ලබමින් තම ජීවිත ගුණදහමින් පෝෂණය කර ගන්නා බොහෝ පිරිසක් බිහි වනු ඇත. ලැබූ මිනිසත් ජීවිතය අර්ථවත් කරගනිමින් සුගතිගාමී පින් රැස්කර ගත හැකි මාර්ගයන් බොහෝ පිරිසකට දැනගන්න ලැබෙනු ඇත. ඒ සඳහා දායක වන ඔබ ඒ උතුම් පින්කමේ කොටස්කරුවන් වනු ඇත.

– මහාමේඝ –