ආසියාවේ ධනවත් ම මිනිසා ලෙස පිළිගැනෙන මුකේෂ් අම්බානිගේ බාල පුතුගේ විවාහ මංගල්‍යයට පූර්වයේ පැවති ප්‍රිය සම්භාෂණ මාලාව ලොව පුරා විශේෂ අවධානයක් දිනා ගන්නට සමත් විය. මාර්තු 2,3,4 තෙදින පුරා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දී පැවැත්වුණු මෙම උත්සව අවස්ථාවට ලෝප්‍රකට ධනවතුන් පමණක් නොව ලොව පුරා නොයෙක් ක්ෂේත්‍රයන්හි අති මහත් සම්භාවනාවට පාත්‍ර වූ බොහෝ පිරිසක් ද එක් විය.

මේ පිළිබඳ ලොව පුරා නොයෙක් ආකාරයෙන් කථාබහට ලක් කෙරුණු අතර අම්බානිවරුන්ගේ ධනවත් භාවය, උත්සවයට පැමිණි ජනප්‍රිය අමුත්තන්, ‘රධිකා මර්චන්ට්’ නම් වූ විවාපත් යුවතියගේ අභිරූපී බව සහ ඇයගේ පවුලේ ධනවත් භාවය, උත්සව සභාව අමන්දානන්දයට පත් කළ ගායන නර්තන ආදී කලා අංග සියල්ල සේ ම විවාපත් යොවුන් ‘ආනන්ත් අම්බානිගේ’ අධික තරබාරු බව සහ අසාමාන්‍ය ඇවිදීම් රටාව ද ඒ මාතෘකා අතරට එක් විය.

උත්සව සභාව ඇමතූ ආනන්ත් අම්බානි තමන් පැමිණි ජීවිත ගමන රෝස මල් යහනාවක සැතපූ සුවපහසුවකින් යුක්ත නොවූවක් බව ප්‍රකාශ කළ අතර ළමා වියේ සිට ම මුහුණපාන්නට සිදු වූ රෝගී තත්ත්වයන් නිසා තමන් පීඩාවට පත් වූ අයුරුත්, තම මාපියන් ඒ සියල්ල හමුවේ අසීමිත ආදරයක් සමඟ තමා ව හදාවඩා ගත් අයුරුත් කෘතඥතා පූර්වක ව සිහිපත් කළේ ය.

සැබැවින් ම ආනන්ත් අම්බානි යනු අසනීප තත්ත්වයන් සහ ඒවාට ලබා ගන්නට සිදු වූ ඖෂධවල අතුරු ප්‍රතිඵල නිසාවෙන් අධික තරබාරු බවට පත් වූවෙකි.

නිරන්තර රෝගාබාධයන්ගෙන් පීඩා විඳින්නේ වුව ද ඔහු බොහෝ මිනිසුන්ගේ ද පමණක් නොව අලිඇතුන් ආදී කොට ගත් අසරණ භාවයට පත් සතුන්ගේ ද සුවපහසුව සැලසීම පිණිස නිරන්තරයෙන් තම දායකත්වය ලබා දෙන්නෙකි. ඔහුගේ ශාරීරික ස්වරූපය කෙරෙහි හාස්‍යජනක වූවෝ පවා ආනන්ත් අම්බානි විසින් සිදු කරන සමාජ සත්කාරයන් සහ ඔහු මුහුණ දෙන රෝගපීඩාවන් ගැන දැනගත් කල්හි ඔහු කෙරෙහි ගෞරවය මුසු සානුකම්පිත බවක් දැක්වූහ.

‘මතුපිටින් බලා කිසිවෙකු විනිශ්චය නොකළ යුතු ය’ යන අපූරු පාඩම අපට යළි සිහිපත් කළ ආනන්ත් අම්බානි සසරේ පින් කළවුන් සංසාරික පුණ්‍ය සංස්කාරයන්ගේ ආනුභාවයෙන් බොහෝ භවභෝග සම්පත් ලබන බව ද බොහෝ පරිවාර සම්පත්ති ලබන බව ද කියා පෑවේ ය. එපමණක් නොව, කවර පීඩාවන් මධ්‍යයේ වුව ද ආදරණීය සලකා බැලීම්වල උරුමයත්, රූප සම්පත්තියෙන් අනූන වූ බිරිඳක ලැබීමේ වාසනාවත් තමන් සතු වූ බව ද පෙන්වා දුන්නේ ය. ලෝක බලවතුන් තම සතුටු සාදයේ කොටස්කරුවන් කරගන්නට තරම් බලවත් පවුලක ජන්මලාභය ලබන්නට පින් ඇත්තේ වුව ද ඉපදීම නිසාවෙන් උරුම වන ව්‍යාධි දුක ඉක්මවන්නට ඒ කිසිවකට නොහැකි බව ද තහවුරු කළේ ය. ආනන්ත් අම්බානි අමතක නොකළ යුතු සසර පාඩමක් කියා දෙන්නෙකු වන්නේ ඒ නිසාවෙනි.

චේතනාව මෙහෙයවා සිතින්, කයින්, වචනයෙන් රැස් කරන කර්මයන්ගේ විපාකයන් දිට්ඨධම්මවේදනීය වශයෙන් මේ ජීවිතයේ ම හෝ උපපජ්ජවේදනීය වශයෙන් මරණින් මතු ජීවිතයෙහි හෝ අපරාපරියවේදනීය වශයෙන් සසර සැරිසරන තාක් ම හෝ අප කරා එළඹේ. යහපත් කර්මයන්හි සැප විපාකයන් ද අයහපත් කර්මයන්හි දුක් විපාකයන් ද විඳිමින් සසර ගමනක නියැළෙන සත්වයෝ කර්මය ම දායාදය කොටගෙන සිටින බව සම්මා සම්බුදුරජුන්ගේ අවබෝධය යි. අනෙකෙකුගේ අඩුපාඩු දැක අප ඔවුන් හාස්‍යයට ලක් කරන්නේ නම් ඒ වනාහි ඒ තැනැත්තා අද සිටින ස්වභාවයට සසරේ මතු අප පත් වීම පිණිස රැස් කරන සංස්කාරයකි. සසර ගමන යනු මෙවැනි දුර්විපාකයන්ගෙන් පිරී ගත්තක් බව අප අමතක නොකළ යුතු ය. අප කළ යුත්තේ අනෙකෙකුගේ භවභෝග සම්පත්තිය කෙරෙහි ඊර්ෂ්‍යා සහගත වීම හෝ අඩුපාඩු හමුවේ අපහාස උපහාස නැගීම හෝ නොව, සිහිනුවණින් යුතුව සසර තතු දැකීම ය.

“පින්වත් මහණෙනි, ඔබට ඉතා සැප සේ සිටින, අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටින කෙනෙක් දකින්ට ලැබුණොත් මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන. ‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහේ සැප අනුභව කරලා තියෙනවා නෙව.’…”

(සුඛිත සූත්‍රය – සං. නි. 03)

“පින්වත් මහණෙනි, ඔබට දුකට පත් දිළිඳු වූ විරූපී වූ අසරණයෙක් දකින්න ලැබුණොත් මේ විදිහට නිශ්චයකට පැමිණෙන්න ඕන. ‘අහෝ! මේ සා දීර්ඝ සංසාරයේ ගෙවූ කාලය තුළ අපිත් මේ විදිහේ දුක් අනුභව කරලා තියෙනවා නෙව.’…”

(දුග්ගත සූත්‍රය – සං. නි. 03)

මේ ජීවිත පාඩම ඔබට මග නොහැරේවා!