තුන් වසරක් පුරා පැවති කොවිඩ් වසංගතයෙන් ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑමත්, පාලනාධිකාරියේ තීන්දු තීරණ ගැනීමේ දී සිදු වූ දුර්වලතාත් මත ලාංකේය ජන ජීවිතය අද වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින බව නොරහසකි. පවුල් සංස්ථාවන් පෝෂණය කරමින්, ගෘහ ජීවිතයේ වගකීම් සම්භාරයක් උසුලා සිටින බොහෝ දෙනෙකු මත පැටවී ඇති මෙම ආර්ථික බර ඔවුන්ගේ ජීවිත කටුක සහ දුෂ්කර වූවක් බවට පත් කර අවසන් ය.

මෙයට වසර හතරකට පෙර යම් ආහාර සංස්කෘතියක් වී ද යම් ඇඳුම් සංස්කෘතියක් වී ද විවේකාස්වාදය පිණිස වූ යම් ජීවන සම්ප්‍රදායක් වී ද ඒ සියල්ල තිබුණාට වඩා පහත් අඩියකට පත් වී ඇතිවා පමණක් නොව ඒ මට්ටමින් හෝ තම අවශ්‍යතා සපුරා ගන්නට පෙර නොවූ විරූ තරම් කායමානසික වෙහෙසක් සියලු දෙනා විසින් ම දැරිය යුතු ද වී තිබේ. වැය පාර්ශවය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින්, අත්‍යවශ්‍ය කාරණයක දී හැර වියදම් සිදු නොකරමින් සීරුවෙන් ජීවත් විය යුතු කාලයක් මෙසේ ගත වෙමින් පවතී.

පවතින සංකීර්ණ සමාජ වටපිටාව තුළ තමන් හා තමන්ගෙන් යැපෙන පිරිස නඩත්තු කරලීම ද ගැටළුකාරී වෙද්දී තම ආදායමින් අන් බාහිර පිරිසක් වෙත උපකාර සැලසීමේ අවකාශය බොහෝසෙයින් පටු වී තිබෙනවා පමණක් නොව බොහෝ උදවිය ඒ කෙරෙහි නැඹුරු වන්නට මැලි වීමට ද ඉඩ තිබේ. අසීරුවෙන් ජීවිකාව ගැටගසා ගන්නා අවධියක ‘කෙසේ නම් දන් දෙන්න ද?’ යන මානසිකත්වය ඉපදුණහොත් කවුරුන් විසින් වුවත් දන් දීමට උකටලී වනු ඇත.

එහෙත් අප විසින් අමතක නොකළ යුතු කාරණය නම් අප මේ ගෙවා දමමින් සිටින්නේ අතිශය දීර්ඝ සංසාර ගමනක බෙහෙවින් කෙටි කාලයක් බව ය. මේ සමාජ ආර්ථික ස්වභාවයන් කිසිසේත් ම නියත ව පවතින දේවල් නොවේ. එහෙත්, අප විසින් සිත කය වචනය මෙහෙයවමින් රැස් කරන කර්මයන්ගේ විපාකයන් සසර ගමනේ දී නොයෙක් අයුරින් නොයෙක් තැන්වල දී අප කරා එළඹේ. එනිසා, මෙවැනි දුෂ්කර අඩියකට පත්වී සිටිය දී පවා මෙලොව පරලොව ජීවිත සුවපත් කර ගත හැකි ප්‍රතිපදාවකට එළඹීම තමන්ගේ යහපත හිතසුව කැමති අයගේ අභිලාෂය විය යුතු ය.

‘දන් දීම’ වනාහී සෑම කල්හි ම නුවණැති සත්පුරුෂ ලෝකයේ ප්‍රශංසාවට බඳුන් වන්නකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පවා නොයෙක් අයුරින් දානය අනුදැන වදාළ සේක. දානයේ අනුසස් මැනැවින් ම දන්නා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිමින් වරෙක එක් දේවතාවෙකු මෙසේ පැවසුවේ ය.

“මසුරු පුද්ගලයා යම් දේකට බිය නිසයි දන් දෙන්නේ නැත්තේ. නමුත්, දන් නොදෙන ඔහුට ඒ කාරණයෙන් ම යි බිය ඇතිවෙන්නේ. බඩගින්නත්, පිපාසයත් යන යමක් ඇද්ද ඒකටයි මසුරු පුද්ගලයා බියවන්නේ. ඒ අඥාන පුද්ගලයා ව ඒ කරුණින් ම මෙලොව පරලොව දෙකේ තවනවා. ඒ නිසා මසුරුකම නැමැති මලකඩ මැඩගෙනයි දන් දෙන්න ඕන. පරලොව දී සත්වයන්ට පිහිට වෙන්නෙ පින් තමයි.”

(මච්ඡරී සූත්‍රය – සං. නි. 01)

කෙනෙකු දීමට බිය වන්නේ එය තමන්ට අහිමි වේ ය යන බිය නිසා ය. නොදුන් දේ නොලැබෙනා හෙයින් සිදු වන්නේ සාංසාරික වශයෙන් ඒ දේවල් අහිමි වී යාමයි. එසේ නම්, මේ සා දුෂ්කර අඩියක දී පවා යහපත හිතසුව කැමැත්තෙන් දන් දීම ම සිදු කළ යුතු නොවේ ද? ඒ ගැන සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ධර්මයේ හැසිරෙන කෙනෙක් දුක සේ ජීවත් වෙලා, අඹුදරුවන්වත් පෝෂණය කරගෙන, සුළු දෙයක් තියෙද්දීත් දන් දෙනවා ද දහස් ගණන් වියදම් කරලා කරන යාග ලක්ෂයක් කළත් දිළින්දාගේ දානෙන් සීයට එකක් තරම්වත් වටින්නේ නෑ.”

(මච්ඡරී සූත්‍රය – සං. නි. 01)

දැහැමිව අඹුදරුවන් පෝෂණය කරන, සුදුවත් හඳින ගිහි උදවිය මෙසේ දුෂ්කර ව වුව ද දන් දෙන කල්හි මහත්ඵල මහානිශංස උපදින්නට හේතුපාදක වන්නේ ඔවුන්ගේ ධාර්මික ජීවන රටාවයි. වරෙක ධනයෙන් පිරිහුනු අනේපිඬු සිටුතුමා තමන් ද දුකසේ ජීවත් වෙමින් කාඩි හොදිත්, බතුත් පමණක් වුව දන් දෙමින් පවා දන්වැට නොසිඳ පවත්වා ගත්තේ ඒ සත්පුරුෂ භාවයේ පිහිටමින් ය.

සත්පුරුෂ ධර්මයේ හික්මෙනු කැමති වූ, සත්පුරුෂ ධර්මය පුරුදු පුහුණු කරනු කැමති වූ නුවණැතියන් ඇති හැකි අයුරින් කෙසේ හෝ දන් දෙමින් චාග සම්පත්තිය දියුණු කළේ යම් අයුරකින් ද අපිදු එලෙස ම දන් දීමට උත්සාහවත් වෙමු.