පරපුරකින් තවත් පරපුරකට උරුම වන්න, දායාදය ලෙස සරල ව දැක්විය හැකි ය. වස්තු සම්භාරයන්, දැනුම සහ ශිල්පීය ඤාණයන් ආදී කොට ගත් හොඳ දේවල් මෙන් ම නොහොඳ දේවල් ද මෙයාකාරයෙන් පරම්පරාගත ව මිනිසුන්ගේ දායාදය බවට පත් වේ. එහෙයින් ම පරම්පරා ගණනින් පැවත එන යහගුණයන් සේ ම ඒ හා සමාන දීර්ඝ කාලයක් පුරා පැවත එන විරසකයන් ද නුහුගුණයන් ද සමාජයේ දක්නට ලැබේ. ඒ සියල්ල අතරේ අග්‍ර වූ දායාදයකින් හෙළදිව වැසියන් පිදුම් ලබන ලද්දේ මෙවන් පොසොන් පොහොය දිනයක දී ය. ඒ ශ්‍රී බු. ව. 236 වැන්නේ දී ය…

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්ව පළමු වසර ගෙවී ගිය වෙසක් පුන් පොහෝ දිනයේ දී ඤාති සමූහයාට සංග්‍රහ පිණිස කිඹුල්වත් නුවරට වැඩම කළ සේක. සුදොවුන් රජු, ප්‍රජාපතී ගෝතමිය, යශෝදරාව ඇතුළු ඤාතීනට දහම් දෙසා සිත් සනසා උන්වහන්සේ නැවත අරමට වඩිද්දී සත් හැවිරිදි වූ රාහුල පුතණුවන් ඇමතූ යශෝදරා දේවිය බුදු පියාණන් හමුවට එළඹ දායාද ඉල්වා ගන්න යැයි ඔහුව යොමු කළා ය. සම්බුදුරජාණන් වහන්සේගේ සෙවණට පිවිසි සැණින් රාහුල කුමරුවන් ඒ මහා ශ්‍රමණයන් වහන්සේගේ සෙවණැල්ල පවා සුව එළවන බව දැක මහත් සතුටට පත්ව එක ම සහජාත පුතණුවන් වූ තමන්ට දායාද දෙන්න යැයි ඉල්ලා සිටියේ ය. සසර දුක නිමා කරලීමේ මඟට වඩා ශ්‍රේෂ්ඨ දායාදයක් ලොව නොමැති හෙයින් සම්බුදුරජාණන් වහන්සේගේ අනුදැනුමෙන් රාහුල කුමරු පැවිදි කරවනු ලැබ ශාසන දායාදය ඔහුට උරුම කෙරිණි. ශ්‍රී බු. ව. 236 පොසොන් පුන් පොහෝ දිනයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද්දේ ඒ නිර්මල ශාසන දායාදය රැගෙන ය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය අතිශයින් අසිරිමත් වූවකි. එය වර්ණනා විෂය ඉක්මවන්නකි. පරම සත්‍යය තුළ පිහිටි මහානුභාවයෙන් මෙලොව ද පරලොව ද සැප සලසා සියලු දුක් නිමා කොට ඒකාන්ත සන්සිඳීම වූ අමා මහ නිවන තුළට ශ්‍රාවකයා පමුණුවන්නකි. සංගීතිකාරක තෙරපාණන් වහන්සේලාගේ පටන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැනි වූ ධර්ම දූතයන් වහන්සේලා ද ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කරවන ලද උතුම් රහතන් වහන්සේලා ද සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2564ක් ගෙවී යන මේ කාලය දක්වා ම ඒ ශාසන දායාදය පාරිශුද්ධ ව පරම්පරාගත කරලීමේ මහානීය ශාසනික කෘත්‍යය මැනැවින් ඉටු කොට වදාළහ. විපත් පත් මේ ලෝකය හමුවේ අන් කවරදාටවත් වඩා ඒ උත්තම දායාදයේ රැකවරණය කොතරම් ද යන්න අද අපට පෙනී යයි.

ලක්ෂ ගණනින් ජනයා වසංගත රෝගයක් හමුවේ පැරද ලද මිනිස් ජීවිතය අහිමි වන ශෝචනීය ඉරණමක් හමුවේ බොහෝ සෙයින් අසරණ ව හිඳින බව අපි දකින්නෙමු. එකී මරණ බියෙන් අපිදු නිදහස් වූවන් නොවන්නෙමු. එහෙත්, ඒ සා භයානක උවදුරක් හමුවේ පවා අප පිනෙන් වැඩී යන්නට වාසනාවන්ත නොවුණේ ද? ශාස්තෘන් වහන්සේගේ අවබෝධය සත්‍යයක් ම බව දරා ගනිමින් ශ්‍රද්ධාවට එළඹීමට වාසනාවන්ත නොවුණේ ද? අනෙකක් තබා අනියත මේ ජීවිතය කවර ආකාරයකින් හෝ නැසී යන බව මෙනෙහි කරමින් අප්‍රමාදය පිණිස මඟ කියන මරණානුස්සති මනසිකාරයේ පිහිටන්නට ද අපට ඉඩ ලැබුණේ ය; අවවාදානුශාසනා ද නිරන්තරයෙන් ම ලැබුණේ ය. ඒ වනාහි අප ලද ශාසන දායාදයේ අක්මුල් නොසිඳ පවත්නා බවට සලකුණ යි.

විපත්වලින් ලෝකයට අඩුවක් නැත. අප විපතට නොහෙළා මේ රෝග බිය දුරුවිය හැක්කේ වුව ද එයින් අප සහමුලින් විපත්වලින් ගැලවී ගත්තේ නො වේ. මේ වනාහී සසර ස්වභාවය යි. එයින් මිදෙනු කැමැත්තෝ කළ යුත්තේ මේ උත්තම සද්ධර්ම දායාදයෙන් පිළිසරණ සලසා ගැනීම ය. එය පමණක් ම ය…!