ලස්සනට ඉන්න තියෙනවා නම් කවුද අකමැති? ඒකට අකමැති කෙනෙක් ඉන්නවා කියලා නම් හිතන්න අමාරුයි. ඇත්තටම ලස්සනට හැමදෙනාම කැමතියි. ලස්සන වෙන්න සමහර අය නොකරන දෙයක් නැති තරම්. ඒ තරමට කවුරුත් පාහේ මේ රූපයට වසඟ වෙලයි ඉන්නේ. පාරේ ලස්සන කෙනෙක් ගියත් ආයෙ ආයෙ හැරිලා බලනවා. මිනිස්සු කොයිතරම් ලස්සන වෙන්න කැමති ද කියලා තේරුම් ගන්න රට පුරා, ලෝපුරා තියෙන බියුටි සැලෝන් ම ප්‍රමාණවත්.

ඇත්තටම ලස්සනට ඉන්න එකට වරදක්, දොසක් කියන්නත් බැහැ. එහෙත් එය සීමාව ඉක්මවා ගියොත් පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න නම් ඇතිවෙන්නට පුළුවන්. නමුත් ඉතිං ඇත්තම කතාව හැමෝටම එක විදිහේ ලස්සනක් නෑ. සමහර අය ඉතාම ලස්සනයි. තවත් අයට ඒ අයුරින් ලස්සනක් උරුම වෙලා නෑ. ලස්සන කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. තම තමන්ගේ රූපය සකස් වෙලා තියෙන්නෙ පිනට අනුවයි. උපතින් ම ලැබී ඇති ලස්සනත්, කෘත්‍රිම ව ඇති කර ගන්න ලස්සනත් දෙකක්. කොහොම වුණත් ලස්සන කියන්නෙ කිසිදා තෘප්තිමත් නොවන දෙයක්. එය කාටත් සාධාරණ කරුණක්. ඉතිං මේ කියන්න යන්නෙත් තව තවත් ලස්සන වෙන්න කැමති අයටත්, සතුටින් ඉන්න කැමති අයටත් ඉතා ම දුර්ලභ රහසක්.

එක්තරා දවසක රැය පහන් වෙන වෙලාවේ මුළු ජේතවනයම ඒකාලෝක කරගෙන එක්තරා දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ව බැහැ දකින්න ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේගෙන් හරි අපූරු ප්‍රශ්නයක් ඇහුවා.

අරඤ්ඤේ විහරන්තානං
සන්තානං බ්‍රහ්මචාරිනං
ඒකභත්තං භුඤ්ජමානානං
කේන වණ්ණෝ පසීදතීති

“අරණ්‍යයේ වාසය කරමින්, උදේ වරුවේ විතරක් දන් වළඳන, ශාන්ත විහරණ තියෙන මේ බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ හැඩරුව මෙච්චර ලස්සන මොකද?”

(අරඤ්ඤ සූත්‍රය, සං. නි. 01)

ඇත්තටම දෙවියන්ට පමණක් නෙවේ, කාටත් එය ප්‍රශ්නයක් නේද? මහ වනාන්තරය කියලා කියන්නෙ ලේ බොන මැසි මදුරුවන්, සර්පයන්, නොයෙක් නපුරු සතුන්ගෙන් ගහන වූ තැනක්. සාමාන්‍ය මිනිස්සු නම් කිසි විටෙක වනාන්තරවල ජීවත් වීම පතන්නෙත් නෑ. නමුත් ඉතිං වනාන්තරවල තියෙන්නෙ සොඳුරු, නිහඬ, හුදෙකලා පරිසරයක්.

රමණීයානි අරඤ්ඤානි – යත්ථ න රමතී ජනෝ – “මහ වනාන්තර හරිම ලස්සනයි. ඒ වුණාට කම්සැප සොයන ජනයා ඒ වනයට ඇලෙන්නේ නෑ.”

කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත්තේ. කෙසේ නමුත් දෙවියා ඇහුවේ එවන් වනාන්තරයක, හරිහමන් වාසස්ථානයක් ද නැතිව, උදේ කාලයට පමණක් පිඩු සිඟා ගොස් ලැබෙන කුමන හෝ දෙයකින් කුසගිනි නිවා ගන්න, ඉතා ම ශාන්ත ඇවතුම් පැවතුම් තියෙන, බ්‍රහ්මචාරී ජීවිත ගත කරන භික්ෂූන් වහන්සේලා මේ තරම් හැඩරුවෙන් ලස්සන වුණේ කොහොමද කියලයි.

ඇත්තටම මේක හරි පුදුමයක් නොවේ ද? සාමාන්‍ය ලෝකයේ මිනිසුන් වැඩිපුරම වෙහෙසෙන්නේ මේ ඉඳුම් හිටුම්, කෑමබීම, ඇඳුම් පැලඳුම් සඳහායි. ඒ වුණත්, මොන තරම් එකී දේවල් ලැබුණත් ඔවුන්ගෙන් දිස්වන්නෙ ලස්සනක් නොව මහා පීඩාකාරී, වෙහෙසකර අතෘප්තිමත් බවක්. එයට හේතුව කුමක්ද? දෙවියාගේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

අතීතං නානුසෝචන්ති
නප්පජප්පන්තීනාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති
තේන වණ්ණෝ පසීදති

“උන්වහන්සේලා අතීතය ගැන ශෝක කරන්නෙ නෑ. අනාගතේ ගැන ආශාවෙන් පතන්නෙ නෑ. වර්තමානයේ ලැබෙන දේකින් යැපෙනවා. ඒ නිසයි උන්වහන්සේලා එච්චර ලස්සන.”

අපේ ජීවිතයේ ලස්සනට ඉන්න, සතුටින් ඉන්න කියලා හිතාගෙන මොන තරම් දේවල් කරත්, කොයිතරම් උත්සාහයන් ගත්තත් ඒ අයුරින් සතුටින්, ලස්සනට ඉන්න බැරි වෙලා තියෙන්නේ කුමන කරුණක් නිසා ද යන්න භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුරෙන් ඔබට පසක් වූවා ද? සැබෑවටම ලස්සන කියලා කියන්නේ සමේ පාට සුදු වීම, මනා ඇඟ පසඟක් තිබීම කියලයි බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නෙ. එහිත් එක්තරා ලස්සනක් ඇති බව හැබෑව. ඒ වුණත් එකී ලස්සන ඇති ඕනෑම කෙනෙක්ගේ සිතේ සතුටක් නැති නම් එයාගේ සැබෑම ලස්සන ලෝකෙට පේන්නෙ නෑ. හොඳින් සිතා බලන්න ලස්සනයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක්ට කේන්ති ගිය මොහොතක්, ප්‍රශ්නවලට මැදිවුණ අවස්ථාවක්, අතෘප්තිකර ආශාවන්ගෙන් දැවෙන මොහොතක්… කොහේද ඒ ලස්සන..?

බොහෝ දෙනෙක් තුළ වැඩිපුර ම තියෙන්නේ අතීතයේ සිදු වූ දේවල් ගැන ශෝක කිරීමත්, නොලැබූ දේවල් ගැන ආශාවෙන් පතමින් හූල්ලමින් ජීවත් වීමත් පමණයි. ඔය දෙක තුළ ජීවත් වන කෙනෙක් කෙසේ නම් වර්තමානය තුළ ලස්සනට, සතුටින් ඉන්න ද? අපේ සිත් අසීමාන්තික ආශාවන්ගෙන් පිරී ගොස් ඇත්තේ කවදාවත් නොපිරෙන මහ මුහුද වගෙයි. ඇත්තෙන්ම ඕනෑම කෙනෙක්ට ලස්සනට වගේ ම සතුටින් ඉන්නත් ලබාගන්න පුළුවන් සාර්ථක ම ඖෂධය ‘ආශාවන් හැකිතාක් අඩුකර ගැනීම’ නම් ඖෂධය යි. බලාපොරොත්තු වැඩිවන තරමට දුරස් වන්නේ ද ලස්සන සහ සතුට. භාග්‍යවතුන් වහන්සේ එය වදාළේ හරි අපූරු උපමාවකින්. එනම් රාත්‍රියට දුම් දැමීම, සහ දහවලට ගිනි ඇවිළීම වශයෙන්. රාත්‍රියට දුම් දැමීම කියන්නේ හෙට, එහෙමත් නැත්නම් අනාගතයේ කරන්නට ඇති දේ ගැන කල්පනා කිරීම. දවල්ට ගිනි ඇවිළීම කියන්නෙ එසේ රාත්‍රී පුරා කල්පනා කළ දෑ ක්‍රියාවට නැංවීම. කොයි කාගේ ජීවිතත් මෙලෙසින් නොවේද? එලෙසින් වෙහෙස වී ලබාගන්නා දෙයින් ද අප කිසිදා තෘප්තිමත් වන්නේ නැහැ. ඒ මේ හිතේ යථා ස්වභාවය ම යි.

සාමාන්‍යයෙන් අපගේ සිත වැඩිපුර ම ගමන් කරන්නේ වර්තමානයට හෝ අනාගතයට නොව අතීතයට බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එහෙනම් අප වැඩිපුරම ජීවත් වෙන්නේ අතීත සිදුවීම් සමඟයි. එවිට කරන්නේ අතීතයේ ලබා ගන්නට නොහැකි වූ දේවල් ගැන හෝ විඳි දුක් පීඩා ගැන සිතා හූල්ලමින් සිටීමයි. ඒ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දී ඇත්තේ යමක් අතීතයට ගියා ද එය ප්‍රහාණය වී ඇති බවයි. එබැවින් ඒ ගැන ශෝක කිරීමෙන් ඇති ඵලය කුමක් ද? සිදු වූ කිසිවක් යළි වෙනස් කළ ද නොහැකියි. ඉතිං කුමන කරුණක් නිසා ඒ ගැන ළත වෙනවා ද? අතීතය ගැන ශෝක නොකරයි නම් ඔබට ද ලස්සන වෙන්න පුළුවන් නොවේ ද?

ලස්සනට ඉන්න තියෙන අනෙක් විශාලතම බාධාව නම් වර්තමානය තුළ මොන තරම් දේවල් ලැබුණත් ඉන් සෑහීමකට පත් නොවීමයි. ඒ නිසා ඔවුන්ට සිදුවෙන දේ අප භාග්‍යවතුන් වහන්සේ එම දෙවියාට මෙසේ වදාළ සේක.

අනාගතප්පජප්පාය
අතීතස්සානුසෝචනා
ඒතේන බාලා සුස්සන්ති
නළෝව හරිතෝ ලුතෝති

“අනාගතේ ගැන ආශාවෙන් පත පතා, අතීතය ගැන ශෝක වෙවී, දුක් විඳින බාල ජනයා මැලවිලා යන්නෙ ළපටි උණබට කපලා අව්වේ දැම්මා වගේ.”

මොනතරම් සත්‍යයක් ද? බලන බලන කෙනා ඉන්නේ වේළුණ උණ බට වගේ නොවේ ද? මුහුණු තුළ දුක් දොම්නස් පිරී ගොසින්. සුදුමැලි වී ගොසින්. බොහෝ දෙනෙක්ට ඇත්තේ සිහින මාළිගා. වැඩිපුර ම ඔවුන්ට සිදුවන්නේ ඒ මාළිගා තුළ ම ජීවත් වී මිය යන්නටයි. අවසන, ‘නටපු නැටුමකුත් නැත. බෙරේ පළුවකුත් නැත’ වගෙයි. ලද දෙයින් සතුටු වෙන්නට බැරි බිරින්දෑවරු සැමියන්ට ඇඟේ වැටුණ කුණක් වගේ. එවැනි දරුවන් දෙමාපියන්ට, එවැනි සැමියන් බිරිඳට එලෙසින් ම යි. “නැත, නැත” යන අඬහැරයට වඩා තියෙන දෙයින් පිරිමහ ගන්නට බොහෝ දෙනෙක් අසමත්. ලැබෙන දෙයකින් සතුටක් ලබන්න හැකි නම් ඕනෑම තැනක ජීවත් වන්නට ඉතාම පහසුයි. කිසිවෙකුට ඔහුව කරදරයක් නෙවෙයි. එයා කාටත් ප්‍රියමනාපයි. නමුත්, මොනතරම් කළත් සතුටු කරන්න බැරි නම් ඔවුන් දකින විටත් පිළිකුල්.

එහෙම නම්, ලස්සන වෙන්න කැමති ඕනෑම කෙනෙකුට කරන්නට ඇත්තේ මෙම කරුණු තුනයි.

01. අතීතය ගැන සිතමින් ශෝක කරන්න යන්නට එපා.
02. නොපැමිණි අනාගතේ ගැන ආශාවෙන් පත පතා ඉන්න එපා.
03. වර්තමානයේ ලැබෙන දෙයින් සෑහීමකට පත් වෙන්න.

සැලකිය යුතුයි. මෙහි අදහස හෙට වෙනුවෙන් කිසිවක් නොකොට කුසීතයින් සේ ජීවත් වීම නොවන බව තේරුම් ගත යුතුයි.

අප මේ ජීවත් වෙන්නෙ ඉතා ම අසීරු කාලයක. බඩු මිල අහස උසට. රැකියාවල නොයෙක් අර්බුද. ඉතිං එවැනි තත්ත්වයක සිටින විටවත් ලැබෙන දෙයින් තෘප්තිමත් වෙන්නට බැරි නම් කෙසේ පවුල් ජීවිත සතුටෙන් ගත කරන්න ද? ලස්සනට ඉන්නවා කියන්නෙ මිල අධික ඇඳුම් පැලඳුම්, කෑමබීම පරිහරණය නෙවෙයි. තියෙන කාලයේ ඒ අයුරින් ද නැති කල්හි එයට අනුරූපව ද ජීවත් වීමට කවුරුත් දක්ෂ විය යුතුයි. රටට ලෝකෙට ණය වී බොරු මවාපෑම් කරන්නට යෑම භාග්‍යවතුන් වහන්සේ වදාළේ දිඹුල් කෑමක් වැනි ය කියලා. දිඹුල් කන්නට ආස කෙනෙක් ගසට නැඟ අතු සොලවා ඉදුණු ඒවා සේ ම ගැට ද අමුවා ද ඇතුළු සියල්ල ම බිම දමයි. අවසන ඉදුණු ගෙඩියක් දෙකක් කා යන්නට යයි. එහෙත් කළේ මහා විනාශයක් නොවේ ද? මෙවැනි දුෂ්කර කාලයක එවැන්නක් නොකරත්වා!

ඉතින් වනාන්තරයේ වාසය කරන, උදේ වරුවෙ පමණක් දන් වළඳන, බ්‍රහ්මචාරී ජීවිත ගත කරන භික්ෂුවට අතීතය ගැන හිතන්න දේකුත් නෑ. හෙට දවස වෙනුවෙන් පතන්න දෙයකුත් නැත්නම්, වර්තමානයේ ලැබෙන සිව්පසෙන් සතුටු වනවා නම් කොහොම නම් සෝතැවුල් එන්න ද? ලස්සන වෙනවා කියන එක අරුමයක් නොවේ නේ ද?

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්​සේ නමක් විසිනි.