ලෝකය රඟමඩලකි. අපි එහි නළුවෝ වෙමු.” කියලා විලියම් ෂේක්ස්පියර් කියපු කතාව ඇත්තම තමයි. ෂේක්ස්පියර් ගැන කීවේ භාග්‍යවතුන් වහන්සේව අමතක වී නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝක අතික්‍රමණය කළ නිසයි. මඩේම හැදිලා ඒ මඩෙන් ඉහළට එසවී දසත සුවඳවත් කළ විකසිත අරවින්දයක් නිසයි. මිනිසුන් අතර ජීවත් වෙන්න වෙනකොට ඉතාම පරිස්සමට ජීවත් වෙන්න වෙනවා. මොකද කන බොන දෙයක් නම් කාලා බීලා ගුණ අගුණ හොයාගන්න පුළුවන්. අඳින පලඳින දෙයක් නම් ඇඳලා පැලඳලා බලන්න පුළුවන්.

සතා සිවුපාවා වුණත් අඩුපාඩු ප්‍රකට කරන නිසා හදාගන්න හෝ මගහැරලා යන්න පුළුවන්. නමුත් ඉතින් මනුසතා නම් එහෙම ලේසියෙන් අඳුරගන්න බැහැ. කරන දේ නොකියයි. නොකියපු දෙයක් කරයි. සිතේ එකක්, වචනවල තව එකක්, කරන්නේ තවත් එකක්, යන්තමින් හරි තේරුම් ගන්න නම් බොහෝ කාලයක් ප්‍රඥාවෙන් ඇසුරු කරන්න වෙනවා. ඒකත් දැක්කේ භාග්‍යවතුන් වහන්සේ විනා අප නොවෙයි.

නමුත් කොහොම වුණත් අපට එහෙමයි කියලා මිනිස්සු නැතුවත් බෑ. කවුරු කවුරුහරි එක්ක කටයුතු කරන්න වෙනවා. හැම මනුස්සයා ම එක වගේ නෑ. ඒත් ඉතින් අභ්‍යන්තරය හොයාගන්න බැරි නිසා දැලි පිහියෙන් කිරි කනවා වගේ ප්‍රවේශමෙන් ඇසුරු කරනවා නම් නුවණට හුරුයි. මේ කියන්නට යන්නෙත් ඒ වාගේ අඳුනගන්නට අසීරු අය ළඟ තියෙන සමාජයේ බොහෝ දෙනෙක් අතර අර්බුද ඇති කරවන, ඒ වගේම අති බිහිසුණු දරුණු දුක් විපාක උපද්දවන අසත්පුරුෂ බාල ක්‍රියාවක් ගැනයි. හැමෝම ගාව නැතත් ගමකට එක් අසත්- පුරුෂයෙක් හිටියොත් ගමම ගිනිබත් කරන්න ඔහුට පුළුවන්. මේක කරන්නේ හොඳටත් නරකටත් තියෙන අකුරු දෙකේ උපකරණයෙන්මයි. මේ තරම් කියන්නේ අරුම පුදුම දෙයක් ගැන නොවෙයි. සමාජයේ අස්සක් මුල්ලක් නෑර තිබෙන කොයි කවුරුත් දන්න කේලම ගැනයි.

ඕන ඕන පැත්තට නැවෙන දිව මුල් කරගෙන සිදුවන ප්‍රධාන අකුසල් හතරයි. බොරුව, පරුෂ වචනය, හිස් වචනය හා කේළමයි. නිකන් තියෙන කට යැයි කියමින් බොහෝ දෙනා කේළාම් කීව ද එහි විපාක විඳින්නට ගිය කල නම් මොකට කීවා ද කියලා ඒකාන්තයෙන්ම සිතේවි. ඒ නිසා කේළමින් වගේම කියන අයගෙනුත් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි. මේක ගිහි අයට මෙන්ම පැවිදි අයට ද සාධාරණයි! මොකද කර්මය කාටවත් අසාධාරණ නැති නිසා. ගිහියන්ට “පිසුණා වාචා වේරමණී” වශයෙන් ද භික්ෂූන්ට “භික්ඛුපේසුඤ්ඤේ පාචිත්තියං”-“භික්ෂූන් අතර කේළාම් කීම පවිති ඇවතකි.” වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දෙපාර්ශවයට සිල් පද පනවා තිබෙන්නේ ඒ නිසාවෙන්. උන්වහන්සේ කේළාම් විස්තර කරනු ලබන්නේ, “පිසුණාවාචෝ හෝති” – කේළාම් කියන්නේ වෙයි. “ඉතෝ සුත්වා අමුත්‍ර අක්ඛාතා ඉමේසං භේදාය” – මෙතනින් අහගෙන ගොස්, මෙතන බිඳවන්නට එතන කියන්නේ ය. “අමුත්‍ර වා සුත්වා ඉමේසං අක්ඛාතා අමූසං භේදාය.” – එතනින් අහගෙන ඇවිත්, එතන බිඳවන්නට මෙතන කියන්නේ ය. “ඉති සමග්ගානං වා භෙත්තා” – මෙසේ සමඟි වූවන් බිඳින්නේ වේ ද “භින්නානං වා අනුප්පදාතා” – අසමඟි වූවන්ගේ අසමඟිය වැඩි කරන්නේ වෙයි. “වග්ගාරාමෝ” – පිරිස වෙන් කිරීමේ ඇලුනේ වෙයි. “වග්ගරතෝ” – පිරිස වෙන් කිරීමෙහි යෙදුනේ වෙයි. “වග්ගනන්දී” – පිරිස වෙන් කිරීමෙන් සතුටු වන්නේ වෙයි. “වග්ගකරණිං වාචං භාසිතා හෝති” – ඒ ආකාරයේ පිරිස් බෙදෙන බස් පවසන්නේ වෙයි ද වශයෙන් ය.

මෙයට අනුව කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ‘එහෙනම් බිඳුනේ නැත්නම් ප්‍රශ්නයක් නැහැනේ’ කියලා. එයටත් නිදහසක් නැත. පාචිත්තිය පාළියේ කේළම මෙයටත් එහා විස්තර කර තිබෙනවා. එයට අනුව කේළම් කීමේ අභිප්‍රායන් මූලික වශයෙන් දෙකක්. “ද්වීහාකාරේහි පේසුඤ්ඤං හෝති” – කේළාම් කීම ආකාර දෙකකින් සිදු වෙයි. “පියකම්‍යස්ස වා” – ප්‍රියභාවය කැමැත්තෙන් හෝ “භේදාධිප්පා- යස්ස වාති” – බිඳීමේ අදහස ඇතිවයි. එසේනම් කේළමක් කියන්නේ බිඳවන්න විතරක් නෙවෙයි, ප්‍රියමනාප වෙන්නත් කියන බවයි. මේක අපේ භාෂාවෙන් කිවහොත් කෙටවීම සහ ලකුණු දාගැනීමයි.

තවත් කෙනෙක්ට ළංවෙන්න, හිත දිනා ගන්න, ලකුණු දාගන්න, වැඩක් කරගන්න, කේළම් කියන එක මෙකල සාමාන්‍යකරණය වී තිබෙන්නක්. ඒ පිටුපස තෑගි බෝග, තුටු පඬුරු, තාන්න මාන්න, උසස් වීම්, පඩි වැඩිවීම්, ප්‍රශංසා ගලා එන බව කොයි කවුරුත් දන්නවා. එබැවින් පැණි හැලියට දුවන ඇඹලයන් මෙන් කේළම පසුපස දුවන්නෝ එමටයි. පාරේ හිඟන්නා​ගේ පටන් රටේ මුල් පුටුවල බොහෝ ඇත්තෝ ද එහි කොටස්කරුවෝ. කේළාම් කීමෙන් අපේක්ෂා කරන අනෙක් අරමුණු නම් ඉතාම අප්‍රසන්නයි. එනම්, සමඟි ව සිටින පිරිස් බිඳවීම… සමාජයේ අස්සක් මුල්ලක් නෑරම පවතින මෙය මුළු මහත් සමාජයම ගඳ ගස්සන වසංගතයක්. සමඟියෙන් සතුටින් සෙනෙහසින් සිටින පවුල් බිඳවන, යහළු මිත්‍රයන්, ඥාතීන්, සේවකයන්, රට රටවල් පමණක් නොව පැවිද්දන් ද බිඳවන ගිහි පැවිදි පිරිස් සුලභයි.

මෙලෙස එකිනෙකා කෙටවීම තුළින්, බිඳවීම තුළින් ළාමක නීච තෘප්තියක් ලබන අසත්පුරුෂයන් නිසාවෙන් බොහෝ ගෙවල්වල, ආයතනවල, එසේම සමහර විහාරාරාම තුළ පවා සතුට සමඟිය සුහදත්වය පෑල දොළෙන් පැන ගොසින්. තමන්ගේ මඩිය තර කර ගැනීම උදෙසා ඉතාම පහසු උපක්‍රමය බවට මෙකල කේළාම් කීම පත්ව තියෙනවා. කේළම වනාහී ලොවම ගිනිබත් කරන හුළු අත්තයි. මෙලෙස කේළම කිරුළු පලඳින්නට කේළාම් කියන්නෝ පමණක් නොව එයට උඩගෙඩි දී නිහඬව අසන්නෝ ද හේතු වනවා. බොහෝ වෙලාවට කේළාම් කියන්නෝ ද අසන්නෝ ද එකම පිරිසක්. යමෙක් කේළාම් කියාගෙන එන විට එයට හූමිටි කියන කල්හි ඔහු තවත් රස කරමින් එය කියන්නේ අසන්නා එයට මනාප බව දන්නා නිසයි. ඔබට කවුරුන් හෝ කේළමක් කියන විට ඔබ ඒ සඳහා අවධානය යොමු නොකළහොත් ඔහු හෝ ඇය බොහෝ විට නැවත නොපැමිණේවි. නැවත ආවත් දෙතුන් වාරයක් උපරිම ඒවි. නමුත් ඔබත් රස කර කර අසන්නට ගියහොත් ඔබත් නොදැනුවත්වම නීච කේළමට සක්ක ගසන්නෙක්. සමහර විට එය කේළමක් නොව, ඒ කීමේ බිඳින්නවත් – ප්‍රියභාවය පිණිසවත් දෙයක් නොවේ නම්…, එහෙත් ඇත්තටම එවැනි ඕපාදූපත් අපට වැඩක් නෑ නේද?

ඒකයි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේ…

“න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච”

“අනුන්ගේ වචනවල ඇදකුද හොයන්ට ඕනෙ නෑ. අනුන් කළ – නොකළ දේවල් ගැන සොයන්ට ඕනෙත් නෑ. තමන් ගැනම බලාගත්තහම ඇති. තමන් කළ නොකළ දේ ගැන බලාගත්තහම ඇති.” නමුත් මේ කියන්නේ අනිත් අයගේ යහපත පිණිස අවවාද අනුශාසනා දෙන්න එපා කියලා නම් නොවෙයි.

(ධම්මපදය)

කේළාම් කියන අය එය කියන්නෙ අහන කෙනාවත් නොමඟ යන විදිහටමයි. බොහෝ අවස්ථාවල සිද්ධ වෙන්නේ නොවුණ දෙයක් වුණත් සිදුවන අයුරින් දිගින් දිගටම කියන විට අසන කෙනා ද එය සත්‍යය යැයි පිළිගැනීමයි. කෙසේ වෙතත් කේළාම් කීම වනාහි කල්ප කාලාන්තරයක් බිහිසුණු දුක් විපාක විඳවන්නට වන අකුසලයක් බව සිත්හි දරා ගත යුතුයි. එයට ගිහි පැවිදි, උසස් පහත් කතාවක් නැහැ.

කවුරුන් කීව ද කේළම කේළම ම යි. ලකුණු ලබා ගැනීමේ අටියෙන් කේළාම් කියද්දී මෙහිදී පමණක් නොව පරලොව ද ඔවුනට ලකුණු ලැබෙයි. ඒ අසත්පුරුෂයා ඒ බව නොදනියි.

“මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති”

“පව්කාරයාට තමන් කරපු පව් විපාක නොදෙනතාක්ම, ඒ පව් කිරීම මී පැණි වගේ කියලයි හිතෙන්නෙ. නමුත් යම් දවසක ඒ පව් පලදෙන්ට පටන් ගත්තහම තමයි ඒ අඥාන පුද්ගලයා දුකට වැටෙන්නේ.”

(ධම්මපදය)

අපායසංවත්තනික සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ කේළාම් කීමේ විපාක මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, කේළාම් කීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. කේළාම් කීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ හිත මිත්‍රයන් බිඳී යාමට හේතු වෙයි.” එසේ නම් වපුල දේ නෙළන්නටම වනවා. කර්මය ඉදිරියේ සැඟවී සිටින්නට හැක්කෙක් ලොව නැහැ. තවද බොහෝ සූත්‍ර දේශනාවල භාග්‍යවතුන් වහන්සේ වදාළේ “යථාභතං නික්ඛිත්තෝ ඒවං නිරයේ” – ඔසවාගත් බරක් වහා බිම තබන්නේ යම් සේ ද එලෙසින් නිරයේ උපදින බවයි. එලෙසින්ම සංසප්පනීය පරියාය සූත්‍රයේ දී උන්වහන්සේ පෙන්වා දුන්නේ කේළාම් කීම ආදී වූ දස අකුසල්, වක්‍ර කර්ම බවයි. වක්‍ර කර්ම කළ කල්හි ඔවුන්ගේ උපත ද වක්‍ර උපතක් වන්නේ ය යනුවෙනුයි. “ජිම්හගතිකස්ස ඛෝ පනාහං භික්ඛවේ ජිම්හුපපත්තිකස්ස ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි, යේ වා ඒකන්ත දුක්ඛා නිරයා, යා වා සංසප්ප-ජාතිකා තිරච්ඡානයෝනි.” – “මහණෙනි, මම මෙසේ වක්‍ර ගමනක යෙදුණු, වක්‍ර උපතක් ඇති කෙනෙකුට යම්බඳු ඒකාන්තයෙන් දුක්ඛිත වූ නිරයෝ ඇද්ද, එහි හෝ යම්බඳු කැරකී සැඟවී යන ස්වභාව ඇති තිරිසන් යෝනි ඇද්ද මේ දෙගතියෙන් එක්තරා උපතක් උරුම කරගන්නේ යැයි කියමි.” භාග්‍යවතුන් වහන්සේ කැරකී සැඟවී යන සතුන් වශයෙන් සර්පයෝ, ගෝනුස්සෝ, පත්තෑයෝ, මුගටියෝ, බළල්ලු, මීයෝ, බකමූණෝ ආදී සතුන් බව පෙන්වා වදාළා. එයට හේතුව ඔවුන් මිනිසුන් දුටු සැණින් කැරකී සැඟවී යෑම.

බොහෝ කාලයක් නිරයේ පැසී අනන්ත දුක් විඳ යම් කලක එහි විඳිය යුතු කර්ම අවසන් වෙයි ද එහෙත් ලෙහෙසියෙන් මිනිසත් බව නම් ලබන්නේ නැහැ. බොහෝවිට තිරිසන් හෝ ප්‍රේත ලොවෙහි උපදිනවා. කටින් අකුසල් කළ බොහෝ ප්‍රේතයන්ට ඇත්තේ ඌරු කටක්. ඌරා කන තරමක් කන්නේ අසූචි, කුණු වූ පණුවන් සහිත දේවල්. කේළම, බොරුව ආදියත් අසූචි හා සමානයි. ඒ අයුරින්ම පෙරළා ලැබෙනවා. කාශ්‍යප දස බලධාරීන් වහන්සේගේ කාලයේ එක්තරා විහාරයක ඉතාම සිල් ගුණවත් භික්ෂූන් වහන්සේලා දෙනමක් සතුටින් වත්පිළිවෙත් කරමින් වාසය කළා. දිනක් ඔය විහාරයට පාපී අදහස් ඇති, කේළාම් කීමේ ඇලුණු භික්ෂුවක් පැමිණියා. නේවාසික තෙරුන් වහන්සේලා ද සතුටු සාමීචි පිළිසඳර කතා කොට කුටි සෙනසුන් පනවා දුන්නා. ආගන්තුක භික්ෂුව පසුදා පිඬුසිඟා වැඩි පසු ගම්වැසියෝ ද හොඳින් උපස්ථාන කළා. ආගන්තුක භික්ෂුවට පුරුදු පාපී අදහස් ගලා ආවා. “මේ මිනිසුන් හරිම සැදැහැවත් නොව. හොඳට ප්‍රණීතව පිඬු පූජා කරත්. විහාර පොඩ්ඩත් හරි අගෙයි, ගමට දුරත් නෑ. සුවසේ ඉන්ට හැකි නමුත් මේ නේවාසික භික්ෂූන් දෙන්නත් එක්ක නම් ඉන්ට ගියොත් අතවැසියෙක් වගේ නොවැ. එළවා ගත්තොත් නම් වැඩේ හරි.”

අසත්පුරුෂයා හුළු අත්ත පත්තු කළා. කාලයක් සමඟිව ප්‍රිය ඇසින් බලමින් වාසය කළ මිත්‍ර භික්ෂූන් වහන්සේලා දෙදෙනා නොබෝ දිනකින්ම කේළාම් කියා විරසක කළා. ඒ භික්ෂූන් දෙනම එකිනෙකා කෙරෙහි බිඳුනු සිතින් යුතුව, දුක සේ විහාරයෙන් නික්ම ගියා. අසත් පුරුෂයාගේ පැතුම සඵල වුණා. ඉන් සතුටට පත්ව සුවසේ වාසය කළා. නමුත් සියල්ලන්ටම සාධාරණ කර්මය මනාකොට ලියවුණේ වෙනස් කළ නොහැකි සේයි. පැවිද්දාට ද එසේ ලියවෙන කල්හි ගිහියාට ලියවෙන කර්මය කෙසේ වේවිදෝ කවුරු නම් දනිත් ද?

කාලය අවුරුදු සියයක් ගෙවී ගියා. මේ කාශ්‍යප බුද්ධ කාලයයි. එකල්හි මිනිසුන්ගේ ආයුෂ වසර විසි දහසක්. දිනක් එක්තරා විහාරයක දී විරසක වූ යහළු භික්ෂූන් දෙනම මුණගැසුණා. දෙදෙනාටම කඳුළු නොසළා සිටීමට නොහැකි වුණා. අවසානයේ එක් වසරකින් බාල හිමිනම වැඩිමහලු හිමිනමට කතාකර වන්දනා කළා. දෙදෙනා අතර අති වූ කතාබහෙන් අසත් පුරුෂයාගේ ක්‍රියා හෙළි වුණා.

“ඇවැත්නි, ඔය අසත්පුරුෂයාට පාඩමක් උගන්වමු.” යි කියා දෙදෙනාම පෙර විහාරයට පිටත් වුණා. අසත්පුරුෂ භික්ෂුව තමන් විසින් කේළාම් කියා කෙටවූ භික්ෂූන් එන බව දුරදීම දැක්කා. පා සිවුරු පිළිගන්නට පෙරට වැඩි නමුත් ප්‍රතික්ෂේක වුණා. සියල්ල අවසන් වී ඇති බව තේරුම්ගත් අසත්පුරුෂයා විහාරයෙන් පලා ගියා. අවුරුදු විසිදහසක් පැවති බුද්ධ ශාසනයෙන් පවා කිසිදු ගුණයක් දියුණු කරගත නොහැකි වුණා. කර්මය දායාද කරගෙන මැරී අවීචි මහා නිරයෙ උපන්නා. අවුළන ලද කේළම නැමැති හුළු අත්ත මෙන් ලක්ෂ කෝටිවාරයන්ට වඩා රුදුරු ගිනි ජාලාවකට පතිත වුණා. අනෙක් භික්ෂූන් වහන්සේලා දෙනම විදසුන් වඩා ඒ බුදු සසුනේම අරහත්වයට පත්වී පිරිනිවන් වැඩියා.

කාලය ටිකෙන් ටික ගෙවී ගියා. බුද්ධාන්තරයක්ම අවසන් වුණා. කේළාම් කී භික්ෂුව තාමත් නිරා ගින්නේමයි. ගෞතම සම්බුදුරජාණෝ ලොව පහළ වුණා. පාපී භික්ෂුව නිරයෙන් නිදහස් වී රජගහ නුවරට නුදුරු ප්‍රදේශයක ගව් තුනක් පමණ විශාල ප්‍රේතයෙක් වී උපන්නා. සිරුර මිනිස් සිරුරක් වගේ. මුහුණ ඌරෙක්ගෙ වගේ. වලිගයක් මෙන් දිග දිවක් පහළට එල්ලෙනවා. එය පණුවන්ගෙන් පිරිලා. ඔවුන් නිරතුරුවම දිව කා දමනවා. ප්‍රේතයා වේදනාවෙන් කෑ මොර දෙනවා. මුඛයෙන් හමන කුණු ගඳ ඉවසිය නොහැකි තරම්. අහෝ! පුංචි සතුටක් ලබන්න ගොස් වරදවා ගත්තා. දැන් කවුරු නම් නිදහස් කරන්න ද? මෙකල කේළාම් කියමින් කොටවන්නන්ට ද හුළු අතු දල්වන්නන්ට ද, අරුමයක් නැති උරුමය මෙය නොවිය හැකි ද? එහෙයින් සුළු සැපයක් උදෙසා කේළාම් නොකියත්වා! එහි බිය ම දකිත්වා!

“වාචානුරක්ඛී මනසා සුසංවුතෝ
කායේන ච අකුසලං න කයිරා
ඒතේ තයෝ කම්මපථේ විසෝධයේ
ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං”

“වචනය රැකගන්නවා නම්, සිත සංවර කරගන්නවා නම්, කයෙනුත් අකුසල් කරන්නෙ නැත්නම්, ඔය විදිහට කර්ම රැස්වෙන මාර්ග තුනම පිරිසිදු කරගන්නවා නම් අන්න ඒ තැනැත්තාට, අරහත් ඍෂිවරුන් අවබෝධයෙන්ම වදාළ ඒ නිවන් මග සම්පූර්ණ කරගන්ට පුළුවන්.”

(ධම්මපදය)

සියලු දෙනාටම ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.