1. ප‍්‍රමාණවත් නින්දක් නො ලැබීම

මෙය ඔබගේ ශරීර සෞඛ්‍යට මෙන් ම මානසික ඒකාග‍්‍රතාවයට අහිතකර ලෙසින් බලපායි. නිදාගැනීම ක‍්‍රමවත්ව නියමිත කාල සීමාවක සිදු කිරීමත් ජංගම දුරකථන පරිගණක විශේෂයෙන් ක්‍ෂුද්‍ර පරිගණක (Laptop” palmtop computers), රූපවාහිනීයන්ත‍්‍ර යනාදිය නිදන කාමරයෙන් ඉවත් කිරීමත් ප‍්‍රමාණවත් සුවපහසු නින්දක් සඳහා උපකාරී වෙයි.

2. නින්දේ දී ශ්වසනයට බාධා වීම (Sleep Apnea)

සමහර පුද්ගලයන් තමන් ප‍්‍රමාණවත් නින්දක් ලබන බව සිතුව ද සමහර අවස්ථාවල දී රාත‍්‍රිය පුරාවට ශ්වසනය කෙටි කාලීන ව නැවතීම සිදු වේ. එම අවස්ථාවල මොහොතකට නින්දෙන් අවදි වීම සිදු වුවත් ඒ පිළිබඳ අවධානයක් යොමු නො වේ. එනිසා ඒ ගැන මතකයක් ද නැත. නමුත් එලෙස කොපමණ නිදා ගත්ත ද ඒ කාලය තුළ සුවපසු නින්දක් නො ලැබේ.
සිරුරේ බර අඩු කරගැනීම, දුම්පානයෙන් වැළකීම, හොඳින් වාතාශ‍්‍රය ලැබෙන පරිදි නිදන කාමරය සකසා ගැනීම, නිවැරදි ඉරියව්වෙන් නිදා ගැනීම වැනි ක‍්‍රියාකාරකම් මඟින් සුවපහසු නින්දකට ඇති ඉහත සඳහන් බාධාව ඉවත් කරගත හැකි වේ.

3. ප‍්‍රමාණවත් ඉන්ධන නො මැති බව

ඉතා සුළු වශයෙන් ආහාර ගැනීම අධික වෙහෙසට හේතුවක් වන අතර වැරදි ආහාර පුරුදු ද ගැටලූ සහගත තත්වයන් ඇති කරයි. සමබර ආහාර වේලක් ගැනීම ඔබගේ රුධිර සීනි මට්ටම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමටත් රුධිර සීනි මට්ටම පහත ගිය විට අලසබව ඇති වීම වළක්වා ගැනීමටත් උපකාර වෙයි.
සමබර උදෑසන ආහාර වේලක් එක්කර ගැනීම විශේෂ වැදගත් අවශ්‍යතාවයකි. මෙහි දී ආහාර වේලට ප්‍රෝටීන් සහිත ආහාර එක්කර ගැනීම ද වැදගත් ය. අනෙකුත් ආහාර වේල ද නියමිත පරිදි ක‍්‍රමවත් පිළිවෙළකට ගැනීම ශරීරයට අවශ්‍ය ශක්තිය නිසි පරිදි ලබා ගැනීමට උපකාරී වෙයි.

4. නිරක්තිය (Anemia)

සිරුරේ ප‍්‍රමාණවත් ව නිරෝගී රතු රුධිර ෙසෙල නො මැති වීම නිරක්තිය යි. මේ සඳහා වකුගඩු ආබාධ, සිරුරෙන් අධික ව රුධිර වහනය, දුර්වල ආහාර වේල්, විටමින් ඊ12 ඌණතාවය, යකඩ ඌණතාවය, ෆෝලික් අම්ල ඌණතාවය, මත්පැන් භාවිතය ආදී නොයෙක් ඍජු හෝ වක‍්‍ර හේතුන් බලපායි. විශේෂයෙන් කාන්තාවන්ගේ අධික විඩාබර ගතියට හේතු වන්නකි, නිරක්තිය.
මෙයින් මිදීම සඳහා නිසි පෝෂක ආහාරයට එකතුකර ගැනීමත්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් කළ හැකි ය.

5. විෂාදය  (Depression)

මෙය මානසික අසමතුලිතතාවයක් වුවත් අධික විඩාව, හිසරදය, ආහාර අරුචිය ආදී විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඔබට සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු විය යුතු ය.

6. මන්දතයිරොයිඩතාව (Hypothyroidism)

ප‍්‍රමාණවත් ලෙසින් තයිරොයිඞ් හෝමෝන තයිරොයිඞ් ග‍්‍රන්ථිය මඟින් නිපද නො වීම නිසා ඇතිවන තත්වයකි. එම හෝමෝන පරිවෘද්‍රිතිය පාලනය කරයි. තයිරොයිඞ් ග‍්‍රන්ථිය නිසි පරිදි ක‍්‍රියා නො කිරීම නිසා පරිවෘත්තිය ශීඝ‍්‍රතාවය අඩු වී අලස බව, විඩාව, නිදිමත ඇති වේ. රුධිර පරීක්ෂාවක් මඟින් මේ පිළිබඳ ව නිගමනයකට පැමිණිය හැකි අතර නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු වීම ද කළ හැකි ය.

7. වැඩිපුර කැෆෙන් භාවිතය

කැෆෙන් මධ්‍යස්ත මාත‍්‍රාවලින් භාවිත කිරීමෙන් පරීක්ෂාකාරී බව, ඒකාග‍්‍රතාවය වැඩි කරන බව සඳහන් වන නමුදු වැඩිපුර භාවිතයෙන් හෘද ස්පන්දනය, රුධිර පීඩනය, කලබලකාරී බව වැඩි වීම සිදු වෙයි. එලෙස ම සමහර පුද්ගලයන්ගේ විඩාබර ගතිය වැඩි වීම ද සිදු වෙයි.
එනිසා කෝපි, තේ, චොක්ලට්, පැණි බීම වැනි කැෆෙන් අඩු ආහාර පාන භාවිතයට ගැනීම ක‍්‍රමයෙන් අඩු කිරීම වැදගත් ය.

8. මූත‍්‍රා මාර්ගයේ ආසාධන (Urinary  tract  infection)

මූත‍්‍රා දැවිල්ල වැනි ප‍්‍රකට රෝග ලක්ෂණ නො මැති ව ම මූත‍්‍රා මාර්ගයේ ආසාදන තත්වයන් ඇති වී තිබිය හැකි ය. එවිට අධික විඩාබර ගතිය එක ම රෝග ලක්ෂණය වන අවස්ථා ඇත. මූත‍්‍රා පරීක්ෂාවක් මඟින් මේ පිළිබඳ ව නිගමනය කළ හැකි අතර මූත‍්‍රා මාර්ගයේ ආසාදනයට නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම මඟින් විඩාව ද දුරු වී යයි.

9. දියවැඩියාව (Diabetes)

දියවැඩියා රෝගය නිසා ද දිගුකල් පවතින අධික විඩාබර ගතියක් හට ගන්නට පුළුවන. එවිට එම රෝගයට නිසි ප‍්‍රතිකාර කිරීමෙන් එනිසා හටගත් විඩාව ද දුරු කර ගත හැකි ය.

10. විජලනය (Dehydration)

විඩාව විජලනයේ ලක්ෂණයක් විය හැකි ය. ඔබ කුමන ආකාරයේ රැකියාවක් කළ ද කුමන ක‍්‍රියාකාරකම්වල යෙදුණ ද ප‍්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඔබට පිපාසය ඇති වන්නේ යම් විජලන තත්වයක සිටින විට ය. දවස පුරා ප‍්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම විජලනය වළක්වා ගෙන එනිසා ඇති වන වෙහෙස දුරුකර ගැනීමට උපකාරී වෙයි.

11. හෘද රෝග

නිවස පිරිසිදු කිරීම, මිදුල අතුගෑම වැනි දෛනික කටයුතුවල නිරත වනවිට ඔබට වෙහෙසක් දැනේ නම් ඔබගේ හෘදය මනා ලෙස ක‍්‍රියාකාරී නො වීම ඊට හේතු වන්නට පුළුවන. එවැනි අවස්ථාවල දී නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් ය.

12. වැඩ මුරය වෙනස් වීම නිසා නින්දට බාධා ඇති වීම (Shift work sleep disorder)

රාත‍්‍රී වැඩමුරය හෝ වැඩමුරය මාරු වීම ඔබගේ ජෛව ඔරලෝසුවේ (internal  clock) ක‍්‍රියාකාරීත්වය වෙනස් කරයි. එවිට ඔබ අවදියෙන් සිටිය යුතු අවස්ථාවල ඔබට වෙහෙසක් ඇති විය හැකි අතර දහවල් නිදා ගැනීමේ අපහසුතා ද ඇති විය හැකි ය.
මෙවැනි ගැටළු මඟහරවා ගැනීම සඳහා ඔබට විවේකය අවශ්‍ය අවස්ථාවල දී දිවා එළියට විවෘත වීම සීමා කළ හැකි ය. මේ සඳහා ඔබගේ කාමරය තුළ අඳුරු, නිශ්ශබ්ද, සිසිල් පරිසරයක් සකස් කර ගැනීම කළ හැකි ය. මෙවැනි උපක‍්‍රම ද අසාර්ථක නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.

13. ආහාර ආසාත්මිකතා (Food  allegies)

සමහර ආහාර ආසාත්මිකතා නිසා ද නිදිබර ගතිය ඇති වේ. ආහාර ගැනීමෙන් පසු ඔබගේ වෙහෙසකර බව, නිදිබර ගතිය තීව‍්‍ර වේ නම් යම් කිසි ආහාර ආසාත්මිකතාවක් ඊට හේතු වන්නට පුළුවන. එවැනි ආහාර මඟහැරීම කළ හැකි අතර ආහාර ආසාත්මිකතාව පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයක් මඟිනුත් මේ පිළිබඳ නිගමනයකට පැමිණිය හැකි ය.

14. නිදන්ගත විඩාබර බව (Chronic  fatigue  syndrome) සහ මාංශ පේශි සහසම්බන්ධක පටකවල වේදනාව (Fibromyalgia)

ඔබගේ දෛනික කටයුතු කළමනාකරණය කරගත නො හැකි ලෙසින් වෙහෙසකාරී බව මාස හයක් හෝ ඊට වැඩි කාලයක් පවතී නම් එය ඉහත හේතු නිසා විය හැකි ය. නො කඩවා පවතින අධික විඩාබර බව ඉහත රෝගාබාධ දෙකෙහි ම රෝග ලක්ෂණයකි. මෙම රෝගීන්ට තමන්ගේ දෛනික කාල සටහන ක‍්‍රමානුකූල ව වෙනස් කිරීමෙනුත්, සුවපහසු නින්දක් ලබා ගැනීමෙනුත්, ව්‍යායාම මඟිනුත් මෙම තත්වය මඟහරවා ගැනීමට කල්යත් ම හැකියාව ලැබේ.

15. මෘදු වෙහෙසකර බවින් මිදීම

ඉතා දැඩි නො වන වෙහෙසකර බවට හේතුව නිසි පරිදි ව්‍යායාම නො ලැබීම විය හැකි ය. එනිසා තම දෛනික ක‍්‍රියාකාරකම්වලට විනාඩි විස්සක පමණ ක‍්‍රමානුකූල ව්‍යායාමක් එකතු කරගත හැකි ය. එමඟින් මෘදු වෙහෙසකර බවින් මිදෙන්නට අවස්ථාව උදාවන බව පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත.
මේ අයුරින් විඩාබර බවට (Fatigue) සහ නිදිබර ගතියට (Sleepiness) හේතු සහ එම හේතු නසන ක‍්‍රම නොයෙක් පර්යේෂණ මඟින් ලොවට ඉදිරිපත් වී ඇතත් තිසරණ සරණ ගිය පිරිසක් වශයෙන් ලොව අසමසම පර්යේෂකයාණන් වහන්සේ වන අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ පිළිබඳ කුමක් වදාළ සේක් දැයි දැනගන්නට ලැබේ නම් කෙතරම් ලාභයක් ද? මහා කාරුණික උන්වහන්සේ නොයෙක් අයුරින් නින්ද ගැන වදාළ සේක. අංගුත්තර නිකායේ මෙත්තානිසංස සූත‍්‍රයේ දී මෛත‍්‍රී භාවනාව කරන පුද්ගලයෙකුට ලැබෙන ආනිසංස ලෙස පෙන්වා වදාළ කරුණු 11 අතර සැප සේ නිදා ගැනීම, සැපසේ අවදි වීම, නිදා සිටින විට නපුරු හීන නො දැකීම ආදිය ඇතුළත් වේ.

එසේ ම උන්වහන්සේ මහා සතිපට්ටාන සූත‍්‍රයේ ධම්මානුපස්සනාව යටතේ පංච නීවරණ භාවනාව තුළින් ථීනමිද්ධ නීවරණය පිළිබඳ ව පෙන්වා වදාළේ මෙසේ ය. කායිකව හා මානසිකව පවතින වෙහෙස හා අලසකම (ථීනමිද්ධය) තමා තුළ පවතින කල්හි, එය මා තුළ පවතී යයි මනා කොට දැන ගනී. ථීනමිද්ධය නො පවතින කල්හි මා තුළ නො පවතී යයි මනාකොට දැන ගනී. යම් ආකාරයකින් හීන වීර්යෙන් යුතු ව කටයුතු කිරීම නිසා තමා තුළ හට නො ගත්තා වූ ථීනමිද්ධය හට ගන්නේ වේ ද එය ද මනාකොට දැන ගනී. යම් ආකාරයකින් සතර සතිපට්ටනයේ වීර්යෙන් යුතු ව සිත මනා ව පිහිටුවා ගැනීම නිසා කලින් හට ගෙන තිබුණා වූ ථීනමිද්ධය ප‍්‍රහීණ වී යන්නේ වේ ද එය ද මනාකොට දැන ගනී. යම් ආකාරයකින් ප‍්‍රහීණ වී ගියා වූ ථීනමිද්ධය මතු කිසි කලෙකත් හට නො ගන්නේ වේ ද එය ද මනාකොට දැන ගනී. ථීනමිද්ධය හට ගන්නේ අයෝනිසොමනසිකාරයත් ප‍්‍රමාදයත් නිසා බව උන්වහන්සේ පේනවා වදාළ සේක. මේ අයුරින් උන්වහන්සේ සොඳුරු පර්යේෂණයකින් සදාතනික පිළිසරණ සැලසෙන හෙළිදරව්වක් කළ සේක.

එසේ ම මහා කාරුණිකයන් වහන්සේ දන්ත භූමි සුත‍්‍රයේ දී මෙසේ වදාළ සේක. ‘‘දැන් ඉතින් නිදි වරා ගෙන භාවනා කරන්න ඕනේ” (එහි ත්වං භික්ඛු ජාගරියන් අනුයුත්තෝ විහරාහි). දවස පුරා සක්මන් කර කර, වාඩි වෙවී පුහුණු වෙන්න කියනවා. රාත‍්‍රියේ ප‍්‍රථම යාමයේ රෑ 10 වෙනකම් එහෙම කරන්න කියනවා. රෑ 10 සිට 2 – 3 වෙනතුරු හාන්සි වෙන්න කියනවා. සිංහ සෙයියාවෙන් මම සිහියෙන් ම නිදා ගන්නවා, සිහියෙන් ම අවදිවෙනවා කියල හොඳ සිහියෙන් හාන්සි වෙන්න කියනවා. නැවත පාන්දර ම අවදි වෙලා අයෙමත් සක්මන් කරන්න, භාවනා කරන්න කියනවා. එයා මෙතෙන්ට එන්න කලින් සිල්වත් වුණා කියනවා, ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තා කියනවා, ආහාරයේ පමණ දැන ගත්තා කියනවා. කෙතරම් සොඳුරු මඟ පෙන්වීමක් ද? මේ සදහම් සයුරෙන් දිය බිඳක් පමණි. කෙතරම් පිරිපුන් පර්යේෂණයක් ද? අපටත් ඒ අසහාය මාර්ගෝපදේශකයාණන් වහන්සේ වදාළ සොඳුරු මඟ යන්නට වාසනාව උදා වේවා..!

සදහම් ඇසුර : පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සිතට සුව දෙන භාවනා, ඒ අමා නිවන් සුව බොහෝ දුර නො වේ ග‍්‍රන්ථ ඇසුරිනි.

සුව සටහන
පියුම්නිල් ගමගෙදර