දිනය මුළුල්ලේ ලෝකය උණුසුම් කළ හිරු, තම රැස් නිවා දමන සැඳෑව එළඹෙමින් තිබුණි. දිනයේ මෙහෙවර ගැන සතුටින් හිරු විවේකයට සැරසෙන මොහොතේ අපි එක් සොඳුරුතම පුද බිමක් කරා අපේ ගමන ඇරඹුවෙමු.

අප මේ සිටින්නේ සිංහලයා ජාතියක් වශයෙන් පසුගාමී වූ යුගයක ය. අතීත ශී‍්‍ර විභූතිය ගැන උදම් ඇනීම සහ එය අපේ උරුමය ලෙස පුරසාරම් දෙඞීම හැරුණු විට අනාගතයට උරුම කෙරෙන්නක් වර්තමානයේ බිහි කිරීමට සිතන්නන් නැති තරම් ය. නමුත් කළ යුත්තේ අතීත උරුමය සුරකින අතරේ ම අනාගතය වෙනුවෙන් වර්තමානය විශිෂ්ටත්වයට පත් කිරීම යි. අප මේ යන ගමන සුවිශේෂී වන්නේ මෙවන් පසුගාමී යුගයක, ‘හෙට වෙනුවෙන් අද’ සිදු කළ මහානර්ඝ නිර්මාණයක් අපේ ගමනාන්තය වන නිසා ය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු දිශාවට ගමන් කළ අපි කුරුඳුගහහැතැක්ම අන්තර් හුවමාරුවේ දී අධිවේගී මාර්ගයෙන් බැහැර වී කළුවඩුමුල්ල දෙසට පැමිණියෙමු.

දහවල දාහයෙන් දැවී ගිය ගත, සැඳෑවේ සිසිලසින් නිවී යන මොහොතේ අප ගොඩ වැදුණේ කෙලෙස් දාහයෙන් පරිපීඩිත සිත නිවා සනසාලන සුපින්බිමකටයි. මේ වසර දෙසීයකට එපිට ඉතිහාසයක් ඇති කළුවඩුමුල්ල ශී‍්‍ර විජයාරාම විහාරයයි. සොබා දහමේ චමත්කාරයෙන් සුපෝෂිත ව එයට ම බැඳී මුහු වී ගිය නිසසල බවකින් වෙළී ගත් ශී‍්‍ර විජයාරාම විහාරයට ඇතුළු වූ අප ව පිළිගනිමින් ඉදිරියට වැඩම කළේ පැතිර ගිය සිනහ මුවකින් යුතු වූ යතිවරයාණන් වහන්සේ නමකි. ඒ මහාචාර්ය විලේගොඩ අරියදේව ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ යි.

රුහුණු විශ්වවිද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය විලේගොඩ අරියදේව ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ශී‍්‍ර විජයාරාමයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ යි. මේ විහාරය හෙළ බොදු සංස්කෘතියේ අපූර්ව සන්ධිස්ථානයක් සනිටුහන් කරවන මර්මස්ථානයක් බවට පත් කළ උන් වහන්සේගේ දෙපා නමැද අපි උන්වහන්සේ පසුගමන් කළෙමු.

දුර බැහැර සිට පැමිණ ප‍්‍රණීත සංග‍්‍රහයකින් තුටු වීමේ භාග්‍යය ලද අපි අනතුරුව උන් වහන්සේ පෙරටු කොටගෙන විහාරය දෙසට පියනැඟුවෙමු. ඉපැරණි ආරාම සැලසුම්වලට අනුකූල වූ සංඝාවාසයකින් ද සෑ රජුගෙන්, බුද්ධ මන්දිරයෙන්, බෝධීන් වහන්සේගෙන් සහ අට විසි බුද්ධ ගෘහයකින් ද සොබා දහමේ අසිරිය විදහා පෙන්වන මහා වනස්පතීන්ගෙන් ද මේ විහාරය සමලංකෘත ය.

අභිනවයෙන් ඉදිවන බුද්ධ මන්දිරයට පිවිසෙන ස්ථානයේ මනරම් වූ සඳකඩ පහණකි. අනුරාධපුර රාජධානියේ නෂ්ටාවශේෂයන්හි හමුවන විශිෂ්ට සඳකඩ පහණේ සහ මේ සඳකඩ පහණේ වෙනසක් නැත. ඉන් මූර්තිමත් වන ධර්ම සංකල්පනාව අපට පැහැදිලි කර දුන් අරියදේව ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සඳකඩ පහණේ සිට බුද්ධ මන්දිරය දෙසට යොමු වුණ පඩි පේළි අට පෙන්වමින් සිදු කළේ අපූරු විග‍්‍රහයකි. එනම් උන්වහන්සේ ඉන් නිරූපණය කළේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් පහර කමින්, තෘෂ්ණා ලියවැලෙන් බැඳී ගිය ජනයා නිදහසේ සැරිසරන හංස රාජයන් මෙන් ශාසනයට ඇතුළු වී තෘෂ්ණාව ක්ෂය කරමින් ප‍්‍රඥව කරා යා යුතු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ යන්න බවයි. වැටකොටු සීමා බන්ධනයෙන් හිර නො වූ ඒ සොඳුරු චෛතසිකයන්ගේ අපූර්වත්වය කෙතරම් නම් අසිරිමත් ද? ඒ අපූරු සංකල්පය මෙනෙහි කරමින් පිය ගැට පෙළ නැඟ ගිය අපි මනරම් ස්ථූප වහන්සේ අබියෙසින් බුද්ධ මන්දිරය වෙත ළඟා වුණෙමු.

පුළුටු රූප (Terracotta) මත නිර්මාණය කළ, සතර දෙසින් රැකවල් කොට සිටින සතර වරම් දෙවිවරුන්ගේ රූ සහිතව අච්චු රහිතව නිම කළ අපූරු කැටයම් සමඟින් ඉදි වූ මේ බුද්ධ මන්දිරය පිටත සිට බැලූ බැල්මෙන් ම පෙන්නුම් කළේ ‘මෙය නම් විශිෂ්ට ගෘහ නිර්මාණයක්’ බවයි. මහල් දෙකක් ලෙස දිස්වන ආකාරයෙන් නිර්මිත මේ සම්බුද්ධ මාලිගාවේ පිටත අම්බලන්ගොඩට ආවේණික වෙස් මුහුණු කලාව ද උපයෝගී කර ගනිමින් අලංකාර කොට ඇත්තේ සුවිශේෂි ආකාරයකට ය. බුද්ධ මන්දිරයේ ද්වාරයත්, කවුළුත් දැවයෙන් නිර්මාණය කොට ඇත්තේ මනරම් වූ කැටයම්වලින් හැඩ ගන්වමිනි.

එහි අභ්‍යන්තරයට පිවිසි මොහොතේ අපට හැඟුණේ නිසංසල වූ රුක් සෙවණක සමාහිත සිතින් වැඩ සිටිනා භාග්‍යවතුන් වහන්සේ අභිමුවට අප පැමිණි බවයි. සොබා දහම හා සබැඳෙන උත්කෘෂ්ට දහමක ශාස්තෘ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ගල් තලාවක් අසල, වෘක්ෂ මූලයක වැඩ සිටිනු දෑසින් දැක බලා ගනිමින් අපි ඉමහත් සතුටින් සිරිපද කමල් වන්දනා කළෙමු.

සම්බුද්ධ මාලිගාවේ ඇතුළත බිත්ති, තෙල් සායම් භාවිතයෙන් දැව ඵලක මත ඇඳි සිතුවම්වලින් අලංකාර කොට ඇත. ඒ සිතුවම් මගින් අසිරිමත් සම්බුද්ධ චරිතය නිරූපණය කෙරේ. එහි ඉහළ අලංකාර වී ඇත්තේ බෝසත් සිරිත ගෙන හැර දැක්වෙන ජාතක කථාවන් නිරූපණය කෙරෙන සිතුවම්වලිනි. ඇතුළත බිම කළු ගලින් නිර්මාණය වී තිබීමෙන් පවා එහි ස්වභාවික සෞන්දර්යය වඩාත් ඉස්මතුවන බව අපට හැඟුණි.

සම්බුද්ධ මාලිගයට පිටු පසින් සුවඳැති සඳුන් දැවයෙන් නිර්මිත අට විසි බුදුරජාණන් වහන්සේලා වැඩ සිටින බුද්ධ ගෘහයයි. ලොව විශාලතම දැවමුවා ප‍්‍රතිමා වහන්සේ වැඩ සිටින්නේ එතුළයි. ඉන් එක් පසෙක දුමින්දාගමනය සිහි ගන්වා සිදු කළ විශාල කැටයමක් අසල, අලංකාර සුවිසල් කටාරමක් තුළ බෝධින් වහන්සේ වැඩ සිටී. අනෙක් පස දැවයෙන් නිර්මාණය වූ බෝධිසත්ව හා දේව ප‍්‍රතිමාවන් ය.

අනතුරුව අප ඇතුළු වූයේ ලොව විශිෂ්ටතම කලාගාරයකටයි. ඒ ලෝකයේ පළමු දැවමය බුද්ධ ප‍්‍රතිමා කෞතුකාගාරයයි. මේ වසරේ පොසොන් මාසයේ විවෘත වූ මෙම කෞතුකාගාරයේ විවිධ මුද්‍රාවන් දරා වැඩ සිටිනා දැවමය ප‍්‍රතිමා වහන්සේලා හතළිහකට ආසන්න ප‍්‍රමාණයක් වැඩ සිටිති. පෙර නො දුටූ විරූ කලා කෞෂල්‍යයක් දෙනෙතින් දැක බලා, භාග්‍යවතුන් වහන්සේ උදෙසා පිදුණු අත්‍යුදාර කලා භවනක් තුළ දැහැන්ගත වීමේ දුර්ලභ වූ භාග්‍යය අපි එහි දී ලැබුවෙමු.

ඒ සොඳුරු මූර්තීන් දැක බලා සැදැහැයෙන් අනුමෝදන් වන අතරේ මහාචාර්ය විලේගොඩ අරියදේව ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් අපි බොහෝ දේ විමසා සිටියෙමු.

‘‘ස්වාමීන් වහන්ස, බුද්ධ ප‍්‍රතිමා වන්දනාවට සම්බන්ධ ශ‍්‍රී ලාංකේය ඉතිහාසය කෙතරම් දුරකට දිව යනවා ද? එයින් සිව්වනක් පිරිස තුළ ශ‍්‍රද්ධාව උද්දීපනය කෙරුණේ කොහොම ද?”

‘‘ලංකාවට බුදු දහම ලැබුණ මුල් කාලයේ බුදු රුව රූපයකින් නිර්මාණය කරන්න බෑ කියන මතය දැඩිව තිබුණා. උන් වහන්සේට සමාන රුවක් හදන්න බෑ කියන බය, සැකය නිර්මාණකරුවා තුළ තිබුණා. ඒ නිසා බුදු රුව නිර්මාණයට මුල් කාලයේ පෙලඹුණේ නෑ. බුද්ධ ප‍්‍රතිමාව ලංකාවේ මුලින් ම නිර්මාණය කළා කියලා මතයක් තියෙනවා. බුද්ධ ප‍්‍රතිමාවල සමහර අංග ලක්ෂණ විදේශීය ආභාසය පෙන්නුම් කරනවා. ඒ නිසා මෙය විදේශයකින් ලැබුණා කියලත් හිතන්න පුළුවන්.

කොහොම වුණත් ලංකාව තුළ දී ථේරවාදී බුදු දහමට අනුව මහා පුරුෂ ලක්ෂණ, ආධ්‍යාත්මික ලක්ෂණ අපට ම ආවේණික අයුරින් පිළිබිඹු කරන ප‍්‍රතිමා කලාවක් බිහි වුණා. කරුණා, මෛතී‍්‍ර ගුණයන්, ප‍්‍රඥව, සමාධිය ඉස්මතු කෙරෙන තේජෝ බල සම්පන්න ප‍්‍රතිමා අපේ රටේ ඉදි වුණා.

අපේ රටේ පැවතුණ බුද්ධිමය පරිසරය තුළ ධර්මය නො ඉක්මවා සුන්දර නිර්මාණ කරන්න ලාංකේය කලාකරුවාට හැකි වුණා.
බුද්ධ ප‍්‍රතිමාවන් ධර්මය නො ඉක්මවා, ධර්මය නියෝජනය කරමින් අපට අනන්‍ය වූ ලක්ෂණ සමඟින් පෝෂණය වෙද්දි දකින්නන් තුළ ශ‍්‍රද්ධාව, ප‍්‍රියමනාප බව ඇති වුණා. මේ පොළොවට, මේ රටාවට ගැළපෙන පරිදි ධර්මයයි, කලාවයි මුහු වීමෙන් තමයි තොළුවිල, මැදිරිගිරිය, පොලොන්නරුව ගල් විහාරය, මහමෙව්නාව වගේ ස්ථානවල අති විශිෂ්ට කලා නිර්මාණ බිහි වුණේ.”

‘‘ස්වාමීන් වහන්ස, සුන්දර බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා වැඩ සිටින මේ මනෝරම්‍ය විහාරාරාම සංකීර්ණය ගැනත් අපි කථා කරමු. මෙවැන්නක් බිහි කරන්නට උවමනා වුණේ ඇයි?”

‘‘එකම විදිහට, ඒකාකාරීව, එක ම රාමුවක් තුළ නිර්මාණ සිදුකිරීමක් තමයි කළ යුත්තේ කියලා හිතන සමාජයක් එක තැන පල් වෙනවා. අනාගතයක් නෑ. මට අවශ්‍ය වුණේ එහෙම සමාජයකට නව නැඹුරුවක්, නව ප‍්‍රවණතාවයක් හදල දෙන්න. විහාර නිර්මාණ කලාවේ වෙනසක් කරන්න මට උවමනා වුණා.

පන්සලකට ගැළපෙන වර්ණ, හැඩතල සංකලනයක් තියෙනවා කියල මම හිතනවා. ඒ නිසා අතීතය සමඟ බද්ධ වුණ ගෘහ නිර්මාණ ආභාසයෙන් අලූත් දෙයක් කරන්න මම උත්සහ කළා.
ප‍්‍රතිභාව කියන්නෙ අලූත් දෙයක් නිර්මාණය කරන්න තියෙන හැකියාවට. එය උපරිමයෙන් තිබුණෙ බුදු රජාණන් වහන්සේට. දැකපු දෙයින් ලබපු දැනුම ප‍්‍රතිභාව සමඟ එකතු වුණාම අපූරු දෙයක් නිර්මාණය වෙනවා. අවශ්‍යතාවයයි, අවංකකමයි එක්ක යමක් ජයග‍්‍රහණය කරන්න පුළුවන්. මේ විහාරය නිර්මාණය වුණේ ඒ ආකාරයෙන්,”

‘‘ස්වාමීන් වහන්ස මෙහි විශේෂතා ගැන සඳහන් කළොත්?”

‘‘මෙහි දී භාවිත කළේ දැව, මැටි, ගල් කියන ස්වභාවික දේවල්. ඒවායින් කරන නිර්මාණ අපිට ආගන්තුක නෑ. බොහොම සමීපයි. ඉඳුරන් දැඩිව ග‍්‍රහණය කර ගන්නෙ ස්වභාවික දේ. ඒ නිර්මාණ කල් පවතිනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට විහාර කර්මාන්තයට පුළුටු රූප හෙවත් ටෙරාකොටා යොදා ගන්න මං භාග්‍යවන්ත වුණා.

මං පාවිච්චි කරපු මාධ්‍යය පරිසරයට බද්ධ වෙනවා. සිමෙන්තියට වැඩිය කල් පවතිනවා. චිත‍්‍රවලටත් දැව භාවිත කරනවා. බිතු සිතුවම් සංකල්පය වෙනස් කරලා දැව ඵලක මත බිතු සිතුවම් නිර්මාණය කරනවා. යොදා ගන්න කොහොඹ දැව කෘමීන්ට ඔරොත්තු දෙනවා. අවුරුදු 500කට එහා පවතිනවා. ඒ කියන්නෙ ඊ ළඟ පරම්පරාවන්ට අපේ උරුමය රැක දෙන්න පුළුවන් වෙනවා.

මේ චිත‍්‍රවල තේමාවන් වෙනස්. නූතන ලෝකයට ගැළපෙන, බුද්ධ චරිතයේ සහ බෝසත් චරිතයේ දුර්ලභ සිතුවම් තමයි මෙයින් පෙන්නුම් කෙරෙන්නේ. එයට ලෝකයේ හොඳම තෙල් සායම් යොදා ගන්නවා. ඒ නිසා ගොඩක් කල් පවතිනවා.

මෙහි තියෙන කැටයම් සංඛ්‍යාව විශාලයි. ඇම්බැක්කට වඩා කැටයම් මෙහෙ තියෙනවා. බුදු රුව නිර්මාණය කරන්න බය වුණ යුගයක් පසු කරගෙන ධර්මයත් සමඟ කළ යථාර්ථවාදී විප්ලවයක් තමයි මේ.”

‘‘ස්වාමීන් වහන්ස, පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාණය වූ සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාව ඔබ වහන්සේත් දෑසින් දැක බලා වන්දනා කළා. ඒ නිර්මාණය ගැන ඔබ වහන්සේට හැඟුණ දේ දැන ගන්න අපි කැමතියි.”

‘‘ඇත්ත වශයෙන් ම එය සුන්දර වූ ප‍්‍රාතිහාර්යයක්. මට හිතෙන විදිහට මිනිස්සුන්ට දැක බලා සතුටු වෙන්න පුළුවන් නිර්මාණයක් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඊ ළඟ පරම්පරාවලට උරුම කළා. සෞන්දර්යාත්මකව තිවංක ප‍්‍රතිමා කලාව මම එහි දකිනවා. සම්බුද්ධරාජ මාලිගාව රාගයෙන් විරාගය කරා ගමන් කරන්න මඟ කියනවා.

මම එයින් දැක්කේ මහමෙව්නාව අසපුව බණ භාවනාවලට පමණක් ම සීමා නො වී බෞද්ධ කලාව පිළිබඳ මිනිස් සිත් ආකර්ෂණය කරවන, ප‍්‍රමුදිත කරවන පුළුල් පරාසයක් කරා සංක‍්‍රමණය වන බවක්.”

‘‘ස්වාමීන් වහන්ස, නිර්මාණකරුවාගේ සංකල්ප මත නිර්මාණයන් එකිනෙකට වෙනස් වෙනවා. විවිධාකාර වූ නිර්මාණයක් දැක බලා ගනිද්දී අපැහැදුණු සිතක් වෙනුවට ඒ සෑම මොහොතක ම බුද්ධාලම්භන පී‍්‍රතිය ජනිත කර ගැනීමට කටයුතු කළ යුත්තේ කොහොම ද?”

‘‘මේවා හිස් දේවල් ලෙස සලකන ‘බුද්ධිමය නරුමයෝ’ ඉන්නවා. මේ වගේ දෙයක අර්ථය දකින්න ශ‍්‍රද්ධාව විතරක් මදි, ප‍්‍රඥවත් තියෙන්න ඕන. මේ දෙක සමබර වුණොත් තමයි බෞද්ධ කලාව තේරුම් ගන්න ලැබෙන්නේ.
මේ සියලූ නිර්මාණයන් තුළ ධර්මය නියෝජනය වෙනවා. මෙවැනි කලා නිර්මාණයක් කරන එක දුෂ්කරයි, අපහසුයි. ඇයි මිනිස්සු කළු ගලක් මත්තෙ හැපෙමින් මෙහෙම නිර්මාණ කරන්නෙ? ඒ කැප කිරීම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, තමන් අදහා ගත්ත බුදු ගුණයක් වෙනුවෙන්. ඒ කැප වීමේ දෘශ්‍යමය සාධක තමයි මේ කලා නිර්මාණ. එයින් ඇති වන්නේ පහන් බවක්.

ලෝකයේ කවුරුවත් එක විදිහට හිතන්නෙ නෑ. විවිධ අයුරටයි ඔවුන් කල්පනා කරන්නේ. ඒත් ධර්මයට එකඟව කරන දෙය බොහෝ දෙනෙකුට සතුටක් ගෙන දෙනවා. ශ‍්‍රද්ධාව හා ප‍්‍රඥව සමබර ව තියාගෙන මේ දේවල් කරන්න සහ දකින්න පුළුවන් නම් එයින් අපැහැදීම වෙනුවට බුද්ධාලම්භන පී‍්‍රතිය ජනිත කර ගන්න පුළුවන්කම ලැබෙනවා.”

‘‘ස්වාමීන් වහන්ස, ගෞතම සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා සමාජයට ඔබ වහන්සේ ලබා දෙන පණිවිඩය ගැනත් අපි දැන ගන්න කැමතියි. විශේෂයෙන් ම සසුන සුරකීම උදෙසා සිව්වනක් පිරිස සමඟි සම්පන්නව කටයුතු කළ යුත්තේ කොහොම ද?”

‘‘මේ තියෙන්නේ එකම සංඝ සමාජයක්. ඒත් පටු දෘෂ්ටීන්වල ඉඳගෙන තමයි භේද වෙලා තියෙන්නේ. ධර්මය මත පදනම් වෙලා නෙමෙයි මේ විදිහට බෙදිලා ඉන්නෙ. මේ පටු නිකාය භේදයක්. ඕක පිරිහීමක්. ඔය බෙදීම්, ගැටීම් හිත්වල නැතිවන තරමට අපි නිවනට සමීපයි. මොකද ඔය ගැටුම්වල තියෙන්නෙ බුද්ධාගම නෙමෙයි. තථාගත ධර්මය නෙවෙයි.

ලෝකෙ මිනිස්සු වැඩියෙන් ම අකැමැති සත්‍යයට. බොරුවට තමයි කැමති වෙන්නේ. ඔය පටු අදහස්වල පදනම බොරුව. ඉතින් ඒවාට යොමු වෙන පිරිස් ගැන අනුකම්පා කළ යුතුයි.
මට දෙන්න තියෙන පණිවිඩය තමයි මම මේ දෙය කරන්නෙ හුදෙක් මිනිස්සු නතර කරන්න නෙමෙයි. මට උවමනා භාවනා මනසිකාරය හදන්නයි. දාන ශීල භාවනා තුළින් ශීල, සමාධි, ප‍්‍රඥ කරා යොමු කරවන්නයි මට උවමනා.

ඉදිරිය අසහනකාරීයි, තරඟකාරීයි. දරුවො ළඟ නැතිව දෙමව්පියො තනි වෙනවා. ඒ අයව සුවපත් කරවන ආධ්‍යාත්මික තෝතැන්නක් හදන්න ඕන.

ශාසනය කියන්නෙ භික්ෂූන් වහන්සේලා පමණක් නෙමෙයි. සිව්වනක් පිරිස ම ඊට අයත්. ශාසනය හරි සමාජය හරි පිරිහිලා කියලා මැසිවිලි නගනවාට වඩා මේ මාර්ගයේ ඉස්සරහට යන්න උත්සහ කරන කෙනාට උපකාර කිරීමයි වැදගත්. ඒ උත්සහයන් දෙස උපේක්ෂාවෙන් බැලිය යුතුයි. යම් තරමකින් හෝ ඒ සඳහා උත්සහ කිරීම ම යි කළ යුතු.”

සැබෑවක් ම ය. සසුන සුරකීමට කළ යුතු දහමේ හැසිරෙන සමාජයක් බිහි කිරීම ය.

ශී‍්‍ර විජයාරාම විහාරයේ ඉදිකිරීම් තවම අවසන් වී නැත. බුද්ධ ප‍්‍රතිමා කෞතුකාගාරයක් ද සහිත ව පුස්තකාලයක් හා ධර්ම ශාලාවක් ඇතුළත් සුවිසල් සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීම ද දැන් ඇරඹී ඇත. මහල් හතර තෙක් උසැති සුවිසල් බුද්ධ ප‍්‍රතිමාවක් ද එහි ඉදි කෙරේ.

මේ සියලූ කාර්යයන් සිදු කෙරුණේ සීමිත සම්පත් ප‍්‍රමාණයකින් බවත්, ඉවසීමෙන්, කාලය ගෙන මෙය සිදු කරන්නට වූ බවත් උන්වහන්සේ අප සමඟ පැවසූහ. සැබැවින් ම මෙවැනි උත්තුංග නිර්මාණයක් ගෞතම සම්බුදු සසුනට දායාද කරවන්නට උන්වහන්සේ දරා ඇති වෙහෙස අතිශය ප‍්‍රශංසා කටයුතු ය. ධර්මය ප‍්‍රායෝගික ව ජීවිතයට ගළපා ගන්නවුන්ට මිස ධර්මය පොත පත තුළ ම දකින්නන්ට නම් මෙවැන්නක් සිතන්නටවත් බැරි ය. පැවිදි දිවියේ 49 වසරක් සැපිරුණ මේ යතිවරයාණන් වහන්සේ හිතේ හයියෙන් සිදු කොට ඇත්තේ සුළු පටු කර්තව්‍යයක් නො වේ.

පරපුරක හෙට උදෙසා වූ, අනාගතයට අභිමානයෙන් කථා කළ හැකි ප්‍රෞඪ ඉතිහාසයක් උදෙසා වූ මේ ඓතිහාසික උදාරතර ශාසනික මෙහෙවර නමස්කාරපූර්වකව පැසසිය යුත්තකි. හෙළ වංශකථාවේ රනින් අකුරුකළ යුත්තකි.

සිසිලසින් පිරී ගිය රාත‍්‍රිය එළඹෙද්දී විලේගොඩ අරියදේව ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ දෙපා නමැද අපි ආපසු ගමනට පිටත් වූයේ නිවී ගිය සිත් දරාගෙන ය. විහාරය අවට එළිය කෙරෙන්නේ L.E.D විදුලි බුබුළුවලිනි. අවම වශයෙන් ශක්තිය පරිභෝජනය කරමින් පරිසර හිතකාමී ව, මනා පරිසර කළමනාකරණයක් සහිත ව මේ සියල්ල නිර්මාණය වී ඇත.

මනස්කාන්ත වූ ආලෝක රටාවන්ගෙන් හාත්පස අඳුර දුරු කෙරෙමින් පැවති ශී‍්‍ර විජයාරාම විහාර භූමිය අපට සිහිපත් කෙරුවේ එක් දෙයකි. එය අවසානයට සනිටුහන් කරමින් මේ පුණ්‍ය චාරිකාවට සමු දෙන්නේ ශාසන චිරස්ථිතිය උදෙසා මෙවන් උදාරතර යතිවරයාණන් වහන්සේලා ද මෙවන් අද්විතීය පුණ්‍ය භූමීන් ද මෙවන් ශ්‍රේෂ්ට කලා නිර්මාණයන් ද බොහෝ බිහි වේවා යන ප‍්‍රාර්ථනාව ඇතිව ය.

රැයෙහි දුටු එපින්බිම අපට සිහිපත් කළේ මෙයයි.

‘‘රැය සරාගී වේ කම් සැපෙන් මුසපත් වූ මන්මත් ලොව, ඒ රැය ම විරාගී වේ වන අසපුවල, ගිරි ගුහාවල කෙලෙස් තවනා මුනිවරුන් හට…”
(උපුටා ගැනීම ‐ ‘ඒ අමා ගීතය’ කෘතිය – පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ)

පුණ්‍ය චාරිකා සටහන
උදුලා පද්මාවතී