බාල ළමා වියේ සංවර්ධනය කියන්නෙ නූතන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බොහොම ඉහළින් පිළිගැනෙන න්‍යායක්. උපතේ සිට අවුරුදු 03 දක්වා වන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමව්පියන් හා රැක බලා ගන්නවුන් දියත් කළ යුතු වූ වැඩපිළිවෙළක් ලෙසටත් එය පෙන්වා දෙන්න පුළුවන්. ඒ කුඩා දරුවන් සමාජීය, ආධ්‍යාත්මික, කායික යනාදි වශයෙන් පරිපූර්ණ කරවීම අරමුණු කොටගෙනයි මේ සංකල්පය කි‍්‍රයාත්මක කෙරෙන්නේ.

බාල ළමා වියේ සංවර්ධනය නමින් නූතනයේ අප හඳුන්වන මේ වැඩපිළිවෙළට බුදු දහමෙන් ලැබෙන්නේ නො මඳ පිටිවහලක්. සැබැවින් ම බාල ළමා වියේ සංවර්ධනය නිසියාකාරව සිදු කළ හැකි වන්නේ බුදු දහමේ හර පද්ධතිය තුළින් ලැබෙන්නා වූ ආභාසයෙන්.

වෛද්‍ය විද්‍යානුකූලව බලද්දි, දරුවෙකුගේ වයස අවුරුදු 03ක් වනවිට මොළයේ ඉතා වැඩි ප‍්‍රමාණයක් සංවර්ධනය වී අවසන්. සමහර විට අපි දරුවන්ට යම් යම් දේවල් නිවැරදිව උගන්වන්න කල් යල් එළඹෙනකල් බලන් ඉද්දි, දරුවාගේ මනස එය තමන්ට ග‍්‍රහණය වෙන අයුරින් තේරුම් ගෙන අවසන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ වයස මාස 36ක් වෙනකොට, ඒ කෙටි කාලය තුළ දරුවා සිතීමට, කථා කිරීමට, ඉගෙනීමට සහ තාර්කිකත්වයට අවශ්‍ය හැකියාවන් වර්ධනය කර ගන්නවා. වැඩිහිටියෙකු වූ විට තමන් සතුවන සමාජ චර්යාවන් බොහොමයක් පිළිබඳ මූලික සංකල්ප ගොඩ නැගෙන්නෙ මේ ළාබාල අවධියේ දී ම යි. ඒ කියන්නෙ ජීවිතේ මුල් අවුරුදු කිහිපය බොහෝ කල් පවත්නා වෙනස්කම් හා බලපෑම් ඇති කරවීමට සමත් වෙනවා. යහපත් වැඩිහිටියෙක් සමාජයට දායාද කෙරෙන මූලික පදනම යහපත් ළමාවියක් සතු වීම බව එයින් තහවුරු වෙනවා.

මිනිසත් බවක් ලැබීම අතිශයින් දුර්ලභ වූ දෙයක් බව අප සරණ ගිය තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ සා දුර්ලභ මිනිසත් බවක් ලැබීමට තරම් වාසනාවන්ත වූ ජීවියෙකු යහපත් වූ ධර්ම දායාදයෙන් පෝෂණය කළ හැකි නම්, එය මොන තරම් භාග්‍යයක් ද?

අප අසා තිබෙන්නේ දරු ගැබක් දරා සිටිනා මවක් ඒ ගර්භිණී කාල සීමාව තුළ යහපත් පරිසරයක ජීවත් වීම උපදින්නට සිටින දරුවාට ඉතාමත් සුබවාදී ව බලපාන බවක්. එවන් පරිසරයක දිවි ගෙවන මවකගේ කුසට පැමිණෙන්නෙත් පිනකින් ම යි.

අපේ රටේ නාරිවේදය හා ප‍්‍රසව පිළිබඳ එක් විශේෂඥ වෛද්‍යවරයෙක් සිදු කළ පර්යේෂණයකින් අපූරු දෙයක් ඔප්පු වී තිබුණා. එතුමා සිදු කළේ ධාර්මික, සාමකාමී පරිසරයක දිවි ගෙවීමට මා පියන්ට ඉඩ සලසා දී, ඔවුන්ට බිහි වන දරුවන්ගේ චර්යා රටාවන් සහ ආගමික නැඹුරුවක් නැති, කලකෝලාහල බහුල පරිසරයක සිටි දෙමව්පියන්ට දා වූ දරුවන්ගේ චර්යා රටාවන් අධ්‍යයනය කිරීම යි.

යහපත් පරිසරයක දිවි ගෙවූ මව්පියන්ගේ දරුවන් බොහොම දැහැමි වූත් අධ්‍යාපනයේ දක්ෂ වූත් දරුවන් වුණා. අනෙක් දරුවන් පොදුවේ අධ්‍යාපන දක්ෂතාවයන් අඩු කලහකාරී දරුවන් වී තිබුණා.

දෙමව්පියන් සිල්වත් ව, ධාර්මික ව ජීවත් වෙද්දි පින්වත් දරුවෙකුට ඒ මව් කුස වර්ධනය වීමට අවශ්‍ය පරිසරය සකස් කෙරෙනවා. දරුවන් නො මඟට යොමු වීම බහුල වුණ මේ සමාජයට ගුණගරුක දරුවන් සැබැවින් ම වාසනාවක්. දරු සම්පතක් අපේක්ෂාවෙන් සිටින මව්පියවරුන්ට මෙහිදී අතිමහත් කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන්. කලකෝලාහල, භයංකාර ශබ්ධ ආදිය බහුල වූ පරිසරයක් වෙනුවට නිදහස්, සාමකාමී, ප‍්‍රියමනාප වටපිටාවක ඒ දරුවාට ජන්ම ලාභය ලබා දෙන්න උත්සුක විය යුත්තේ දෙමව්පියන්. නිරන්තරයෙන් මිහිරි පිරිත් දේශනාවන්, අර්ථවත් ධර්ම කථාවන්, තෙරුවන් ගුණ සිහි කිරීම් ආදි ලොව පවත්නා අතිශය පරිපූර්ණ සුභාෂිතයන් ගර්භිණී මවකගේ සවනට වැකෙනවා නම් එයින් ඉපදෙන්න සිටින දරුවාට සැලසෙන්නෙ යහපතක් ම යි.

දරුවාගේ ජීවිතයට දැනුම සම්පේ‍්‍රෂණය කරන්නට අකුරු කියවන තුරු බලා සිටිය යුතු නැහැ, දරුවා පාසල් යන තුරු බලා සිටිය යුතුත් නැහැ. පරම්පරාවකට එපිටින් සිටි අපේ අම්මල දරුවන් නැළෙව්වේ තෙරුවන් ගුණ කියමින්. දරුවන් නිදන්නේ ඒ සංසුන්, ඉමිහිරි හඬට සවන් දීගෙන ම යි. කුඩා දරුවෙකු ඒ ළමා අවධියේ ලබන සෑම ස්පර්ශයක් ම, සෑම චලනයක් ම, සෑම සංවේදනයක් ම වර්ධනය වෙමින් පවතින මොළයේ සෛල තුළ ප‍්‍රබල වෙනස්කම් ඇති කරවනවා. දෙමව්පියන්, පවුලේ අනිත් සාමාජිකයන් සහ වෙනත් පිරිස් සමඟ රැඳී සිටීමේ දී ඇතිවන අත්දැකීම්, අන්තර් ක‍්‍රියා වගේ ම ප‍්‍රමාණවත් පෝෂණය, මනා සෞඛ්‍යය සහ සුවදායි පරිසරය කියන සාධකත් දරුවාගේ මොළය වර්ධනය වන ආකාරය කෙරෙහි සෘජුව ම බලපානවා.

ඒ වගේ ම මේ අවධියේ දරුවා වර්ධනය වන ආකාරය පසුකාලීනව ලබන අධ්‍යාපන සහ අනෙකුත් ජයග‍්‍රහණයන් කෙරෙහිත්, චරිත ලක්ෂණ කෙරෙහිත් මූලික පදනම සකස් කරනවා. සෙනෙහසින් යුතුව දරුවෙකුට උත්තම දායාදයන්ගෙන් සංග‍්‍රහ, සත්කාර කරන විට ඒ දරුවා අනාගතයේ යහපත් පුරවැසියෙක් බවට පත් වීම සෑම මවක් ම, සෑම පියෙක් ම බලාපොරොත්තු විය යුතුයි.

ඇත්තෙන්ම නැණ ගුණ සුවඳින් පිරිපුන් දරුවෙක් රටට තිළිණ කරවන මෙහෙවර දරු පිළිසිඳ ගැනීමක පටන් ම ආරම්භ කරන්න අපි හැමෝට ම පුළුවන්. මේ ලෝකයේ පවතින අනුත්තරීය වූ පරම සත්‍යය උදෙසා ඒ වාසනාවන්ත දරුවාගේ ජීවිතය යොමු කරවන්න දරුවා බිහිවන තුරුවත් කල් නො මැරිය යුතුයි කියලයි කිව යුත්තේ. ඔබට පුදුම හිතුණ ද? ඒත් එය සත්‍යයක් ම යි.

බෝධි රාජ කුමාරයා පළමු වරට තෙරුවන් සරණෙහි පිහිටියේ මව් කුසේ සිටියදීයි කියලා අපි අහලා තියෙනවා. ඔහු තම යහළුවෙකු අමතා භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට දී කියා සිටියේ ‘‘සංජිකාපුත්ත, මගේ අම්මා මං කුසේ ඉද්දි භාග්‍යවතුන් වහන්සේ ව බැහැ දකින්න ගිහින් උන් වහන්සේට වන්දනා මාන කරලා මෙහෙම කියලා තිබුණා. ‘භාග්‍යවතුන් වහන්ස, මගේ කුසේ ඉන්න මේ දරුවා දුවෙක් ද පුතෙක් ද කියලා මං දන්නෙ නෑ. ඒ දරුවා දුවෙක් වුණත්, පුතෙක් වුණත්, ස්වාමීනි ඒ දරුවා දැන් භාග්‍යවතුන් වහන්සේ ව සරණ යනවා. ඒ තථාගත ධර්මය සරණ යනවා. ඒ ආර්ය ශ‍්‍රාවක සංඝරත්නය සරණ යනවා. ස්වාමීනි, මගේ කුසේ ඉන්න මේ දරුවා දිවි තිබෙන තුරාවට තිසරණ සරණෙහි පිහිටි ශ‍්‍රාවකයෙකු ලෙස දරා ගන්නා සේක්වා!’ අන්න ඒ ආකාරයෙනුයි සංජිකාපුත්ත මං මුලින් ම තෙරුවන් සරණ ගියේ.” කියලයි.

තව දුරටත් බෝධි රාජ කුමාරයා පැවසුවේ, ‘‘මං පුංචි දරුවෙක් ව ඉද්දි මගේ කිරි මව මාවත් රැගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. මා ලවා භාග්‍යවතුන් වහන්සේ ට වන්දනා කරවලා මෙහෙම කිව්වා. ‘ස්වාමීනි මේ චූටි දරුවා, බෝධි රාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේ ව සරණ යනවා. තථාගත ශ‍්‍රී සද්ධර්මය සරණ යනවා. ශ‍්‍රාවක සංඝරත්නය සරණ යනවා. අද පටන් දිවි තිබෙන තුරාවට මේ දරුවා තිසරණ සරණ ගිය ශ‍්‍රාවකයෙකු ලෙස දරා ගන්නා සේක්වා!’ සංජිකාපුත්ත මං එහෙමයි දෙවන වරටත් තෙරුවන් සරණ ගියේ.” කියලයි.

ඉතින් පින්වත් අම්මේ, පින්වත් තාත්තේ, ඔබේ දරුවාට ඒ උත්තුංග දායාදය ලබා දෙන්නට දරුවා ලොකු මහත්වන තුරු හෝ දරුවා බහ තෝරන තුරු ප‍්‍රමාද විය යුතු ද?

පින්වත් අම්මේ, පින්වත් තාත්තේ,

ඔබේ දරුවාට ලෝකය දෙස ආර්ය සත්‍යයට අනුව බලන්නට උගන්වා සම්මා දිට්ඨිය මුලින් ම හුරු කළ හැක්කේ ඔබටයි.
කාමයට නො කැළඹෙන, තරහවට නො යන, හිංසාවෙන් තොර වූ හිතක් ඇතිකර දී සම්මා සංකප්ප මුලින් ම හුරු කළ හැක්කේ ඔබටයි.
බොරුවෙන්, කේලමෙන්, හිස් වචනයෙන්, පරුෂ වචනයෙන් තොර වූ සුභාෂිතය ඉස්මතු කරවා සම්මා වාචා ප‍්‍රගුණ කරවිය හැක්කේ ඔබටයි.
සතුන් මැරීමෙන්, සොරකමෙන්, වැරදි කාම සේවනයෙන් මිදුණු පිවිතුරු ජීවිතයක් කියා දී සම්මා කම්මන්ත මුලින් ම හුරු කළ හැක්කේ ඔබටයි.
පිරිසිදු ව, දැහැමි ව ජීවත් වන්නට වෑයම් කරන හැටි මනසට කා වද්දා සම්මා ආජීවයට සිත යොමු කළ හැක්කේ ඔබටයි.
අකුසල් ප‍්‍රහානය කරන්නට ද කුසල් වඩන්නට ද කියා දී සම්මා වායාම මුලින් ම හුරු කළ හැක්කේ ඔබටයි.
සතර සතිපට්ඨානයට අනුව සිහි නුවණින් කටයුතු කරන අයුරු කියා දී සම්මා සතියත්, බණ භාවනා කරන්නට යොමු කරවා සම්මා සමාධියත් උදෙසා පළමු පියවර යොමු කළ හැක්කේ ද ඔබටයි.
එවිට, සුපින්වත් දරුවන්ගේ බිහි වීම බොහෝ සෙයින් උවමනා කෙරෙන ලෝකයට අතිජාත දරුවන් ජනිත කරවන්නට ධර්මයෙන් ලද පන්නරයෙන් සුපෝෂිත පළමු පියවර තබන පින්වත් අම්මා, පින්වත් තාත්තා ඔබයි.
එයයි අම්මේ, තාත්තේ, නිවැරදි ‘බාල ළමා වියේ සංවර්ධනය’.

සුව සටහන
මහනුවර හෙද විදුහලේ හෙද ආචාරිනී,
කේ. ජී. එස්. අයිරාංගනී